Wednesday 11 November 2015

මාරපන මාධ්‍ය හමුවෙන් ආණ්ඩුවේ රෙදි යළි ගලවයි..

කට හින්දා නැහිල්ල

තිලක් මාරපන මහතා කියන්නේ ඉල්ලා අස්වීමට තමා ස්වාධීනව තීරණය කළ බවයි. එහෙත් අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් පිරිසකට පවසාතිබුණේ ගත යුතු හොඳම සහ සෘජුම තීරණය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම බව තමා මාරපනට පෙන්වාදුන් බවයි. ඒ අනුව මාරපන ඇත්තටම අස්වුණේ හදවත කී නිසාද අගමැති කී නිසාද යන්න පැහැදිලි නැත.

ඇත්තටම මාරපන තම ඉල්ලා අස්වීමෙන් හා ඉන්පසුව පැවැත් වූ මාධ්‍ය හමුවෙන් රෙදි ගලවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේය. ඔහු නොකියා කියන්නේ එය වැරැදි වෙලාවක දුන් වැරැදි ඇමැතිකමක් බවය. පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට නීතී උපදෙස් දුන් බව මාරපන කියයි. ඒ ගැන නීතිපතිවරයා පරීක්ෂණ අවසන් කර තීරණයක් දුන්නේ ජුනිවල බවත් තමා ඇමැති පදවියට පත්වුණේ සැප්තැම්බර්වල බවත් ඔහු කියයි. එහෙත් මාරපන අවසන් කළා යැයි කියන පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වූ බව රටම දනී. ආණ්ඩුවේ ප්‍රබල යැයි කියන දේශපාලකයන් විටින් විට කළ උදාරම් කතාවලින් වුවද එය පැහැදිලිය. මාරපනගේ කතාව ඇත්ත නම් අනෙක් සියලු ඇමැතිවරුන් කළ කතා බොරු විය යුතුය. කැබිනට් මාධ්‍ය හමුවලට අර්ථයක් නැති විය යුතුය.

ඉතාම වැදගත් කාරණය වන්නේ ඇවන්ගාඩ් ගැන එවන් පරීක්ෂණ දියත් මොහොතක ඇවන්ගාඩ් හිමිකරුගේ නීති උපදේශක වැඩේ කළ තැනැත්තාටම ඇවන්ගාඩ් පරීක්ෂණවලට අදාළ අමාත්‍යංශය පිරිනැමීමයි. එය කරන්නේ වෙන කවුරුවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය.

ඇමැතිකම දුන්නේ ඇයි?


මාධ්‍ය හමුවේදී ඇමැති මාරපන කළ තවත් බරපතල ප්‍රකාශ දෙකක් වේ. ඒවා නම් මෙසේය.

1)මා ජනාධිපතිතුමාට අද උදේ කිව්වා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා ලෙසත් දැන්වුවා...

2)ප්‍රශ්නය- නමුත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියල තිබුණා ඔබේ මතය රජයේ මතය නෙවෙයි කියලා?
  පිළිතුර- ඒක ඉතින් එතුමාගේ මතය..

පළමු ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු මාධ්‍ය හමුවේදී පැවසුවේ පොලිසිය බාර ඇමැතිකමේ තමා සිටියදී එම විමර්ශන තවදුරටත් කරගෙන යෑමට බාධා වේ යැයි යන සැකය නිසා අස්වීමට තීරණය කළ බවයි. එහෙත් ඒ කටින්ම ඔහු නැවත පවසන්නේ ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කරගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා හැටියට ජනාධිපතිවරයාට දැන් වූ බවයි. ඉතින් මාරපන මේ කරන්නේ කුමක්ද? විමර්ශනවලට බාධා වේ යැයි යන සැකය නිසාම අස්වුණා යැයි කියන මාරපන ඇවන්ගාඩ් ප්‍රශ්නය සමථයකට පත්කරගන්නා හැටියට ජනාධිපතිට නොකියා කියයි. යෝජනා කරයි. මේ ප්‍රකාශයෙන් ඔහු කරන්නේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවක් කිරීම නොවේද?

රාජිත කැබිනට් ප්‍රකාශක නෙවෙයිද?


දෙවැනි ප්‍රකාශය මඟින් මාරපන කෙලින්ම අභියෝග කරන්නේ ආණ්ඩුවේ මතයටය. මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රජයේ මතය නොවන බව කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. එහෙත් රාජිතගේ ප්‍රකාශය ගැන මාරපන කියන්නේ එය රාජිතගේ මතය බවය. ඒ කියන්නේ ආණ්ඩුවේ මතය නොවන බව නොවේද? මෙමගින් නැවත ආණ්ඩුව ජනතාවට කිවයුත්තේ ඇවන්ගාඩ් ගැන ආණ්ඩුවේ මතය කුමක්ද යන්නයි. තවද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම්දෙන රාජිත සේනාරත්න කරන්නේ තමන්ගේ මතය දැක්වීම යැයි මාරපන කියන්නේ නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවල ඇති අර්ථය කුමක්ද?


දැන හෝ නොදැන මෙම මාධ්‍ය හමුවේදී ද ඇමැතිවරයා කළ පුදුමය දනවන ප්‍රකාශ මඟින් අවසන සිදුකර ඇත්තේ ආණ්ඩුව වට දෙකකින් අමාරුවේ දැමීමය. දැන් මේ ගැන රටට ඇත්ත කිවයුත්තේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.

Friday 6 November 2015

යහපාලනේ මල් පුප්පන මාර පන ලා....

නායකයිනි එන්න..මල් පිපීදැයි බලන්න..


තිලක් මාරපන යන නම ඇසුණු කලම දැන් රටේ ජනතාවට දැනෙන්නේ දළඹුවෙකු ඇඟේ ගෑවුණා වැනි හැඟීමකි. ඊට හේතුව නම් පසුගිය 4 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ නින්දනීය කතාවයි. රටක් කැළඹූ ඇවන්ට්ගාඩ් සිදුවීමේදී ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව කිසිදු හිරිකිතයක් නැතිව රටට කී තිලක් මාරපන යනු කවුද? ඒ මේ රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාය. රටක් කැළඹූ සිදුවීමක සැකකාර පාර්ශ්වය වෙනුවෙන් රටේ කැබිනට් ඇමැතිවරයකු පෙනීසිටිද්දී ඒ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටය.

රාජපක්ෂ පාලන සමයේදී පවා තිලක් මාරපනලා සම්බන්ධයෙන් රටේ පැතිර ගිය  පුවත් වූ කලී යහපත් ඒවා නොවේ. ඔහු ඊට පෙර පැවැති එජාප පාලන සමයන්හි දැරූ ඇමැතිකමුත් නීතිය විෂයෙහි දැරූ තනතුරුත් හැරුණුකොට පැවැති පාලනය පෙරලීමේ දේශපාලන පරිවර්තනයෙහි කිසිදු කර්තෘත්වයකට ගෞරවයක් හිමි විය යුත්තෙක් නොවේ. මෙවර යහපාලන ආණ්ඩුවේ වුවද ඔහුට ඇමැතිධුරයක් හිමිවන්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ලිමේන්තු ගමන නිසා මිස ජනතා ඡන්දයකින් ලැබූ ජයක් නිසා නොවේ. 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් නීතිපතිකමට සමු දී ගෙදර ගිය තිලක් මාරපන පළමු වරට පාර්ලිමේන්තු ආවේ 2001 දීය. ඒය ද ජාතික ලැයිස්තුවෙනි. එහෙත් ආරක්ෂක හා ප්‍රවාහන වැනි බාරදූර ඇමැතිකම් ඔහුට පැවැරිනි. මහින්ද රාජපක්ෂගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින ගාමිණි මාරපන යනු තිලක්ගේ සොයුරාය. තිලක් මාරපනගේ පුත්තු දෙදෙනා ද නීතිඥයෝය.

පාර්ලිමේන්තුව උසාවියක් කළ මාර පන..

බැලූවිට නම් මාරපන පවුලම නීතියේ සාරයම උකහාගත් පරම්පරාවක් මෙනි. එහෙත් ඒ සාරය යළි ප්‍රතිනිෂ්පාදනය වන්නේ ජාතික දේහයේ සාරය උරාබොන්නට නම් ඒ නීති දැනුමෙන් රටට පලක් නැත. එයින් අත්වන්නේ විනාශයක් පමණි. සැබැවින්ම මාරපන පාර්ලිමේන්තුවේදී කළ කතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුලකුරු දන්නා ඕනෑම අයෙකු සලිත කරන මට්ටමේ එකකි. පොලිසිය බාර මාර පන ඇමැති ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව ලැජ්ජා නැතිව කීමෙන් නොනැවැතී සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කලිසම් ද ගැලෙව්වේය. ඒ ඇවන්ට්ගාඩ් යනු මිලේනියම් සිටි බඳු ආණ්ඩු මාරුවකදී පොලිසිය ලකුණු දා ගන්නට කළ වැඩක් බව කියමිනි. අන්තිමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාට සිදුවුණේ ඔය ඇමැතිකම ළමයෙකුට දෙන්න යැයි කියන්නටය. මන්දයත් ඇමැතිගේ අමුතු කතාව ඒ තරම්ම ආණ්ඩුවක් පවා සසල කරවන වගකීම්විරහිත කතාවක් වීම නිසාය.

