Wednesday 23 November 2016

මිනිස්සු කැළඹුණු දවසට වෙනසක් කරාවි..


චන්ද්‍රා ජයරත්න මහතා 



ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් දූෂණයට එරෙහිව නෛතික තලයේත් මතවාදී තලයේත් සටන් කරන්නෙකි. මෙවර අයවැය හා රටේ අනාගතය ගැන දේශය හා සම්මුඛ වෙමින් ඔහු පළ කළ අදහස්  මෙසේය.


මේ ආණ්ඩුව අයවැය දෙකක් ඉදිරිපත් කළා. ආණ්ඩුවේ මෙතෙක් ගමන්මගින් හෙළි වන ආර්ථික දැක්ම කෙබඳුද?
ජනවාරි 8 වැනිදා පැවැති පාලනය වෙනස් කරලා මේ ආණ්ඩුවට කැමැත්ත පළකිරීමට හේතු වූ මැතිවරණ ප්‍රකාශයක් සහිත දර්ශනයක් නම් මුලදි තිබුණා. සමාජ වෙළෙඳපොලක් ගැන කියමින් හැකියාව ඇති අයට තැන දෙමින් ජාතික සම්පත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන බව කිව්වා. දින සීයේ පාලන කාලයකින් පසුව මහමැතිවරණයේ ප්‍රතිපල අනුව පක්ෂ දෙක එක්වෙලා ජාතික ආණ්ඩුවකුත් හැදුවා. පක්ෂභේද අත්හරින්නේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට බවත් කිව්වා. ඒ අනුව පළමු අයවැයට පෙර මධ්‍යකාලීන ආර්ථික දර්ශනයක් අගමැතිවරයා ඉදිරිපත් කළා. හැබැයි ඒ ප්‍රකාශනයත් අයවැයත් අතර විශාල වෙනස්කම් තිබුණා. අවසානයේදී ඒ අයවැයවත් ක්‍රියාත්මක වුණේ නෑ. ආණ්ඩුවට ආර්ථික දැක්මක් තිබෙනවාද කියන එක තමයි අපිය අහන්න වෙන්නේ.

එවිට බඩු මිල අඩුකිරීම ගැන කියමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිය සුරැකෙන අයවැයක් ඉදිරිපත් කළ බවට මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය වැරදිද?
ලබන අවුරුද්දේ පළාත් සභා ඡන්දයක් එනවා. ආණ්ඩුව අඩු ගානේ ඒක ගැන හිතලාවත් සහනයක් දීල තිබෙනවාද.. මොනවාද අඩු කරලා තිබෙනවා. සියල්ල එකතු කළත් ලාබය රුපියල් 65යි. මේක ආටෝපයක්. උද්ධමනය, පොලී අනුපාත හා විනිමය අනුපාත පාලනය ගැන හිතපු පාටක්වත් නෑ. ප්‍රතිපත්තිය හැටියට පෙනෙන්නේ සිහින ගොඩක් විතරයි. ස්වාධිපත්‍ය තිබෙන්නේ මහජනයාටයි. අයවැයෙන් වෙන්කරන මුදල් අයිතිවන්නේ මහජනයාටයි. ඒ මුදල් වෙන්කිරීමේදී යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුයි. එහෙත් අයවැයෙන් මුදල් වෙන්කිරීමේදී මහජනයාටත් රටටත් දීර්ඝකාලීනව සිදුවන බලපෑම් ගැන සිතා නෑ.

නමුත් අය වැය ගැන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අදහස් පළ කළා. නායකත්වයට දැක්මක් නැද්ද?
ජනාධිපතිවරයා කාරණා දෙකක් කිව්වා. දුප්පත්කම නැති කිරීමේ වසර හැටියට හැඳින්වූවා. ඒ වගේම 2015 අස්සන් කළ පැරිස් පරිසර ප්‍රඥප්තිය අනුව රට සංවර්ධනය කරන බව කිව්වා. ඔහු කියන්නෙත් රට හරි මගකට යනවා කියලයි. අගමැතිවරයාගේ කතාවේ වැඩිමනත් දෙයක් නෑ. ඔහු කියන්නේ මෙගා පොලිස් හා මූල්‍ය නගර ව්‍යාපෘතිය මඟින් රැකියා දස ලක්ෂයක් නිර්මාණය කරමින් සංවර්ධනය ළඟා කරගන්නා බවයි.

