ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ. බුදු දහමේ දාර්ශනික හරය සරල ගැමි වහරින් කියැවෙන මෙමඟින් හඟවන්නේ මැදුම්
පිළිවෙත. ඕනෑම දෙයක අසීමාන්තික බව හේතුවෙන්නේ උන්මාදයකට. රැලි සේ සමාජයේ රළ නැගෙන
විවිධ ප්‍රවණතාවල ද බොහෝවිට දකින්නට තිබෙන්නේ මේකමයි. ඇතැම් උන්මාදයන් අහිංසකයි.
ඇතැම් ඒවා හාස්‍යජනකයි. කාලයක් චේ මෙන් තොප්පි පළඳින තරුණයෝ තවත් කාලයකදී බොබ් මාලේ
මෙන් කොණ්ඩය වවනවා. නැත්නම් බෙකම් අනුගමනය කරනවා. එහෙමත් නැත්නම් ශිහාන් මිහිරංග
එතැනට එනවා. තරුණියන් ද ඊට දෙවැනි නෑ.. එහෙත් කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණ
ආදිය මෙන් සෑම උන්මාදයක්ම එසේ අහිංසක නෑ. ඇතැම් ඒවා මාරාන්තිකයි. ජන සමාජයක සමගියට සමාදානයට අන්තරායදායකයි. එහෙත් ආකර්ශනීය
මිථ්‍යා මතවලින් ඔතා ගත් කළ කවර සර්පයකු වුවද දෂ්ට කරනතුරු අපි දන්නේ නෑ. බොහෝවිට
එවැනි උන්මාදයන් අත්වැල් බැඳගන්නේ රටේ දේශපාලනය එක්කයි. එහෙම අතිශය නරක ලෙස ප්‍රවණතාවක්
ලෙස වර්ධනය කරන්නට දේශපාලකයන් උත්සාහ ගත් උන්මාදයක් හැටියට යුද්ධෝන්මාදය හඳුන්වන්න පුළුවන්.
යුද්ධය කොතැනක කවර පරිමාණයෙන් කවුරුන් විසින් කා
හට එරෙහිව දියත් කරනු ලැබුවත් එහි පලය නම් මිහිරි එකක් නෙවෙයි. ශිෂ්ටසම්පන්න
කවර සමාජයක් වුවත් අලුයම ලූ කෙල පිඩක් වගේ යුද්ධය බැහැර කරන්නේ මේ විශ්ව සත්‍ය
හින්දයි. ඒත් දේශපාලනයට ඕනෑම දෙයක් ඔලුවෙන් හිටවන්න පුළුවන්.
විශේෂයෙන්ම නොදියුණු
රටවල පවතින පසුගාමී ජන හද මනස ඉතාම ලාබයට කළඹන්නට දේශපාලනයට පුළුවන්. පැණසර නොවන
දේශපාලකයන් ඒ සඳහා පාවිච්චි කරන්නේත් සමාජයට අන්තරායකාරී දෘෂ්ටිමය අවි ආයුධ. ඒ
හුදෙක් බලය සඳහාමයි. පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවටත් එවැනිම අන්තරායකර
ඖෂධයක් පාලක ප්රජාවත් ඒ හා අත්වැල් බැඳගත් විවිධ අනුගාමික කොටසුත් එන්නත් කළා. ඒ
තමයි යුද උන්මාදය. පාලකයන්ට නම් එය දිව ඔසුවක්ම වුණා. මොකද රැකියා වියුක්තිය,
ආර්ථික පීඩනය ආදිය නිසා ආතතියට ලක්වන තරුණ ප්‍රජාවට සිය පීඩනය මුදාහරින මඟක්
බවට හිංසනය පත්කරන්න පුළුවන් නිසා. එතකොට තමන්ගෙ පීඩනේ මුසල්මානුවගේ හරි දෙමළාගේ පිටින් හරි යවන්න තරුණයන්ටත් පුළුවන් වුණා.
ඒකෙන් අන්තිමේදි නිර්මාණය කරන්නේ සාහසිකත්වයේ විෂම චක්‍රයක්
වුවත් පෙරලා ඒකත් දේශපාලනිකව සිය මතවාදය ශක්තිමත් කරන්නට දේශපාලකයන් නොමසුරු වුණා.
