Sunday 26 March 2023

ලංකා ජනරජයේ දේවවරම්වාදී සෙවණැල්ල



පාලකයා යනු දෙවියන්ගේ නිර්මාණයක්ය යන්න රාජ්‍ය පිළිබඳ මුල් අවධියේ මතවාදයක් විය. දේවවරම්වාදය හැටියට හැඳින්වුණේ එයයි. ඊට අනුව රජු හෙවත් පාලකයා තෝරාපත්කරගනු ලබන්නේ දෙවියන් විසිනි. ඒ නිසා පාලකයා ගන්නා කිසිදු තීන්දුවක් ප්‍රශ්න කිරීමට මහජනයාට ඉඩක් නැත. ඒ සියලු දේ දෙවියන්ගේ නාමයෙන් සුජාත කෙරේ. කෙසේ වෙතත් මෙම නොදියුණු අදහස් පද්ධතිවලට සමාජයේ විමුක්තිය වෙනුවෙන් කතා කළ අදහස් දැක්වූවන්ගේ මැදිහත්වීම් සමග විශාල ප්‍රහාරයක් එල්ල විය. එය දවසකින් දෙකකින් සිදුවූවක් නොව සියවස් ගණනාවක් මිනිස් නිදහසේ විකාශනයකි. 

මිනිසුන්ගේ යහපත උදෙසා රාජ්‍ය නිර්මාණය කරගැනීමේදී ආගමික දහං ගැටවලින් මිදී දේශපාලනය වෙනම විෂයක් හැටියට පාදාගත්තේ ඒ අනුවය. මේ බෙදුම් ඉර ගසාගැනීම ආරම්භ වූයේ බටහිර ලෝකයෙනි. එහිදී පල්ලියෙන් රාජ්‍ය වෙන්කරගැනුණේ පූජකයන්ට තවදුරටත් පාලකයා නටවන්නට ඉඩ නොදෙමිනි. මේ වෙනුවෙන් බටහිර ලෝකය පුරා මහා පරිමාණ ජන සටන් ඇවිල ගිය අතර එහිදී ගිනිබත් වූ පල්ලි හා ඝාතනය වූ පූජකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මිනිසාගේ දේශපාලන ජීවිතයට ආගමට අත දැමීමට හැකි ප්‍රමාණය සීමා කරගත්තේ ලෝකයේ එවැනි ඉතිහාසයකිනි. මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් පාලනය කරනු ලබන ජනරජයක් බිහිවුණේ එම ඓතිහාසික මිනිස් මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් අවාසනාවකට ආසියාකරයේ ඇතැම් රටවල් රාජ්‍ය බවට පත්වූයේ එවැනි ඓතිහාසික මැදිහත්වීමකින් නොවේ. යටත්විජිතවාදයේ උරුමයක් හැටියටය. ලංකාව සැලකිය හැක්කේ ද එම වර්ගීකරණයට වැටෙන රටක් හැටියටය. 1948 බි්‍රතාන්‍යයන්ගෙන් ඩොමීනියන් පන්නයේ නිදහසක් ලැබූ දින මතු නොව 1972 දී ශ්‍රී ලංකා ජනරජයක් බිහිවීමෙන් පසුව පවා අදටත් අප ගෙවමින් සිටින්නේ එකී අතීත ප්‍රතිගාමීත්වයන් ද තුරු`ඵ කරගෙනය. කෙසේ වෙතත් මේ ප්‍රතිගාමීත්වයන් අද වනවිට අපට දකින්නට ලැබෙන්නේ බොහෝදුරට පාලකයන්ගෙන්ම මිස මහජනයාගෙන් නොවේ. එම ප්‍රතිගාමීත්වයේ නවතම ආසන්න උදාහරණය නම් රට ගිනි ගනිද්දී නුවර පැවැත් වූ ජනරජ පෙරහර විකාරයයි. 

 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙය සංවිධානය කළ බවත් රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරෙන බවත් එහි සඳහන් විය. මහජනතාවම අද ප්‍රශ්න කරන ආකාරයට වසර හැත්තෑ පහක ශේෂ පත්‍රය වී තිබෙන්නේම ආර්ථික වශයෙන් කඩා වැටුණු දෛනික ජීවිතයවත් ගත කරන්නට නොහැකි ජන ජීවිතයකි. එවැනි වටපිටාවක් රට කරවන පාලකයන්ට සුවිශේෂී වැදගත් අවස්ථාවක් වන්නේ කෙසේද යන්න පළමු ප්‍රශ්නයයි. 

අනෙක් කරුණ වන්නේ එවැනි සම්ප්‍රදායක් පැවතීමමයි. දියුණු ලෝකයේ ජනරජය බිහිවන්නේම ආගමික වහන්තරාවෙන් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයට එල්ල වූ පල්ලියේ බලපෑමෙන් මුදාගැනීමට කළ සටන්වලිනි. ඒ තුළ නැවතත් ජනරජය කිසිදු ආගමික සංස්ථාවක පසුගමන්යෑමක් නැත. එහෙත් ලංකාව නමැති රාජ්‍යයේදී ජනරජ ලාංඡනය එළිබසින්නේ එක් ආගමික සංස්ථාවක මර්මස්ථානයක සිට ආගමික මංගල්‍යක් ලෙසිනි. රාජ්‍යයේ ත්‍රිවිධ බල ආයතන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන නවීන ආයතන තුනෙන් එතැන නොසිටියේ අධිකරණය පමණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනරජ උළෙලට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ පටන් අමාත්‍යවරුන් මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටියහ. 

දාර්ශනික පෝෂණය..




කෙසේ වෙතත් හුදෙක් විරුද්ධත්වය පෑම වෙනුවට වඩාත් සක්‍රීය එරෙහිවීමක් හරහා රාජ්‍ය ආගමික සංස්ථාවෙන් වෙන්කිරීමට යෝජනා කෙරුණු පූජ්‍යතන්ත්‍රවාදවිරෝධයේ මූලික ඉලක්කයක් වූයේ ආගම මු`ඵමනින්ම පෞද්ගලික විශ්වාස පද්ධතියක් පමණක් බවට පත්කිරීමය. මෙම දේශපාලනය ඇතැම් තැන්වලදී වාමාංශික බුද්ධිමතුන්ගේ අනුප්‍රාණය ලැබූ අතර ප්‍රංශයේ වෝල්ටෙයාර් වැනි දාර්ශනිකයන්ගෙන් එහි හරපද්ධතිය පෝෂණය විය. ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි ප්‍රංශ විප්ලවයෙන් රළ නැගූ මෙම ව්‍යාපාරයට 1870 වන විට ඉතාලියට පාප් වහන්සේ වතිකානුවට පමණක් සීමා කිරීමටත් හැකියාව ලැබිණි. දේශපාලන බලයේ ලෞකික වැදගත්කම ඇතිකිරීම වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ මැකියාවෙල්ලි ඊට මූලික පදනම දැමූ දාර්ශනිකයා විය.

ලංකාව.. 

කෙසේ වෙතත් ලංකාවට අදාළව ගත්කළ නම් දේශපාලනිකව එය හැඳින්විය හැක්කේ බොහෝ කාරණාවලදී මෙන්ම උත්ප්‍රාසාත්මක කරුණක් බවය. අපේ ආණ්ඩුක්‍රමය නම් ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මැයෙනි. 1972 දී ව්‍යවස්ථාවෙන් පිහිටු වූ ලංකා ජනරජය 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනරජය විය. සාමාන්‍යයෙන් ලොව පුරා පෙර සඳහන් කළ ජනරජ ඉතිහාසයන් නිර්මාණය වී තිබෙන්නේම ජනයාගේ රාජ්‍ය යන ලෞකික අරුතෙනි. මක්නිසාද යත් මනුෂ්‍යයාගේ යහපත පිණිස ඒ රාජ්‍යන් මනුෂ්‍යයාගේම භෞතික නිර්මාණයක් වන බැවිනි. 

එහෙත් යටත්විජිත සමයේ පටන්ම අනාගත ජාතික රාජ්‍ය පරිකල්පනය කරගැනීමට අපහසු වූ දේශීය නායකයන් විසින් අපට නිර්මාණය කරනු ලැබුවේ අපූරු ජනරජයකි. එක් ආගමකට ප්‍රමුඛතාව දෙන බවට වූ සඳහනින් ලබන අවස්ථාවාදී කෙටිකාලීන දේශපාලන වාසිය මිස ඔවුහු අනාගතවාදී දැක්මකින් යුක්ත වූවෝ නොවූහ. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සමාජ දේශපාලනික වශයෙන් වූ අවිද්‍යා අඳුරකට ඇද වැටී ඇත්තේ ඒ ජනරජයයි. පාලකයාගේ පටන් පීඩිතයා මතු නොව වාමාංශිකයා දක්වා පූජ්‍යතන්ත්‍රවාදයේ පාමුල වැටී නින්දාවට පත්කරන්නේ ඒ ජනරජයක බලයයි. 