ඒ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවත් අතර වෙනස කුමක් ද?


ඇත්තටම වුණේ මේකය. මාරපනලාට පාර්ලිමේන්තුව අදාළ නැත. මාරපනලා කීයක් හරි හොයාගන්නේ නීති දැනුම උකස් කරලාය. මාර පනට පාර්ලිමේන්තුව පෙනුණේ උසාවිය වගේය. කතානායක පෙනුණේ මහේස්ත්‍රාත්වරයා වගේය. ඉතින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ විපක්ෂය නියෝජනය කරන්නේ රටේ ජනතාව බව මාරපනට මතක නැතුව ගියේය. තමා රටේ ජනතාවට වගකියන්නට බැඳී සිටින බව මාරපනට මතක නැතිව ගියේය. ඒ අස්සේ බළලා මල්ලෙන් එලියටත් පැන්නේය. ඇවන්ට්ගාඩ් සිදුවීමේ වගකීම්විරහිත ඇමැති කෙරුවාව දැන් මුළු රටම දැනගෙන හමාරය. ඇත්තවශයෙන්ම මාරපනගේ මේ නිහීන වැඩය ඔහුට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව වුව දෝෂාභියෝගයක් ගෙනඒමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

රටම ගිනිපත්තු කර පැවැති පාලනයට මිනීපෙට්ටියේ අවසන් ඇණ ගසන්නට යහපාලකයන් භාවිත කළ සටන් පාඨ යට ගොසිනි. ඒ වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ භීෂණකාරී පාලන සමයේ ඔළුව දෙපරැන්දෙ ගසාගෙන අපේ මොකෝ අපට මොකෝ තියරියට සිටි අවස්ථාවාදී දේශපාලන රැලක් ව්‍යාපාරිකයන් ලෙසින් කැබිනට් මණ්ඩලයේ ලැග සිටිනා අරුම පුදුම පාලනයකි. මේ ආණ්ඩුවේම ඇමැතිහොරු පෙන්නන සොහොන් ලකුණු අනුව ආණ්ඩුවට වැඩි ආයුෂක් ඇතැයි කෙසේ සිතන්නද?

(සැ-යු-විජයදාස රාජපක්ෂ යනු මාටින් වික්‍රමසිංහගෙන් පසු මෙලක බිහි වූ මහා ප්‍රාඥයා බැවින් ඔහු ගැන වෙනම ලිවිය යුතුය)

Thursday 8 October 2015

බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...

බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...: ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේ...

ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නිහඬ ඇයි?



ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේශපාලන පලිගැනීම්වලින් තොරව ස්වයං නියාමනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා පත්තර ලෝකය හිතුවා. එහෙම හිතලා පුවත්පත් හිමිකරුවන්, ජනමාධ්‍ය සංවිධාන හා කර්තෘ සංසදය යන පාර්ශ්ව තුන එකතු වෙලා ආයතනයක් පිහිටුවාගත්තා. ඒක තමයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනSri Lanka Press Institute ය. 



ඒ යටතේ පිහිටුවපු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙන් පත්තර වාර්තා සම්බන්ධ පැමිණිලි බාරගනිමින් සමථ මණ්ඩලයක් විදියට කටයුතු කළා. ඒ යටතේ පිහිටුව
පු අනෙක් ආයතනය වූ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් මේ රටට ජනමාධ්‍ය සිසුන් රැසක්ම දායාද කළා. ඒ කාලේ, ඒ කියන්නේ 2002 යූ.එන්.පී ආණ්ඩුව කාලේ ආණ්ඩුව පවා මේකට දුන්නේ ෆුල් සපෝට් එකක්.

2013 ජුනි 05 වැනිදා එවකට යූ.එන්.පී පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පුවත්පත් මණ්ඩල යෝජනා පනත් විවාදයට සහභාගී වෙමින් ඒ ගැන කිව්වෙ මෙන්න මෙහෙම.

‘‘නිදහස් ස්වාධීන මාධ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් 2002 දී එක්සත් ජාතික පෙරමුණ රජය ක‍්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුයි. එදා මාධ්‍ය ස්වාධීනත්වය, ගෞරවය ලබාදීම වෙනුවෙන් අපි කැප වුණා.  අපි කතෘ සංසඳය සමඟ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ, වෘත්තිය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය සමඟ පුවත්පත් ප‍්‍රකාශකයින්ගේ සංගමය සමඟ හා සිවිල් සමාජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ උපදේශ ලබා ගත්තා. ඒ අනුව පුවත්පත් ආයතනය (press institute) ස්ථාපිත කළා. එමෙන්ම ඒ තුළින් මාධ්‍යවේදීන්ට පුහුණුව ලබාදීම මෙන්ම පාඨකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ අයිතීන් රැකදීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසමත් ගොඩනැඟු‍වා. මේ තුළින් ස්වේච්ඡාවෙන් ස්වයං නියාමනයක් මඟින් ගැටළු විසඳා ගත හැකියි. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ලක්ෂණයි . මෙම දේවල් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම වෙනුවට මේ ආණ්ඩුව කළේ, කරමින් සිටින්නේ කුමක් ද?.

එදා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය අද කතානායක වෙලා. ඒ වගේම  එදා පුවත්පත් මණ්ඩලයට පක්ෂව හඬ නැගූ හා විපක්ෂ මත දැරූ ප්‍රධාන පක්ෂ දෙක එක්ව හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබෙනවා. ඒත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මරාගෙන මැරෙන සටනක් දුන් යූ.එන්.පීය එක අද වැඩි සද්දයක් නැතුව ආණ්ඩුවේ ඇමැතිකම් දරන් ඉන්නවා.

මේ සියල්ල අතරේ ආණ්ඩුවේ උපදේශකයන්ගේ අනුශාසනා මැද පුවත්පත් මණ්ඩලය බලාත්මක කිරීම ගැන සම්මන්ත්‍රණ සංවිධානය වෙමින් තිබෙනවා. එවකට විපක්ෂයේ සිටි එජාපය ඇතුළු සිවිල් සමාජ බලවේග සමඟ සටන් කළ ඇතැම් මාධ්‍යවේදීන් අද ඉන්නේ ආණ්ඩුවේ ලොකු පුටු හොබවමින්. පුවත්පත් මණ්ඩලය එපෝ යැයි කියමින් තොරතුරු දැනගැනීමේ අයිතිය දියාාාව් යැයි රාජපක්ෂ ආණ්ඩුවට බල කළ මේ උදවියගේ සටන්කාමී ප්‍රවේශය අද අපිට දකින්න නෑ. 





මේ ආණ්ඩුවේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි  කිසිදු කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තිය දැනගැනීමට අපහසු වීම. මොකද පක්ෂ දෙකක ප්‍රතිපත්ති(ප්‍රතිපත්ති ද හුදු කතා ද?) මඟින් පුරුද්දනු ලැබෙන බැවින් බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය දෙමුහුන් වී තිබෙන හින්දා. එහෙම බැලුවාම පුවත්පත් මණ්ඩලයට එරෙහි වෙමින් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ අතීත සගයන්ගේ මතයත් හයිබ්‍රිඩ් වෙලාද කියලා ජනමාධ්‍ය සමාජයට සිතීම තාර්කිකයි නේද?

Monday 10 August 2015

තරුණ ජනමාධ්‍යකාරයන් රතුපස්වලට ගියේ ඇයි?


උසස් පෙළ විභාගය ලියන්නට සිහින දකිමින් සිටි තරුණ ජීවිත දෙකක් ද බිලිගනිමින් රතුපස්වල සිදු වූ මනුෂ්‍ය ඝාතනයට දැන් වසර දෙකකි. කටුනායක, හලාවත මෙන්ම රතුපස්වල ද හුුදු මරණයේ ද්වාරයක සංකේතයක් පමණක් වෙමින් බොහෝ සිත්වලින් මැකීයමින් තිබේ. එහෙත් සැබෑවටම රටට සැබෑ වෙනසක් වී ඇත්නම් මේ ම්ලෙච්ඡු සිදුවීම් පිළිබ`දව සොයාබලන්නට තරම් මේ සමාජය ශිෂ්ටසම්පන්න විය යුතු නොවේද? ජනවාරි 8 වෙනස කරන්නට පැමිණි දේශපාලකයන්ගේ එක් සටන් පාඨයක් වූයේ රතුපස්වලයි. ජය පතා කළ දේශපාලන ප‍්‍රචාරණයේදී දැන්වීම් හැටියට විකිනුණේ රතුපස්වල ජනයාගේ රුධිරයයි. ඒ නිසා විකිණූ රුධිරයටවත් මිලක් ගෙවීමට පාලකයන් ශිෂ්ටසම්පන්න විය යුතුය. නැතිනම් එකී සාධාරණය වෙනුවෙන් අරගල කරන තැනකට හෝ පොදුජනයා තල්ලු විය යුතුය.

