Monday 28 November 2016

ශීෂ්‍ය නායක මණ්ඩල අවුල..




ශිෂ්‍ය නායක මණ්ඩල යනු පාසල්වල පරිපාලනය පහසු කරන සංවිධාන ව්‍යුහයේම කොටසකි. ශිෂ්‍ය විනය පවත්වාගෙන යෑම එම සංවිධානයේ මූලික වගකීමකි. එහෙත් නව යොවුන් වියේ පාසල් සිසුහු වනාහි අලුත් දේට ඇලුම් කරන වෙනස්කම් කිරීමට ලැදි පිරිසකි. විශේෂයෙන්ම විලාසිතා ලොව නව රැලිවලින් බේරීමට පාසල්වල ජ්‍යෙෂ්ඨ පංතිවලට ද නොහැකි පසුබිමක ශිෂ්‍ය නායකයන් හා සෙසු සිසුන් අතර නොමනාපකම් හටගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් අධ්‍යාපනය මුහුණ දී ඇති විෂම චක්‍රයේ අනිසි බලපෑම් හමුවේ ශිෂ්‍ය නායක මණ්ඩල සංවිධානය ද විවිධ රළ රැලිතිවලට භාජනය වෙමින් තිබේ. ඒ පැරැණි ආකාරයෙන් නොවේ.


ඇතැම් ශිෂ්‍ය නායක මණ්ඩල ඒ විදුහල්වලම ගුරුවරුන් විසින් හඳුන්වනු ලබන්නේ ඉස්කෝලෙ පොලිසිය හැටියටය. මේ නාමයෙන් බැට කන අනෙක් පිරිස වන්නේ පාසල්වල ශිෂ්‍ය භට ඛණ්ඩයයි. එහෙත් අද වනවිට එකී සාම්ප්‍රදායික නාමකරණයන්ගෙන් ද ඔබ්බට ගිය විෂම චක්‍රයක කොටස්කරුවන් වන්නට ඇතැම් පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩලවලට සිදුව තිබේ. ඇතැම්විට ඒ විදුහල්පතිවරුන්ට එරෙහිව ආදි ශිෂ්‍ය සංගම්වල අතකොළු හැටියටය. ඇතැම්විට විදුහල්පතිගේ පාර්ශ්වය නියෝජනය කරමින් ආදි ශිෂ්‍ය සංගමයේ පිළිමළුන් හැටියටය. එසේත් නැතිනම් පාසල්වල පැරැණි සම්ප්‍රදායන් හා වටිනාකම් පද්ධතිය රැකගැනීම වෙනුවෙන් අධ්‍යාපනය වාණිජකරණයට ලක්කිරීමට එරෙහිවය. කෙසේ වෙතත් මේ වර්ග අතරෙන් අවසාන වශයෙන් සඳහන් කළ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඇත්තේ අතළොස්සකි.


අල්ලස් දී දරුවන් පාසලට ඇතුලත් කිරීමේ සිට අධ්‍යාපන විෂම චක්‍රයේ ඇණ මුරිච්චි බවට ඌනණය වන තැනට පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩල පත් කර තිබේ. එය කොතෙක් දරුණු වී ඇතිද යත් ඇතැම් පාසල්වල විදුහල්පති යවනවාද නැද්ද තීරණය කරනු ලබන්නේ ද සිසු නයුවන් විසිනි. ඇතැම් තැන්වල ධනය, බලය පමණක් නොව කුලය පවා ශිෂ්‍ය නායක මණ්ඩල ප්‍රධානියා පත්කිරීමේ නිර්ණායක බවට පත්ව තිබේ. සිසු නයු අවුලේ සුලමුල කෙටියෙන්වත් මෙසේ දැක්වීම මැනවැයි සිතුණේ මහනුවර ධර්මරාජ විදුහලේ සිසු ගැටුම ගැන පළවන ඇතැම් විචාර නිසාය.  ජනප්‍රිය පාසල් නමැත් ආශ්වාදනීය මිථ්‍යා කතාවේ කසී සළුවෙන් මේ සියලු වැඩවසම් ලක්ෂණ වසා ඇති පසුබිමෙක සිසුන්ගේ විනය ප්‍රශ්න යනු එහිම කොටසකි. 



නොඑසේව සිසු ගැටුම් මහා පොදු සාධක සේ දැකීම ඇත්ත ප්‍රශ්නය යටගැසීමකි. කපටිකමකි. එනිසා කළයුත්තේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය විනාශ කරමින් දළු ලන විභාග කේන්ද්‍රීය වූත් ධනය කේන්ද්‍රීය වූත් විෂම චක්‍රය හෙළිකිරීමය. නිදහස් යැයි කියන අධ්‍යාපනය තුළ පවා ඈත ගම් නියම්ගම්වල දුවා දරුවන් අකුරු සාස්තරයට විඳින දහ දුකත් ජනප්‍රිය පාසල්වාදයේ වැජඹෙන වරප්‍රසාදිත කතා වස්තුවත් හෙළිවන්නේ එවිටය.

නිශ්ශබ්ද ව්‍යවස්ථාවේ මූලිකාංග බලමු ද?


ව්‍යවස්ථාව සඳහා වූ සාකච්ඡාවේ පක්ෂ විපක්ෂ නියෝජිත පිරිස

නිදහසින් පසුව මෙරට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් ක්‍රියාවට නැගුණේය. ඒ 1972 හා 1978 වශයෙනි. දැනට අප පාලනය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. කෙසේ වෙතත් දශක ගණනක් තිස්සේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දුබලතා හා සීමාසහිතකම් සම්බන්ධයෙන් නැගුණේ දැඩි විවේචනය. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සම්පාදනයට පොදු අපේක්ෂක පිල ජන වරමක් ඉල්ලා සිටියේ ද එම පසුබිමේය. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා වූ පියවර එකින් එක ආණ්ඩුව තබමින් සිටී. එහෙත් ඒ ඉතාම නිහඬවය. දූෂණවිරෝධය ඊට වඩා ප්‍රබල සටන් පාඨයක්ව මතුවීමත් ආර්ථික ප්‍රශ්නත් නිසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මහජනතාවට දැනෙන්නේ නැති තරම්ය. නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ අනු කමිටු වාර්තා හයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 19 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ද එහි තවත් පියවරක් වශයෙනි.

එම අනුකාරක සභා හය මෙසේය.

1.මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාව
2.අධිකරණය පිළිබඳ අනුකාරක සභාව
3.මුදල් පිළිබඳ අනුකාරක සභාව
4.ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාව
5.රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව
6. මධ්‍ය සහ පරිධිය අතර සබඳතා අනුකාරක සභාව

මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභා වාර්තාව තරමක් දීර්ඝය. 2009 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාදක ලේඛනය ලෙස ගෙන සකසා ඇති මෙම වාර්තාව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තා නිර්දේශ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා දේශපාලන පක්ෂ ඇතුලුව විවිධ සමාජ කණ්ඩායම්වල අදහස්වලින් පෝෂණය වී ඇත. සමාජ හා ආර්ථික අයිතින් හා රාජ්‍ය ක්‍රියාකාරකම් අධිකරණ විමර්ශනයට ලක්වීමේදී දකුණු අප්‍රිකානු මාදිලියෙන් ආභාෂය ලබා ගැනීමට අනුකමිටුව කටයුතු කර ඇත. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සැකැසීමේදී පසුගිය කාලයේදී නැවත කෙටුම්පත් කළ නේපාලයේ ටියුනීසියාව, ඊජිප්තුව, වියට්නාමය, හයිටිය, සිම්බාම්බ්වේ, සෝමාලියාව හා දකුණු සුඩානය යන රටවල ව්‍යවස්ථා ද අධික්ෂණය කර ඇත. නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල වැඩි අවධානයක් දෙන සමාජ ආර්ථික අයිතින්වලට වැඩි ඉඩක් දීමට ද කමිටුව ක්‍රියා කර තිබේ.