 

Wednesday 27 October 2021

මහාචාර්ය බුද්ධි මාර⁣ඹේ කියන්නේ කුමක්ද?

 මහාචාර්ය බුද්ධි මාරඹේ කියන්නේ කුමක්ද?


ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුගත කිරීමේදී කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡාවේදී සෞභාග්‍යයේ දැක්ම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිය.


 ඒ කාබනික ද්‍රව්‍ය යෙදීම හරහා දීර්ඝකාලීනව කාබනික කෘෂිකර්මයට බර තැබීම ගැන එහි පැහැදිලිව සඳහන්වීම පැත්තෙනි. 


දේශගුණික විපර්යාසවලට තිරසර විසඳුම් සෙවීම සඳහා හරිත සමාජ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නමැති සංකල්පය මගින් 2021 අප්‍රේල් 27 පැවැති කැබිනට් හමුවේදී කාරණා විස්සකින් යුතුව සාකච්ඡාවක් සිදුවූයේ මේ අතරේය.


 කෘත්‍රිම පොහොර මෙන්ම කෘත්‍රිම පළිබෝධනාශක ආනයනය හා භාවිතය තහනම් කරන ලද පුවත වාර්තාවූයේ ඉන්පසුවය.


මා මෙතෙක් කළ අධ්‍යයන හා පර් යේෂණ ඇසුරෙන් එම තීරණය ඒ මොහොතේම මා දුටුවේ නිදහසින් පසු ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත් වැරැදිම තීන්දුවක් හැටියටය.


 අත්‍යවශ්‍ය නොවන දේ ආනයනය ගැන සඳහන් කරමින් මැයි මස 6 වැනිදා නිකුත් වූ ගැසට්ටුවකින් මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කෙරුණේ කෘෂිකාර්මික යෙදවුම් ගැනය.


එතැන් පටන් මේ දක්වා මාස හයකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ඒ කාලයේදී කෘෂිකර්මයට අදාළව හැලහැප්පිලි ගණනාවක්ම රට පුරා දැකගත හැකි විය.


 මා එම කාලය දකින්නේ නිදහසින් පසුව කෘෂිකර්මයෙහි අප අත්පත් කරගත් ජයග්‍රහණ දැන හෝ නොදැන ආපසු හැරවීමට වැඩ සිද්ධ වූ කාලයක් හැටියටය.


ලංකාවේ කෘෂිකර්මය දශක හතක් තිස්සේ මේ තැනට ආවේ විද්‍යාඥයන් වර්ධනය කළ දැනුම මෙන්ම ගොවි මහතුන් ඊට දැක් වූ ප්‍රායෝගික දායකත්වය නිසාය. 


නිදහසට පෙර සශ්‍රීක අතීතයක් ගැන සාහිත්‍යක් ඇතත් ඒ ගැන නිසි මූලාශ්‍ර සහිත කරුණු ගැන අප දන්නේ නැත. 


1940 සිට 2020 දක්වා වසර 80ක නූතන කෘෂිකර්මාන්තය ගැන කතා කළහොත් ඊට පෙර ලංකාවේ පාරම්පරික කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට රසායනික යෙදවුම් භාවිත කළ කෘෂිකර්මාන්තයක නියැලී තිබුණේ නැත.


මේ නිසාම ඒකක ක්‍ෂේත්‍ර ඵලයකින් නැතහොත් හෙක්ටයාරයකින් ගත් අස්වැන්න ටොන් 0.6ක් වැනි අතිශය සීමිත ප්‍රමාණයක් විය. 


ඒ වනවිට ලංකාවේ ජනගහනය වූයේ ලක්ෂ 60කි. 


මේ ලක්ෂ හැටට ආහාරයට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් සියයට 60ක්ම ඒ වනවිටත් තිබුණේ ආනයනය කරමිනි. 


ආචාර්ය හෙක්ටර් වීරරත්න වැනි දේශීය විද්‍යාඥයන් මෙසේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව සහල් අස්වැන්න වැඩිකිරීම ගැන කල්පනා කළේ ඒ අනුවය.


හරියටම කිව්වොත් ආචාර්ය නෝමන් බෝලොග්ගේ හරිත විප්ලව සංකල්පය මහපොළවේ පැලපදියම්වීමටත් පෙරාතුවය.


 ඒ අනුව සහල් නිෂ්පාදනය සඳහා ප්‍රථම වතාවට වී අභිජනන ක්‍රමයක් සැකැසිණි.


1958 දී එච්4 නමැති වී ප්‍රභේදය නිදහස් කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 


හෙක්ටයාරයකට ටොන් 0.6ක්ව තිබූ සුළු අස්වැන්න මෙමගින් ටොන් 2-2.5 අතර දක්වා ඉහළ දැමීමට අපට හැකි විය.


ලංකාව මෙම ජයග්‍රහණ අත්පත් කරගත්තේ ජාත්‍යන්තර සහල් පර් යේෂණ මධ්‍යස්ථානය 1960 දශකය මුලදී පිලිපීනයේදී පිහිටුවීමටත් පෙර බව අවධාරණකටයුතුය.


 එසේ බලද්දී හරිත විප්ලවය තුළ වී වගාවේ පුරෝගාමීන් හැටියට දේශීය විද්‍යාඥයන් හැඳින්වීමෙහි වරදක් නැත.


හරිත විප්ලවය ගැන විවිධ මතිභ්‍රම සමාජයෙහි පසුගිය කාලයේදී දැකිය හැකි විය. 


එහෙත් ජනගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය සපයාගැනීම ගැන මේ බොහෝදෙනෙක් කතා නැත. 


ශාකයකට වුව අවශ්‍ය අස්වැන්න ලබාගැනීමට නම් ඊට අවශ්‍ය යෙදවුම් හා පෝෂණය අවශ්‍ය පරිදි ලබා දිය යුතුමය.


හෙක්ටයාරයකට ටොන් 0.6ක්ව තිබූ සුළු අස්වැන්න එච් 4 වී ප්‍රභේදයේදී ටොන් 2-2.5 ත් අතර ඉහළ අගයකට ගෙනගියේ මේ අවශ්‍යතා ද සැපිරීම සමගය.


 ඉන්පසුව බතලේගොඩින් බී.ජී., අම්බලන්තොටින් ඒ.ටී. බෝඹුවෙලින් බී.ඩබ්ලිව්. ලබුදූවෙන් එල්.ඩී. ආදී වශයෙන් විවිධ පරිසර තත්ත්වයන්ට ගැළපෙන පරිදි නිෂ්පාදනය කළ වී ප්‍රභේද නිසා වර්තමානය වනවිට ලංකාවේ වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 4.8ක් වැනි ඉහළම අගයකට ගෙනෙන්නට ලංකාවට හැකි විය.


විද්‍යාඥයන්ගේ පරිශ්‍රමයට සමගාමීව ගොවීන් තාක්ෂණය වැළඳගැනීම ඊට විශාල වශයෙන් බලපෑවේය. 


ලංකාවේ වී වගා කරන වපසරියෙන් සියයට 98කට ආසන්න වූ ප්‍රමාණයක් මෙම වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද සඳහා භාවිත කරන්නේ මෙම පසුබිමේය.


 මෙවැනි තත්ත්වයකට අස්වැන්න ලබාදීමට ශාකයට දුන් එක් යෙදවුමක් වූයේ පෝෂණයයි. ඒ සඳහා පොහොර අවශ්‍යය.


පොහොර යනු නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන මූලික මූලද්‍රව්‍ය තුන ලබාදෙන ප්‍රභවයයි.


 ඒවා අවශ්‍ය අවස්ථාවේදී ඉක්මනින් ශාකයට ලබා දිය යුතුය.


 නයිට්‍රජන් සියයට 46ක් අන්තර්ගත යූරියාත් පොස්පරස් ප්‍රභේදය ලබාදෙන සාන්ද්‍ර සුපර්පොස්පේටුත් පොටෑසියම් ලබාදෙන මියුරේට් ඔෆ් පොටෑස් යන පොහොරත් ලොව පුරා ජනප්‍රිය වූයේ ඒ අනුවය.


