Monday 28 November 2016

කළු සල්ලිකාරයන් දිගටම ක්‍රීඩාව කරගෙන යනවා- කිෂු ගෝමස්


කිෂූ ගෝමස්


බහුජාතික සමාගම් ක්ෂෙත්‍රයෙහි ළාබාලතම කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් කිෂූ ගෝමස් මහතා ක්‍රීඩා, කලා හා සමාජ සත්කාර අංශයන්හි ද සක්‍රීය චරිතයකි. ෂෙව්රොන් ලුබ්රිකන්ට් සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන හෙතෙම රටේ ආර්ථිකය ගැන ඇසූ ප්‍රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේය. 



විදුලි සංදේශන ක්ෂෙත්‍රයට අදාළව පැනැ වූ බදු නිසා අන්තර්ජාල, දුරකථන ඇමතුම් ගාස්තු විශාල ලෙස ඉහළ යනවා. මේ තත්ත්වය පොදුවේ සමාජයට කෙසේ බලපාවිද?

ආණ්ඩුවට ආදායම් සොයාගැනීම පහසු නිසා මේක ලේසි තීරණයක්. ඒත් මෙයින් රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා. විශේෂයෙන්ම මධ්‍යකාලීන හා දිගුකාලීන සංවර්ධනය පැත්තෙන් ගත්තාම මේක අනුවණ ක්‍රියාවක්. අපි හැමදාම කතා කළේ ලෝකයේ සෙසු රටවල් සමඟ තරඟ කිරීමේදී මානව සම්පත ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියලයි. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වූ සාක්ෂරතාවය හා පලදායීතාවය පැත්තෙන් ලෝකය සමඟ සසඳද්දී අපි ඉන්නේ ඉතාම පහළ මට්ටමකයි. ගම නගරයටත් රට දියුණු රටවලටත් සමීප කරන්නට ප්‍රබලම අවියක් වන්නේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයයි. ඒකට ලොකු පහරක් මේ වැදුණේ. ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ. රටේ අනාගතය සම්බන්ධයෙන් ඒක නරක තීරණයක්.

‘‘ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ...
සිහිනයක අතරමං කිරීම

මෙරට ආර්ථිකයේ එන්ජිම හැටියට හැඳින්වෙන පෞද්ගලික අංශයට හිතෛශී පියවර මෙවර අයවැයෙන් තබා ඇති බව ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසනවා. එවැනි පියවර තැබීමක් ඔබත් දකිනවාද?

දැනට නම් පේන්න නෑ. එහෙත් පවතින රාජ්‍ය සේවය තවත් පුළුල් නොකර එය කාර්්‍යක්ෂම කරන අතරේ රාජ්‍ය සේවකයන්ගේ බර පැන අවම කර රාජ්‍ය සම්පත් අවභාවිත නොකිරීමට පියවර ගන්නා බවක් පෙනෙනවා. පුද්ගලික අංශයට නැඹුරුවක් ඇති බව කතාවලින් පෙනුණත් තාම දකින්න නෑ. හැබැයි පුද්ගලික අංශය කෙරෙහි රජයට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒක බොහොම පැහැදිලියි. නමුත් පුද්ගලික අංශයේ දියුණුවට ඉවහල් වන ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුයි. එහෙම බැලුවාම මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට කියලා විශේෂයෙන් කරපු දෙයක් නෑ.

බදු ප්‍රතිපත්තියේදී පෞද්ගලික අංශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරාකාර ද?

වැට් වැඩි කිරීම වගේම සමහර අංශවලින් නොයෙක් දේවල් වැඩිකරලා තිබෙනවා. උදාහරණයකට ජාතිය ගොඩනැගීමේ බද්ද මෙතෙක් අදාළ නොවූ කර්මාන්ත කීපයකටම අදාළ කරලා තිබෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට පුද්ගලික අංශයේ පිරිවැය අනිවාර්යෙන්ම වැඩිවෙනවා. ලාභය අඩුවෙනවා. එවිට පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය අපට ප්‍රායෝගිකව දකින්නට බැරිව යනවා. එහෙත් මේ තරම් අපහසු මූල්‍ය තත්ත්වයක ඉඳලාත් ආයතන බද්ද 28%ක මට්ටමක තියාගෙන තිබෙනවා. ඒ වගේම කලින් රජය ඒක 28% සිට 24% දක්වා අඩුකිරීමට කතාබහක සිටියා. නමුත් මේ රජය ඒක ඒ මට්ටමින්ම තියාගෙන යනවා. ඒක ගැන ලොකු පැමිණිල්ලක් කරන එකත් සාධාරණ නෑ. මොකද ගෝලීය ආර්ථික තත්ත්වයත් ඒ තරම්ම හොඳ නෑ. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳද්දී ආයතනික බද්ද 28% කියන්නේ ඒ තරම් නරක මට්ටමක්ම නෙවෙයි. මොකද 40% 45% අය කරන රටවලුත් තිබෙනවා.