අතුරුදහන්කරවීමෙන් මිදී සිටීමේ නිදහස- ප්‍රගීත් එක්නැලිගොඩ


මූලික අයිතිවාසිකම් හා නිදහස යන තේමාව යටතේ පෙළගස්වා ඇති අයිතිවාසිකම් වර්ගීකරණයෙහි පුද්ගලයාගේ නෛසර්ගික අයිතිය, අත්අඩංගුවට ගනු ලැබූ රඳවා තබාගනු ලැබූ හෝ චූදිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, බලහත්කාරයෙන් අතුරුදහන්කරවීමෙන් මිදී සිටීමේ නිදහස, වධ බන්ධනවලට ලක් නොවී සිටීමේ නිදහස, පුද්ගල ආරක්ෂාව, සමානාත්මතාවට සහ වෙන්කොට නොසැළකීමේ නිදහසට ඇති අයිතිය, සිතීමේ හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස, ප්‍රසිද්ධියේ ආගම ඇදහීමේ නිදහස, මක දැරීමට ඇති නිදහස, සංස්කෘතිය භුක්ති විඳීමට සහ ප්‍රවර්ධනයට සහ භාෂාව භාවිත කිරීමට ඇති අයිතිය, ප්‍රකාශනයේ සහ තොරතුරු දැනගැනීමේ නිදහස ඇතුලු කථනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස, යාම ඊමේ නිදහස මූලිකව සඳහන්ව තිබේ. කම්කරු හා වෘත්තිය සමිති අයිතිවාසිකම්, පවුල් අයිතිවාසිකම්, දේපළ හිමිකම් දැරීමේ අයිතිය, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා යුක්තිය වෙත ප්‍රවේශවීමේ හිමිකම් ගැන ද වැඩි අවධානයක් යොමුකිරීම කැපී පෙනේ.

අධිකරණයේ නිදහස


අධිකරණය පිළිබඳ අනුකාරක සභා වාර්තාව තරමක් කෙටිය. මූලික කාරණා හතරක් එහි පදනම ලෙස ගෙන ඇත. ඒ අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණ සංවිධාන ව්‍යුහය, අධිකරණ සමාලෝචනය ඇතුළුව අධිකරණවල අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හා එහි අධිකරණ බලය වශයෙනි. උපරිමාධිකරණවල විනිසුරන් පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාමයෝජනා කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත්කිරීමට මේ යටතේ යෝජනා කර ඇත. සියලුම උපරිමාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් සීමාවත් වැටුපත් එක සමාන විය යුතු බව යෝජනා කරන කමිටුව ඔවුන්ගේ විනය පාලනය සඳහා කොමිෂන් සභාවක් පත්කිරීමට ද නිර්දේශ කර ඇත. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධයෙන් වැදගත් වන ගැටලු නිරාකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණයක් පිහිටුවීට ද කමිටුව නිර්දේශ කිරීම කැපී පෙනේ.

මුදල් පිළිබඳ අනුකාරක සභා වාර්තාව දීර්ඝ විශ්ලේෂණයක නිරත වී තිබේ. රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා මුදල් විෂය බාර ඇමැති ධුරය නොදැරිය යුතුය යන්න එහි මූලිකම නිර්දේශය වීම සුවිශේෂීය. තිරසාර සංවර්ධනය හා සංවර්ධනයට යොමුවක් තබා ගනිමින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගවීමේ වැදගත්කම අවධාරණය කරන කමිටුව අයවැය ක්‍රියාවලිය ව්‍යුහහගත කිරීමේදී පළාත් සභා මට්ටමේ සිටම ශක්තිමත් මූල්‍ය කළමනාකරණ මූලධර්මවලින් මගපෙන්වීම පෙන්වා දේ. රාජ්‍ය වියදම් හා රාජ්‍ය මුදල් පිළිබඳ පාලනය ගැන ද දීර්ඝව දක්වා ඇත. රජයේ විගණන හා විගණකාධිපතිවරයා සඳහා වෙනම යෝජනාවලියක් එකතු කිරීම සුවිශේෂිය. 

ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාව සිය වාර්තාව කොටස් දෙකකින් දක්වා ඇත. පොලිසිය හා නීතිය බලාත්මක කිරීම එහි පළමු කොටසයි. ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජාතික පොලිසිය, පළාත් පොලිසිය, ජාතික පොලිස් කොමිෂන් සභාව, පළාත් පොලිස් කොමිෂන් සභා, පොලිස්පති, පළාත් පොලිස් කොමසාරිස්වරුන්, ජාතික හා පළාත් පොලිසිවල බලතල හා කාර්ය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ මහා නගර පොලිසිය, විශේෂ කාර්ය බළකාය, විවිධ සහ සංක්‍රාන්ති විධිවිධාන යන තේමා යටතේ පළමු කොටස සංග්‍රහ වී ඇත. ජාතික සහ රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සාමය මැයෙන් දෙවැනි කොටස සකස් කර ඇත. හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කළ හැකි අවස්ථා, හදිසි නීති රෙගුලාසි සැදිමේ අරමුණු, හදිසි නීති රෙගුලාසි සැකැසීම හා ජාතික ආරක්ෂණ මණ්ඩලය ගැන එහි සඳහන් වේ.

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව සිය වාර්තාව දක්වා ඇත්තේ කොටස් තුනකිනි. රාජ්‍ය පරිපාලනය නිර්වචනය, එහි වටිනාකම් සහ මූලධර්ම, ජාතික ක්‍රමසම්පාදන කොමිෂන් සභාව, ජනාධිපති කාර්යාලීය කාර්ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ සහ අග්‍රමාත්‍ය ලේකම්වරයා යන තේමාවලින් කරුණු දක්වා ඇති කමිටුව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක් හා රාජ්‍ය අංශ කාර්යසාධන සමාලෝචන නමැති කමිටු පිහිටුවීමට නිර්දේශ කර ඇත. පළාත් පාලන ආයතන සහ ඒවායේ සේවා නියුක්තිකයෝ නමැති කොටස යටතේ ග්‍රාම රාජ්‍ය ස්ථාපිත කිරීම ගැන වැඩි අවධානයක් යොමු කර ඇත. තවද අයවැයෙන් වෙන් කෙරෙන මුදල් පළාත් පළාන ආයතනවලට නොයා පළාත් සභාවල සිරවීම ගැන අවධාරණය කරමින් එම තත්ත්වය වැළැක්වෙන නීති සම්පාදන කළ යුතු බව කියයි.