 පොහොර සුළු ප්‍රමාණයකින් පෝෂකය කඩිනමින් ශාකයට ලබාදීමේ හැකියාව ඊට බලපෑවේය.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වත්මන් වැඩපිළිවෙළ සකස් වී තිබුණේ හෙක්ටයාරයකට වී ටොන් පහක් ලබාගැනීමේ ඉලක්කයටය. 


ඒ ඉලක්කයේදී වී ශාකයට හෙක්ටයාරයට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක් අවශ්‍යය. 


2013 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශයට අනුව හෙක්ටයාරයකට යූරියා කිලෝ ග්‍රෑම් 225ක් යෙදිය යුතු යැයි නියම වූයේ මේ අවශ්‍යතාව අනුවය.


 යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය සියයට 46කි. කිලෝග්‍රෑම් 225 ක් යෙදූ විට එය 0.46න් වැඩි කළ විට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 103.5කි.


 මා මෙම කතාව ගණන් හිලව් ඇතිව කියන්නේ අන් කිසිවක් නිසා නොව පොහොර නිර්දේශය යනු දීර්ඝ වශයෙන් කෙරුණු පර් යේෂණවල ප්‍රතිඵලයක් බව පෙන්වාදීමටය.


 පොහොර මගින් පෝෂකය මුදා හරින වේගයත් ශාකය මගින් පෝෂකය උරාගන්නා වේගයත් සමපාත කිරීමෙන් නිර්මාණය වන මේ සූත්‍රය හිතළුවක් නොවේ.


 යූරියා කිලෝග්‍රෑම් 225 වුව එකවර නොමැතිව වාර කීපයකදී ශාකයට ලබාදෙන්නේ එනිසාය.


යූරියාවල උපයෝගිතා කාර්යක්ෂමතාව සියයට 30 බවට බෙරිහන්දෙන්නන්ට කියන්නට තිබෙන්නේ මෙසේ කොටස් වශයෙන් පොහොර යෙදීම ඊට පිළිතුර බවය.


එසේම විද්‍යාඥයන් හැමදා කීවේ රසායනික පොහොර සමග කාබනික ද්‍රව්‍ය යොදන්නැයි කියාය. 


ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය යන බරපතළ වචන හතරෙන් කියන්නේ ඒකය.


කෘෂිකර්මය ගැන මෑතකාලීන විවාදයේදී ඇතැමුන් යොමුකළ අමුතු තර්කවලට ද පිළිතුරු දෙමින් මේ කතාව ඉදිරියට යා යුතුය.


 සිංහරාජය වැනි වනාන්තරවල පොහොර නොදා ගස් හැදෙන්නේ කොහොමද යන්න එවැනි ජනප්‍රිය ප්‍රශ්නයක් විය.


 ස්වාභාවික පරිසර පද්ධතියක් යනු චක්‍රීකරණය වන සංවෘත පරිසර පද්ධතියකි. 


එහෙත් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් යනු සෑමවිටම අස්වැන්න ලෙසින් කොටසක් ඉවත් වන පරිසර පද්ධතියයි.


 නිදසුනකට අප වී අස්වැන්න ඒ බිමේම පොළවට දමා පස් කරන්නේ නැත. 


එවිට පරිසර පද්ධතියෙන් කිසියම් පෝෂක ප්‍රමාණයක් ඉවත් කෙරේ.


 හෙක්ටයාරයකින් වී ටොන් පහක අස්වැන්නක් ගත්තොත් අප ඊට යෙදූ නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 103.5න් කිලෝ ග්‍රෑම් 50ක් ඉවත් වේ.


මේ ඉලක්කම දකින අයකු ඇතැම්විට එසේනම් කිලෝග්‍රෑම් 50ක් පමණක් යොදන්නට තිබුණා නේදැයි ඇසිය හැකිය. 


ඊට පිළිතුර නම් අස්වැන්නක් ගැනීමට නම් ශාකය ද හොඳින් වර්ධනය විය යුතු බවය. 


මනුෂ්‍ය දරුවා බඩගා දණගා පෙරපාසල පාසල හා සරසවි පිවිසුමට පැමිණියා හා සමානවම ශාකයක ද වර්ධනීය අවස්ථා ඇත. 


මේ ක්‍රමික විකාශනය හා ඊට අදාළ ගණනය කිරීම් තේරුම්ගැනීමෙන් තොරව වගාව ගැන කරන කුප්‍රකට වාදයන්ගෙන් පලක් නැත. 


ශාකයක් යනු ද ජීවියෙකි.


 ජීවියාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය නොදුන්නොත් අපට අවශ්‍ය අස්වැන්න ලැබෙන්නේ නැත. 


මේ සරල සිද්ධාන්තය තේරුම්ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය නැත.


කෙසේ වෙතත් කෙනකුට ඊළඟට ඇසිය හැකි ප්‍රශ්නයක් නම් මේ යෙදවුම් කාබනික ද්‍රව්‍ය හරහා ප්‍රදානය කිරීමට නොහැකිද යන්නයි.


 අප වගාවට කාබනික ද්‍රව්‍ය යොදන්නේ ආකාර කීපයකටය.


එක් ආකාරයක් නම් පෝෂක ලබාදීමේ අරමුණෙන් කෙරෙන කාබනික පොහොරය. 


දෙවැන්න කොම්පෝස්ට්ය. 


කොම්පෝස්ට් යනු පොහොරක් නොවේ. 


කොම්පෝස්ට් පසට ලබාදෙන්නේ පසේ තිබෙන රසායනික, භෞතික, ජීව විද්‍යාත්මක ගුණාංග දියුණු කිරීමටය. 


හොඳින් සැකසූ කොම්පෝස්ට්වල නයිට්‍රජන් අන්තර්ගත වන්නේ සියයට 1ක් වැනි සුළු ප්‍රතිශතයකි. 


ප්‍රශස්ත කාබනික පොහොරක නයිට්‍රජන් අන්තර්ගත වන්නේ සියයට 1.5-3 දක්වාය. 


බොහෝ අය කියන මුහුදු පැලෑටිවලින් ගතහැක්කේ ද අතිශය සුළු නයිට්‍රජන් ප්‍රමාණයකි.


එවැනි ප්‍රතිශතයක් පවා ලැබෙන කෙල්ප් නමැති මුහුදු පැලෑටිය වැවෙන්නේ ද උත්තර ධ්‍රැවය වැනි අතිශය ශීතාධික කලාපයේය. 


ඒවායෙන් හිතුමතයට අස්වනු නෙළාගන්නට ද නොහැකිය.


 නෙළාගත්තත් ශාකයේ උපරිම ලෙස ඇති සියයට 6ක නයිට්‍රජන් ප්‍රතිශතය නිෂ්පාදන ක්‍රියාවලියේදී තවත් අඩුවේ. 


මේ ගණන් හිලව් මෙසේ දක්වන්නේ පොහොර පිළිබඳ වාදයේ ඇත්ත කතාව තේරුම්ගැනීමේ පහසුව තකාය.


 සැබැවින්ම රජය පවා මුලදී කාබනික පොහොර සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති සකසමින් සිටියේ මේ කරුණු ගැන දැනුවත්වය. 


ප්‍රශ්නය පැමිණියේ කාබනික වගාව රැඩිකල් ලෙස කරන තැනට තල්ලු කළ උපදේශකයන්ගේ විද්‍යාත්මක ඥානය නිසාය. 


එමෙන්ම මේ විෂය ගැන මෙලෝ දැනුමක් නැති මිනිසුන් ද ඊට එකතු වූ කළ කෘෂිකර්මාන්තය වළපල්ලට යවන තැතක් බවට එය පත්විය. 


ජනාධිපතිවරයාවත් කෘෂිකර්ම ඇමැතිවරයාවත් රටේ කෘෂිකර්මාන්තය ගැන විෂය ප්‍රාමාණිකයන් විය යුතු නැත.


 එහෙත් ඔවුන්ට උපදෙස් දෙන ප්‍රතිපත්ති සකසන පිරිස වැරැදි උපදේශයක් දුනහොත් රටකට වන විනාශය සුළුපටු නැත.


ශ්‍රී ලංකා කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය මේ ක්‍රියාවලිය ආරම්භයේදීම අනතුරු ඇඟවූයේ මෙමගින් රටට විශාල අස්වනු හානියක් වනු ඇති බවය.


 ආහාර සුරක්ෂිතතාවයේදී අස්වැන්නේ ප්‍රමාණය යනු මූලික සාධකයකි. 


අස්වැන්නේ ප්‍රමාණය අඩුවීම වනාහි අප ලබන ආහාර ප්‍රමාණය ද අඩුවීමය. 