දැන් රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණත් නුවර,
ගම් නියම්ගම් ගිනි තැබූ පැරැණි පන්නයේ හනුමා නැටුම් අදටත් ඇතැම් තැනකින් හිස
ඔසවන්නට කැස කවන බවක් පේනවා. එහෙත් ඒ හනුමාලාට දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මොකද දේශපාලන
හයිය හත්තිය නැති වුණාම මූල්‍ය ප්‍රාග්ධනයත් අහිමිවෙද්දී විශාල වශයෙන් තරුණ ප්‍රජාව ඒකරාශි
කරගැනීමට තිබුණු ශඛ්‍යතාවය දියවෙනවා. ඒ වෙනුවට තරුණ පරපුරත් යුද්ධයට එරෙහිව
කතාකිරීම මේ ව්‍යාපෘතිධාරීන්ගේ ඇසට කටු අනින දසුනක් වෙලා. තරුණ කලාකරුවන්, නාට්‍යකරුවන්,
සාහිත්‍යකරුවන් ඇතුලුව විවිධ ප්‍රකාශන මාධ්‍යන්හි දක්ෂ පක්ෂකම් ඇති සමාජ සංවේදී
තරුණ තරුණියන් පිරිසකගෙන් සැදුම්ලත් අලුත් පරපුර සංවිධානය යුද සැමරුම් වෙනුවට
සහෝදරත්වයේ සැමරුමක් කරමින් පසුගියදා එවැනි වැඩකට අතගසාතිබුණා. වැඩේ තිබුණේ නෙළුම් පොකුණ ඉස්සරහ. ඒ හරියටම මැයි 19
වැනිදා. අලුත් පරපුර ප්‍රශ්නකර තිබුණේ යුද්ධයක අවසානයක් මිස ජයග්‍රහණයක් තිබේද කියලයි.
ඇත්තටම මේ ප්රශ්නය වඩාත් අධිසංවේදී විදියට ජන සමාජයෙන් ඇහුවේ අහිංසාවාදී
දහමක් ලොවටම දායාද කළ බුදු රජාණන්වහන්සේ. එහෙත් පෙර කී ලෙසටම යුද්ධය උන්මාදයක්ව
අවිද්‍යා කැට මුගුරු අතට ගත් ජාතිවාදී ධාරාවෝ කිසිවිටෙක් බුදු වදන සිහිපත් කරන්නට
උත්සාහ කළේ නෑ. ජාතිකානුරාගය මුවාවෙන් ජාතිවාදී
නෙයියාඩම් නටමින් සමස්ත ජන මනසම දිය සුළියක් සේ කළම්භනය කරලා ඡන්ද ගැරීමේ සටන තමයි ඔවුන් ඊට වඩා උතුම්කොට සැළකුවේ.
ජනමාධ්‍යත් දේශපාලන අධිකාරිවාදයත් එකට මුසු වූ කළ
ඇතිකරනු ලබන මතවාදී බලපෑමට මුහුණදීමට තරම් අදටත් අපේ පොදුජන සමාජය ශක්තිමත් නෑ. දේශපාලකයාට ගැතිකම් නොකරන ස්වාධීන බුද්ධිමතුන්ගේ අඩුව ඒකට හේතුවක්. මේ නිසා බැලූ
බැල්මට සත්‍ය සේ පෙනෙන දේ වුණත් කොට්ටඋරයක් වගේ නොපිට ගසා පැත්ත පෙරලා බොරුවකට
පරිවර්තනය කරන්නට දේශපාලකයාට පුළුවන්. යුද්ධය අවසන් වුණාට පස්සෙත් යුද්ධය පැවැති
කාලයට වඩා සද්දයෙන් යුද්ධය සමරන්නට දේශපාලකයන්ට දැඩි කැක්කුමක් හටගෙනතිබුණේ මේ
දේශපාලන ව්‍යාපෘතිය නිසයි.