සාධාරණය පතා අරගල කරන තැනකට පොදුජනයා තල්ලු විය යුතු යැයි අප කීවද එය ඒ තරම්ම පහසු කටයුත්තක් ද? නැත. එසේනම් ඊට හේතු කිම? 



පසුගිය කාලය පුරාවටම ජලය, නිවාස, අධ්‍යාපනය, රැුකියා ආදී මූලික අවශ්‍යතා මුල්කරගනිමින් රටේ තැනින් නැත නැගුණු ජනවිරෝධයන් අපට සුලභව දැකගත හැකි විය. එහෙත් ඒවා බොහෝමයක් අවසන් වූයේ අවසන් විසදුමක් නොමැතිවය. විපරම්කාරී ලෙස සොයා බැලුවහොත් ඒ පසුපස ඇත්තේ නින්දනීය බල දේශපාලනය බව අපට පහසුවෙන් සොයාගත හැකිය. සිය ඡුන්දයෙන් පත්කෙරෙන නියෝජිතයන් සිය අවශ්‍යතා ගැන සැළකිල්ලක් නොදක්වන කල්හි කළයුත්තේ කුමක්දැයි පසුගිය කාලයේදී මේ රටේ ජනයාට තේරුම් ගියේය. එහෙත් අවාසනාවකට අවංක හැ`ගීමෙන් යුතුව රොද බැෙ`දන ජනයාගේ හිසේ නැග සිය බල දේශපාලන ව්‍යාපෘති දියත් කරගැනීමේ නින්දනීය දේශපාලනයක දේශපාලන පක්ෂ ද නිරත විය. ජනමාධ්‍ය හමුවේ දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කරගැනීමේ ලාබ දේශපාලනයක නිරත වූ ඇතැම් දේශපාලකයෝ රතුපස්වල ද එවැනිම රසමසවුලක් කරගත්හ. ප‍්‍රතිපලය වූයේ ජනමාධ්‍යට වෙනත් කාරණා රස මසවුලක් වෙද්දී ජනතා සේවකයෝ ද රතුපස්වලින් ඈත්මෑත් වීමය. ජනතා සේවකයන්ගෙන් ඈත් මෑත් වූ රතුපස්වල ජනයාට තමා හිසට තම අතමය යන පණිවුඩය ගෙන එහි යන්නට තරුණ ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.



රතුපස්වල සංහාරයට වසර දෙකක් ගතවෙන තැන රතුපස්වල ගම්වැසියන් සමග අප සිටගත්තේ අරමුණු රැුසක් පෙරදැරි කරගෙනය. ජනමාධ්‍යවේදියාගේ පළමු ආරක්ෂකයා ජනසමාජයයි. ජනමාධ්‍යවේදියාට ජනමාධ්‍ය නිදහස ලැබෙන්නේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති නිදහස නමැති මූලාශ‍්‍රයෙනි. එහෙත් අවාසනාවකට මේ මූලික සංකල්පීය කාරණා පවා අද වනවිට ජනමාධ්‍ය සමාජයෙහි බොහෝ පැණසර යැයි කියන පුද්ගලයෝ පවා නොදනිති. මේ නිසාම ජනමාධ්‍යකරණයට පිවිසෙන නවකයෝ ද ජනමාධ්‍ය යනු රටේ පාලකයන් සමග හිටගෙන කරන දෙයක් හැටියට වැරැුදි පූර්වාදර්ශයන්හි පිහිටා කටයුතු කරති. රතුපස්වල ජනයා සමග තරුණ ජනමාධ්‍යවේදීන් සිටගැනීමේ මුඛ්‍ය අරමුණක් ගැටගැසෙන්නේ මෙම ප‍්‍රතිසංස්කරණමය වුවමනාව සමගින් යැයි කීවොත් එහි වරදක් නැත. ඒ අනුව රටේ දේශපාලන තිරය පසුපස සිදුවන බොහෝ දෑ විනිවිද දකින්නන් හැටියට තමන්ට තම වෘත්තියට නිදහස සම්පාදනය කරන පොදුජනයාට අත්වැලක් විය හැකි මගක් අපි සොයමින් සිටිමු. රතුපස්වල යනු එකී සමාජ සාධාරණත්වයක් සදහා වූ සටනේ බිහිදොර ය. ගමන ඇත්තේ බිහිදොරින් ඉක්බිතිය. ඉතින් ඒ ගමන සිතන තරම් සුන්දර යැයි අපි නොසිතමු. එහෙත් පොදු ජනයා සමග ඒකාබද්ධ වූ එකී ප‍්‍රතිසංස්කරණාත්මක අලුත් ගමන ජීවයෙන් පිරුණු එකක් වනු ඇති බව නම් නිරනුමානය. ඉතින් අපි රතුපස්වලට සාධාරණයක් ඉටුකරමින් ඊට ප‍්‍රාණය පිඹිමු. 



(තරුණ ජනමාධ්‍යකාරයන් රතුපස්වලට ගියේ කවර අරමුණකින්දැයි එක්වරම අප ගැන නොදන්නා කෙනෙකුට පැනයක් මතුවෙන්නට පුළුවන. මේ අප ගැන වූ කෙටි හැදින්වීම ඒ සහෝදරත්වයටයි.. 
තරුණ ජනමාධ්‍යකාරයන් කියන්නේ කවුද?





Wednesday 10 June 2015

මොකද්ද බොල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ?




සුදුසුකම් නැතුව ඉතාම පහසුවෙන්න කරන්න පුළුවන් රස්සා දෙකක් තියෙනවා කියලයි රටේ ප‍්‍රසිද්ධ. එකක් දේශපාලනය. අනෙක ජනමාධ්‍ය. ඒක එහෙමමද කියලා හොයනවට වඩා යම් පමණෙකින් හෝ එය ඇත්ත නම් ඒකට උත්තරයක් හොයන්න අපිට  ඕන වුණා. ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිවෙන්නේ ඒ අනුවයි. ඒ සමග බැඳුණු තවත් හේතු ගණනාවක් තිබුණත් මම කිව්ව කාරණය මූලික හේතුවක් වුණා. ඒකයි ඒ ගැන මෙතැන ලිව්වේ.



ඇත්තටම තමන් වැඩ කරන ක්‍ෂෙත‍්‍රය හැර අනෙක් සියලු ක්‍ෂෙත‍්‍රයන්හි දොස් දකින්න නුගුණ කියන්න දක්ෂයන් බහුතරයක් ඉන්න රටක් මේක. විශේෂයෙන්ම මේ සියලු විපත්ති කරදර වෙන්නෙ තමන් හැර සෙසු සමාජය නිසාය යන ආකල්පය අපේ ඇගපත පුරාම මුල්බැහැගෙන තියෙන්නෙ. හැබැයි හැම දෙනාම අවංකවම හිතලා තම තමන්ගෙ ක්‍ෂෙත‍්‍රවල අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ සඳහා පෙනී ඉන්නවා නම් දේශපාලකයටම සියල්ල පවරන්න  ඕන නෑ.. 

තීරණාත්මක කාලපරිච්ඡෙදවල බිහිවෙලා ඉදිරියට ඇවිත් කිසියම් කාර්යභාරයක් කරපු ජනමාධ්‍ය සංවිධාන කීපයක්ම මේ රටේ තිබෙනවා. ඒත් ඒ බොහෝ සංවිධානවල සැකැස්ම ගත්තොත් ඒවා පරණ වෙලා. ඒ වගේම ඒවායේ නියෝජනයත් පරණ වෙලා. තරුණ පිරිස ඒ වටා රොඳ බැඳගන්නෙ නැති තරම්. සමස්ත සමාජය පුරාවට පැතිරිලා තිබුණු අවිශ්වාසය ජනමාධ්‍ය සංවිධාන කෙරෙහිත් එල්ල වෙලා. ඒ කවර සීමාසහිතකම් තිබුණත් එකී සංවිධානවලිනුත් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට සැළකිය යුතු වටිනාකම් හා ඇගයීම් රාශියක්ම එකතු වුණා. 