මහජනතාවට තවම මේ ගැන දැනී නැතත් ගොවිබිමේ සිටින ගොවීන්ට දැනටමත් එය දැනී තිබේ. 


ගොවීන් ගොවිබිමෙන් පාරට බැස්සේ සිය ජීවනෝපායට සිදුවන හානිය නිසාය. 


කෙසේ වෙතත් මේ අඳුරු වළා අතරේ යම් රිදී රේඛාවක් ද තිබේ.


 ඒ ගැන ද අවසන මෙහි සඳහන් කළ යුතුය.


 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම අවධාරණය කළේ රසායනික පොහොර සමග කාබනික ද්‍රව්‍ය යොදන්නටය.


 මේ සිදුවීම් පෙළ විසින් ගොවින්ට කාබනික ද්‍රව්‍ය යෙදීමට කිසියම් උනන්දුවක් ඇති කරනු ලැබිණි.


මා උදක්ම ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ උනන්දුව නම් නැති නොකරගන්නා හැටියටය. 


ශාකයට අවශ්‍ය මුළු පෝෂණය එමගින් නොලැබුණත් රසායනික පොහොරවල ඇති පෝෂණය නිසියාකාරව ශාකයට ලැබිය හැකි වාතාවරණයක් එයින් සැකසේ. 


එනිසා මේ උනන්දුව ගොවීන්ට ආයෝජනයකි.


මුලදී කතාවක් ආවේ ලංකාවට අවශ්‍ය තරම් කාබනික පොහොර ඇත කියාය.


 එහෙත් ඒවාට උපදෙස් දුන් පිරිස් ද ටික කාලයක් යද්දී සොයාගත නොහැකි විය. 


පෙර කී ආකාරයට අවශ්‍ය තරම් පොහොර ලංකාවේ නැති වග රජයට ද පැහැදිලි විය. 


චීනයෙන් පොහොර ආනයනය කරන තැනට කටයුතු සිදුවූයේ ඉන්පසුවය. 


මේ වනවිට එම පොහොර නැව ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරවය. 


එය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනුවක් බවට පත්ව ඇති නිසා ඒ ගැන මම කතා නොකරමි.


එහෙත් මේ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා කාර්යසාධක බලකා කීපයක්ම පත්කරමින් වෑයමක් ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වන අයුරු ද අපට දකින්නට ලැබිණි.


 හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ කාර්යසාධන බලකාය යනු ඒ සඳහා ගත් ආසන්නතම වෑයමයි.  


මීට පෙර මහින්ද අමරවීර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කාර්යසාධක බලකායක් ද විය. 


මා දන්නා ආකාරයට එය ද බලරහිත කළ බවක් වාර්තා වූයේ නැත.


කෙසේ වෙතත් රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් සේනාධිපති වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කිසිදු බලකායක සිටිනු අපි දුටුවේ නැත.


 මෙය ඉතා බරපතළ කරුණකි. 


රටේ කෘෂිකර්මය ගැන නිල බලයෙන් ප්‍රතිපත්ති සැකැසීමේ නියමුවා නැති කාර්යසාධක බලකායකින් කුමන පලයක්ද?


 ජනාධිපතිවරයා හොඳ චේතනාවකින් ද මීට මුල පුරන්නට ඇත. 


එසේම කිසිවකු හෝ දුන් නම් ලැයිස්තුවක් ද ඊට බලපාන්නට ඇතැයි කෙසේ නොසිතමුද? 


රටක ආර්ථික දියුණුවේ ප්‍රමුඛත්වය පෞද්ගලික අංශය දැරීම විය යුතුමය. 


ඒ ගැන අපට වාදයක් නැත. 


එහෙත් මේ තීරණාත්මක මොහොතේ නැවතත් තීන්දු ගන්නට පත්කරන ආකෘතිවලදී රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද්විතියීක තැනට ඇද දමනවා නම් එය බරපතළය.


 නිදසුනකට තේ මණ්ඩලය, තේ පර් යේෂණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගහැර අපට තේ වගාව සම්බන්ධයෙන් තීරණ ගත නොහැකිය. 


අප බලධාරින්ට කියන්නේ මේ දේවල් මේ ආකාරයට සිදුවෙන්නට ඉඩනොදෙන්නැයි කියාය. 


මේ ගන්නා තීන්දු, අර්බුදයේම දිගුවක්ම වේවිද නොවේවිද යන්න මේ හඬට සාවධාන වීම හෝ නොවීම මත තීරණය වනු ඇත.


(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

Monday 28 November 2016

ශීෂ්‍ය නායක මණ්ඩල අවුල..




ශිෂ්‍ය නායක මණ්ඩල යනු පාසල්වල පරිපාලනය පහසු කරන සංවිධාන ව්‍යුහයේම කොටසකි. ශිෂ්‍ය විනය පවත්වාගෙන යෑම එම සංවිධානයේ මූලික වගකීමකි. එහෙත් නව යොවුන් වියේ පාසල් සිසුහු වනාහි අලුත් දේට ඇලුම් කරන වෙනස්කම් කිරීමට ලැදි පිරිසකි. විශේෂයෙන්ම විලාසිතා ලොව නව රැලිවලින් බේරීමට පාසල්වල ජ්‍යෙෂ්ඨ පංතිවලට ද නොහැකි පසුබිමක ශිෂ්‍ය නායකයන් හා සෙසු සිසුන් අතර නොමනාපකම් හටගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් අධ්‍යාපනය මුහුණ දී ඇති විෂම චක්‍රයේ අනිසි බලපෑම් හමුවේ ශිෂ්‍ය නායක මණ්ඩල සංවිධානය ද විවිධ රළ රැලිතිවලට භාජනය වෙමින් තිබේ. ඒ පැරැණි ආකාරයෙන් නොවේ.


ඇතැම් ශිෂ්‍ය නායක මණ්ඩල ඒ විදුහල්වලම ගුරුවරුන් විසින් හඳුන්වනු ලබන්නේ ඉස්කෝලෙ පොලිසිය හැටියටය. මේ නාමයෙන් බැට කන අනෙක් පිරිස වන්නේ පාසල්වල ශිෂ්‍ය භට ඛණ්ඩයයි. එහෙත් අද වනවිට එකී සාම්ප්‍රදායික නාමකරණයන්ගෙන් ද ඔබ්බට ගිය විෂම චක්‍රයක කොටස්කරුවන් වන්නට ඇතැම් පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩලවලට සිදුව තිබේ. ඇතැම්විට ඒ විදුහල්පතිවරුන්ට එරෙහිව ආදි ශිෂ්‍ය සංගම්වල අතකොළු හැටියටය. ඇතැම්විට විදුහල්පතිගේ පාර්ශ්වය නියෝජනය කරමින් ආදි ශිෂ්‍ය සංගමයේ පිළිමළුන් හැටියටය. එසේත් නැතිනම් පාසල්වල පැරැණි සම්ප්‍රදායන් හා වටිනාකම් පද්ධතිය රැකගැනීම වෙනුවෙන් අධ්‍යාපනය වාණිජකරණයට ලක්කිරීමට එරෙහිවය. කෙසේ වෙතත් මේ වර්ග අතරෙන් අවසාන වශයෙන් සඳහන් කළ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඇත්තේ අතළොස්සකි.


අල්ලස් දී දරුවන් පාසලට ඇතුලත් කිරීමේ සිට අධ්‍යාපන විෂම චක්‍රයේ ඇණ මුරිච්චි බවට ඌනණය වන තැනට පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩල පත් කර තිබේ. එය කොතෙක් දරුණු වී ඇතිද යත් ඇතැම් පාසල්වල විදුහල්පති යවනවාද නැද්ද තීරණය කරනු ලබන්නේ ද සිසු නයුවන් විසිනි. ඇතැම් තැන්වල ධනය, බලය පමණක් නොව කුලය පවා ශිෂ්‍ය නායක මණ්ඩල ප්‍රධානියා පත්කිරීමේ නිර්ණායක බවට පත්ව තිබේ. සිසු නයු අවුලේ සුලමුල කෙටියෙන්වත් මෙසේ දැක්වීම මැනවැයි සිතුණේ මහනුවර ධර්මරාජ විදුහලේ සිසු ගැටුම ගැන පළවන ඇතැම් විචාර නිසාය.  ජනප්‍රිය පාසල් නමැත් ආශ්වාදනීය මිථ්‍යා කතාවේ කසී සළුවෙන් මේ සියලු වැඩවසම් ලක්ෂණ වසා ඇති පසුබිමෙක සිසුන්ගේ විනය ප්‍රශ්න යනු එහිම කොටසකි. 