මධ්‍යම හා පර්යන්ත සබඳතා පිළිබඳ කමිටු වාර්තාව තේමා කිහිපයක් යටතේ ගොනු කර ඇත. පළාත් පාලන ආයතන, ග්‍රාම රාජ්‍ය සංකල්පය, පළාත් විධායක කාරක සභා, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම යනාදී වශයෙන් කරුණු ගොනු කර ඇත. විශේෂයෙන්ම පළාත් සභා බලතල හා මධ්‍යම ආණ්ඩුවේ බලතලත් සමගාමී බලතල ලැයිස්තුවත් ගැන කරුණු දක්වා ඇත. පොලිසිය පරිපාලනය කිරීම මධ්‍යම ආණ්ඩුවේ මෙන්ම පළාත් කොමිසමක් පිහිටුවිය යුතු බව කියන කමිටුව පළාත් තුළ අපරාධකරුවන් හට නඩු පැවරීම සඳහා අභිචෝදක ජනරාල්වරකු පත්කිරීමට යෝජනා කරයි. පළාතක් තුළ ඇති රජයේ ඉඩම් අදාළ පළාතේ ව්‍යවස්ථාදායක සහ විධායක යාන්ත්‍රණයෙන් පාලනය විය යුතු නමුත් මධ්‍යම රජයේ නීත්‍යනුකූල කාර්ය සඳහා රජයේ ඉඩමක් නිදහස් කරන ලෙස මධ්‍යම රජයට පළාත් සභාවෙන් ඉල්ලා සිටීමට අයිතිය ඇති බව කමිටුව නිර්දේශ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේත් පිරිසක් නියෝජිතයන් ලෙස


මෙම කමිටු වාර්තාවලට සමාන්තරව විවිධ දේශපාලන පක්ෂ ද සිය මත අදහස් පළ කරන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම ජාතික හෙළ උරුමය ඒ සම්බන්ධයෙන් විධිමත් යෝජනාවලියක් බාර දී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ මතවාදී සටන්කරුවෝ ද නව ව්‍යවස්ථාව ගැන අදහස් දක්වමින් සිටිති. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ ද එකිනෙකට වෙනස් මත පළවෙමින් තිබේ. ඒ ශ්‍රීලනිප හා පිටස්තර පක්ෂවල අය අතරය. ජාතික නිදහස් පෙරමුණේ වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම නිර්දේශ නැවත සාකච්ඡාවට සහ සංශෝධනයට ලක්‌කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිය යුතු බවයි. නැතහොත් සභාව තුළ රැඳී සිටින අතර එම වාර්තා සියල්ල ප්‍රතික්‌ෂේප කළ යුතු බවයි. එසේ නොවුවහොත් රටේ මහජනයාට නව ව්‍යවස්‌ථාවේ අඩංගුවීමට නියමිත බරපතළ බෙදුම්වාදී ලක්‍ෂණ පිළිබඳව “විපක්‍ෂයේ විරෝධයක්‌ නොමැත“ යන පණිවිඩය ලැබෙනු ඇතැයි ඔහු පවසයි. එම නිසා පළමුවෙන් සිදුවිය යුත්තේ වහාම සියලු‍ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස ආණ්‌ඩුවට බලකිරීම යැයිද ඔහු පවසයි. එසේ නොවන තත්ත්වයක්‌ යටතේ විපක්‍ෂය ඒවා රටට හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු කියයි.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ අනුකමිටු වාර්තා සියල්ල පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ලබාගැනීමට ඕනෑම කෙනෙකුට හැකිය. (මෙන්න පාර..http://www.constitutionalassembly.lk/)
 අදාළ දැනුම්වත්කිරීම් සඳහා වෙනම මාධ්‍ය ඒකකයක් ද කටයුතු කරයි. කෙසේ වුවද නව ව්‍යවස්ථාව ගැන පිබිදුණු සංවාදයක් තවමත් හටගෙන නම් නැත.

බිඟුන් මේනක ගමගේ


කළු සල්ලිකාරයන් දිගටම ක්‍රීඩාව කරගෙන යනවා- කිෂු ගෝමස්


කිෂූ ගෝමස්


බහුජාතික සමාගම් ක්ෂෙත්‍රයෙහි ළාබාලතම කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් කිෂූ ගෝමස් මහතා ක්‍රීඩා, කලා හා සමාජ සත්කාර අංශයන්හි ද සක්‍රීය චරිතයකි. ෂෙව්රොන් ලුබ්රිකන්ට් සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන හෙතෙම රටේ ආර්ථිකය ගැන ඇසූ ප්‍රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේය. 



විදුලි සංදේශන ක්ෂෙත්‍රයට අදාළව පැනැ වූ බදු නිසා අන්තර්ජාල, දුරකථන ඇමතුම් ගාස්තු විශාල ලෙස ඉහළ යනවා. මේ තත්ත්වය පොදුවේ සමාජයට කෙසේ බලපාවිද?

ආණ්ඩුවට ආදායම් සොයාගැනීම පහසු නිසා මේක ලේසි තීරණයක්. ඒත් මෙයින් රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා. විශේෂයෙන්ම මධ්‍යකාලීන හා දිගුකාලීන සංවර්ධනය පැත්තෙන් ගත්තාම මේක අනුවණ ක්‍රියාවක්. අපි හැමදාම කතා කළේ ලෝකයේ සෙසු රටවල් සමඟ තරඟ කිරීමේදී මානව සම්පත ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියලයි. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වූ සාක්ෂරතාවය හා පලදායීතාවය පැත්තෙන් ලෝකය සමඟ සසඳද්දී අපි ඉන්නේ ඉතාම පහළ මට්ටමකයි. ගම නගරයටත් රට දියුණු රටවලටත් සමීප කරන්නට ප්‍රබලම අවියක් වන්නේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයයි. ඒකට ලොකු පහරක් මේ වැදුණේ. ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ. රටේ අනාගතය සම්බන්ධයෙන් ඒක නරක තීරණයක්.

‘‘ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ...
සිහිනයක අතරමං කිරීම

මෙරට ආර්ථිකයේ එන්ජිම හැටියට හැඳින්වෙන පෞද්ගලික අංශයට හිතෛශී පියවර මෙවර අයවැයෙන් තබා ඇති බව ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසනවා. එවැනි පියවර තැබීමක් ඔබත් දකිනවාද?

දැනට නම් පේන්න නෑ. එහෙත් පවතින රාජ්‍ය සේවය තවත් පුළුල් නොකර එය කාර්්‍යක්ෂම කරන අතරේ රාජ්‍ය සේවකයන්ගේ බර පැන අවම කර රාජ්‍ය සම්පත් අවභාවිත නොකිරීමට පියවර ගන්නා බවක් පෙනෙනවා. පුද්ගලික අංශයට නැඹුරුවක් ඇති බව කතාවලින් පෙනුණත් තාම දකින්න නෑ. හැබැයි පුද්ගලික අංශය කෙරෙහි රජයට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒක බොහොම පැහැදිලියි. නමුත් පුද්ගලික අංශයේ දියුණුවට ඉවහල් වන ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුයි. එහෙම බැලුවාම මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට කියලා විශේෂයෙන් කරපු දෙයක් නෑ.

බදු ප්‍රතිපත්තියේදී පෞද්ගලික අංශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරාකාර ද?

වැට් වැඩි කිරීම වගේම සමහර අංශවලින් නොයෙක් දේවල් වැඩිකරලා තිබෙනවා. උදාහරණයකට ජාතිය ගොඩනැගීමේ බද්ද මෙතෙක් අදාළ නොවූ කර්මාන්ත කීපයකටම අදාළ කරලා තිබෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට පුද්ගලික අංශයේ පිරිවැය අනිවාර්යෙන්ම වැඩිවෙනවා. ලාභය අඩුවෙනවා. එවිට පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය අපට ප්‍රායෝගිකව දකින්නට බැරිව යනවා. එහෙත් මේ තරම් අපහසු මූල්‍ය තත්ත්වයක ඉඳලාත් ආයතන බද්ද 28%ක මට්ටමක තියාගෙන තිබෙනවා. ඒ වගේම කලින් රජය ඒක 28% සිට 24% දක්වා අඩුකිරීමට කතාබහක සිටියා. නමුත් මේ රජය ඒක ඒ මට්ටමින්ම තියාගෙන යනවා. ඒක ගැන ලොකු පැමිණිල්ලක් කරන එකත් සාධාරණ නෑ. මොකද ගෝලීය ආර්ථික තත්ත්වයත් ඒ තරම්ම හොඳ නෑ. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳද්දී ආයතනික බද්ද 28% කියන්නේ ඒ තරම් නරක මට්ටමක්ම නෙවෙයි. මොකද 40% 45% අය කරන රටවලුත් තිබෙනවා.