දැන් අපි ගැන කතා කරනවා නම් අපේ ඉලක්කය අපේ ක්‍ෂෙත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරගැනීමයි. කෙටියෙන් කිව්වොත් රෙද්දක් ඇදගෙන රස්සාව කරන්න පුළුවන් තත්ත්වයට ඒකට කිසියම් හෝ පරිවර්තනයක් අත්පත් කරගැනීමයි. ඒක මෙහෙම මියනවා වගේ පහසු ක‍්‍රියාවලියක් නෙවෙයි. වැඩසටහන් හතර පහකින් ළගා විය හැකි ඉලක්කයකුත් නෙවෙයි. දුරදර්ශීව හිතලා අවංකව කැප වෙලා කළ යුතු බුද්ධිමය ගනුදෙනුවක ප‍්‍රතිපලයක්. ඇත්තටම පුළුල් හා ගැඹුරු වැඩක්. 

එතැනදි අපිට උදවු  ඕනෑ සමාජ කොටස් රාශියක්ම සිටිනවා. විශේෂයෙන්ම පොදු සමාජය. අපිට හරිම වැදගත්. මොකද පොදු සමාජයේ කොටසක් ලෙස තමයි අපිත් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අවංක විවේචනය වැදගත්. සංවිධානයක් හැටියට ඒ විවේචනයට දොරගුළු අපි විවරකරලයි තිබෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පොදු සමාජ අගතීන්ගෙන් ව්‍යාධීන්ගෙන් රෝග පීඩාදියෙන් පෙලෙන ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට බෙහෙත් කරන්න තමයි මේ උත්සාහය. ඒ වෛද්‍ය භූමිකාවෙ එක කලාපයක් ඔබට බාරයි..

(මේ අපි අන්තිමට කළ වැඬේ)ඔන්න පාර..

මේක ගැඹුරු සාකච්චාවක්..දැනට ඒ ආරාධනාව කරන්නම්..අපි කරපු වැඩ හා අපේ දර්ශනය ගැන ඉදිරියේදී කතාකරමු..දැනට මේ සහෝදරත්වයේ ආරාධනාව බාරගන්න..

Monday 8 June 2015

අස්ගිරි මහ නාහිමියන්ට මහින්ද බය වේවි ද?

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ ඇයි කියලා සවිස්තරාත්මකව නිවේදනයකින් කිව්වේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නෙ විශ්වාසභංගය ගේන අයවත් නෙවෙයි. ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර ගියපු හිටපු ජනාධිපති. පොඩ්ඩක් කලබල වුණා වැඩිද මංදා. මහින්ද මහත්තයාගෙ ඉක්මනට බළලා මල්ලෙන් එලියට පැන්නා. එතකොය විශ්වාසභංගෙ කාගෙ වැඩක්ද කියලා වැඩේ දැන් ක්ලියර්නෙ.

විශ්වාසභංගෙ අයිතිකාරයා...

ඒක එහෙමයි කියමුකෝ. මේ අතරේ රටේ මහනාහිමි කෙනෙකුත් තමන්ගේ නිල මතය රටට කියනවා. හැබැයි මහනාහිමියන් කියන්නේ තාම නිල බලේ ඉන්න කෙනෙක් මිස ගෙදර ගිය කෙනෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියෝ...

අත්ථදස්සි නාහිමියන් කියන කතාව

නාහිමියන්ගෙ කතාවට අනුව නම් දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. මෙහෙම වෙලාවක අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම තමන් අනුමත කරන්නේ නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා.

කුකුල් මස් සාදන ආකාරය කියන අතරේ වුණත් අපේ හාමුදුරුවනේ කියලා නිරායාසයෙන් කියවෙන්න තරම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වූ සිත් ඇති අපේ හිටපු ජනාධිපතිට ඔන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ගලගම අත්තදස්සි නාහිමියන්ගේ වදනට කීකරු වේවිද? ඕක තමයි බලන්න ඕනේ..

හැබැයි ඕක බලන්න ඕනේ මේ බෞද්ධ නඩේ පරණ කෙරුම්වලින්ම මිස කියන කතාවලින් නම් නෙවෙයි. සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ දාන්න එපාය කියලා ත්‍රෛනිකායික නාහිමිවරු නිවේදනයකින්ම කියලත් රාජපක්ෂ මහත්තයා වැඩ කරපු හැටි අපට අමතක නෑ..  දළදා මාළිගාව වටේ රේස් පදින්න දෙන්න එපාය කියලා මල්වතු අස්ගිරි නාහිමි දෙපළ කට කැඩෙනකන් කිව්වත් ජය සිරිමා බෝධියේ ඔළුව ගහගෙන පොටෝවලින් පත්තර පුරවපු මේ මහා බෞද්ධයා වැඩ කළ හැටි අපට අමතක නෑ.. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මතයක් දරපු නිසා මිහින්තලේ රාජමහා විහාරයට සළකපු සැලකිල්ල මිහින්තලේ මිනිස්සු දන්නවා. මේ විදියට කියන්න ගියොත් අපේ හාමුදුරුවනේ කිය කියා රඟන මේ නළු දේශපාලන බලවේගය අපේ හාමුදුරුවන්ට ඇට්ටි නෙවෙයි කුරුම්බැට්ටිත් හැලෙන්න සළකපු සැලකිල්ල රටම දන්නවා. 

අනේ ඉතින් දැන් මේ අස්ගිරි මහානාහිමියෝ දෙන පණිවුඩේ ආයෙත් අදාළ වෙන්නේ මේ ඊනියා බෞද්ධ නඩේටම තමයි. මොකද විශ්වාසභංගය ගෙනඑන හේතුව තතු ඇතිව පහදලා දීලා ඒකෙ නිල අයිතිකාරයා තමන් කියලා රාජපක්ෂ මහත්තයා රටටම කියලා තිබෙන නිසා.. ඔළුවක් තියෙනවා නම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නෑ කියලයි මහනාහිමියන් කියන්නේ..දැන් අපිට බලන්න පුළුවන් ඔළු තියෙන අය කවුද කියලා.. ඒ වගේම රාජපක්ෂ කල්ලිය සවන් යොමුකරන්නේ මොන පැත්තටද කියලයි.. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ද ගලගම අත්ථදස්සි නාහිමිට ද? 

Thursday 21 May 2015

අලුත් පරපුර හා යුද සැමරුම....



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ. බුදු දහමේ දාර්ශනික හරය සරල ගැමි වහරින් කියැවෙන මෙමඟින් හඟවන්නේ මැදුම් පිළිවෙත. ඕනෑම දෙයක අසීමාන්තික බව හේතුවෙන්නේ උන්මාදයකට. රැලි සේ සමාජයේ රළ නැගෙන විවිධ ප්‍රවණතාවල ද බොහෝවිට දකින්නට තිබෙන්නේ මේකමයි. ඇතැම් උන්මාදයන් අහිංසකයි. ඇතැම් ඒවා හාස්‍යජනකයි. කාලයක් චේ මෙන් තොප්පි පළඳින තරුණයෝ තවත් කාලයකදී බොබ් මාලේ මෙන් කොණ්ඩය වවනවා. නැත්නම් බෙකම් අනුගමනය කරනවා. එහෙමත් නැත්නම් ශිහාන් මිහිරංග එතැනට එනවා. තරුණියන් ද ඊට දෙවැනි නෑ.. එහෙත් කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණ ආදිය  මෙන් සෑම උන්මාදයක්ම එසේ අහිංසක නෑ. ඇතැම් ඒවා මාරාන්තිකයි. ජන සමාජයක සමගියට සමාදානයට අන්තරායදායකයි. එහෙත් ආකර්ශනීය මිථ්‍යා මතවලින් ඔතා ගත් කළ කවර සර්පයකු වුවද දෂ්ට කරනතුරු අපි දන්නේ නෑ. බොහෝවිට එවැනි උන්මාදයන් අත්වැල් බැඳගන්නේ රටේ දේශපාලනය එක්කයි. එහෙම අතිශය නරක ලෙස ප්‍රවණතාවක් ලෙස වර්ධනය කරන්නට දේශපාලකයන් උත්සාහ ගත් උන්මාදයක් හැටියට යුද්ධෝන්මාදය හඳුන්වන්න පුළුවන්.