එතකොට මහා නගර හා මූල්‍ය නගර සංකල්පය මතින් ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කිරීම වැරැදිද?
ඒ අපේක්ෂාව සඵල වීමට තරම් වූ පදනමක් මම නම් දකින්නේ නෑ. මෙගාපොලිස් ගැන මුලදි කිව්වේ සියලු සැලසුම් සකස් කරලා මේ අවුරුද්දේ පෙබරවාරි වනවිට ක්‍රියාත්මක වෙනවා කියලයි. දැන් අවුරුද්ද අවසාන වෙන්නත් ඇවිල්ලා. නීතියක් මුකුත් නෑ. ආර්ථික දියුණුවයි මහජනතාවට දුන් පොරොන්දුයි එකවර ඉටුකිරීම සඳහා කියලා සංවර්ධන ඒජන්සියකුත් හැදුවා. හැබැයි ඒකෙන් වූ දෙයකුත් නෑ. දීර්ඝකාලීන ප්‍රගතියක් වෙනුවෙන් වූ හරයාත්මක වෙනස්කම් දකින්න නෑ. පවුල්වාදය බිඳහෙලලා දූෂණය නතර කරන බව කීවත් එවැන්නක් අපි දකින්නේ නෑ. දින සීයේ දුන් පොරොන්දු මාස 22ක් ගතවෙලාත් තාම තිබෙන්නේ පොරොන්දු හැටියටයි. විගණන පනත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය ආදිය තාම නෑ.

මෙගා පොලිස් සම්බන්ධයෙන් මීට පෙරත් ඔබ විවේචනාත්මකව අදහස් පළ කළා. ඔබ කියන්නේ ව්‍යාපෘතියක් හැටියට මෙය සාර්ථක කරගැනීමට බාධා ගැනද?
ඒකෙ පළමු ව්‍යාපෘතිය රේල්(LTR) ව්‍යාපෘතියයි. ඒ සඳහා තවත් වසර පහක් ගතවෙනවා. හැබැයි මේ අතරේ ලංකාවට ත්‍රී රෝද රථ එනවා. ගිය අවුරුද්දට විතරක් ලක්ෂ පහයි. අපේ තරුණයන්ගේ වැඩේ ඔක්කෝම ගිහින් ත්‍රීවීල් එලවනවා. දැන් මේ විදියට තව අවුරුදු පහක්ම ත්‍රීවිල් ආවොත් අපේ පාරවල්වලට පරිසරයට මොකද වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේ දැක දැක වළේ වැටීමක්. මම අහන්නේ ආණ්ඩුව මේ දේවල් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි කියලයි. අරාබි වසන්තයක් ආවේ එක් පැළැන්තියක් අතේ ධනය ඒකරාශි වූ නිසයි. ඒත් ඒ වෙනස ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයම කළ තක්සේරුවක් තිබෙනවා. ඊට අනුව අරාබි වසන්තය ඇවිත් වසර හයක් යද්දී අරාබි රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් හේදිලා ගිහිල්ලා. අපිට මේවා අමතක කරන්න බෑ. මෙගා පොලිස් තිබෙනවා නම් ගම්වල ජීවිතවලත් සංවර්ධනයක් විය යුතුයි.

ජාත්‍යන්තර වශයෙන් යම් විශ්වාසයක් ඇතිකරගැනීමට ආණ්ඩුවට හැකිවුණා. රාජ්‍ය නායකයන්ගේ ප්‍රතිචාරවලින්ම එය පැහැදිලියි. එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලත් විදෙස් ආයෝජන ගලා ඒමක් නොවන්නේ ඇයි?
අප සිටින්නේ රට තුළ ඉතුරුම් 35%ක් පමණ අවශ්‍ය අවස්ථාවකයි. ඒත් තිබෙන්නේ 20% ටත් අඩුවෙනුයි. අලුත් ආයෝජන අවශ්‍යයයි. දැන් යුද්ධෙත් නෑ. යහපාලනයත් තිබෙනවා. හොඳ හිතත් තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර ආයෝජකයන් එන්නේ නෑ. ආණ්ඩුවේ යම් සාර්ථකත්වයක් මෙන්ම ස්ථාවරභාවයක් ඔවුන්ට පෙනිය යුතුයි. ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය මෙන්ම දේශපාලන ස්ථාවරභාවයත් තිබිය යුතුයි. ප්‍රතිපත්ති හා දේශපාලන තීන්දු ගැනීම් එකම ආණ්ඩුවකින් වුණත් ඒවා ක්‍රියාවට නැගීමේදී පැහැදිලි විධායකයක් තිබිය යුතුයි. විධායකයත් මහජනයාත් පෞද්ගලික අංශයත් ආයෝජකයනුත් එකට ඇදගෙන යන නායකත්වයක් අපට දකින්නට නෑ. එක්කෙනෙක් එක කතාවක් කිව්වොත් තව කෙනෙක් කියන්නේ තව කතාවක්. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මතක්වෙන්නේ. අපි හිතුවෙ මේ ප්‍රශ්න ගිය අයවැයෙන් ඉවරයි කියලයි. හැබැයි මේ අයවැයෙනුත් දැනටම යෝජනා දෙකක් වෙනස් කරලා. ඉදිරියට තව කීයක් වෙනස් වේවිද දන්නේ නෑ.