බොර තෙල් ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ වෙලා තිබෙනවා. බොර තෙල් මිල අඩුවීම ලංකාවට බලපාන්නේ කොහොමද?

 බොර තෙල් බැරලය ඩොලර් 35- 40 මට්ටමට වැටෙනකොට ලෝක ආර්ථිකය දියුණු වේය කියලා අපට බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඇත්තටම වුණේ ඒකෙ අනෙක් පැත්ත. මෙහි බලපෑම සෘජුවම ලංකාවට එල්ලවෙනවා. මොකද ලාංකික කතුන් විශාල සංඛ්‍යාවක් මැද පෙරදිග සේවය කරනවා. ඒ වගේම ඒ රටවලට තේ, මැණික්, රබර්, කුළු බඩු ආදිය අපනයනය කරනවා. මේවායේ විශාල පසුබෑමක් ඇති වී තිබෙනවා.

මූල්‍ය නගරය හා මහ නගර සැලසුම ගැන ආණ්ඩුව විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අපේක්ෂා ඇත්ත වේවිද?

යම් යම් සළකුණු අපි දකිනවා. ඒත් ඒ සැලසුම් ක්‍රියාත්මක වනතුරු අපට කියන්න බෑ. උදාහරණයක් හැටියට මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. දැන් නුවර අධිවේගී මාර්ගය 2019 වනවිට අවසන් කරන බව මහාමාර්ග ඇමැතිතුමා කියනවා. අපි දැන් ඉන්නේ 2016 කෙලවරේ. මොන ජගතා ආවත් වසර දෙකකින් මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කළ හැකි යැයි හිතන්න අමාරුයි. මේක දකුණු හෝ කටුනායක අධිවේගී මාර්ගය වගේ නෙවෙයි. හරිම සංකීර්ණයි. එනිසා ඇමැතිතුමාට එවැනි දේ කියන්න පුළුවන් වුණාට ඒක පිළිගතහැකි හෝ විශ්වාස කළ හැකි මට්ටමේ එකක් නොවන බව දැනටමත් අපට තේරෙනවා.


‘‘මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. 
මෙගා සිටි ගැන මෙගා ප්ලෑන්


ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදෙස් ඇමැතිවරයා ඇතුලු විශාල පිරිසක් විදේශයන්හි නිතර නිතර සංචාරය කරනවා. ආයෝජකයන් සමඟ කතා කරනවා. ඒත් විදෙස් ආයෝජන අපේ රටට නොඑන්නේ ඇයි?

  විදෙස් ආයෝජකයන් මෙරටට නොඒමට ඉතිහාසයේ සිට බලපෑ හේතු තිබෙනවා. පළමුවැන්න නමි ප්‍රතිපත්තිවල අසංගතභාවයයි. එනම් ප්‍රතිපත්ති නිතර වෙනස්වන බවයි. විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් රජය වෙනස් වනවිට වෙනස් නොවන ප්‍රතිපත්ති රටකට අවශ්‍යයයි. නමුත් අපේ රටේ අවාසනාවකට එකම රජය තුළ පවා ප්‍රතිපත්ති වෙනස්වුණා. ඒ වගේම අදත් වෙනවා. මේ රජය බලයට පත් වූ ගමන් සුපර් ගේන් ටැක්ස් එකක් කියලා බිලියන දෙකකට වඩා ලාභ ලබපු සමාගම්වලට 25%ක බදු අධිභාරයක් පැනෙව්වා. වැට් තාවකාලිකව නතර කිරීමට උසාවි තීන්දුවක් දෙනවිට නැවතත් මිල ගණන් වෙනස් කිරීමට සමාගම්වලට සිදුවුණා. නමුත් අතීතයට බලපාන අයුරින් බදු වැඩිකිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් එම නීති සම්පාදන කාර්ය හරිගියේ නෑ. රටක ආයෝජනය කිරීම ආරක්ෂිද නැද්ද කියලා ආයෝජකයන් තීරණය කරන්නේ මේවයින් තමයි. එහෙම බැලුවාම අපි හිටපු තැනින් තවත් පහළට බැහැලා.

විදෙස් ආයෝජකයන්ට දේශීය ණය සහන පවා ලබාදීමට මෙවර යෝජනා වුණා. එයින්වත් වෙනසක් නොවේවිද?

ලංකාවෙ තිබෙන්නේ කුඩා වෙළෙඳපොලක්. සාමාන්‍යයෙන් ආයෝජකයෙක් එන්නේ වෙළෙඳපොල ලොකු නම් දේශීය වෙළෙඳපොලට භාණ්ඩ හා සේවා සපයන අතරේම ඒ ප්‍රමාණයෙන්ම ඒ තරඟකාරීත්වය විදේශීය වෙළෙඳපොලෙහි ඇතිකරගැනීමයි. නමුත් ඒ දේ ලංකාව ඇතුලෙ කරන්න බෑ. වියට්නාමය, බංගලිදේශය, මියන්මාරය, චීනය යන රටවල් සමඟ සැසඳූ විට මේ සියල්ල විදෙස් ආයෝජකයන් සියල්ල ඇහැ ගහගෙන ඉන්න රටවල්. මේ රටවල දේශීය වෙළෙඳපොල ඉතා විශාලයි. ඒවායේ අනෙකුත් සාධක නැති වුණත් විදෙස් ආයෝජකයන් ආකර්ශනය වෙනවා. අපි තරඟ කළයුත්තේ මේ තත්ත්වය සමඟයි. නමුත් එම හැකියාව අපට නෑ. එහෙම නම් ඒකට හිලව් වෙන්න වෙන මොනවා හරි දෙන්න ඕනෑ. ඒ වගේම අපේ ප්‍රවාහන වැය, ශ්‍රමයේ මිල වැඩියි. විශේෂයෙන්ම ලංකාවේ තිබෙන තද කම්කරු රෙගුලාසිවලට ආයෝජකයන් කැමැති වෙන්නේ නෑ.

එහෙත් රාජපක්ෂ රජය යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් දැක් වූ උනන්දුව ආයෝජන හිතෛශී වටපිටාවකට හේතු වුණා නේද?

ආයෝජකයන් කියන්නේ මනුෂ්‍යයන්. ඔවුන් තමන්ට ඇති ඉඩ ප්‍රස්ථා ගැන හිතනවා. ඒ පැත්තෙන් බැලුවාම පසුගිය රජය විශාල වැඩකොටසක් කළා. විශේෂයෙන්ම කොළඹ නගරය සංවර්ධනය කළා. අධිවේගී මාර්ග දෙකක් හැදුවා. ගුවන් තොටුපළින් බැස්සාම කොළඹට පැය බාගෙන් දැන් එනවා. හැබැයි අධිවේගෙ නැති කාලේ ලංකාවට ආපු ආයෝජකයෙක් ගුවන් තොටුපළින් බහිද්දීම මේ රටට එන්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි. ඒ වගේම යුද්ධය අවසන් කළ නිසා බෝම්බ නෑ. වෙඩි තියාගැනීම් නෑ. පාරවල්වල බංකර් නෑ. ඒ වගේම මේ ආණ්ඩුව යටතේත් ජාත්‍යන්තරය තුළ අපට රටක් හැටියට විශාල ප්‍රතිරූපයක් ලැබුණා. හැබැයි මේ කියපු සියලු කාරණා අභිබවා පෙර කී නුසුදුසුකම් නැගී සිටිනවා. ප්‍රශ්නය ඒකයි.

