Thursday 30 April 2015

ශාන්ත විජේසූරියගේ ආගමනය...

මල්ලී.. මම ශාන්ත.. මම ආවා.. වෙලාව හරියටම හවස 5.18 යි. වසර දෙකක් තිස්සේ නේපාලයේ කත්මණ්ඩුවල සිර කර තිබූ නිර්භීත මාධ්‍ය අකුරක මනුස්ස හඬ හෑන්ඩ් ෆෝන් එකට ගලාගෙන එන්නට වුණා..අම්මටහුඩු.. මට කියැවුණේ එච්චරයි. කාලයක් තිස්සේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ (පත්‍රකලාවේදීන්ගේ)සංගමය හැටියටත් අප පෞද්ලිකවත් ගත් මහන්සියක ප්‍රතිපලය.. ශාන්ත අයියා මුණගැසීමේ දැඩි වුවමනාව තිබුණත් රාත්‍රී සේවයත් බහුල රාජකාරිත් නිසා ගමන දවසකට දෙකකට කල්දමන්නට සිදුවුණා. කොහොම වුණත් ශාන්ත විජේසූරියගේ පැමිණීම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නම් ලොකු හයියක්.

ශාන්ත විජේසූරිය කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඇත්ත කතාවේ ජීවමාන සාක්කියක්. ඒක රැකගත යුතු වුණේ ජනමාධ්‍ය නිදහස ගැන පොර ටෝක්ස් දෙසන බොහෝ දෙනෙකුට නොදන්නා පැති ගැන කතාකරන්නට ඉඩක් ඉතුරු කරගන්න ඕනෑ වුණ නිසයි. කොහොම වුණත් දැන් ශාන්ත නැවතත් ලංකාවේ. දීර්ඝ නිහැඬියාවකින් පසු කුරුල්ලාගේ නාදය ආයේමත්. ඒක මොන කූඩුවෙන් ඇහේවිද එහෙම නැත්නම් ඒ නාදය කූඩු නොවී නිදහසේම ගලායාවිද කියලා දැන්ම කියන්න අමාරුයි. අලුත් පත්තර පටන්ගන්න තවත් පත්තර අර්බුදයට යන කාලයක් ඇවිත්. කොහොම වුණත් කර්මාන්ත ශාලාවල අයිතිය අපේ නෙවෙයි. අපි වැටුප් ශ්‍රමිකයෝ. එතැනදි ශාන්තලා අපි කවුරුත් එකයි. ඉතින් තව ටික දොහක් බලාගෙන ඉම්මු වෙන්නේ මොකද කියලා..

Wednesday 29 April 2015

18, 19 හා මන්ත‍්‍රී හෘද සාක්ෂිය

19 වැනි සංශෝධනය ගැන එක එක කතා කියවෙනවා. විවිධ මතිමතාන්තර පලවෙනවා. හැබැයි ඒක මොන විදියට සම්මත වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට යන්න හදද්දී කකුලෙන් අදින රටක ඒකත් නිකන් ඉන්න එකේ අහලා ගියත් මදෑ වගේ තමයි. උදේ පාන්දර ඉදන් පාර්ලිමේන්තුවේ තැපලා වෙන්නේ මොකද්ද කියලා බලා කියාගන්න ලොකු උනන්දුවක් තිබුණා. රාත්තිරි 12ටත් ළං වෙනකන් වැඬේ ඇදෙද්දි නම් අමාරුව සනීප වුණා.

විමල්, දිනේෂ්, වාසු තමයි 19 කොට්ට උරයක් වගේ අනෙක් පිට හරවන්න සෑහෙන්න ප‍්‍රතිගාමී වැඩ කොටසක් කළ බව පෙනුණේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා මරාගෙන මැරෙන්න හදපු මිනිස්සුද මේ කියලයි ඒ අයගේ කතා අහද්දී මට නම් හිතුණේ? ඒ වගේම නොදන්න ලතින් කතා කොරන්න ගිහින් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් තමන්ට තිබෙන දැනුමේ දරිද්‍රතාවය පෙන්නපු එක ගැන නම් අපි විමල් සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. වාසු නම් ටිකක් ජාමේ බේරාගත්තත් දිනේෂ් පවා වැඬේ නෝන්ඩි කරගත්තා. උදාහරණෙකට වගන්ති කීපයක්ම සම්මත වෙලා ඉස්සරහට යද්දී සම්මත වෙලා අහවර වූ වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කරන්න පවා දිනේෂ් ට‍්‍රයි කළා. පස්සෙදි කතානායකට සිද්ධවුණා දිනේෂ්ගේ පමාව පැහැදිලි කරන්න.

