Tuesday 5 January 2016

නවාස් ෂරීෆ් කොළඹ සිට මෝඩිට සහතිකයක් දෙයි..

අනපේක්ෂිත ප්‍රහාරයෙන් හමුදාව අසීරුවට පත්ව

පතන්කෝට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සෙවීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව පාකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් ඉන්දීය අගමැතිවරයාට දුරකතන ඇමතුමක් දෙමින් සහතික වී තිබෙනවා. පාකිස්තානු අගමැතිවරයා මෙම දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ තම ලංකා සංචාරය අතරතුර කොළඹ සිටයි. මිනිත්තු 15 ක් තිස්සේ රාජ්‍ය නායකයන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය සිදු වී ඇත්තේ දෙරටේ ජාතික ආරක්ෂක උපදේශකයන් අතර සිදු වූ සාකච්ඡාවකින් පසුවයි.

මුර සංචාර අඛණ්ඩව..


කතාබහෙන් පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කළා. පතන්කෝට් ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව පාකිස්තාන රජය සෘජු හා කඩිනම් පියවර ගත යුතු බව අගමැති නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරනවා. ප්‍රහාරයට අදාළ තොරතුරු මේ වනවිට ඉන්දීය රජය විසින් පාකිස්තානු රජයට ලබා දෙනු ලැබ තිබෙනවා.. යැයි එම නිවේදනයේ සඳහන් වුණා.

ඉන්දියාව හා පාකිස්තානය අතර සාමය ගොඩනැන්වීමට අවංකවම උත්සාහ කළ සෑම අවස්ථාවකදීම පාහේ එය කඩාකප්පල් කිරීමට ත්‍රස්තයන් උත්සාහ කරන්නේ යැයි පාකිස්තානු අගමැතිවරයා පැවැසූ බව ඉන්දීය අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා එරට මාධ්‍යට පවසා තිබුණා. ත්‍රස්තයන්ගේ දුෂ්ට ක්‍රියාකලාපයට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය වන්නේ දෙරට අතර මිත්‍රශීලී හා සහයෝගී සම්බන්ධයක් ගොඩනැගීම බවට රාජ්‍ය නායකයන් කතිකා කර ගත් බවට ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.



 කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ ඉන්දීය අගමැතිවරයා දෙසැම්බර් 25 වැනිදා කළ හදිසි මෙන්ම විස්මය දනවන පාකිස්තානු සංචාරයෙන් පසුව එල්ල වූ මෙම ප්‍රහාරය ඉන්දු පාකිස්තාන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට එරෙහිව නැගුණු කළු වලාවක් බවයි.

No comments:

Post a Comment