යුද්ධය කොතැනක කවර පරිමාණයෙන් කවුරුන් විසින් කා හට එරෙහිව දියත් කරනු ලැබුවත් එහි පලය නම් මිහිරි එකක් නෙවෙයි. ශිෂ්ටසම්පන්න කවර සමාජයක් වුවත් අලුයම ලූ කෙල පිඩක් වගේ යුද්ධය බැහැර කරන්නේ මේ විශ්ව සත්‍ය හින්දයි. ඒත් දේශපාලනයට ඕනෑම දෙයක් ඔලුවෙන් හිටවන්න පුළුවන්. 
විශේෂයෙන්ම නොදියුණු රටවල පවතින පසුගාමී ජන හද මනස ඉතාම ලාබයට කළඹන්නට දේශපාලනයට පුළුවන්. පැණසර නොවන දේශපාලකයන් ඒ සඳහා පාවිච්චි කරන්නේත් සමාජයට අන්තරායකාරී දෘෂ්ටිමය අවි ආයුධ. ඒ හුදෙක් බලය සඳහාමයි. පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවටත් එවැනිම අන්තරායකර ඖෂධයක් පාලක ප්‍රජාවත් ඒ හා අත්වැල් බැඳගත් විවිධ අනුගාමික කොටසුත් එන්නත් කළා. ඒ තමයි යුද උන්මාදය. පාලකයන්ට නම් එය දිව ඔසුවක්ම වුණා. මොකද රැකියා වියුක්තිය, ආර්ථික පීඩනය ආදිය නිසා ආතතියට ලක්වන තරුණ ප්‍රජාවට සිය පීඩනය මුදාහරින මඟක් බවට හිංසනය පත්කරන්න පුළුවන් නිසා. එතකොට තමන්ගෙ පීඩනේ මුසල්මානුවගේ හරි දෙමළාගේ පිටින් හරි යවන්න තරුණයන්ටත් පුළුවන් වුණා.
ඒකෙන් අන්තිමේදි නිර්මාණය කරන්නේ සාහසිකත්වයේ විෂම චක්‍රයක් වුවත් පෙරලා ඒකත් දේශපාලනිකව සිය මතවාදය ශක්තිමත් කරන්නට දේශපාලකයන් නොමසුරු වුණා.

දැන් රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණත් නුවර, ගම් නියම්ගම් ගිනි තැබූ පැරැණි පන්නයේ හනුමා නැටුම් අදටත් ඇතැම් තැනකින් හිස ඔසවන්නට කැස කවන බවක් පේනවා. එහෙත් ඒ හනුමාලාට දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මොකද දේශපාලන හයිය හත්තිය නැති වුණාම මූල්‍ය ප්‍රාග්ධනයත් අහිමිවෙද්දී විශාල වශයෙන් තරුණ ප්‍රජාව ඒකරාශි කරගැනීමට තිබුණු ශඛ්‍යතාවය දියවෙනවා.  ඒ වෙනුවට තරුණ පරපුරත් යුද්ධයට එරෙහිව කතාකිරීම මේ ව්‍යාපෘතිධාරීන්ගේ ඇසට කටු අනින දසුනක් වෙලා. තරුණ කලාකරුවන්, නාට්‍යකරුවන්, සාහිත්‍යකරුවන් ඇතුලුව විවිධ ප්‍රකාශන මාධ්‍යන්හි දක්ෂ පක්ෂකම් ඇති සමාජ සංවේදී තරුණ තරුණියන් පිරිසකගෙන් සැදුම්ලත් අලුත් පරපුර සංවිධානය යුද සැමරුම් වෙනුවට සහෝදරත්වයේ සැමරුමක් කරමින් පසුගියදා එවැනි වැඩකට අතගසාතිබුණා. වැඩේ තිබුණේ නෙළුම් පොකුණ ඉස්සරහ. ඒ හරියටම මැයි 19 වැනිදා. අලුත් පරපුර ප්‍රශ්නකර තිබුණේ යුද්ධයක අවසානයක් මිස ජයග්‍රහණයක් තිබේද කියලයි.
ඇත්තටම මේ ප්‍රශ්නය වඩාත් අධිසංවේදී විදියට ජන සමාජයෙන් ඇහුවේ අහිංසාවාදී දහමක් ලොවටම දායාද කළ බුදු රජාණන්වහන්සේ. එහෙත් පෙර කී ලෙසටම යුද්ධය උන්මාදයක්ව අවිද්‍යා කැට මුගුරු අතට ගත් ජාතිවාදී ධාරාවෝ කිසිවිටෙක් බුදු වදන සිහිපත් කරන්නට උත්සාහ කළේ නෑ. ජාතිකානුරාගය මුවාවෙන්  ජාතිවාදී නෙයියාඩම් නටමින් සමස්ත ජන මනසම දිය සුළියක් සේ කළම්භනය කරලා ඡන්ද ගැරීමේ සටන තමයි ඔවුන් ඊට වඩා උතුම්කොට සැළකුවේ.

ජනමාධ්‍යත් දේශපාලන අධිකාරිවාදයත් එකට මුසු වූ කළ ඇතිකරනු ලබන මතවාදී බලපෑමට මුහුණදීමට තරම් අදටත් අපේ පොදුජන සමාජය ශක්තිමත් නෑ. දේශපාලකයාට ගැතිකම් නොකරන ස්වාධීන බුද්ධිමතුන්ගේ අඩුව ඒකට හේතුවක්. මේ නිසා බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙන දේ වුණත් කොට්ටඋරයක් වගේ නොපිට ගසා පැත්ත පෙරලා බොරුවකට පරිවර්තනය කරන්නට දේශපාලකයාට පුළුවන්. යුද්ධය අවසන් වුණාට පස්සෙත් යුද්ධය පැවැති කාලයට වඩා සද්දයෙන් යුද්ධය සමරන්නට දේශපාලකයන්ට දැඩි කැක්කුමක් හටගෙනතිබුණේ මේ දේශපාලන ව්‍යාපෘතිය නිසයි.

 දැන් යුද්ධය නිමාවෙලා සය වසරක් ගතවෙද්දී අලුත් දේශපාලන පරිසරය එක්ක තරුණ පරපුරටත් ස්වාධීනව වැඩකට අතගහන්න අවස්ථාවක් උදාවෙලා. අන්න එතැනදි  තරුණ පරපුර හැටියට ආපසු හැරී බැලිය යුත්තේ යුද්ධයේ ශේෂ පත්‍රය කුමක්ද කියලයි. උතුරින් නැගෙනහිරින් දකුණෙන් විතරක් නෙවෙයි රට වටින්ම රෑ මැදියමේ ඇසෙන තරුණ වැන්දඹුවන්ගේ ශෝකී ගී රාවයට ඔබ කවුරුන් හෝ අද වනතුරු සවන් දුන්නාද? අත පය ඇහැ කණ අහිමිව ජීවිතයේ අඩක් දරාගෙන නිවාසවලටම සින්න වී සිටින සිංහල දමිළ තරුණයන්ගේ හදවත් අභ්‍යන්තරයෙන් නැගෙන වේදනාකාරී හඬට සවන් යොමුකළාද?  යුද්ධයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් ලෙස නිෂ්පාදනය කරන ලද්දා වූ මවුපියන් අහිමි දරු සිඟිත්තන්ගේ හුදෙකලා වූ ආත්මයන් සමඟ කෙටි වේලාවක් හෝ ගතකළාද? අතින් සටන් පාඨ උසුලාගෙන කටින් බතල කොල හිටුවන තුංමුල්ලේ දේශප්‍රේමී දේශපාලකයන්ගෙන් තරුණ පරපුර අහන්න ඕනෑ මේවයි.

රජ කාලේ රජුන් අතරම ද්වන්ධ සටන් ගැන අහල තිබුණත් අද කාලේ යුද්ධයක් ඇතිවුණොත් පෙරමුණට යන රජ පුතුන් ගැන කිසිදු තැනක සඳහන් වෙලා නෑ. ගියත් ලංකාවෙ යුද්ධෙ නම් උන් යන්නේ රාජකීය හමුදා පුහුණුව ගන්න වෙන රටකට. වෙඩරු, කිරි, ගිතෙලින් කවා පොවා රජ සැප දී හැදූ වැඩූ සිය දූ පුතුන්ට එවැනි වේදනාවක් දෙන්නට කිසිදු දේශපාලක අම්මෙක් අප්පෙක් කැමැති නෑ. ඇත්ත ඒකයි. ඒත් යුද්ධ කරන්නට නම් කොල්ලන් කෙල්ලන් ඕනෑ. සැප සිරි දී නෙක අදරින් වැඩු දරුවන් කරදිය ගැඹරෙන් එතෙර යවලා යුද්ධ කරන්නට අවශ්‍ය මානසිකත්වයට දුප්පත් දුවා දරුවන්ගේ මනස සන්නද්ධ කරන්නේ ඒ හින්දයි. අල්ලස් කොමිසමේ නම කියනවිට දණ බිම ඇණෙන මට්ටමට බයවෙන දේශපාලකයන්ගේ ඇත්ත වීරාභිවන්දනයක් අද දවසේ වඩ වඩාත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. සිය දේශපාලන ව්‍යාපෘති පරාජයට මෙන්ම පාරාජිකාවට පත්වද්දී නැවතත් යුද උන්මාදය නමැති හනුමාන්ට අත තබන්නට ඔවුන් උත්සාහ කරන්නේ ද මේ හෙළිදරව්වට ඇති බිය නිසාමයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක යුද්ධය පිළිබඳ අලුත් පරපුරේ වෙනස් කියවීම විශිෂ්ට වෑයමක් බව නොකියා වටේ යෑම කුහකකමක්. එහෙත් එතැනින් පමණක් අලුත් පරපුරට සිට විෂය පථය සීමාකරගන්නට බෑ. දැන් ඔවුන් කරන්න ඕනෑ යුද්ධයෙන් සැබැවින්ම පීඩාවට පත් වින්ධිතයන්ගේ සැබෑ සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්න ජනගත කිරීමයි. යුද වෙළෙන්ඳන්ගෙන් ද සාම වෙළෙන්ඳන්ගෙන් ද ඔවුන්ට වෙනස් මගක් ගන්න එතකොට පුළුවන්. මේක සහෝදරාත්මක යෝජනාවක්. පුළුවන් නම් ගන්න. 