වඩාත්ම ශෝකජනක හා විස්මයජනක කතාව කළේ නීති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහත්තයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය කරුණු ගැන එතුමා දක්වපු උනන්දුව අනේ දෙයියනේ 18 ගේන වෙලාවෙත් තිබුණා නම් කියලා තමයි අපට හිතුණේ. උදේ පාන්දර ඉදන් කෙරුණු මන්ත‍්‍රීවරුන්ගේ කතා අවසානයේදී කියවූ කාරණාව තමයි මට නම් දවසේ පොයින්ට් එක වුණේ. එරික් වීරවර්ධන හැර සියලුම දෙනාම වාගේ 18 ට අත උස්සපු එක ගැන කණගාටු වෙනවාය, ලැජජ වෙනවාය, දුක්වෙනවාය වගේ කතා කිව්වා. ඒ හැම කතාවකින්ම අවසාන විග‍්‍රහයේදී ඔප්පුවුණේ වෙන මොකක්වත් නෙවෙයි මේ මිනිස්සු ඡුන්දය දීලා තියෙන්නේ හෘද සාක්ෂියට අනුව නෙවෙයි කියන එකයි. ඔන්න ලංකාවේ පාර්ලිමේන්ත මන්ත‍්‍රීවරු ප‍්‍රසිද්ධියේම ඒක පිළිගත්ත හැටි..

Friday 24 April 2015

රනිල් දුටු ජවිපෙ ...

පක්ෂ දේශපාලනයේදී සෙසු දේශපාලන පක්ෂ උත්කර්ෂයට නැන්වෙන විදියට කතාකරන්න බොහෝ කතිකයන් පෙළඹෙන්නේ නෑ. එහෙම පෙළඹුණත් ඒක සන්ධානගතවීමක තිබෙන උපක්‍රමිකභාවයෙන් එහා යන්නේ නෑ. අනෙක් අතට ලංකාවේ දැන් තිබෙන වාචාල දේශපාලන කතිකයන්ගෙන් නම් කොහොමටවත් සෙසු දේශපාලන පක්ෂයක හොඳක් අහන්න ලැබෙන්නේම නෑ. ලංකාවේ සාමාන්‍ය ජන මනස හදලා තිබෙන්නේත් පුළුවන් තරම් ඇටෑක් කරන එකා හොඳම කතිකයා හැටියට නිසා ඔළුවක් තිබෙන කෙනෙක්වත් ඒකට පෙළඹෙන්නේ නෑ. මේ තත්ත්වය සාමාන්‍ය ජන රැලිවල ඉඳලා රූපවාහිනී දේශපාලන සංවාද දක්වාම අද ව්‍යාප්ත වෙලා. අත් දෙක බැඳගෙන ඊනියා සිනාවකින් සරසාගන්න මුහුණුවලින් පටන්ගන්න සාකච්ඡා මැදදී ගුටි ඇනගෙන අත පය විකන බලු පොර දක්වා වූ වර්ධනය පහුගිය කාලේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඇති පදම් දැක්කා.

ඒත් වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් අතිශය සංයමයෙන් යුතුව දේශපාලන නායකයකු අදහස් දැක් වූ අවස්ථාවක් පහුගියදා දුටුවා. ඒ රනිල් වික්‍රමසිංහ විසින්. උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවන සත්‍යාගාරයේ දී ඔහු දැක් වූ ඒ අදහස වඩාත් සුවිශේෂි. මොකද ඔහු ඒ අදහස දැක්වූයේ රනිල්ගේ යූඑන්පීය කියලා තමන්ගේ පක්ෂය පවා හොඳට පතුරු ගහන ජනතා විමුක්ති පෙරමුණ ගැන නිසයි.

තරුණ කාලේ රනිල් විජේවීරගේ කතා අහන්න ජවිපෙ ජනරැලිවලට ගිහින් තිබෙනවා. ඒ අතීතය අලලා තමයි නිවේදකයා ප්‍රශ්නය අහන්නේ. ඒ මෙන්න මෙහෙම.

