Tuesday 12 May 2015

මහින්ද බලන්නට ආ ජනතාව කවුද?

‘‘මම තනතුරු ඉල්ලුවේ නැහැ. ඉල්ලන්නෙත් නැහැ. තනතුරු ජනතාව තුළින් ඉල්ලන දෙයක්‌. ජනවාරි 09 වැනිදා ජනතාව ඇවිත් මාව හමුවුණා. ජනතාව වියදම් කරගෙන මාව බලන්න ආවා. මට හිතුණා මා විසින් වියදම් කරගෙන පන්සල්වලට, දේවාලවලට ඇවිත් ජනතාව හමුවන්න. ඇත්තටම මේ දවස්‌වල ජීවත්වන්නේ පන්සල්වල, දේවාලවල.“....... මහින්ද රාජපක්ෂ
                             
                                 මේ
පෙරේදා(10) හික්කඩුව සීනිගම දේවාලයට ආපු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට කියපු කතාව. ඇත්තටම මේ කතාව දැක්කාම හිතුණේ ලංකාවේ ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තාමත් මහින්ද රාජපක්ෂ නම් පාඩමක් ඉගෙනගෙන නැති පාටයි. තනතුරු ඉල්ලන්නේ නැතිව තනතුරුවලට පැමිණීමක් ආගමික ශාසනවල කෙසේවෙතත් දේශපාලනයේ නම් නෑ. දේශපාලනය කියන්නේම බලය සඳහා බලය පසුපස දිවයෑමක්. ඒ දිවයෑම නියතියක් නිසා තමයි මහින්ද රාජපක්ෂ තාමත් පන්සල් කෝවිල් ගානේ බඩගාන්නේ. එහෙම නැත්නම් ජීවිතයේ සැඳෑ කාලයවත් නිස්කලංකේ නිවාඩු පාඩුවේ ගතකරන්න ඔහුට පුළුවන් වෙන්න ඕනෑ. මේ නම් බලකාමයම මිස වෙන කිසිවක් නෙවෙයි.

දෙවැනි කාරණය තමයි ඔහු කියන ජනතාව. ජනවාරි 9 වැනිදා ඇවිල්ලා ඔහුව මුණගැහුණාය කියන ජනතාව. දේශපාලනයේදී සාමාන්‍ය ජනයා මුලාකරන ලෙස බස හැසිරවීමට ලංකාවේ බොහෝ දේශපාලකයන් දක්ෂයි. ඒ දක්ෂකම කියන්නේම අඩුදේශපාලනික දැනුමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවම සංකල්පීය දැනුමක් සහිත සමාජයක ජයටම ඇතිකරගන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක දක්ෂකමට වඩා කපටිකම. මහින්දගෙ කතාව දකින සාමාන්‍ය මනුස්සෙයකුට වුණත් එක්වරම හිතට එන්නේ ඇත්තටම තාමත් මහින්ද එක්ක මිනිස්සු ඉන්නවා වගේ අදහසක්. ඒත් ඇත්ත නම් මේ රටේ අතිබහුතර ඡන්දයකින් ඔහුව පරාජයට පත්කරලා ගෙදර යවලා ඉවරයි කියන එකයි. 

අතින් වියදම් කරගෙන පන්සල්, දේවාල ගානේ යන්නේ මිනිස්සු කරදරයක් වුණාම. ඒ වගේම තමයි ලංකාවේ දේවාලවලට යන සැළකිය යුතු පිරිසක් ඉන්නවා පාතාලයන්. පාතාලයොත් හොරුත් දූෂකයොත් දෙයියනේ කියලා සැප විඳලා ඉන්න හැටි දැක්කාම නම් දෙවියන් හා පාතාලය අතර ඇති සම්බන්ධය ශක්තිමත්දෝ කියලා හිතෙනවා. එහෙම බැලුවාම බලය තිබුණු කාලේ හැසිරුණු හැටි රෑට මතක් නොවෙන්න විදියකුත් නෑ නෙව. ඉතින් අතින් කාලා හරි පන්සල්, කෝවිල් ගානේ ගිහිල්ලාවත් හිත විරේක කරගන්න එකට නම් අපට දොසක් කියන්න බෑ. 

No comments:

Post a Comment