Tuesday 12 May 2015

මහින්ද බලන්නට ආ ජනතාව කවුද?

‘‘මම තනතුරු ඉල්ලුවේ නැහැ. ඉල්ලන්නෙත් නැහැ. තනතුරු ජනතාව තුළින් ඉල්ලන දෙයක්‌. ජනවාරි 09 වැනිදා ජනතාව ඇවිත් මාව හමුවුණා. ජනතාව වියදම් කරගෙන මාව බලන්න ආවා. මට හිතුණා මා විසින් වියදම් කරගෙන පන්සල්වලට, දේවාලවලට ඇවිත් ජනතාව හමුවන්න. ඇත්තටම මේ දවස්‌වල ජීවත්වන්නේ පන්සල්වල, දේවාලවල.“....... මහින්ද රාජපක්ෂ
                             
                                 මේ
පෙරේදා(10) හික්කඩුව සීනිගම දේවාලයට ආපු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට කියපු කතාව. ඇත්තටම මේ කතාව දැක්කාම හිතුණේ ලංකාවේ ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තාමත් මහින්ද රාජපක්ෂ නම් පාඩමක් ඉගෙනගෙන නැති පාටයි. තනතුරු ඉල්ලන්නේ නැතිව තනතුරුවලට පැමිණීමක් ආගමික ශාසනවල කෙසේවෙතත් දේශපාලනයේ නම් නෑ. දේශපාලනය කියන්නේම බලය සඳහා බලය පසුපස දිවයෑමක්. ඒ දිවයෑම නියතියක් නිසා තමයි මහින්ද රාජපක්ෂ තාමත් පන්සල් කෝවිල් ගානේ බඩගාන්නේ. එහෙම නැත්නම් ජීවිතයේ සැඳෑ කාලයවත් නිස්කලංකේ නිවාඩු පාඩුවේ ගතකරන්න ඔහුට පුළුවන් වෙන්න ඕනෑ. මේ නම් බලකාමයම මිස වෙන කිසිවක් නෙවෙයි.

දෙවැනි කාරණය තමයි ඔහු කියන ජනතාව. ජනවාරි 9 වැනිදා ඇවිල්ලා ඔහුව මුණගැහුණාය කියන ජනතාව. දේශපාලනයේදී සාමාන්‍ය ජනයා මුලාකරන ලෙස බස හැසිරවීමට ලංකාවේ බොහෝ දේශපාලකයන් දක්ෂයි. ඒ දක්ෂකම කියන්නේම අඩුදේශපාලනික දැනුමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවම සංකල්පීය දැනුමක් සහිත සමාජයක ජයටම ඇතිකරගන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක දක්ෂකමට වඩා කපටිකම. මහින්දගෙ කතාව දකින සාමාන්‍ය මනුස්සෙයකුට වුණත් එක්වරම හිතට එන්නේ ඇත්තටම තාමත් මහින්ද එක්ක මිනිස්සු ඉන්නවා වගේ අදහසක්. ඒත් ඇත්ත නම් මේ රටේ අතිබහුතර ඡන්දයකින් ඔහුව පරාජයට පත්කරලා ගෙදර යවලා ඉවරයි කියන එකයි. 

අතින් වියදම් කරගෙන පන්සල්, දේවාල ගානේ යන්නේ මිනිස්සු කරදරයක් වුණාම. ඒ වගේම තමයි ලංකාවේ දේවාලවලට යන සැළකිය යුතු පිරිසක් ඉන්නවා පාතාලයන්. පාතාලයොත් හොරුත් දූෂකයොත් දෙයියනේ කියලා සැප විඳලා ඉන්න හැටි දැක්කාම නම් දෙවියන් හා පාතාලය අතර ඇති සම්බන්ධය ශක්තිමත්දෝ කියලා හිතෙනවා. එහෙම බැලුවාම බලය තිබුණු කාලේ හැසිරුණු හැටි රෑට මතක් නොවෙන්න විදියකුත් නෑ නෙව. ඉතින් අතින් කාලා හරි පන්සල්, කෝවිල් ගානේ ගිහිල්ලාවත් හිත විරේක කරගන්න එකට නම් අපට දොසක් කියන්න බෑ. 

Thursday 30 April 2015

ශාන්ත විජේසූරියගේ ආගමනය...

මල්ලී.. මම ශාන්ත.. මම ආවා.. වෙලාව හරියටම හවස 5.18 යි. වසර දෙකක් තිස්සේ නේපාලයේ කත්මණ්ඩුවල සිර කර තිබූ නිර්භීත මාධ්‍ය අකුරක මනුස්ස හඬ හෑන්ඩ් ෆෝන් එකට ගලාගෙන එන්නට වුණා..අම්මටහුඩු.. මට කියැවුණේ එච්චරයි. කාලයක් තිස්සේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ (පත්‍රකලාවේදීන්ගේ)සංගමය හැටියටත් අප පෞද්ලිකවත් ගත් මහන්සියක ප්‍රතිපලය.. ශාන්ත අයියා මුණගැසීමේ දැඩි වුවමනාව තිබුණත් රාත්‍රී සේවයත් බහුල රාජකාරිත් නිසා ගමන දවසකට දෙකකට කල්දමන්නට සිදුවුණා. කොහොම වුණත් ශාන්ත විජේසූරියගේ පැමිණීම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නම් ලොකු හයියක්.

ශාන්ත විජේසූරිය කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඇත්ත කතාවේ ජීවමාන සාක්කියක්. ඒක රැකගත යුතු වුණේ ජනමාධ්‍ය නිදහස ගැන පොර ටෝක්ස් දෙසන බොහෝ දෙනෙකුට නොදන්නා පැති ගැන කතාකරන්නට ඉඩක් ඉතුරු කරගන්න ඕනෑ වුණ නිසයි. කොහොම වුණත් දැන් ශාන්ත නැවතත් ලංකාවේ. දීර්ඝ නිහැඬියාවකින් පසු කුරුල්ලාගේ නාදය ආයේමත්. ඒක මොන කූඩුවෙන් ඇහේවිද එහෙම නැත්නම් ඒ නාදය කූඩු නොවී නිදහසේම ගලායාවිද කියලා දැන්ම කියන්න අමාරුයි. අලුත් පත්තර පටන්ගන්න තවත් පත්තර අර්බුදයට යන කාලයක් ඇවිත්. කොහොම වුණත් කර්මාන්ත ශාලාවල අයිතිය අපේ නෙවෙයි. අපි වැටුප් ශ්‍රමිකයෝ. එතැනදි ශාන්තලා අපි කවුරුත් එකයි. ඉතින් තව ටික දොහක් බලාගෙන ඉම්මු වෙන්නේ මොකද කියලා..

Wednesday 29 April 2015

18, 19 හා මන්ත‍්‍රී හෘද සාක්ෂිය

19 වැනි සංශෝධනය ගැන එක එක කතා කියවෙනවා. විවිධ මතිමතාන්තර පලවෙනවා. හැබැයි ඒක මොන විදියට සම්මත වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට යන්න හදද්දී කකුලෙන් අදින රටක ඒකත් නිකන් ඉන්න එකේ අහලා ගියත් මදෑ වගේ තමයි. උදේ පාන්දර ඉදන් පාර්ලිමේන්තුවේ තැපලා වෙන්නේ මොකද්ද කියලා බලා කියාගන්න ලොකු උනන්දුවක් තිබුණා. රාත්තිරි 12ටත් ළං වෙනකන් වැඬේ ඇදෙද්දි නම් අමාරුව සනීප වුණා.

විමල්, දිනේෂ්, වාසු තමයි 19 කොට්ට උරයක් වගේ අනෙක් පිට හරවන්න සෑහෙන්න ප‍්‍රතිගාමී වැඩ කොටසක් කළ බව පෙනුණේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා මරාගෙන මැරෙන්න හදපු මිනිස්සුද මේ කියලයි ඒ අයගේ කතා අහද්දී මට නම් හිතුණේ? ඒ වගේම නොදන්න ලතින් කතා කොරන්න ගිහින් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් තමන්ට තිබෙන දැනුමේ දරිද්‍රතාවය පෙන්නපු එක ගැන නම් අපි විමල් සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. වාසු නම් ටිකක් ජාමේ බේරාගත්තත් දිනේෂ් පවා වැඬේ නෝන්ඩි කරගත්තා. උදාහරණෙකට වගන්ති කීපයක්ම සම්මත වෙලා ඉස්සරහට යද්දී සම්මත වෙලා අහවර වූ වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කරන්න පවා දිනේෂ් ට‍්‍රයි කළා. පස්සෙදි කතානායකට සිද්ධවුණා දිනේෂ්ගේ පමාව පැහැදිලි කරන්න.