නොඑසේව සිසු ගැටුම් මහා පොදු සාධක සේ දැකීම ඇත්ත ප්‍රශ්නය යටගැසීමකි. කපටිකමකි. එනිසා කළයුත්තේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය විනාශ කරමින් දළු ලන විභාග කේන්ද්‍රීය වූත් ධනය කේන්ද්‍රීය වූත් විෂම චක්‍රය හෙළිකිරීමය. නිදහස් යැයි කියන අධ්‍යාපනය තුළ පවා ඈත ගම් නියම්ගම්වල දුවා දරුවන් අකුරු සාස්තරයට විඳින දහ දුකත් ජනප්‍රිය පාසල්වාදයේ වැජඹෙන වරප්‍රසාදිත කතා වස්තුවත් හෙළිවන්නේ එවිටය.

නිශ්ශබ්ද ව්‍යවස්ථාවේ මූලිකාංග බලමු ද?


ව්‍යවස්ථාව සඳහා වූ සාකච්ඡාවේ පක්ෂ විපක්ෂ නියෝජිත පිරිස

නිදහසින් පසුව මෙරට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් ක්‍රියාවට නැගුණේය. ඒ 1972 හා 1978 වශයෙනි. දැනට අප පාලනය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. කෙසේ වෙතත් දශක ගණනක් තිස්සේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දුබලතා හා සීමාසහිතකම් සම්බන්ධයෙන් නැගුණේ දැඩි විවේචනය. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සම්පාදනයට පොදු අපේක්ෂක පිල ජන වරමක් ඉල්ලා සිටියේ ද එම පසුබිමේය. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා වූ පියවර එකින් එක ආණ්ඩුව තබමින් සිටී. එහෙත් ඒ ඉතාම නිහඬවය. දූෂණවිරෝධය ඊට වඩා ප්‍රබල සටන් පාඨයක්ව මතුවීමත් ආර්ථික ප්‍රශ්නත් නිසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මහජනතාවට දැනෙන්නේ නැති තරම්ය. නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ අනු කමිටු වාර්තා හයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 19 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ද එහි තවත් පියවරක් වශයෙනි.

එම අනුකාරක සභා හය මෙසේය.

1.මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාව
2.අධිකරණය පිළිබඳ අනුකාරක සභාව
3.මුදල් පිළිබඳ අනුකාරක සභාව
4.ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාව
5.රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව
6. මධ්‍ය සහ පරිධිය අතර සබඳතා අනුකාරක සභාව

මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභා වාර්තාව තරමක් දීර්ඝය. 2009 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාදක ලේඛනය ලෙස ගෙන සකසා ඇති මෙම වාර්තාව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තා නිර්දේශ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා දේශපාලන පක්ෂ ඇතුලුව විවිධ සමාජ කණ්ඩායම්වල අදහස්වලින් පෝෂණය වී ඇත. සමාජ හා ආර්ථික අයිතින් හා රාජ්‍ය ක්‍රියාකාරකම් අධිකරණ විමර්ශනයට ලක්වීමේදී දකුණු අප්‍රිකානු මාදිලියෙන් ආභාෂය ලබා ගැනීමට අනුකමිටුව කටයුතු කර ඇත. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සැකැසීමේදී පසුගිය කාලයේදී නැවත කෙටුම්පත් කළ නේපාලයේ ටියුනීසියාව, ඊජිප්තුව, වියට්නාමය, හයිටිය, සිම්බාම්බ්වේ, සෝමාලියාව හා දකුණු සුඩානය යන රටවල ව්‍යවස්ථා ද අධික්ෂණය කර ඇත. නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල වැඩි අවධානයක් දෙන සමාජ ආර්ථික අයිතින්වලට වැඩි ඉඩක් දීමට ද කමිටුව ක්‍රියා කර තිබේ.

අතුරුදහන්කරවීමෙන් මිදී සිටීමේ නිදහස- ප්‍රගීත් එක්නැලිගොඩ


මූලික අයිතිවාසිකම් හා නිදහස යන තේමාව යටතේ පෙළගස්වා ඇති අයිතිවාසිකම් වර්ගීකරණයෙහි පුද්ගලයාගේ නෛසර්ගික අයිතිය, අත්අඩංගුවට ගනු ලැබූ රඳවා තබාගනු ලැබූ හෝ චූදිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, බලහත්කාරයෙන් අතුරුදහන්කරවීමෙන් මිදී සිටීමේ නිදහස, වධ බන්ධනවලට ලක් නොවී සිටීමේ නිදහස, පුද්ගල ආරක්ෂාව, සමානාත්මතාවට සහ වෙන්කොට නොසැළකීමේ නිදහසට ඇති අයිතිය, සිතීමේ හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස, ප්‍රසිද්ධියේ ආගම ඇදහීමේ නිදහස, මක දැරීමට ඇති නිදහස, සංස්කෘතිය භුක්ති විඳීමට සහ ප්‍රවර්ධනයට සහ භාෂාව භාවිත කිරීමට ඇති අයිතිය, ප්‍රකාශනයේ සහ තොරතුරු දැනගැනීමේ නිදහස ඇතුලු කථනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස, යාම ඊමේ නිදහස මූලිකව සඳහන්ව තිබේ. කම්කරු හා වෘත්තිය සමිති අයිතිවාසිකම්, පවුල් අයිතිවාසිකම්, දේපළ හිමිකම් දැරීමේ අයිතිය, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා යුක්තිය වෙත ප්‍රවේශවීමේ හිමිකම් ගැන ද වැඩි අවධානයක් යොමුකිරීම කැපී පෙනේ.

අධිකරණයේ නිදහස


අධිකරණය පිළිබඳ අනුකාරක සභා වාර්තාව තරමක් කෙටිය. මූලික කාරණා හතරක් එහි පදනම ලෙස ගෙන ඇත. ඒ අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණ සංවිධාන ව්‍යුහය, අධිකරණ සමාලෝචනය ඇතුළුව අධිකරණවල අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හා එහි අධිකරණ බලය වශයෙනි. උපරිමාධිකරණවල විනිසුරන් පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාමයෝජනා කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත්කිරීමට මේ යටතේ යෝජනා කර ඇත. සියලුම උපරිමාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් සීමාවත් වැටුපත් එක සමාන විය යුතු බව යෝජනා කරන කමිටුව ඔවුන්ගේ විනය පාලනය සඳහා කොමිෂන් සභාවක් පත්කිරීමට ද නිර්දේශ කර ඇත. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධයෙන් වැදගත් වන ගැටලු නිරාකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණයක් පිහිටුවීට ද කමිටුව නිර්දේශ කිරීම කැපී පෙනේ.

මුදල් පිළිබඳ අනුකාරක සභා වාර්තාව දීර්ඝ විශ්ලේෂණයක නිරත වී තිබේ. රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා මුදල් විෂය බාර ඇමැති ධුරය නොදැරිය යුතුය යන්න එහි මූලිකම නිර්දේශය වීම සුවිශේෂීය. තිරසාර සංවර්ධනය හා සංවර්ධනයට යොමුවක් තබා ගනිමින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගවීමේ වැදගත්කම අවධාරණය කරන කමිටුව අයවැය ක්‍රියාවලිය ව්‍යුහහගත කිරීමේදී පළාත් සභා මට්ටමේ සිටම ශක්තිමත් මූල්‍ය කළමනාකරණ මූලධර්මවලින් මගපෙන්වීම පෙන්වා දේ. රාජ්‍ය වියදම් හා රාජ්‍ය මුදල් පිළිබඳ පාලනය ගැන ද දීර්ඝව දක්වා ඇත. රජයේ විගණන හා විගණකාධිපතිවරයා සඳහා වෙනම යෝජනාවලියක් එකතු කිරීම සුවිශේෂිය. 

ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාව සිය වාර්තාව කොටස් දෙකකින් දක්වා ඇත. පොලිසිය හා නීතිය බලාත්මක කිරීම එහි පළමු කොටසයි. ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජාතික පොලිසිය, පළාත් පොලිසිය, ජාතික පොලිස් කොමිෂන් සභාව, පළාත් පොලිස් කොමිෂන් සභා, පොලිස්පති, පළාත් පොලිස් කොමසාරිස්වරුන්, ජාතික හා පළාත් පොලිසිවල බලතල හා කාර්ය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ මහා නගර පොලිසිය, විශේෂ කාර්ය බළකාය, විවිධ සහ සංක්‍රාන්ති විධිවිධාන යන තේමා යටතේ පළමු කොටස සංග්‍රහ වී ඇත. ජාතික සහ රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සාමය මැයෙන් දෙවැනි කොටස සකස් කර ඇත. හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කළ හැකි අවස්ථා, හදිසි නීති රෙගුලාසි සැදිමේ අරමුණු, හදිසි නීති රෙගුලාසි සැකැසීම හා ජාතික ආරක්ෂණ මණ්ඩලය ගැන එහි සඳහන් වේ.