දැන් යුද්ධය නිමාවෙලා සය වසරක් ගතවෙද්දී අලුත් දේශපාලන පරිසරය එක්ක තරුණ පරපුරටත් ස්වාධීනව වැඩකට අතගහන්න අවස්ථාවක් උදාවෙලා. අන්න එතැනදි තරුණ
පරපුර හැටියට ආපසු හැරී බැලිය යුත්තේ යුද්ධයේ ශේෂ පත්‍රය කුමක්ද කියලයි. උතුරින්
නැගෙනහිරින් දකුණෙන් විතරක් නෙවෙයි රට වටින්ම රෑ මැදියමේ ඇසෙන තරුණ වැන්දඹුවන්ගේ ශෝකී ගී
රාවයට ඔබ කවුරුන් හෝ අද වනතුරු සවන් දුන්නාද? අත පය ඇහැ කණ අහිමිව ජීවිතයේ
අඩක් දරාගෙන නිවාසවලටම සින්න වී සිටින සිංහල දමිළ තරුණයන්ගේ හදවත් අභ්‍යන්තරයෙන්
නැගෙන වේදනාකාරී හඬට සවන් යොමුකළාද? යුද්ධයේ ප්රමුඛ ප්‍රතිපලයක් ලෙස නිෂ්පාදනය
කරන ලද්දා වූ මවුපියන් අහිමි දරු සිඟිත්තන්ගේ හුදෙකලා වූ ආත්මයන් සමඟ කෙටි වේලාවක්
හෝ ගතකළාද? අතින් සටන් පාඨ උසුලාගෙන කටින් බතල කොල හිටුවන තුංමුල්ලේ
දේශප්‍රේමී දේශපාලකයන්ගෙන් තරුණ පරපුර අහන්න ඕනෑ මේවයි.
රජ කාලේ රජුන් අතරම ද්වන්ධ සටන් ගැන අහල තිබුණත් අද කාලේ යුද්ධයක් ඇතිවුණොත් පෙරමුණට යන රජ පුතුන් ගැන කිසිදු තැනක සඳහන් වෙලා
නෑ. ගියත් ලංකාවෙ යුද්ධෙ නම් උන් යන්නේ රාජකීය හමුදා පුහුණුව ගන්න වෙන රටකට. වෙඩරු, කිරි, ගිතෙලින් කවා පොවා රජ සැප දී හැදූ වැඩූ සිය දූ පුතුන්ට එවැනි
වේදනාවක් දෙන්නට කිසිදු දේශපාලක අම්මෙක් අප්පෙක් කැමැති නෑ. ඇත්ත ඒකයි. ඒත් යුද්ධ කරන්නට නම් කොල්ලන් කෙල්ලන් ඕනෑ. සැප සිරි දී නෙක අදරින් වැඩු දරුවන් කරදිය
ගැඹරෙන් එතෙර යවලා යුද්ධ කරන්නට අවශ්‍ය මානසිකත්වයට දුප්පත් දුවා දරුවන්ගේ මනස
සන්නද්ධ කරන්නේ ඒ හින්දයි. අල්ලස් කොමිසමේ නම කියනවිට දණ බිම ඇණෙන මට්ටමට බයවෙන දේශපාලකයන්ගේ ඇත්ත වීරාභිවන්දනයක් අද දවසේ වඩ වඩාත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. සිය දේශපාලන ව්‍යාපෘති පරාජයට මෙන්ම පාරාජිකාවට
පත්වද්දී නැවතත් යුද උන්මාදය නමැති හනුමාන්ට අත තබන්නට ඔවුන් උත්සාහ කරන්නේ ද මේ
හෙළිදරව්වට ඇති බිය නිසාමයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක යුද්ධය පිළිබඳ අලුත්
පරපුරේ වෙනස් කියවීම විශිෂ්ට වෑයමක් බව නොකියා වටේ යෑම කුහකකමක්. එහෙත් එතැනින්
පමණක් අලුත් පරපුරට සිට විෂය පථය සීමාකරගන්නට බෑ. දැන් ඔවුන් කරන්න ඕනෑ යුද්ධයෙන්
සැබැවින්ම පීඩාවට පත් වින්ධිතයන්ගේ සැබෑ සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්න ජනගත
කිරීමයි. යුද වෙළෙන්ඳන්ගෙන් ද සාම වෙළෙන්ඳන්ගෙන් ද ඔවුන්ට වෙනස් මගක් ගන්න එතකොට පුළුවන්. මේක සහෝදරාත්මක යෝජනාවක්. පුළුවන් නම් ගන්න.