වඩාත්ම ශෝකජනක හා විස්මයජනක කතාව කළේ නීති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහත්තයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය කරුණු ගැන එතුමා දක්වපු උනන්දුව අනේ දෙයියනේ 18 ගේන වෙලාවෙත් තිබුණා නම් කියලා තමයි අපට හිතුණේ. උදේ පාන්දර ඉදන් කෙරුණු මන්ත‍්‍රීවරුන්ගේ කතා අවසානයේදී කියවූ කාරණාව තමයි මට නම් දවසේ පොයින්ට් එක වුණේ. එරික් වීරවර්ධන හැර සියලුම දෙනාම වාගේ 18 ට අත උස්සපු එක ගැන කණගාටු වෙනවාය, ලැජජ වෙනවාය, දුක්වෙනවාය වගේ කතා කිව්වා. ඒ හැම කතාවකින්ම අවසාන විග‍්‍රහයේදී ඔප්පුවුණේ වෙන මොකක්වත් නෙවෙයි මේ මිනිස්සු ඡුන්දය දීලා තියෙන්නේ හෘද සාක්ෂියට අනුව නෙවෙයි කියන එකයි. ඔන්න ලංකාවේ පාර්ලිමේන්ත මන්ත‍්‍රීවරු ප‍්‍රසිද්ධියේම ඒක පිළිගත්ත හැටි..

Friday 24 April 2015

රනිල් දුටු ජවිපෙ ...

පක්ෂ දේශපාලනයේදී සෙසු දේශපාලන පක්ෂ උත්කර්ෂයට නැන්වෙන විදියට කතාකරන්න බොහෝ කතිකයන් පෙළඹෙන්නේ නෑ. එහෙම පෙළඹුණත් ඒක සන්ධානගතවීමක තිබෙන උපක්‍රමිකභාවයෙන් එහා යන්නේ නෑ. අනෙක් අතට ලංකාවේ දැන් තිබෙන වාචාල දේශපාලන කතිකයන්ගෙන් නම් කොහොමටවත් සෙසු දේශපාලන පක්ෂයක හොඳක් අහන්න ලැබෙන්නේම නෑ. ලංකාවේ සාමාන්‍ය ජන මනස හදලා තිබෙන්නේත් පුළුවන් තරම් ඇටෑක් කරන එකා හොඳම කතිකයා හැටියට නිසා ඔළුවක් තිබෙන කෙනෙක්වත් ඒකට පෙළඹෙන්නේ නෑ. මේ තත්ත්වය සාමාන්‍ය ජන රැලිවල ඉඳලා රූපවාහිනී දේශපාලන සංවාද දක්වාම අද ව්‍යාප්ත වෙලා. අත් දෙක බැඳගෙන ඊනියා සිනාවකින් සරසාගන්න මුහුණුවලින් පටන්ගන්න සාකච්ඡා මැදදී ගුටි ඇනගෙන අත පය විකන බලු පොර දක්වා වූ වර්ධනය පහුගිය කාලේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඇති පදම් දැක්කා.

ඒත් වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් අතිශය සංයමයෙන් යුතුව දේශපාලන නායකයකු අදහස් දැක් වූ අවස්ථාවක් පහුගියදා දුටුවා. ඒ රනිල් වික්‍රමසිංහ විසින්. උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවන සත්‍යාගාරයේ දී ඔහු දැක් වූ ඒ අදහස වඩාත් සුවිශේෂි. මොකද ඔහු ඒ අදහස දැක්වූයේ රනිල්ගේ යූඑන්පීය කියලා තමන්ගේ පක්ෂය පවා හොඳට පතුරු ගහන ජනතා විමුක්ති පෙරමුණ ගැන නිසයි.

තරුණ කාලේ රනිල් විජේවීරගේ කතා අහන්න ජවිපෙ ජනරැලිවලට ගිහින් තිබෙනවා. ඒ අතීතය අලලා තමයි නිවේදකයා ප්‍රශ්නය අහන්නේ. ඒ මෙන්න මෙහෙම.

උපුල්- 1971 ජනරැලි නැරඹීමට ගිය පිරිස අතර 22 හැවිරිදි තරුණ රනිල් වික්‍රමසිංහ ද විය. ඔහුට හැඟුණේ මෙතෙක් විසඳී නැති ජනතා ප්‍රශ්නවලට ජවිපෙ නායකත්වයක් දී ඇති බවයි. ඒ කියන්නේ ඔබතුමා තරුණ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් බලන්න ගිහින් තිබෙනවා රෝහණ විජේවීරගේ කතා අහන්න. එදා සහ අද ජවිපෙ දේශපාලනය ගැන ඔබේ අදහස මොකද්ද?

මෙන්න රනිල්ගෙ උත්තරේ


රනිල්- එදා රෝහණ විජේවීර එලියට ඇවිල්ලා රැස්වීම් පවත්වද්දී ඒ රැස්වීම්වලට කන් දෙන්න එකකට දෙකකට මමත් ගියා. වැඩිය පැවැත්වුවේ නෑ. මොකද අප්‍රේල් මාසේ කැරැල්ල තිබුණා. එදා සමාජවාදය ඉදිරියට ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ මාක්ස්වාදී සමාජවාදය කියලා පෙන්වන්න බැලුවේ. මම රෝහණ විජේවීර දුන්න ඒ මාර්ගයට එකඟ වුණේ නෑ. ඒක සාර්ථක වෙන්නේ නෑ. අද මට පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ අද තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී... සමාජවාදයත් ඒ දෙක අතර තිබෙන ඒ ප්‍රවාහයට ඇතුල්වෙන්නේ කොහොමද.... වාමාංශික පක්ෂයක් හැටියට කොහොමද වැඩකටයුතු කරන්නේ. එතැන මට පෙනෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙත් විවිධ ප්‍රශ්න. විපර්යාසයක් වෙන අවස්ථාවකදී එහෙම ප්‍රශ්න ඇතිවෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලෙන් පස්සේ මේ තිබෙන ඡන්දවලින්  යූ.එන්.පී විරෝධී ඡන්ද කොටසක් තමන් ලබාගන්නේ කියන ප්‍රයත්නය තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා තිබෙන්නේ. ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා මේගොල්ලෝ ගන්න තීරණ අනුව තමයි කියන්න වෙන්නේ..  

සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම වෙනත් දේශපාලඥයකුගෙන් ඇහුවා නම් කොහොම උත්තරයක් ලැබේවි ද?

Thursday 9 April 2015

ආණ්ඩු පෙරලුණත් නේපාලයේ හිරවුණු ශාන්ත විජේසූරිය.......

ඕනෑම ආණ්ඩුවක ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතයන් පෙන්වීමට ඕනෑ තරම් නිදර්ශන දිනපතා පුවත් ගොඩෙන් පෙන්වන්නට පුළුවන්. ඒත් ආණ්ඩුවක් පෙරලන මට්ටමට මතු වන තරමේ සටන් පාඨ බවට ඒ සෑම සිදුවීමක්ම පත් වෙන්නෙ නෑ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එකී සිදුවීමෙහි ඇති දේශපාලනික බර මෙන්ම ජාතියක් හැටියට එම රටේ පුරවැසියනට වඩාත් සංවේදී වන කාරණා එහිදී ඉස්මත්තට එනවා. පැවැති පාලනය පෙරලාදැමීමේ දී එසේ ඉස්මත්තට පැමිණි සිදුවීම් අතර එක් කරුණක් වූයේ මර්දනය හමුවේ විදෙස්ගත මාධ්‍යවේදීන්. එහෙත් බොහෝ කාරණා වගේම ආණ්ඩුවට දැන් එය ද අමතක වී ගිය බවක් පෙනෙනවා.

එහෙම විදෙස්ගත වූ මාධ්‍යකරුවන් රැසක් අතරේ මට පුද්ගලිකව තදින් දැනෙන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා ගැන හිතේ ඇතිවෙච්ච තද කම්පාවත් ආයෙමත් බ්ලොග් අඩවියේ අකුරු කරවන්න එක හේතුවක් වුණා. එයා තමයි ශාන්ත විජේසූරිය. පිටුවහලේ ජීවිත ගත කරන මාධ්‍ය පිරිස අතරේ දකුණු ආසියානු රටක සිටින එකම මාධ්‍යකරුවාත් ඔහුයි. ලංකා ඊ නිිව්ස් කියන වෙබ් අඩවිය ජනප්‍රිය වෙලා කාගෙ කාගෙත් කතාබහට ලක්වෙන්න ගත්ත කාලේ දරුණු විදියට ඒකට දරදිය ඇද්ද ඇත්තම මාධ්‍ය පොරක් කියලා කියන්න පුළුවන් කෙනෙක් තමයි ශාන්ත විජේසූරිය කියන්නේ. හැබැයි එයාට සාමාන්‍ය මාධ්‍යකරුවන්ට නොතිබුණු දේශපාලන දැක්මක් තිබුණා. පවතින මාධ්‍ය වෙළෙඳපොලේ ඒ දේශපාලන දැක්මම තමයි එයාව මර්දනය කරන්න ඕන කියල ලැයිස්තුවට තල්ලුකළෙත්.