උපුල්- 1971 ජනරැලි නැරඹීමට ගිය පිරිස අතර 22 හැවිරිදි තරුණ රනිල් වික්‍රමසිංහ ද විය. ඔහුට හැඟුණේ මෙතෙක් විසඳී නැති ජනතා ප්‍රශ්නවලට ජවිපෙ නායකත්වයක් දී ඇති බවයි. ඒ කියන්නේ ඔබතුමා තරුණ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් බලන්න ගිහින් තිබෙනවා රෝහණ විජේවීරගේ කතා අහන්න. එදා සහ අද ජවිපෙ දේශපාලනය ගැන ඔබේ අදහස මොකද්ද?

මෙන්න රනිල්ගෙ උත්තරේ


රනිල්- එදා රෝහණ විජේවීර එලියට ඇවිල්ලා රැස්වීම් පවත්වද්දී ඒ රැස්වීම්වලට කන් දෙන්න එකකට දෙකකට මමත් ගියා. වැඩිය පැවැත්වුවේ නෑ. මොකද අප්‍රේල් මාසේ කැරැල්ල තිබුණා. එදා සමාජවාදය ඉදිරියට ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ මාක්ස්වාදී සමාජවාදය කියලා පෙන්වන්න බැලුවේ. මම රෝහණ විජේවීර දුන්න ඒ මාර්ගයට එකඟ වුණේ නෑ. ඒක සාර්ථක වෙන්නේ නෑ. අද මට පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ අද තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී... සමාජවාදයත් ඒ දෙක අතර තිබෙන ඒ ප්‍රවාහයට ඇතුල්වෙන්නේ කොහොමද.... වාමාංශික පක්ෂයක් හැටියට කොහොමද වැඩකටයුතු කරන්නේ. එතැන මට පෙනෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙත් විවිධ ප්‍රශ්න. විපර්යාසයක් වෙන අවස්ථාවකදී එහෙම ප්‍රශ්න ඇතිවෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලෙන් පස්සේ මේ තිබෙන ඡන්දවලින්  යූ.එන්.පී විරෝධී ඡන්ද කොටසක් තමන් ලබාගන්නේ කියන ප්‍රයත්නය තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා තිබෙන්නේ. ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා මේගොල්ලෝ ගන්න තීරණ අනුව තමයි කියන්න වෙන්නේ..  

සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම වෙනත් දේශපාලඥයකුගෙන් ඇහුවා නම් කොහොම උත්තරයක් ලැබේවි ද?

Thursday 9 April 2015

ආණ්ඩු පෙරලුණත් නේපාලයේ හිරවුණු ශාන්ත විජේසූරිය.......

ඕනෑම ආණ්ඩුවක ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතයන් පෙන්වීමට ඕනෑ තරම් නිදර්ශන දිනපතා පුවත් ගොඩෙන් පෙන්වන්නට පුළුවන්. ඒත් ආණ්ඩුවක් පෙරලන මට්ටමට මතු වන තරමේ සටන් පාඨ බවට ඒ සෑම සිදුවීමක්ම පත් වෙන්නෙ නෑ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එකී සිදුවීමෙහි ඇති දේශපාලනික බර මෙන්ම ජාතියක් හැටියට එම රටේ පුරවැසියනට වඩාත් සංවේදී වන කාරණා එහිදී ඉස්මත්තට එනවා. පැවැති පාලනය පෙරලාදැමීමේ දී එසේ ඉස්මත්තට පැමිණි සිදුවීම් අතර එක් කරුණක් වූයේ මර්දනය හමුවේ විදෙස්ගත මාධ්‍යවේදීන්. එහෙත් බොහෝ කාරණා වගේම ආණ්ඩුවට දැන් එය ද අමතක වී ගිය බවක් පෙනෙනවා.

එහෙම විදෙස්ගත වූ මාධ්‍යකරුවන් රැසක් අතරේ මට පුද්ගලිකව තදින් දැනෙන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා ගැන හිතේ ඇතිවෙච්ච තද කම්පාවත් ආයෙමත් බ්ලොග් අඩවියේ අකුරු කරවන්න එක හේතුවක් වුණා. එයා තමයි ශාන්ත විජේසූරිය. පිටුවහලේ ජීවිත ගත කරන මාධ්‍ය පිරිස අතරේ දකුණු ආසියානු රටක සිටින එකම මාධ්‍යකරුවාත් ඔහුයි. ලංකා ඊ නිිව්ස් කියන වෙබ් අඩවිය ජනප්‍රිය වෙලා කාගෙ කාගෙත් කතාබහට ලක්වෙන්න ගත්ත කාලේ දරුණු විදියට ඒකට දරදිය ඇද්ද ඇත්තම මාධ්‍ය පොරක් කියලා කියන්න පුළුවන් කෙනෙක් තමයි ශාන්ත විජේසූරිය කියන්නේ. හැබැයි එයාට සාමාන්‍ය මාධ්‍යකරුවන්ට නොතිබුණු දේශපාලන දැක්මක් තිබුණා. පවතින මාධ්‍ය වෙළෙඳපොලේ ඒ දේශපාලන දැක්මම තමයි එයාව මර්දනය කරන්න ඕන කියල ලැයිස්තුවට තල්ලුකළෙත්.