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව සිය වාර්තාව දක්වා ඇත්තේ කොටස් තුනකිනි. රාජ්‍ය පරිපාලනය නිර්වචනය, එහි වටිනාකම් සහ මූලධර්ම, ජාතික ක්‍රමසම්පාදන කොමිෂන් සභාව, ජනාධිපති කාර්යාලීය කාර්ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ සහ අග්‍රමාත්‍ය ලේකම්වරයා යන තේමාවලින් කරුණු දක්වා ඇති කමිටුව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක් හා රාජ්‍ය අංශ කාර්යසාධන සමාලෝචන නමැති කමිටු පිහිටුවීමට නිර්දේශ කර ඇත. පළාත් පාලන ආයතන සහ ඒවායේ සේවා නියුක්තිකයෝ නමැති කොටස යටතේ ග්‍රාම රාජ්‍ය ස්ථාපිත කිරීම ගැන වැඩි අවධානයක් යොමු කර ඇත. තවද අයවැයෙන් වෙන් කෙරෙන මුදල් පළාත් පළාන ආයතනවලට නොයා පළාත් සභාවල සිරවීම ගැන අවධාරණය කරමින් එම තත්ත්වය වැළැක්වෙන නීති සම්පාදන කළ යුතු බව කියයි.

මධ්‍යම හා පර්යන්ත සබඳතා පිළිබඳ කමිටු වාර්තාව තේමා කිහිපයක් යටතේ ගොනු කර ඇත. පළාත් පාලන ආයතන, ග්‍රාම රාජ්‍ය සංකල්පය, පළාත් විධායක කාරක සභා, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම යනාදී වශයෙන් කරුණු ගොනු කර ඇත. විශේෂයෙන්ම පළාත් සභා බලතල හා මධ්‍යම ආණ්ඩුවේ බලතලත් සමගාමී බලතල ලැයිස්තුවත් ගැන කරුණු දක්වා ඇත. පොලිසිය පරිපාලනය කිරීම මධ්‍යම ආණ්ඩුවේ මෙන්ම පළාත් කොමිසමක් පිහිටුවිය යුතු බව කියන කමිටුව පළාත් තුළ අපරාධකරුවන් හට නඩු පැවරීම සඳහා අභිචෝදක ජනරාල්වරකු පත්කිරීමට යෝජනා කරයි. පළාතක් තුළ ඇති රජයේ ඉඩම් අදාළ පළාතේ ව්‍යවස්ථාදායක සහ විධායක යාන්ත්‍රණයෙන් පාලනය විය යුතු නමුත් මධ්‍යම රජයේ නීත්‍යනුකූල කාර්ය සඳහා රජයේ ඉඩමක් නිදහස් කරන ලෙස මධ්‍යම රජයට පළාත් සභාවෙන් ඉල්ලා සිටීමට අයිතිය ඇති බව කමිටුව නිර්දේශ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේත් පිරිසක් නියෝජිතයන් ලෙස


මෙම කමිටු වාර්තාවලට සමාන්තරව විවිධ දේශපාලන පක්ෂ ද සිය මත අදහස් පළ කරන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම ජාතික හෙළ උරුමය ඒ සම්බන්ධයෙන් විධිමත් යෝජනාවලියක් බාර දී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ මතවාදී සටන්කරුවෝ ද නව ව්‍යවස්ථාව ගැන අදහස් දක්වමින් සිටිති. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ ද එකිනෙකට වෙනස් මත පළවෙමින් තිබේ. ඒ ශ්‍රීලනිප හා පිටස්තර පක්ෂවල අය අතරය. ජාතික නිදහස් පෙරමුණේ වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම නිර්දේශ නැවත සාකච්ඡාවට සහ සංශෝධනයට ලක්‌කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිය යුතු බවයි. නැතහොත් සභාව තුළ රැඳී සිටින අතර එම වාර්තා සියල්ල ප්‍රතික්‌ෂේප කළ යුතු බවයි. එසේ නොවුවහොත් රටේ මහජනයාට නව ව්‍යවස්‌ථාවේ අඩංගුවීමට නියමිත බරපතළ බෙදුම්වාදී ලක්‍ෂණ පිළිබඳව “විපක්‍ෂයේ විරෝධයක්‌ නොමැත“ යන පණිවිඩය ලැබෙනු ඇතැයි ඔහු පවසයි. එම නිසා පළමුවෙන් සිදුවිය යුත්තේ වහාම සියලු‍ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස ආණ්‌ඩුවට බලකිරීම යැයිද ඔහු පවසයි. එසේ නොවන තත්ත්වයක්‌ යටතේ විපක්‍ෂය ඒවා රටට හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු කියයි.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ අනුකමිටු වාර්තා සියල්ල පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ලබාගැනීමට ඕනෑම කෙනෙකුට හැකිය. (මෙන්න පාර..http://www.constitutionalassembly.lk/)
 අදාළ දැනුම්වත්කිරීම් සඳහා වෙනම මාධ්‍ය ඒකකයක් ද කටයුතු කරයි. කෙසේ වුවද නව ව්‍යවස්ථාව ගැන පිබිදුණු සංවාදයක් තවමත් හටගෙන නම් නැත.

බිඟුන් මේනක ගමගේ


කළු සල්ලිකාරයන් දිගටම ක්‍රීඩාව කරගෙන යනවා- කිෂු ගෝමස්


කිෂූ ගෝමස්


බහුජාතික සමාගම් ක්ෂෙත්‍රයෙහි ළාබාලතම කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් කිෂූ ගෝමස් මහතා ක්‍රීඩා, කලා හා සමාජ සත්කාර අංශයන්හි ද සක්‍රීය චරිතයකි. ෂෙව්රොන් ලුබ්රිකන්ට් සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන හෙතෙම රටේ ආර්ථිකය ගැන ඇසූ ප්‍රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේය. 



විදුලි සංදේශන ක්ෂෙත්‍රයට අදාළව පැනැ වූ බදු නිසා අන්තර්ජාල, දුරකථන ඇමතුම් ගාස්තු විශාල ලෙස ඉහළ යනවා. මේ තත්ත්වය පොදුවේ සමාජයට කෙසේ බලපාවිද?

ආණ්ඩුවට ආදායම් සොයාගැනීම පහසු නිසා මේක ලේසි තීරණයක්. ඒත් මෙයින් රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා. විශේෂයෙන්ම මධ්‍යකාලීන හා දිගුකාලීන සංවර්ධනය පැත්තෙන් ගත්තාම මේක අනුවණ ක්‍රියාවක්. අපි හැමදාම කතා කළේ ලෝකයේ සෙසු රටවල් සමඟ තරඟ කිරීමේදී මානව සම්පත ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියලයි. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වූ සාක්ෂරතාවය හා පලදායීතාවය පැත්තෙන් ලෝකය සමඟ සසඳද්දී අපි ඉන්නේ ඉතාම පහළ මට්ටමකයි. ගම නගරයටත් රට දියුණු රටවලටත් සමීප කරන්නට ප්‍රබලම අවියක් වන්නේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයයි. ඒකට ලොකු පහරක් මේ වැදුණේ. ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ. රටේ අනාගතය සම්බන්ධයෙන් ඒක නරක තීරණයක්.

‘‘ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ...
සිහිනයක අතරමං කිරීම

මෙරට ආර්ථිකයේ එන්ජිම හැටියට හැඳින්වෙන පෞද්ගලික අංශයට හිතෛශී පියවර මෙවර අයවැයෙන් තබා ඇති බව ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසනවා. එවැනි පියවර තැබීමක් ඔබත් දකිනවාද?

දැනට නම් පේන්න නෑ. එහෙත් පවතින රාජ්‍ය සේවය තවත් පුළුල් නොකර එය කාර්්‍යක්ෂම කරන අතරේ රාජ්‍ය සේවකයන්ගේ බර පැන අවම කර රාජ්‍ය සම්පත් අවභාවිත නොකිරීමට පියවර ගන්නා බවක් පෙනෙනවා. පුද්ගලික අංශයට නැඹුරුවක් ඇති බව කතාවලින් පෙනුණත් තාම දකින්න නෑ. හැබැයි පුද්ගලික අංශය කෙරෙහි රජයට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒක බොහොම පැහැදිලියි. නමුත් පුද්ගලික අංශයේ දියුණුවට ඉවහල් වන ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුයි. එහෙම බැලුවාම මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට කියලා විශේෂයෙන් කරපු දෙයක් නෑ.