මේ පීඩනයෙන් මිදීමට ආණ්ඩුවට විකල්ප තිබෙනවාද?
අපයන භාණ්ඩ වැඩි කළ යුතුයි. අම්මලා අක්කලා වෙනුවට හැකියාව ඇති  තරුණ පිරිස් විදේශ රැකියා සඳහා යොමුකරන බව මුලදි කිව්වා. යවන්න කට්ටිය මදි වේවි කියලත් කිව්වා. එහෙම තත්ත්වයක් ඇතිවීමට නම් හැකියාව, නිපුණතාව මෙන්ම බුද්ධිය යන අංශවල වර්ධනයක් සිදුවිය යුතුයි. එසේ නම් විශ්ව විද්‍යාල පද්ධතියේ පැහැදිලි වෙනසක් වී තිබිය යුතුයි. හැබැයි සිස්ටම් එකේ එහෙම අපි බලාපොරොත්තු වූ වෙනසක ලකුණක්වත් පේන්න නෑ.

එහෙත් පර්යේෂණ සිදුකිරීම සඳහා මුදල් වෙන්කිරීමක් අයවැයෙන් සිදුවුණා. නව දැනුම වෙනුවෙන් මුදල් වැයකිරීම යහපත් ප්‍රවණතාවක් නොවේද?
මොවුන් ප්‍රතිපත්ති නම් කතා කරනවා. අවුරුදු 13 ක් අධ්‍යාපනය දෙන බව කියනවා. මීට කලින් කිව්වේ රුපියල් 40 000ක වැටුපක් දෙන රස්සා බිහිකිරීමක් ගැනයි. හැබැයි දැන් කිකිලියි බිත්තරෙයි කතාව වගේ. රස්සාත් නෑ. මිනිස්සුත් නෑ. රිසර්ච් රිසර්ච් කියනවා. හැබැයි මම ඇහුවාම විශ්ව විද්‍යාලවලින් කිව්වේ තමන්ට පර්යේෂණ කිරීමට ප්‍රතිපත්තියක් නෑ කියලයි. අරමුණක් ඇතිව වැඩපිළිවෙලක් හදලා අලුත් දේවල් කරන්න ඕනෑ. දෙගොල්ල එකතුවෙලත් නිර්මාණාත්මකව අලුත් දෙයක් කරන්න බැරිවෙලා තිබෙනවා.

නිර්මාණාත්මක අලුත් වෙනස්කම් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
සරල උදාහරණයක් ගමු. සුද්දා කන කැරට්, බීට්, අලවල තනිකර තිබෙන්නේ සීනි. මේ වෙනකොට එංගලන්තයම කියන්නේ මේ යන ආහාර සංස්කෘතිය දිගටම ගියොත් 2020 වනවිට සෞඛ්‍යට වැඩිම මුදල වෙන්කරන්න වේවි කියලයි. මේවා අපිත් මාධ්‍යයෙන් දකින දේවල්. දැන් බලන්න අපේ ආහාර සංස්කෘතිය. අඩු සීනි සහල් වර්ගම අපේ රටේ තිබෙනවා. එළවළුත් එහෙමයි. අපි 2002 සිට කියන්නේ පැරැණි ආයුර්වේද ප්‍රතිකර්ම විධි හා භාවනා ක්‍රම ආදිය වෙළෙඳපොලට ගෙන යා යුතුයි කියලයි. ඒත් අපි වෙනස් වෙන්නේ නෑ. චීන, කොරියන් කඩවලට අමතරව දැන් ජපාන වෙළෙඳසැලුත් ලංකාවේ විවෘත වෙනවා. කළ යුතු වෙනස්කම් ගැන කිසිම කල්පනාවක් නැති බවයි අපට නම් පෙනෙන්නේ. එන අවුරුද්දෙත් බිලියන හතරහමාරක් ණය ගෙවිය යුතුයි. මේක ගෙවන්න එක්කෝ අපේ අම්මලා අක්කලා රට පටවන්න ඕනෙ. නැත්නම් සම්පත් විකුණන්න ඕනේ. රටට බරක් වූ රාජ්‍ය ව්‍යවසායට වුණත් වෙනසක් කළ යුත්තේ දැක්මක් ඇතිවයි. හැබැයි අපි කෑ ගැහුවාට තල්ලු කළාට මේ එන්ජිම දුවන්නේ නෑ.