80% 20% ලෙස තිබුණු වක්‍ර හා සෘජු බදු අනුපාතය 60% 40% මට්ටමට ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු දුන්නත් දැන් සිදු වී තිබෙන්නේ වක්‍ර බදු 87% ක් පමණ ඉහළ සීමාවකට දැමීමයි. මේ තත්ත්වයෙන් ජනතාවට එල්ල වන පීඩාව දරාගත හැකි වේවිද?

වක්‍ර බදු අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් මුදල් ඇමැතිවරයා කී ආකාරයට මේ රටේ ආදායම් බදු ගෙවන්නේ 9%යි. බදු මගහරින්නන් විශාලයි. රුපියල් මිලියන 100 කට වඩා බදු ගෙවන අය ඉන්නේ එක්කෙනයි. ඒත් මේ රටේ සිටින කෝටිපතියන් ගණන අපට බැලූ බැල්මටම නම්වලින්ම කිවහැකියි. මේක අදහගන්නත් බැරි තත්ත්වයක්. ඇත්තම ප්‍රශ්නය වන්නේ බදු පැහැර හරින්නන් බදු දැලට හසුකරගැනීමට සිස්ටම් එකක් නැතිවීමයි. ඉතින් මෙවැනි තත්ත්වයකදී සෘජු බදු වැඩිකිරීමෙන් වෙන්නේ අර හැමදාම ගෙවන 10% තවත් මිරිකීම විතරයි. එහෙම මිරිකුවත් රටේ බදු ආදායමට ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා මේ පේන්න ඉන්න බදු මගහරින්නන් අල්ලාගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඔවුන් හැංඟිලා නෙවෙයිනෙ ඉන්නේ. ආණ්ඩුවට ඇයි අල්ලාගන්න බැරි.

කළු ආර්ථිකයට එරෙහිව ඉන්දියානු රජය මේ වනවිට විවිධ පියවර ගනිමින් සිටිනවා. ලෝක පරිමාණයෙන් මේ තත්ත්වය මැඩලන්නට සාර්ථක පියවර ගෙන තිබෙනවාද?

අනිවාර්යෙන්ම. එක්සත් ජනපදය, සිංගප්පූරුව වැනි රටවල පවතින නීති පද්ධති සමඟ කිසිවෙකුට බදු නොගෙවා සැඟව ඉන්න බෑ. කාරණය වන්නේ කළු සල්ලි තබාගෙන ඉන්න අය සමාජයේ ප්‍රබල චරිත වීමයි. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් දේශපාලන රැකවරණය මැද ඔවුන් මෙතෙක් කරගෙන ආ ක්‍රීඩාව දිගටම කරගෙන යනවා. අපිට දකින්නට තිබෙන්නේ ඒකයි.

දුම් වැටි හා දුම්කොළ සම්බන්ධයෙන් බදු පැනවීමේදී ආණ්ඩුව බොහෝවිට අනුගමනට කළේ සදාචාරමය හා සෞඛ්‍යමය පදනම්. ආර්ථික විදාඥයන් එය විවේචනය කළා. මේ බදු පැනවීමේ පසුබිමට ඔබ එකඟ ද?

මම නම් දකින්නේ ඒක සදාචාරමයභාවයෙන් කළ දෙයක් හැටියට දේශපාලනිකව විකුණලා මුදල් හොයාගන්න ආණ්ඩුව කටයුතු කළ බවයි. මොකද එහෙම නැත්නම් සදාචාරමය පැත්තෙන් දුම්වැටි පාලනයට තවත් ගන්න පියවර තිබෙනවා. අන්තයක් වශයෙන් ගත්තොත් අවශ්‍ය නම් දුම්වැටි තහනම් කරන්නත් රජයකට පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මෙතැන තියෙන්නේ. අද සිගරට්වලින් ලැබෙන ආදායම නැත්නම් මේ රටේ බොහෝ සේවාවලට වෙන්කරන්න මුදල් නෑ. සේවා සැපයීම වෙනුවෙන් දුම්වැටි විකිණීමේ වාතාවරණය හදන්න කියලා නෙවෙයි මම කියන්නේ. අවාසනාවකට දුම්වැටියෙන් ලබන ආදායම අපේ ආර්ථිකයේ ලොකු පංගුවක් වෙලා ඉවරයි. ඒක ඇත්තටම වෙනස් කරන්න දේශපාලකයන් බයයි කියලයි මට හිතෙන්නේ. මෙච්චර විශාල ත්‍රිවිධ හමුදාවක් ඉන්න රටක තාමත් කසිප්පු පෙරන එක, ගංජා වවන එක වළක්වගන්න, මැරකම් ඇතුලු සමාජවිරෝධී වැඩ අඩුකරන්න අපිට හැකිවෙලා තිබෙනවාද? වර්ගකිලෝමීටර හැටපන්දාහ ඇතුලේ මේ දේවල් එළිපිට වෙනවා. කාගෙද වරද..

රියැදුරු ත්‍රස්තවාදය මැඩලීම සඳහා යැයි කියමින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් අතිශය අධික දඩ මුදල් අයකිරීම කෙතරම් තාර්කික ද? ප්‍රායෝගික ද?

මාර්ග අනතුරු නිසා දවසකට ජීවිත හතක් අටක් අහිමි වෙනවා. මාර්ග අනතුරු නිසා රුපියල් බිලියන 130 ක් වටිනා සම්පත් විනාශ වෙනවා. මානව සම්පත පැත්තෙන් ගත්තත් ආර්ථිකය පැත්තෙන් ගත්තත් මේක විශාල විනාශයක්. මේක වෙනස් කළ යුතුයි. එහිදී එක පියවරක් හැටියට දඩ මුදල් වෙනස් කිරීම ගැන ඇත්තටම මගේ විරෝධයක් නෑ. මොකද අධිවේගෙන් ගිහින් රුපියල් 500 ක් දීලා බේරෙන්න පුළුවන් නම් බලපෑමක් නෑනෙ. සමාජ පාලක නීති යාවත්කාලීන විය යුතුයි. උදාහරණයකට ලංකාවේ බස් රථ හා ත්‍රී රෝද රථ වැඩියි. බස් රථ යන්නේ රේස්. ඒත් ගුණාත්මක නෑ. පහසුකම් නෑ. බස් එකට නැග්ගාම තොරොම්බල් වගේ. කණ පැලෙන්න කැසට් දාලා. හෝන් ගහගෙන විකාරෙන් යන්නේ. ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. මේ තත්ත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි.

‘‘ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. “

සංවාදය- බිඟුන් මේනක ගමගේ


Thursday 24 November 2016

බත් පතට වැලි දැමීම..




බත් පතට වැලි දැමුව
බත් අතට ඇණ ගැහුව
බත්ම කන මහත්වරුනේ ගරුතර
පත්තරවලට අමතර..