2012 ජුලි 5 වැනිදා ඔහුව නුගේගොඩදි පැහැරගන්න උත්සාහ කෙරුණේ එහි අවසාන පලය හැටියට. ඒත් සාහසිකයන්ගේ වෑයම පල නොදැරුව නිසා ශාන්ත බේරුණා. ඒ වනවිට ඔහු පැවැති ආණ්ඩුවේ මර්දනීය යාන්ත්‍රණය ගැනත් තදින් ලියමින් හිටියේ. ඒ වෙන කොහේවත් නෙවෙයි. වත්මන් මංගල සමරවීර විදෙස් ඇමැතිවරයා අධීක්ෂණය කළ එක්ස් නිවුස් වෙබ් අඩවියේ. ඒත් ඉහත කී පැහැර ගැනීමේ උත්සාහයෙන් පසුව ඔහුට විදෙස්ගතවන්නට විය. ආසියානු ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනයට සහභාගීවීමට නේපාලයට ගිය ශාන්ත විජේසූරිය නැවත ලංකාවට නොපැමිණෙන්නේ වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලැබුණු උපදෙස් මතය.

අද ඒ ආණ්ඩුව නෑ. ඒත් ශාන්තට නේපාලයෙන් ලංකාවට එන්නට විදියකුත් නෑ. හේතුව තමයි නේපාල රජය ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් හැටියට මිස සරණාගතයන් හැටියට නොසැළකීම.. එනිසා වීසා නැතිව සිටි කාලය වෙනුවෙන් රුපියල් පන්ලක්ෂ හැත්තෑ හය දහසක මුදලක් නේපාල රජයට ගෙවන්නට ඔහුට සිදු වී තිබෙනවා. සැබැවින්ම මෙය ඛේදවාචකයක්. ශාන්ත කියන්නේ කිසිදු විටෙක ලංකාවෙන් පලායන්නට සිටි මාධ්‍යකරුවෙක් නෙවෙයි. ඔහුව උපන්රටින් පිටුවහලට යැව්වේ පැවැති පාලනයේ දරදඩු මර්දකයන් විසින්. ශාන්තව නැවත ලංකාවට ගෙන්වීම මංගල සමරවීර කියන ඔහුගේ අතීත සගයාට සුළු දෙයක්. නමුත් වැඩේ නොවෙන්නේ ඇයි?

මේ ශාන්ත විජේසූරිය තමන් දැන් ගතකරන ජීවිතය ගැන කියන හැටි........

‘‘අපේ ජිවිත අවිනිශ්චිතය. අපි පැවැත්ම පිළිබද බරපතළ අර්බුදයකට මුහුන දී සිටිමු. අපේ මුල් කපා අපේ රටවල් වලින් උගුලා දැමීම නිසා, අපේ දරුවන් බිරින්දෑවරු දෙමව්පියන් සහ අපේ ඥාතීන් සිසී කඩ වී ඇත.සමහරුන් ගේ දරුවන් ,බිරියන් ,ස්වාමි පුරැෂයන් සහ ඥාතීන් මරා දමා තිබේ. හුදකලාව සහ කාලකන්නි කම අද අපේ දරුවන්, බිරියන් ,දෙමව්පියන් සහ ඥාතීන් මෙන් අපව වට කොට ගෙන සිටියි. නේපාලයේ අපට වැඩි කාලයක් රාත්රිව ගත කරන්නට සිදුව ඇත්තේ අදුරේය. නේපාල් ආණ්ඩුව එම රටේ ජනතාවට විදුලිය ලබා දෙන්නේ දිනකට පැය 06 කි. ලෝකයේ ජල මුලාශ්රන ඇති රටවල් අතරින් දෙවන ස්ථානය හිමි වන්නේ නේපාලයටය. නමුත් නේපාලයේ  අග නගරය වන කත්මණ්ඩු වල ජිවත් වන ජනතාව පානීය ජලය ලබා ගැනිම සදහා මුදල් ගෙවිය යුතු වෙයි.                                        
ධනවාදය නැමැති අදුරට එරෙහිව රැ දවල් නොබලා ලංකාවේ දී සටන් වැදුනු මට නේපාලයේ අදුරට සාප කරමින් බොහෝ කාලයක් සිටින්නට සිදු විය. නමුත් මා ඇතුළු ශ්රීා ලංකීය සරණාගතයන් කීපදෙනෙක්ට යු.එන්.එච්.සී.ආර්.සංවිධානයේ රුදුරු කප්පාදු වලට එරෙහිව පැන නැගි ඇති අරගලයට මග පෙන්විමට හැකි වී තිබේ.                                             

අප ජිවත් වන්නේ කදවුරු ගතව නොව නාගරිකවය.   කත්මණ්ඩු නගරයෙන් පිටට යෑම අපට තහනම්ය.  අපව හදුන් වන්නේ නගරික සරණාගතයන් කියාය. (Urban Refugee) යු.එන්.එච්.සී.ආර්. කාර්යාලය මගින් පෙබරවාරි මස වන තෙක් තනි සරණාගතයෙකු සදහා නේපාල් රුපියල් 5,750 ක් ගෙවු නමුත් මාර්තු මස සිට අපේ දීමනාවෙන් 25% ක් කප්පාදු කර ඇත. මා හට දැන් ලැබෙන්නේ නේපාල් රුපියල් 4,313කි.  ඇමරිකන් ඩොලර් 44 කි. ශ්රී. ලංකන් රුපියල් 6,900 කි.  එම මුදලෙන් කාමර කුලී රුපියල්  2 ,200 ක් විදුලි බිල රුපියල් 200ක් ගෙවු පසු මසක් ජිවත් විම සදහා මා අත ඉතිරි වන්නේ රුපියල් 1,913කි. පස් දෙනෙක් ගෙන් සමන්විත පවුලකට ජිවත් විම සදහා කප්පාදුවට පෙර 17,500ක් ගෙවු අතර දැන් එම මුදල 12.938ක් දක්වා කප්පාදු කර ඇත. නේපාලයේ පස් දෙනෙක් ගෙන් සමන්විත පවුලකට අවම පහසුකම් යටතේ ජිවත් විම සදහා රුපියල් 25,000 මුදලක් අත්යා්වශ්ය් වෙයි .  නවක සරණාගතයන් විශාල පිරිසකට එම කාර්යාලය මගින් සරණාගත භාවය පිරි නමා ඇතත් ,ඔවුනට සරණාගත දිමනාව ලබා නොදෙයි. ඔවුනට අද නේපාලයේ හිගා කෑම හැර වෙනත් විකල්පයක් ඉතිරි වි නැත. “
                                   

Wednesday 8 April 2015

බොරතෙල් බඳුනට නැවත බසිමි....



කැම්පස් උණෙන් පෙලී ලියන්නට ගත් බ්ලොගයට අකුරක් දාන්නේ කලෙකට පසුය. පත්තර රස්සාව ඉස්තරම්ම විනෝදයක් දුන් උණ බහින්න ගනිද්දී බ්ලොග් රසය ඇත්තටම වැළඳී ඇත්තේ දැන්දැයි සිතේ. ප්‍රකාශන මාධ්‍යක් හැටියට පත්තරය යනු පොදු ජනයාට තොරතුරු සපයන තැනක් මිස අපේ රජ දහනක් නොවන බව ඕනෑම පත්තරකාරයකුට දැනෙන්නේ කල්ගතවීමෙනි. දයාසේන ගුණසිංහයන් කැප නැති අඩවිය හැටියට හඳුන්වමින් ඉන් මිදී හිස් දෑතින් ගියේ එහෙයිනි. එදා ඒ ලෙවල් කරද්දී පුනරාගමනය කියවද්දී පරිකල්පිතව මවාගත් ඇත්ත දැන් ඇඟටම දැනෙමින් තිබේ. එහෙයින් තමන්ටම කියා තමන්ගේම හැඟීම් දැනීම් ලියන්නට...අඩුම ගානේ පත්තර ජීවිතේ නොලියැවෙන අකුරු දෙක තුන හලා මගේ බොර තෙල් බඳුන තව තවත් බොර කරන්නට  සිතා ගතිමි.

ඉතින් සකියනේ අවසරයි.....