බොර තෙල් ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ වෙලා තිබෙනවා. බොර තෙල් මිල අඩුවීම ලංකාවට බලපාන්නේ කොහොමද?

 බොර තෙල් බැරලය ඩොලර් 35- 40 මට්ටමට වැටෙනකොට ලෝක ආර්ථිකය දියුණු වේය කියලා අපට බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඇත්තටම වුණේ ඒකෙ අනෙක් පැත්ත. මෙහි බලපෑම සෘජුවම ලංකාවට එල්ලවෙනවා. මොකද ලාංකික කතුන් විශාල සංඛ්‍යාවක් මැද පෙරදිග සේවය කරනවා. ඒ වගේම ඒ රටවලට තේ, මැණික්, රබර්, කුළු බඩු ආදිය අපනයනය කරනවා. මේවායේ විශාල පසුබෑමක් ඇති වී තිබෙනවා.

මූල්‍ය නගරය හා මහ නගර සැලසුම ගැන ආණ්ඩුව විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අපේක්ෂා ඇත්ත වේවිද?

යම් යම් සළකුණු අපි දකිනවා. ඒත් ඒ සැලසුම් ක්‍රියාත්මක වනතුරු අපට කියන්න බෑ. උදාහරණයක් හැටියට මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. දැන් නුවර අධිවේගී මාර්ගය 2019 වනවිට අවසන් කරන බව මහාමාර්ග ඇමැතිතුමා කියනවා. අපි දැන් ඉන්නේ 2016 කෙලවරේ. මොන ජගතා ආවත් වසර දෙකකින් මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කළ හැකි යැයි හිතන්න අමාරුයි. මේක දකුණු හෝ කටුනායක අධිවේගී මාර්ගය වගේ නෙවෙයි. හරිම සංකීර්ණයි. එනිසා ඇමැතිතුමාට එවැනි දේ කියන්න පුළුවන් වුණාට ඒක පිළිගතහැකි හෝ විශ්වාස කළ හැකි මට්ටමේ එකක් නොවන බව දැනටමත් අපට තේරෙනවා.


‘‘මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. 
මෙගා සිටි ගැන මෙගා ප්ලෑන්


ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදෙස් ඇමැතිවරයා ඇතුලු විශාල පිරිසක් විදේශයන්හි නිතර නිතර සංචාරය කරනවා. ආයෝජකයන් සමඟ කතා කරනවා. ඒත් විදෙස් ආයෝජන අපේ රටට නොඑන්නේ ඇයි?

  විදෙස් ආයෝජකයන් මෙරටට නොඒමට ඉතිහාසයේ සිට බලපෑ හේතු තිබෙනවා. පළමුවැන්න නමි ප්‍රතිපත්තිවල අසංගතභාවයයි. එනම් ප්‍රතිපත්ති නිතර වෙනස්වන බවයි. විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් රජය වෙනස් වනවිට වෙනස් නොවන ප්‍රතිපත්ති රටකට අවශ්‍යයයි. නමුත් අපේ රටේ අවාසනාවකට එකම රජය තුළ පවා ප්‍රතිපත්ති වෙනස්වුණා. ඒ වගේම අදත් වෙනවා. මේ රජය බලයට පත් වූ ගමන් සුපර් ගේන් ටැක්ස් එකක් කියලා බිලියන දෙකකට වඩා ලාභ ලබපු සමාගම්වලට 25%ක බදු අධිභාරයක් පැනෙව්වා. වැට් තාවකාලිකව නතර කිරීමට උසාවි තීන්දුවක් දෙනවිට නැවතත් මිල ගණන් වෙනස් කිරීමට සමාගම්වලට සිදුවුණා. නමුත් අතීතයට බලපාන අයුරින් බදු වැඩිකිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් එම නීති සම්පාදන කාර්ය හරිගියේ නෑ. රටක ආයෝජනය කිරීම ආරක්ෂිද නැද්ද කියලා ආයෝජකයන් තීරණය කරන්නේ මේවයින් තමයි. එහෙම බැලුවාම අපි හිටපු තැනින් තවත් පහළට බැහැලා.