බස්තමක් වුව වනන්නට දුරක් ඇත
මට්ටුවක් වුව කරන්නට කලක් ඇත
මඳහසින් බොටුව වෙත පනින විට
කැඩපතින් බලනු මැන නුඹේ වත..

බහට නිරිඳුන් තෙපළ බලය ගැන සිතුණු සඳ
කෙවිටකින් නොතලාම වුව දණින් වැටුණු සඳ
රජ භොජුන් වළඳමින් ආත්මය වළ දැමුව
අතීතය මරන්නට පහසු නැත

මිහිරි වුව මුසා බස් පවිටුමය
ගලන්නේ සිත්වලින් කහටමය
ඊනියා කිත් යසස් සුමටමය
මේනියාවක් වුණේ පවටමය

ඒ නිසා මැතිඳුණේ බත්ම කන
බත් පතට වැලි දමන විටදි තව
ඉක්මනින් සක්මනට නොයනු මැන
යපස් ගිනි දියෙන්මය උදම් වන
යදම් පුපුරවාලයි උදම් රළ..




Wednesday 23 November 2016

මිනිස්සු කැළඹුණු දවසට වෙනසක් කරාවි..


චන්ද්‍රා ජයරත්න මහතා 



ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් දූෂණයට එරෙහිව නෛතික තලයේත් මතවාදී තලයේත් සටන් කරන්නෙකි. මෙවර අයවැය හා රටේ අනාගතය ගැන දේශය හා සම්මුඛ වෙමින් ඔහු පළ කළ අදහස්  මෙසේය.


මේ ආණ්ඩුව අයවැය දෙකක් ඉදිරිපත් කළා. ආණ්ඩුවේ මෙතෙක් ගමන්මගින් හෙළි වන ආර්ථික දැක්ම කෙබඳුද?
ජනවාරි 8 වැනිදා පැවැති පාලනය වෙනස් කරලා මේ ආණ්ඩුවට කැමැත්ත පළකිරීමට හේතු වූ මැතිවරණ ප්‍රකාශයක් සහිත දර්ශනයක් නම් මුලදි තිබුණා. සමාජ වෙළෙඳපොලක් ගැන කියමින් හැකියාව ඇති අයට තැන දෙමින් ජාතික සම්පත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන බව කිව්වා. දින සීයේ පාලන කාලයකින් පසුව මහමැතිවරණයේ ප්‍රතිපල අනුව පක්ෂ දෙක එක්වෙලා ජාතික ආණ්ඩුවකුත් හැදුවා. පක්ෂභේද අත්හරින්නේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට බවත් කිව්වා. ඒ අනුව පළමු අයවැයට පෙර මධ්‍යකාලීන ආර්ථික දර්ශනයක් අගමැතිවරයා ඉදිරිපත් කළා. හැබැයි ඒ ප්‍රකාශනයත් අයවැයත් අතර විශාල වෙනස්කම් තිබුණා. අවසානයේදී ඒ අයවැයවත් ක්‍රියාත්මක වුණේ නෑ. ආණ්ඩුවට ආර්ථික දැක්මක් තිබෙනවාද කියන එක තමයි අපිය අහන්න වෙන්නේ.

එවිට බඩු මිල අඩුකිරීම ගැන කියමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිය සුරැකෙන අයවැයක් ඉදිරිපත් කළ බවට මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය වැරදිද?
ලබන අවුරුද්දේ පළාත් සභා ඡන්දයක් එනවා. ආණ්ඩුව අඩු ගානේ ඒක ගැන හිතලාවත් සහනයක් දීල තිබෙනවාද.. මොනවාද අඩු කරලා තිබෙනවා. සියල්ල එකතු කළත් ලාබය රුපියල් 65යි. මේක ආටෝපයක්. උද්ධමනය, පොලී අනුපාත හා විනිමය අනුපාත පාලනය ගැන හිතපු පාටක්වත් නෑ. ප්‍රතිපත්තිය හැටියට පෙනෙන්නේ සිහින ගොඩක් විතරයි. ස්වාධිපත්‍ය තිබෙන්නේ මහජනයාටයි. අයවැයෙන් වෙන්කරන මුදල් අයිතිවන්නේ මහජනයාටයි. ඒ මුදල් වෙන්කිරීමේදී යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුයි. එහෙත් අයවැයෙන් මුදල් වෙන්කිරීමේදී මහජනයාටත් රටටත් දීර්ඝකාලීනව සිදුවන බලපෑම් ගැන සිතා නෑ.

නමුත් අය වැය ගැන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අදහස් පළ කළා. නායකත්වයට දැක්මක් නැද්ද?
ජනාධිපතිවරයා කාරණා දෙකක් කිව්වා. දුප්පත්කම නැති කිරීමේ වසර හැටියට හැඳින්වූවා. ඒ වගේම 2015 අස්සන් කළ පැරිස් පරිසර ප්‍රඥප්තිය අනුව රට සංවර්ධනය කරන බව කිව්වා. ඔහු කියන්නෙත් රට හරි මගකට යනවා කියලයි. අගමැතිවරයාගේ කතාවේ වැඩිමනත් දෙයක් නෑ. ඔහු කියන්නේ මෙගා පොලිස් හා මූල්‍ය නගර ව්‍යාපෘතිය මඟින් රැකියා දස ලක්ෂයක් නිර්මාණය කරමින් සංවර්ධනය ළඟා කරගන්නා බවයි.

එතකොට මහා නගර හා මූල්‍ය නගර සංකල්පය මතින් ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කිරීම වැරැදිද?
ඒ අපේක්ෂාව සඵල වීමට තරම් වූ පදනමක් මම නම් දකින්නේ නෑ. මෙගාපොලිස් ගැන මුලදි කිව්වේ සියලු සැලසුම් සකස් කරලා මේ අවුරුද්දේ පෙබරවාරි වනවිට ක්‍රියාත්මක වෙනවා කියලයි. දැන් අවුරුද්ද අවසාන වෙන්නත් ඇවිල්ලා. නීතියක් මුකුත් නෑ. ආර්ථික දියුණුවයි මහජනතාවට දුන් පොරොන්දුයි එකවර ඉටුකිරීම සඳහා කියලා සංවර්ධන ඒජන්සියකුත් හැදුවා. හැබැයි ඒකෙන් වූ දෙයකුත් නෑ. දීර්ඝකාලීන ප්‍රගතියක් වෙනුවෙන් වූ හරයාත්මක වෙනස්කම් දකින්න නෑ. පවුල්වාදය බිඳහෙලලා දූෂණය නතර කරන බව කීවත් එවැන්නක් අපි දකින්නේ නෑ. දින සීයේ දුන් පොරොන්දු මාස 22ක් ගතවෙලාත් තාම තිබෙන්නේ පොරොන්දු හැටියටයි. විගණන පනත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය ආදිය තාම නෑ.