බදු ප්‍රතිපත්තියේදී පෞද්ගලික අංශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරාකාර ද?

වැට් වැඩි කිරීම වගේම සමහර අංශවලින් නොයෙක් දේවල් වැඩිකරලා තිබෙනවා. උදාහරණයකට ජාතිය ගොඩනැගීමේ බද්ද මෙතෙක් අදාළ නොවූ කර්මාන්ත කීපයකටම අදාළ කරලා තිබෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට පුද්ගලික අංශයේ පිරිවැය අනිවාර්යෙන්ම වැඩිවෙනවා. ලාභය අඩුවෙනවා. එවිට පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය අපට ප්‍රායෝගිකව දකින්නට බැරිව යනවා. එහෙත් මේ තරම් අපහසු මූල්‍ය තත්ත්වයක ඉඳලාත් ආයතන බද්ද 28%ක මට්ටමක තියාගෙන තිබෙනවා. ඒ වගේම කලින් රජය ඒක 28% සිට 24% දක්වා අඩුකිරීමට කතාබහක සිටියා. නමුත් මේ රජය ඒක ඒ මට්ටමින්ම තියාගෙන යනවා. ඒක ගැන ලොකු පැමිණිල්ලක් කරන එකත් සාධාරණ නෑ. මොකද ගෝලීය ආර්ථික තත්ත්වයත් ඒ තරම්ම හොඳ නෑ. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳද්දී ආයතනික බද්ද 28% කියන්නේ ඒ තරම් නරක මට්ටමක්ම නෙවෙයි. මොකද 40% 45% අය කරන රටවලුත් තිබෙනවා.

බොර තෙල් ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ වෙලා තිබෙනවා. බොර තෙල් මිල අඩුවීම ලංකාවට බලපාන්නේ කොහොමද?

 බොර තෙල් බැරලය ඩොලර් 35- 40 මට්ටමට වැටෙනකොට ලෝක ආර්ථිකය දියුණු වේය කියලා අපට බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඇත්තටම වුණේ ඒකෙ අනෙක් පැත්ත. මෙහි බලපෑම සෘජුවම ලංකාවට එල්ලවෙනවා. මොකද ලාංකික කතුන් විශාල සංඛ්‍යාවක් මැද පෙරදිග සේවය කරනවා. ඒ වගේම ඒ රටවලට තේ, මැණික්, රබර්, කුළු බඩු ආදිය අපනයනය කරනවා. මේවායේ විශාල පසුබෑමක් ඇති වී තිබෙනවා.

මූල්‍ය නගරය හා මහ නගර සැලසුම ගැන ආණ්ඩුව විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අපේක්ෂා ඇත්ත වේවිද?

යම් යම් සළකුණු අපි දකිනවා. ඒත් ඒ සැලසුම් ක්‍රියාත්මක වනතුරු අපට කියන්න බෑ. උදාහරණයක් හැටියට මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. දැන් නුවර අධිවේගී මාර්ගය 2019 වනවිට අවසන් කරන බව මහාමාර්ග ඇමැතිතුමා කියනවා. අපි දැන් ඉන්නේ 2016 කෙලවරේ. මොන ජගතා ආවත් වසර දෙකකින් මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කළ හැකි යැයි හිතන්න අමාරුයි. මේක දකුණු හෝ කටුනායක අධිවේගී මාර්ගය වගේ නෙවෙයි. හරිම සංකීර්ණයි. එනිසා ඇමැතිතුමාට එවැනි දේ කියන්න පුළුවන් වුණාට ඒක පිළිගතහැකි හෝ විශ්වාස කළ හැකි මට්ටමේ එකක් නොවන බව දැනටමත් අපට තේරෙනවා.


‘‘මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. 
මෙගා සිටි ගැන මෙගා ප්ලෑන්


ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදෙස් ඇමැතිවරයා ඇතුලු විශාල පිරිසක් විදේශයන්හි නිතර නිතර සංචාරය කරනවා. ආයෝජකයන් සමඟ කතා කරනවා. ඒත් විදෙස් ආයෝජන අපේ රටට නොඑන්නේ ඇයි?

  විදෙස් ආයෝජකයන් මෙරටට නොඒමට ඉතිහාසයේ සිට බලපෑ හේතු තිබෙනවා. පළමුවැන්න නමි ප්‍රතිපත්තිවල අසංගතභාවයයි. එනම් ප්‍රතිපත්ති නිතර වෙනස්වන බවයි. විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් රජය වෙනස් වනවිට වෙනස් නොවන ප්‍රතිපත්ති රටකට අවශ්‍යයයි. නමුත් අපේ රටේ අවාසනාවකට එකම රජය තුළ පවා ප්‍රතිපත්ති වෙනස්වුණා. ඒ වගේම අදත් වෙනවා. මේ රජය බලයට පත් වූ ගමන් සුපර් ගේන් ටැක්ස් එකක් කියලා බිලියන දෙකකට වඩා ලාභ ලබපු සමාගම්වලට 25%ක බදු අධිභාරයක් පැනෙව්වා. වැට් තාවකාලිකව නතර කිරීමට උසාවි තීන්දුවක් දෙනවිට නැවතත් මිල ගණන් වෙනස් කිරීමට සමාගම්වලට සිදුවුණා. නමුත් අතීතයට බලපාන අයුරින් බදු වැඩිකිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් එම නීති සම්පාදන කාර්ය හරිගියේ නෑ. රටක ආයෝජනය කිරීම ආරක්ෂිද නැද්ද කියලා ආයෝජකයන් තීරණය කරන්නේ මේවයින් තමයි. එහෙම බැලුවාම අපි හිටපු තැනින් තවත් පහළට බැහැලා.

විදෙස් ආයෝජකයන්ට දේශීය ණය සහන පවා ලබාදීමට මෙවර යෝජනා වුණා. එයින්වත් වෙනසක් නොවේවිද?

ලංකාවෙ තිබෙන්නේ කුඩා වෙළෙඳපොලක්. සාමාන්‍යයෙන් ආයෝජකයෙක් එන්නේ වෙළෙඳපොල ලොකු නම් දේශීය වෙළෙඳපොලට භාණ්ඩ හා සේවා සපයන අතරේම ඒ ප්‍රමාණයෙන්ම ඒ තරඟකාරීත්වය විදේශීය වෙළෙඳපොලෙහි ඇතිකරගැනීමයි. නමුත් ඒ දේ ලංකාව ඇතුලෙ කරන්න බෑ. වියට්නාමය, බංගලිදේශය, මියන්මාරය, චීනය යන රටවල් සමඟ සැසඳූ විට මේ සියල්ල විදෙස් ආයෝජකයන් සියල්ල ඇහැ ගහගෙන ඉන්න රටවල්. මේ රටවල දේශීය වෙළෙඳපොල ඉතා විශාලයි. ඒවායේ අනෙකුත් සාධක නැති වුණත් විදෙස් ආයෝජකයන් ආකර්ශනය වෙනවා. අපි තරඟ කළයුත්තේ මේ තත්ත්වය සමඟයි. නමුත් එම හැකියාව අපට නෑ. එහෙම නම් ඒකට හිලව් වෙන්න වෙන මොනවා හරි දෙන්න ඕනෑ. ඒ වගේම අපේ ප්‍රවාහන වැය, ශ්‍රමයේ මිල වැඩියි. විශේෂයෙන්ම ලංකාවේ තිබෙන තද කම්කරු රෙගුලාසිවලට ආයෝජකයන් කැමැති වෙන්නේ නෑ.

එහෙත් රාජපක්ෂ රජය යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් දැක් වූ උනන්දුව ආයෝජන හිතෛශී වටපිටාවකට හේතු වුණා නේද?