විදෙස් ආයෝජකයන්ට දේශීය ණය සහන පවා ලබාදීමට මෙවර යෝජනා වුණා. එයින්වත් වෙනසක් නොවේවිද?

ලංකාවෙ තිබෙන්නේ කුඩා වෙළෙඳපොලක්. සාමාන්‍යයෙන් ආයෝජකයෙක් එන්නේ වෙළෙඳපොල ලොකු නම් දේශීය වෙළෙඳපොලට භාණ්ඩ හා සේවා සපයන අතරේම ඒ ප්‍රමාණයෙන්ම ඒ තරඟකාරීත්වය විදේශීය වෙළෙඳපොලෙහි ඇතිකරගැනීමයි. නමුත් ඒ දේ ලංකාව ඇතුලෙ කරන්න බෑ. වියට්නාමය, බංගලිදේශය, මියන්මාරය, චීනය යන රටවල් සමඟ සැසඳූ විට මේ සියල්ල විදෙස් ආයෝජකයන් සියල්ල ඇහැ ගහගෙන ඉන්න රටවල්. මේ රටවල දේශීය වෙළෙඳපොල ඉතා විශාලයි. ඒවායේ අනෙකුත් සාධක නැති වුණත් විදෙස් ආයෝජකයන් ආකර්ශනය වෙනවා. අපි තරඟ කළයුත්තේ මේ තත්ත්වය සමඟයි. නමුත් එම හැකියාව අපට නෑ. එහෙම නම් ඒකට හිලව් වෙන්න වෙන මොනවා හරි දෙන්න ඕනෑ. ඒ වගේම අපේ ප්‍රවාහන වැය, ශ්‍රමයේ මිල වැඩියි. විශේෂයෙන්ම ලංකාවේ තිබෙන තද කම්කරු රෙගුලාසිවලට ආයෝජකයන් කැමැති වෙන්නේ නෑ.

එහෙත් රාජපක්ෂ රජය යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් දැක් වූ උනන්දුව ආයෝජන හිතෛශී වටපිටාවකට හේතු වුණා නේද?

ආයෝජකයන් කියන්නේ මනුෂ්‍යයන්. ඔවුන් තමන්ට ඇති ඉඩ ප්‍රස්ථා ගැන හිතනවා. ඒ පැත්තෙන් බැලුවාම පසුගිය රජය විශාල වැඩකොටසක් කළා. විශේෂයෙන්ම කොළඹ නගරය සංවර්ධනය කළා. අධිවේගී මාර්ග දෙකක් හැදුවා. ගුවන් තොටුපළින් බැස්සාම කොළඹට පැය බාගෙන් දැන් එනවා. හැබැයි අධිවේගෙ නැති කාලේ ලංකාවට ආපු ආයෝජකයෙක් ගුවන් තොටුපළින් බහිද්දීම මේ රටට එන්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි. ඒ වගේම යුද්ධය අවසන් කළ නිසා බෝම්බ නෑ. වෙඩි තියාගැනීම් නෑ. පාරවල්වල බංකර් නෑ. ඒ වගේම මේ ආණ්ඩුව යටතේත් ජාත්‍යන්තරය තුළ අපට රටක් හැටියට විශාල ප්‍රතිරූපයක් ලැබුණා. හැබැයි මේ කියපු සියලු කාරණා අභිබවා පෙර කී නුසුදුසුකම් නැගී සිටිනවා. ප්‍රශ්නය ඒකයි.

80% 20% ලෙස තිබුණු වක්‍ර හා සෘජු බදු අනුපාතය 60% 40% මට්ටමට ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු දුන්නත් දැන් සිදු වී තිබෙන්නේ වක්‍ර බදු 87% ක් පමණ ඉහළ සීමාවකට දැමීමයි. මේ තත්ත්වයෙන් ජනතාවට එල්ල වන පීඩාව දරාගත හැකි වේවිද?