මෙගා පොලිස් සම්බන්ධයෙන් මීට පෙරත් ඔබ විවේචනාත්මකව අදහස් පළ කළා. ඔබ කියන්නේ ව්‍යාපෘතියක් හැටියට මෙය සාර්ථක කරගැනීමට බාධා ගැනද?
ඒකෙ පළමු ව්‍යාපෘතිය රේල්(LTR) ව්‍යාපෘතියයි. ඒ සඳහා තවත් වසර පහක් ගතවෙනවා. හැබැයි මේ අතරේ ලංකාවට ත්‍රී රෝද රථ එනවා. ගිය අවුරුද්දට විතරක් ලක්ෂ පහයි. අපේ තරුණයන්ගේ වැඩේ ඔක්කෝම ගිහින් ත්‍රීවීල් එලවනවා. දැන් මේ විදියට තව අවුරුදු පහක්ම ත්‍රීවිල් ආවොත් අපේ පාරවල්වලට පරිසරයට මොකද වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේ දැක දැක වළේ වැටීමක්. මම අහන්නේ ආණ්ඩුව මේ දේවල් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි කියලයි. අරාබි වසන්තයක් ආවේ එක් පැළැන්තියක් අතේ ධනය ඒකරාශි වූ නිසයි. ඒත් ඒ වෙනස ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයම කළ තක්සේරුවක් තිබෙනවා. ඊට අනුව අරාබි වසන්තය ඇවිත් වසර හයක් යද්දී අරාබි රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් හේදිලා ගිහිල්ලා. අපිට මේවා අමතක කරන්න බෑ. මෙගා පොලිස් තිබෙනවා නම් ගම්වල ජීවිතවලත් සංවර්ධනයක් විය යුතුයි.

ජාත්‍යන්තර වශයෙන් යම් විශ්වාසයක් ඇතිකරගැනීමට ආණ්ඩුවට හැකිවුණා. රාජ්‍ය නායකයන්ගේ ප්‍රතිචාරවලින්ම එය පැහැදිලියි. එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලත් විදෙස් ආයෝජන ගලා ඒමක් නොවන්නේ ඇයි?
අප සිටින්නේ රට තුළ ඉතුරුම් 35%ක් පමණ අවශ්‍ය අවස්ථාවකයි. ඒත් තිබෙන්නේ 20% ටත් අඩුවෙනුයි. අලුත් ආයෝජන අවශ්‍යයයි. දැන් යුද්ධෙත් නෑ. යහපාලනයත් තිබෙනවා. හොඳ හිතත් තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර ආයෝජකයන් එන්නේ නෑ. ආණ්ඩුවේ යම් සාර්ථකත්වයක් මෙන්ම ස්ථාවරභාවයක් ඔවුන්ට පෙනිය යුතුයි. ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය මෙන්ම දේශපාලන ස්ථාවරභාවයත් තිබිය යුතුයි. ප්‍රතිපත්ති හා දේශපාලන තීන්දු ගැනීම් එකම ආණ්ඩුවකින් වුණත් ඒවා ක්‍රියාවට නැගීමේදී පැහැදිලි විධායකයක් තිබිය යුතුයි. විධායකයත් මහජනයාත් පෞද්ගලික අංශයත් ආයෝජකයනුත් එකට ඇදගෙන යන නායකත්වයක් අපට දකින්නට නෑ. එක්කෙනෙක් එක කතාවක් කිව්වොත් තව කෙනෙක් කියන්නේ තව කතාවක්. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මතක්වෙන්නේ. අපි හිතුවෙ මේ ප්‍රශ්න ගිය අයවැයෙන් ඉවරයි කියලයි. හැබැයි මේ අයවැයෙනුත් දැනටම යෝජනා දෙකක් වෙනස් කරලා. ඉදිරියට තව කීයක් වෙනස් වේවිද දන්නේ නෑ.

මේ පීඩනයෙන් මිදීමට ආණ්ඩුවට විකල්ප තිබෙනවාද?
අපයන භාණ්ඩ වැඩි කළ යුතුයි. අම්මලා අක්කලා වෙනුවට හැකියාව ඇති  තරුණ පිරිස් විදේශ රැකියා සඳහා යොමුකරන බව මුලදි කිව්වා. යවන්න කට්ටිය මදි වේවි කියලත් කිව්වා. එහෙම තත්ත්වයක් ඇතිවීමට නම් හැකියාව, නිපුණතාව මෙන්ම බුද්ධිය යන අංශවල වර්ධනයක් සිදුවිය යුතුයි. එසේ නම් විශ්ව විද්‍යාල පද්ධතියේ පැහැදිලි වෙනසක් වී තිබිය යුතුයි. හැබැයි සිස්ටම් එකේ එහෙම අපි බලාපොරොත්තු වූ වෙනසක ලකුණක්වත් පේන්න නෑ.

එහෙත් පර්යේෂණ සිදුකිරීම සඳහා මුදල් වෙන්කිරීමක් අයවැයෙන් සිදුවුණා. නව දැනුම වෙනුවෙන් මුදල් වැයකිරීම යහපත් ප්‍රවණතාවක් නොවේද?
මොවුන් ප්‍රතිපත්ති නම් කතා කරනවා. අවුරුදු 13 ක් අධ්‍යාපනය දෙන බව කියනවා. මීට කලින් කිව්වේ රුපියල් 40 000ක වැටුපක් දෙන රස්සා බිහිකිරීමක් ගැනයි. හැබැයි දැන් කිකිලියි බිත්තරෙයි කතාව වගේ. රස්සාත් නෑ. මිනිස්සුත් නෑ. රිසර්ච් රිසර්ච් කියනවා. හැබැයි මම ඇහුවාම විශ්ව විද්‍යාලවලින් කිව්වේ තමන්ට පර්යේෂණ කිරීමට ප්‍රතිපත්තියක් නෑ කියලයි. අරමුණක් ඇතිව වැඩපිළිවෙලක් හදලා අලුත් දේවල් කරන්න ඕනෑ. දෙගොල්ල එකතුවෙලත් නිර්මාණාත්මකව අලුත් දෙයක් කරන්න බැරිවෙලා තිබෙනවා.

නිර්මාණාත්මක අලුත් වෙනස්කම් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
සරල උදාහරණයක් ගමු. සුද්දා කන කැරට්, බීට්, අලවල තනිකර තිබෙන්නේ සීනි. මේ වෙනකොට එංගලන්තයම කියන්නේ මේ යන ආහාර සංස්කෘතිය දිගටම ගියොත් 2020 වනවිට සෞඛ්‍යට වැඩිම මුදල වෙන්කරන්න වේවි කියලයි. මේවා අපිත් මාධ්‍යයෙන් දකින දේවල්. දැන් බලන්න අපේ ආහාර සංස්කෘතිය. අඩු සීනි සහල් වර්ගම අපේ රටේ තිබෙනවා. එළවළුත් එහෙමයි. අපි 2002 සිට කියන්නේ පැරැණි ආයුර්වේද ප්‍රතිකර්ම විධි හා භාවනා ක්‍රම ආදිය වෙළෙඳපොලට ගෙන යා යුතුයි කියලයි. ඒත් අපි වෙනස් වෙන්නේ නෑ. චීන, කොරියන් කඩවලට අමතරව දැන් ජපාන වෙළෙඳසැලුත් ලංකාවේ විවෘත වෙනවා. කළ යුතු වෙනස්කම් ගැන කිසිම කල්පනාවක් නැති බවයි අපට නම් පෙනෙන්නේ. එන අවුරුද්දෙත් බිලියන හතරහමාරක් ණය ගෙවිය යුතුයි. මේක ගෙවන්න එක්කෝ අපේ අම්මලා අක්කලා රට පටවන්න ඕනෙ. නැත්නම් සම්පත් විකුණන්න ඕනේ. රටට බරක් වූ රාජ්‍ය ව්‍යවසායට වුණත් වෙනසක් කළ යුත්තේ දැක්මක් ඇතිවයි. හැබැයි අපි කෑ ගැහුවාට තල්ලු කළාට මේ එන්ජිම දුවන්නේ නෑ.