ආයෝජකයන් කියන්නේ මනුෂ්‍යයන්. ඔවුන් තමන්ට ඇති ඉඩ ප්‍රස්ථා ගැන හිතනවා. ඒ පැත්තෙන් බැලුවාම පසුගිය රජය විශාල වැඩකොටසක් කළා. විශේෂයෙන්ම කොළඹ නගරය සංවර්ධනය කළා. අධිවේගී මාර්ග දෙකක් හැදුවා. ගුවන් තොටුපළින් බැස්සාම කොළඹට පැය බාගෙන් දැන් එනවා. හැබැයි අධිවේගෙ නැති කාලේ ලංකාවට ආපු ආයෝජකයෙක් ගුවන් තොටුපළින් බහිද්දීම මේ රටට එන්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි. ඒ වගේම යුද්ධය අවසන් කළ නිසා බෝම්බ නෑ. වෙඩි තියාගැනීම් නෑ. පාරවල්වල බංකර් නෑ. ඒ වගේම මේ ආණ්ඩුව යටතේත් ජාත්‍යන්තරය තුළ අපට රටක් හැටියට විශාල ප්‍රතිරූපයක් ලැබුණා. හැබැයි මේ කියපු සියලු කාරණා අභිබවා පෙර කී නුසුදුසුකම් නැගී සිටිනවා. ප්‍රශ්නය ඒකයි.

80% 20% ලෙස තිබුණු වක්‍ර හා සෘජු බදු අනුපාතය 60% 40% මට්ටමට ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු දුන්නත් දැන් සිදු වී තිබෙන්නේ වක්‍ර බදු 87% ක් පමණ ඉහළ සීමාවකට දැමීමයි. මේ තත්ත්වයෙන් ජනතාවට එල්ල වන පීඩාව දරාගත හැකි වේවිද?

වක්‍ර බදු අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් මුදල් ඇමැතිවරයා කී ආකාරයට මේ රටේ ආදායම් බදු ගෙවන්නේ 9%යි. බදු මගහරින්නන් විශාලයි. රුපියල් මිලියන 100 කට වඩා බදු ගෙවන අය ඉන්නේ එක්කෙනයි. ඒත් මේ රටේ සිටින කෝටිපතියන් ගණන අපට බැලූ බැල්මටම නම්වලින්ම කිවහැකියි. මේක අදහගන්නත් බැරි තත්ත්වයක්. ඇත්තම ප්‍රශ්නය වන්නේ බදු පැහැර හරින්නන් බදු දැලට හසුකරගැනීමට සිස්ටම් එකක් නැතිවීමයි. ඉතින් මෙවැනි තත්ත්වයකදී සෘජු බදු වැඩිකිරීමෙන් වෙන්නේ අර හැමදාම ගෙවන 10% තවත් මිරිකීම විතරයි. එහෙම මිරිකුවත් රටේ බදු ආදායමට ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා මේ පේන්න ඉන්න බදු මගහරින්නන් අල්ලාගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඔවුන් හැංඟිලා නෙවෙයිනෙ ඉන්නේ. ආණ්ඩුවට ඇයි අල්ලාගන්න බැරි.

කළු ආර්ථිකයට එරෙහිව ඉන්දියානු රජය මේ වනවිට විවිධ පියවර ගනිමින් සිටිනවා. ලෝක පරිමාණයෙන් මේ තත්ත්වය මැඩලන්නට සාර්ථක පියවර ගෙන තිබෙනවාද?

අනිවාර්යෙන්ම. එක්සත් ජනපදය, සිංගප්පූරුව වැනි රටවල පවතින නීති පද්ධති සමඟ කිසිවෙකුට බදු නොගෙවා සැඟව ඉන්න බෑ. කාරණය වන්නේ කළු සල්ලි තබාගෙන ඉන්න අය සමාජයේ ප්‍රබල චරිත වීමයි. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් දේශපාලන රැකවරණය මැද ඔවුන් මෙතෙක් කරගෙන ආ ක්‍රීඩාව දිගටම කරගෙන යනවා. අපිට දකින්නට තිබෙන්නේ ඒකයි.

දුම් වැටි හා දුම්කොළ සම්බන්ධයෙන් බදු පැනවීමේදී ආණ්ඩුව බොහෝවිට අනුගමනට කළේ සදාචාරමය හා සෞඛ්‍යමය පදනම්. ආර්ථික විදාඥයන් එය විවේචනය කළා. මේ බදු පැනවීමේ පසුබිමට ඔබ එකඟ ද?

මම නම් දකින්නේ ඒක සදාචාරමයභාවයෙන් කළ දෙයක් හැටියට දේශපාලනිකව විකුණලා මුදල් හොයාගන්න ආණ්ඩුව කටයුතු කළ බවයි. මොකද එහෙම නැත්නම් සදාචාරමය පැත්තෙන් දුම්වැටි පාලනයට තවත් ගන්න පියවර තිබෙනවා. අන්තයක් වශයෙන් ගත්තොත් අවශ්‍ය නම් දුම්වැටි තහනම් කරන්නත් රජයකට පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මෙතැන තියෙන්නේ. අද සිගරට්වලින් ලැබෙන ආදායම නැත්නම් මේ රටේ බොහෝ සේවාවලට වෙන්කරන්න මුදල් නෑ. සේවා සැපයීම වෙනුවෙන් දුම්වැටි විකිණීමේ වාතාවරණය හදන්න කියලා නෙවෙයි මම කියන්නේ. අවාසනාවකට දුම්වැටියෙන් ලබන ආදායම අපේ ආර්ථිකයේ ලොකු පංගුවක් වෙලා ඉවරයි. ඒක ඇත්තටම වෙනස් කරන්න දේශපාලකයන් බයයි කියලයි මට හිතෙන්නේ. මෙච්චර විශාල ත්‍රිවිධ හමුදාවක් ඉන්න රටක තාමත් කසිප්පු පෙරන එක, ගංජා වවන එක වළක්වගන්න, මැරකම් ඇතුලු සමාජවිරෝධී වැඩ අඩුකරන්න අපිට හැකිවෙලා තිබෙනවාද? වර්ගකිලෝමීටර හැටපන්දාහ ඇතුලේ මේ දේවල් එළිපිට වෙනවා. කාගෙද වරද..

රියැදුරු ත්‍රස්තවාදය මැඩලීම සඳහා යැයි කියමින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් අතිශය අධික දඩ මුදල් අයකිරීම කෙතරම් තාර්කික ද? ප්‍රායෝගික ද?

මාර්ග අනතුරු නිසා දවසකට ජීවිත හතක් අටක් අහිමි වෙනවා. මාර්ග අනතුරු නිසා රුපියල් බිලියන 130 ක් වටිනා සම්පත් විනාශ වෙනවා. මානව සම්පත පැත්තෙන් ගත්තත් ආර්ථිකය පැත්තෙන් ගත්තත් මේක විශාල විනාශයක්. මේක වෙනස් කළ යුතුයි. එහිදී එක පියවරක් හැටියට දඩ මුදල් වෙනස් කිරීම ගැන ඇත්තටම මගේ විරෝධයක් නෑ. මොකද අධිවේගෙන් ගිහින් රුපියල් 500 ක් දීලා බේරෙන්න පුළුවන් නම් බලපෑමක් නෑනෙ. සමාජ පාලක නීති යාවත්කාලීන විය යුතුයි. උදාහරණයකට ලංකාවේ බස් රථ හා ත්‍රී රෝද රථ වැඩියි. බස් රථ යන්නේ රේස්. ඒත් ගුණාත්මක නෑ. පහසුකම් නෑ. බස් එකට නැග්ගාම තොරොම්බල් වගේ. කණ පැලෙන්න කැසට් දාලා. හෝන් ගහගෙන විකාරෙන් යන්නේ. ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. මේ තත්ත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි.

‘‘ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. “

සංවාදය- බිඟුන් මේනක ගමගේ


Thursday 24 November 2016

බත් පතට වැලි දැමීම..




බත් පතට වැලි දැමුව
බත් අතට ඇණ ගැහුව
බත්ම කන මහත්වරුනේ ගරුතර
පත්තරවලට අමතර..

බස්තමක් වුව වනන්නට දුරක් ඇත
මට්ටුවක් වුව කරන්නට කලක් ඇත
මඳහසින් බොටුව වෙත පනින විට
කැඩපතින් බලනු මැන නුඹේ වත..

බහට නිරිඳුන් තෙපළ බලය ගැන සිතුණු සඳ
කෙවිටකින් නොතලාම වුව දණින් වැටුණු සඳ
රජ භොජුන් වළඳමින් ආත්මය වළ දැමුව
අතීතය මරන්නට පහසු නැත

මිහිරි වුව මුසා බස් පවිටුමය
ගලන්නේ සිත්වලින් කහටමය
ඊනියා කිත් යසස් සුමටමය
මේනියාවක් වුණේ පවටමය

ඒ නිසා මැතිඳුණේ බත්ම කන
බත් පතට වැලි දමන විටදි තව
ඉක්මනින් සක්මනට නොයනු මැන
යපස් ගිනි දියෙන්මය උදම් වන
යදම් පුපුරවාලයි උදම් රළ..