2012 ජුලි 5 වැනිදා ඔහුව නුගේගොඩදි පැහැරගන්න උත්සාහ කෙරුණේ එහි අවසාන පලය හැටියට. ඒත් සාහසිකයන්ගේ වෑයම පල නොදැරුව නිසා ශාන්ත බේරුණා. ඒ වනවිට ඔහු පැවැති ආණ්ඩුවේ මර්දනීය යාන්ත්‍රණය ගැනත් තදින් ලියමින් හිටියේ. ඒ වෙන කොහේවත් නෙවෙයි. වත්මන් මංගල සමරවීර විදෙස් ඇමැතිවරයා අධීක්ෂණය කළ එක්ස් නිවුස් වෙබ් අඩවියේ. ඒත් ඉහත කී පැහැර ගැනීමේ උත්සාහයෙන් පසුව ඔහුට විදෙස්ගතවන්නට විය. ආසියානු ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනයට සහභාගීවීමට නේපාලයට ගිය ශාන්ත විජේසූරිය නැවත ලංකාවට නොපැමිණෙන්නේ වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලැබුණු උපදෙස් මතය.

අද ඒ ආණ්ඩුව නෑ. ඒත් ශාන්තට නේපාලයෙන් ලංකාවට එන්නට විදියකුත් නෑ. හේතුව තමයි නේපාල රජය ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් හැටියට මිස සරණාගතයන් හැටියට නොසැළකීම.. එනිසා වීසා නැතිව සිටි කාලය වෙනුවෙන් රුපියල් පන්ලක්ෂ හැත්තෑ හය දහසක මුදලක් නේපාල රජයට ගෙවන්නට ඔහුට සිදු වී තිබෙනවා. සැබැවින්ම මෙය ඛේදවාචකයක්. ශාන්ත කියන්නේ කිසිදු විටෙක ලංකාවෙන් පලායන්නට සිටි මාධ්‍යකරුවෙක් නෙවෙයි. ඔහුව උපන්රටින් පිටුවහලට යැව්වේ පැවැති පාලනයේ දරදඩු මර්දකයන් විසින්. ශාන්තව නැවත ලංකාවට ගෙන්වීම මංගල සමරවීර කියන ඔහුගේ අතීත සගයාට සුළු දෙයක්. නමුත් වැඩේ නොවෙන්නේ ඇයි?

මේ ශාන්ත විජේසූරිය තමන් දැන් ගතකරන ජීවිතය ගැන කියන හැටි........

‘‘අපේ ජිවිත අවිනිශ්චිතය. අපි පැවැත්ම පිළිබද බරපතළ අර්බුදයකට මුහුන දී සිටිමු. අපේ මුල් කපා අපේ රටවල් වලින් උගුලා දැමීම නිසා, අපේ දරුවන් බිරින්දෑවරු දෙමව්පියන් සහ අපේ ඥාතීන් සිසී කඩ වී ඇත.සමහරුන් ගේ දරුවන් ,බිරියන් ,ස්වාමි පුරැෂයන් සහ ඥාතීන් මරා දමා තිබේ. හුදකලාව සහ කාලකන්නි කම අද අපේ දරුවන්, බිරියන් ,දෙමව්පියන් සහ ඥාතීන් මෙන් අපව වට කොට ගෙන සිටියි. නේපාලයේ අපට වැඩි කාලයක් රාත්රිව ගත කරන්නට සිදුව ඇත්තේ අදුරේය. නේපාල් ආණ්ඩුව එම රටේ ජනතාවට විදුලිය ලබා දෙන්නේ දිනකට පැය 06 කි. ලෝකයේ ජල මුලාශ්රන ඇති රටවල් අතරින් දෙවන ස්ථානය හිමි වන්නේ නේපාලයටය. නමුත් නේපාලයේ  අග නගරය වන කත්මණ්ඩු වල ජිවත් වන ජනතාව පානීය ජලය ලබා ගැනිම සදහා මුදල් ගෙවිය යුතු වෙයි.                                        
ධනවාදය නැමැති අදුරට එරෙහිව රැ දවල් නොබලා ලංකාවේ දී සටන් වැදුනු මට නේපාලයේ අදුරට සාප කරමින් බොහෝ කාලයක් සිටින්නට සිදු විය. නමුත් මා ඇතුළු ශ්රීා ලංකීය සරණාගතයන් කීපදෙනෙක්ට යු.එන්.එච්.සී.ආර්.සංවිධානයේ රුදුරු කප්පාදු වලට එරෙහිව පැන නැගි ඇති අරගලයට මග පෙන්විමට හැකි වී තිබේ.                                             