ඇයි එහෙම වෙන්නේ? හේතුවක් තිබිය යුතුයි නේද?
රාවය පුවත්පතේ සංවත්සරයේදී අනුර දිසානායක මහතා හොඳ කතාවක් කරමින් ඔය කාරණය ගැන කිව්වා. ඒකට උත්තර දුන්නේ ජනාධිපතිතුමයි. පැරැණි ආණ්ඩුවේ සිටි දූෂිත වළල්ලම එයින් ගැලැවී මේ ආණ්ඩුව සමඟ බද්ධ වූ ආකාරය දිසානායක මහතා පැහැදිලි කළා. එතකොට ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? ඔව් කියලා පිළිගත්තා. මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම මේ වළල්ල ගැටගැහිලා යැයි කිව්වා. ඒ කියන්නේම මේ වළල්ල කඩාගෙන යන්න මේ අයට හැකියාවක් නෑ කියලනෙ. කතාව ඇත්ත තමයි. හැබැයි ඇත්ත කියලා අපිට සතුටු වෙන්න බෑනෙ. මේ අවුරුදු පහම යන්නේ එහෙම නම් මේ රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නේ කොහොමද..

සරදියෙල් බජට්ටු මඟින් පොදු ජනයාට සහන සලසන බව කීවත් බදු අයකිරීමේදී ආණ්ඩුව පොරොන්දු ඉටු කර තිබෙනවාද?
සෘජු හා වක්‍ර බදු අතර සම්බන්ධකම ගැන කියමින් අගමැතිවරයා ලොකු විවේචනයක් කළා. ඔහු පැවැසුවේ එතෙක් පැවැති වක්‍ර බද්ද 80% හා සෘජු බදු 20% ක්‍රමය වෙනස් කරන බවයි. ඒ 2020 වනවිට සෘජු බදු 40% දක්වා වැඩි කරලා වක්‍ර බදු 60% දක්වා අඩු කිරීමෙනුයි. ඒත් පසුගිය අයවැයෙන් වුණේ ඒක නෙවෙයි. වක්‍ර බදු 87% දක්වා වැඩි කිරීමයි. දැන් ඒක තවත් වැඩිවෙලා ජනතාව පීඩාවෙන් ඉන්නේ. මේ රට ඇතුලේ සමහර චෙක් ලියනවා. බිලියනයකට වඩා සල්ලි ගන්නවා. ඉතින් බැංකුවකින් බිලියනයකට වඩා සල්ලි ගන්න නම් ලොරි දහයක්වත් අවශ්‍යයයි. බැංකුවක සල්ලිත් නෑ. මහ බැංකුවෙන් ගේන්නත් ඕනෑ. මූල්‍ය ආයතන කඩා වැටුණාම ඒකට මහ බැංකුව වන්දි ගෙවනවා. මහ බැංකුවෙන් ගෙවන්නේ කාගෙ සල්ලිද? සාමාන්‍ය මිනිස්සුන්ගෙ පාන් ගෙඩියට පරිප්පු ටිකට ගහන බද්දේ සල්ලි. එතකොට අර හොරකම් කරපු එකාගෙන් සල්ලි අයකරගන්නෙ නැද්ද?

මුදල් විශුද්ධිකරණ නීතියක් තිබෙනවා. ඔබ කියන්නේ එය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලද?
මුදල් විශුද්ධිකරණ පනතක් තිබෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නෑ. '' මම ටෙලිෆෝන් කරලා බැංකුවේ සල්ලි තියෙනවාද කියලා බලලා චෙක් ලියනවා. සල්ලි දාලා තියෙන්නේ කවුද කියලා මම දන්නේ නෑ. බැංකුවෙ සල්ලි තියෙනවා නම් ඒ ගාණට මම චෙක් ලියනවා..'' යැයි අපට කියන අය ඉන්නවා. මෙහෙම බැංකු ක්‍රමයකනෙ අපි ඉන්නේ.

මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තද නීති ඇති පසුබිමක මෙවැනි දේ සිදුවන්නේ කොහොමද?
ඔයා දන්නවාද? වෙලේ සුදාගේ මුදල් එකතු කළේ බැංකුවෙන්. බැංකුවෙන් උදේට කාර් එක යවනවා. මල්ලට එකතු කරනවා. බැංකු මැනේජර් කීයක් හරි සාක්කුවට දාගන්නවා. වැඩේ වෙනවා. මේ රටේ වෘත්තිකයන් සම්බන්ධයෙන් මට චෝදනා රැසක්ම තිබෙනවා. වෘත්තිකයනුත් අර දූෂිත වළල්ලට එකතුවෙලයි අද ඉන්නේ. මම කියන්නේ අර වළල්ල කඩන්න නම් වෘත්තිකයන්ටත් පහර එල්ල විය යුතු බවයි. 

යහපාලනයට අදාළ බරපතල වෙනස්කම් මෙහෙම මන්දගාමී නම් ජාත්‍යන්තරය තුළ අප ඇතිකරගෙන තිබෙන විශ්වාසය පළුදු වීමට එය බලපාන්නට බැරිද?
අපි ඔවුන්ට බලාපොරොත්තු ගොඩක් දුන්නා. සුළු ජාතින්ගේ ප්‍රශ්න විසඳා යුක්තිය ඉටු කරන බව අපි කිව්වා. ජී.එස්.පී ප්ලස් ගැන මේ අය ලොකුවට කතා කරනවා. හැබැයි දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඊටත් වඩා බරපතල එකක් ගේනවා. මේ ඇස්බැන්ඳුම්වලට ජාත්‍යන්තරය හසු වේවිද? ව්‍යවස්ථා වෙනසක් කරන්න යනවාය කියනවා. හැබැයි ඒකට ජනමත විචාරණයක් තැබිය යුතුයි. ඉතින් මේ රජයට මේ යන තාලෙට ලබන අවුරුද්දෙ ජනමත විචාරණයක් දිනන්න පුළුවන්ද? ජනමත විචාරණයක් තියා පළාත් සභා ඡන්දෙවත් දිනාවිද කියලා සැකයි.

මේ ආණ්ඩුව ඒ තරම් අසීරු අඩියක ඉන්නවා නම් ජනතාව ඊළඟට තෝරන විකල්පය මොකද්ද?
මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න අමාරුයි. මුළු රටම අතරමං වූ තත්ත්වයකයි සිටින්නේ. ජවිපෙ සන්නද්ධ මාර්ගයෙන් වෙනස්ව දක්ෂ ලෙස ප්‍රශ්න ආමන්ත්‍රණය කළත් ඔවුන්ට බලයක් ලැබිය හැකි තත්ත්වයක් නෑ. ලොකුම අවධානම තිබෙන්නේ මේ රටේ මිනිස්සු කැළඹිච්ච දවසක හමුදාමය බලයක් අරගෙන කවුරු හෝ වෙනසක් කරාවි කියලයි. එහෙම නැත්නම් මිනිස්සු කලහකාරී ලෙස විප්ලවයක් මගින් වෙනසක් කරාවි. හැබැයි ඒක අර අරාබි වසන්තය වගේ වුණොත් කිසිම පලක් නෑ. අපි වෙනසක් ඇති කළේ පැරැන්නන් ගිය මාර්ගය හරි නැති නිසයි. මේ අයගෙ මාර්ගය හරි වුණත් ඒකට රේල්ලුව දාලා තල්ලු කරගන්න බැරි නම් ඒකෙනුත් වැඩක් නෑ. මට දුක මේ රටේ තරුණ ප්‍රජාව ගැනයි. කොහොම වුණත් මේ යන විදියෙන් නම් මේ රටට පෙන්නුම් කරන්නේ සුබ ලකුණු නෙවෙයි.

සංවාදය - බිඟුන් මේනක ගමගේ



2 comments:

  1. යන්තං ඇති උඹ පෝස්ට් එකක් ලියල

    ReplyDelete
  2. හිතාගන්න බෑ බං.. ලියාගන්න බෑ බං..

    ReplyDelete