ඇයි එහෙම වෙන්නේ? හේතුවක් තිබිය යුතුයි නේද?
රාවය පුවත්පතේ සංවත්සරයේදී අනුර දිසානායක මහතා හොඳ කතාවක් කරමින් ඔය කාරණය ගැන කිව්වා. ඒකට උත්තර දුන්නේ ජනාධිපතිතුමයි. පැරැණි ආණ්ඩුවේ සිටි දූෂිත වළල්ලම එයින් ගැලැවී මේ ආණ්ඩුව සමඟ බද්ධ වූ ආකාරය දිසානායක මහතා පැහැදිලි කළා. එතකොට ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? ඔව් කියලා පිළිගත්තා. මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම මේ වළල්ල ගැටගැහිලා යැයි කිව්වා. ඒ කියන්නේම මේ වළල්ල කඩාගෙන යන්න මේ අයට හැකියාවක් නෑ කියලනෙ. කතාව ඇත්ත තමයි. හැබැයි ඇත්ත කියලා අපිට සතුටු වෙන්න බෑනෙ. මේ අවුරුදු පහම යන්නේ එහෙම නම් මේ රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නේ කොහොමද..

සරදියෙල් බජට්ටු මඟින් පොදු ජනයාට සහන සලසන බව කීවත් බදු අයකිරීමේදී ආණ්ඩුව පොරොන්දු ඉටු කර තිබෙනවාද?
සෘජු හා වක්‍ර බදු අතර සම්බන්ධකම ගැන කියමින් අගමැතිවරයා ලොකු විවේචනයක් කළා. ඔහු පැවැසුවේ එතෙක් පැවැති වක්‍ර බද්ද 80% හා සෘජු බදු 20% ක්‍රමය වෙනස් කරන බවයි. ඒ 2020 වනවිට සෘජු බදු 40% දක්වා වැඩි කරලා වක්‍ර බදු 60% දක්වා අඩු කිරීමෙනුයි. ඒත් පසුගිය අයවැයෙන් වුණේ ඒක නෙවෙයි. වක්‍ර බදු 87% දක්වා වැඩි කිරීමයි. දැන් ඒක තවත් වැඩිවෙලා ජනතාව පීඩාවෙන් ඉන්නේ. මේ රට ඇතුලේ සමහර චෙක් ලියනවා. බිලියනයකට වඩා සල්ලි ගන්නවා. ඉතින් බැංකුවකින් බිලියනයකට වඩා සල්ලි ගන්න නම් ලොරි දහයක්වත් අවශ්‍යයයි. බැංකුවක සල්ලිත් නෑ. මහ බැංකුවෙන් ගේන්නත් ඕනෑ. මූල්‍ය ආයතන කඩා වැටුණාම ඒකට මහ බැංකුව වන්දි ගෙවනවා. මහ බැංකුවෙන් ගෙවන්නේ කාගෙ සල්ලිද? සාමාන්‍ය මිනිස්සුන්ගෙ පාන් ගෙඩියට පරිප්පු ටිකට ගහන බද්දේ සල්ලි. එතකොට අර හොරකම් කරපු එකාගෙන් සල්ලි අයකරගන්නෙ නැද්ද?

මුදල් විශුද්ධිකරණ නීතියක් තිබෙනවා. ඔබ කියන්නේ එය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලද?
මුදල් විශුද්ධිකරණ පනතක් තිබෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නෑ. '' මම ටෙලිෆෝන් කරලා බැංකුවේ සල්ලි තියෙනවාද කියලා බලලා චෙක් ලියනවා. සල්ලි දාලා තියෙන්නේ කවුද කියලා මම දන්නේ නෑ. බැංකුවෙ සල්ලි තියෙනවා නම් ඒ ගාණට මම චෙක් ලියනවා..'' යැයි අපට කියන අය ඉන්නවා. මෙහෙම බැංකු ක්‍රමයකනෙ අපි ඉන්නේ.

මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තද නීති ඇති පසුබිමක මෙවැනි දේ සිදුවන්නේ කොහොමද?
ඔයා දන්නවාද? වෙලේ සුදාගේ මුදල් එකතු කළේ බැංකුවෙන්. බැංකුවෙන් උදේට කාර් එක යවනවා. මල්ලට එකතු කරනවා. බැංකු මැනේජර් කීයක් හරි සාක්කුවට දාගන්නවා. වැඩේ වෙනවා. මේ රටේ වෘත්තිකයන් සම්බන්ධයෙන් මට චෝදනා රැසක්ම තිබෙනවා. වෘත්තිකයනුත් අර දූෂිත වළල්ලට එකතුවෙලයි අද ඉන්නේ. මම කියන්නේ අර වළල්ල කඩන්න නම් වෘත්තිකයන්ටත් පහර එල්ල විය යුතු බවයි. 

යහපාලනයට අදාළ බරපතල වෙනස්කම් මෙහෙම මන්දගාමී නම් ජාත්‍යන්තරය තුළ අප ඇතිකරගෙන තිබෙන විශ්වාසය පළුදු වීමට එය බලපාන්නට බැරිද?
අපි ඔවුන්ට බලාපොරොත්තු ගොඩක් දුන්නා. සුළු ජාතින්ගේ ප්‍රශ්න විසඳා යුක්තිය ඉටු කරන බව අපි කිව්වා. ජී.එස්.පී ප්ලස් ගැන මේ අය ලොකුවට කතා කරනවා. හැබැයි දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඊටත් වඩා බරපතල එකක් ගේනවා. මේ ඇස්බැන්ඳුම්වලට ජාත්‍යන්තරය හසු වේවිද? ව්‍යවස්ථා වෙනසක් කරන්න යනවාය කියනවා. හැබැයි ඒකට ජනමත විචාරණයක් තැබිය යුතුයි. ඉතින් මේ රජයට මේ යන තාලෙට ලබන අවුරුද්දෙ ජනමත විචාරණයක් දිනන්න පුළුවන්ද? ජනමත විචාරණයක් තියා පළාත් සභා ඡන්දෙවත් දිනාවිද කියලා සැකයි.

මේ ආණ්ඩුව ඒ තරම් අසීරු අඩියක ඉන්නවා නම් ජනතාව ඊළඟට තෝරන විකල්පය මොකද්ද?
මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න අමාරුයි. මුළු රටම අතරමං වූ තත්ත්වයකයි සිටින්නේ. ජවිපෙ සන්නද්ධ මාර්ගයෙන් වෙනස්ව දක්ෂ ලෙස ප්‍රශ්න ආමන්ත්‍රණය කළත් ඔවුන්ට බලයක් ලැබිය හැකි තත්ත්වයක් නෑ. ලොකුම අවධානම තිබෙන්නේ මේ රටේ මිනිස්සු කැළඹිච්ච දවසක හමුදාමය බලයක් අරගෙන කවුරු හෝ වෙනසක් කරාවි කියලයි. එහෙම නැත්නම් මිනිස්සු කලහකාරී ලෙස විප්ලවයක් මගින් වෙනසක් කරාවි. හැබැයි ඒක අර අරාබි වසන්තය වගේ වුණොත් කිසිම පලක් නෑ. අපි වෙනසක් ඇති කළේ පැරැන්නන් ගිය මාර්ගය හරි නැති නිසයි. මේ අයගෙ මාර්ගය හරි වුණත් ඒකට රේල්ලුව දාලා තල්ලු කරගන්න බැරි නම් ඒකෙනුත් වැඩක් නෑ. මට දුක මේ රටේ තරුණ ප්‍රජාව ගැනයි. කොහොම වුණත් මේ යන විදියෙන් නම් මේ රටට පෙන්නුම් කරන්නේ සුබ ලකුණු නෙවෙයි.

සංවාදය - බිඟුන් මේනක ගමගේ