අප ජිවත් වන්නේ කදවුරු ගතව නොව නාගරිකවය.   කත්මණ්ඩු නගරයෙන් පිටට යෑම අපට තහනම්ය.  අපව හදුන් වන්නේ නගරික සරණාගතයන් කියාය. (Urban Refugee) යු.එන්.එච්.සී.ආර්. කාර්යාලය මගින් පෙබරවාරි මස වන තෙක් තනි සරණාගතයෙකු සදහා නේපාල් රුපියල් 5,750 ක් ගෙවු නමුත් මාර්තු මස සිට අපේ දීමනාවෙන් 25% ක් කප්පාදු කර ඇත. මා හට දැන් ලැබෙන්නේ නේපාල් රුපියල් 4,313කි.  ඇමරිකන් ඩොලර් 44 කි. ශ්රී. ලංකන් රුපියල් 6,900 කි.  එම මුදලෙන් කාමර කුලී රුපියල්  2 ,200 ක් විදුලි බිල රුපියල් 200ක් ගෙවු පසු මසක් ජිවත් විම සදහා මා අත ඉතිරි වන්නේ රුපියල් 1,913කි. පස් දෙනෙක් ගෙන් සමන්විත පවුලකට ජිවත් විම සදහා කප්පාදුවට පෙර 17,500ක් ගෙවු අතර දැන් එම මුදල 12.938ක් දක්වා කප්පාදු කර ඇත. නේපාලයේ පස් දෙනෙක් ගෙන් සමන්විත පවුලකට අවම පහසුකම් යටතේ ජිවත් විම සදහා රුපියල් 25,000 මුදලක් අත්යා්වශ්ය් වෙයි .  නවක සරණාගතයන් විශාල පිරිසකට එම කාර්යාලය මගින් සරණාගත භාවය පිරි නමා ඇතත් ,ඔවුනට සරණාගත දිමනාව ලබා නොදෙයි. ඔවුනට අද නේපාලයේ හිගා කෑම හැර වෙනත් විකල්පයක් ඉතිරි වි නැත. “
                                   

Wednesday 8 April 2015

බොරතෙල් බඳුනට නැවත බසිමි....



කැම්පස් උණෙන් පෙලී ලියන්නට ගත් බ්ලොගයට අකුරක් දාන්නේ කලෙකට පසුය. පත්තර රස්සාව ඉස්තරම්ම විනෝදයක් දුන් උණ බහින්න ගනිද්දී බ්ලොග් රසය ඇත්තටම වැළඳී ඇත්තේ දැන්දැයි සිතේ. ප්‍රකාශන මාධ්‍යක් හැටියට පත්තරය යනු පොදු ජනයාට තොරතුරු සපයන තැනක් මිස අපේ රජ දහනක් නොවන බව ඕනෑම පත්තරකාරයකුට දැනෙන්නේ කල්ගතවීමෙනි. දයාසේන ගුණසිංහයන් කැප නැති අඩවිය හැටියට හඳුන්වමින් ඉන් මිදී හිස් දෑතින් ගියේ එහෙයිනි. එදා ඒ ලෙවල් කරද්දී පුනරාගමනය කියවද්දී පරිකල්පිතව මවාගත් ඇත්ත දැන් ඇඟටම දැනෙමින් තිබේ. එහෙයින් තමන්ටම කියා තමන්ගේම හැඟීම් දැනීම් ලියන්නට...අඩුම ගානේ පත්තර ජීවිතේ නොලියැවෙන අකුරු දෙක තුන හලා මගේ බොර තෙල් බඳුන තව තවත් බොර කරන්නට  සිතා ගතිමි.

ඉතින් සකියනේ අවසරයි.....