වක්‍ර බදු අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් මුදල් ඇමැතිවරයා කී ආකාරයට මේ රටේ ආදායම් බදු ගෙවන්නේ 9%යි. බදු මගහරින්නන් විශාලයි. රුපියල් මිලියන 100 කට වඩා බදු ගෙවන අය ඉන්නේ එක්කෙනයි. ඒත් මේ රටේ සිටින කෝටිපතියන් ගණන අපට බැලූ බැල්මටම නම්වලින්ම කිවහැකියි. මේක අදහගන්නත් බැරි තත්ත්වයක්. ඇත්තම ප්‍රශ්නය වන්නේ බදු පැහැර හරින්නන් බදු දැලට හසුකරගැනීමට සිස්ටම් එකක් නැතිවීමයි. ඉතින් මෙවැනි තත්ත්වයකදී සෘජු බදු වැඩිකිරීමෙන් වෙන්නේ අර හැමදාම ගෙවන 10% තවත් මිරිකීම විතරයි. එහෙම මිරිකුවත් රටේ බදු ආදායමට ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා මේ පේන්න ඉන්න බදු මගහරින්නන් අල්ලාගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඔවුන් හැංඟිලා නෙවෙයිනෙ ඉන්නේ. ආණ්ඩුවට ඇයි අල්ලාගන්න බැරි.

කළු ආර්ථිකයට එරෙහිව ඉන්දියානු රජය මේ වනවිට විවිධ පියවර ගනිමින් සිටිනවා. ලෝක පරිමාණයෙන් මේ තත්ත්වය මැඩලන්නට සාර්ථක පියවර ගෙන තිබෙනවාද?

අනිවාර්යෙන්ම. එක්සත් ජනපදය, සිංගප්පූරුව වැනි රටවල පවතින නීති පද්ධති සමඟ කිසිවෙකුට බදු නොගෙවා සැඟව ඉන්න බෑ. කාරණය වන්නේ කළු සල්ලි තබාගෙන ඉන්න අය සමාජයේ ප්‍රබල චරිත වීමයි. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් දේශපාලන රැකවරණය මැද ඔවුන් මෙතෙක් කරගෙන ආ ක්‍රීඩාව දිගටම කරගෙන යනවා. අපිට දකින්නට තිබෙන්නේ ඒකයි.

දුම් වැටි හා දුම්කොළ සම්බන්ධයෙන් බදු පැනවීමේදී ආණ්ඩුව බොහෝවිට අනුගමනට කළේ සදාචාරමය හා සෞඛ්‍යමය පදනම්. ආර්ථික විදාඥයන් එය විවේචනය කළා. මේ බදු පැනවීමේ පසුබිමට ඔබ එකඟ ද?

මම නම් දකින්නේ ඒක සදාචාරමයභාවයෙන් කළ දෙයක් හැටියට දේශපාලනිකව විකුණලා මුදල් හොයාගන්න ආණ්ඩුව කටයුතු කළ බවයි. මොකද එහෙම නැත්නම් සදාචාරමය පැත්තෙන් දුම්වැටි පාලනයට තවත් ගන්න පියවර තිබෙනවා. අන්තයක් වශයෙන් ගත්තොත් අවශ්‍ය නම් දුම්වැටි තහනම් කරන්නත් රජයකට පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මෙතැන තියෙන්නේ. අද සිගරට්වලින් ලැබෙන ආදායම නැත්නම් මේ රටේ බොහෝ සේවාවලට වෙන්කරන්න මුදල් නෑ. සේවා සැපයීම වෙනුවෙන් දුම්වැටි විකිණීමේ වාතාවරණය හදන්න කියලා නෙවෙයි මම කියන්නේ. අවාසනාවකට දුම්වැටියෙන් ලබන ආදායම අපේ ආර්ථිකයේ ලොකු පංගුවක් වෙලා ඉවරයි. ඒක ඇත්තටම වෙනස් කරන්න දේශපාලකයන් බයයි කියලයි මට හිතෙන්නේ. මෙච්චර විශාල ත්‍රිවිධ හමුදාවක් ඉන්න රටක තාමත් කසිප්පු පෙරන එක, ගංජා වවන එක වළක්වගන්න, මැරකම් ඇතුලු සමාජවිරෝධී වැඩ අඩුකරන්න අපිට හැකිවෙලා තිබෙනවාද? වර්ගකිලෝමීටර හැටපන්දාහ ඇතුලේ මේ දේවල් එළිපිට වෙනවා. කාගෙද වරද..

රියැදුරු ත්‍රස්තවාදය මැඩලීම සඳහා යැයි කියමින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් අතිශය අධික දඩ මුදල් අයකිරීම කෙතරම් තාර්කික ද? ප්‍රායෝගික ද?

මාර්ග අනතුරු නිසා දවසකට ජීවිත හතක් අටක් අහිමි වෙනවා. මාර්ග අනතුරු නිසා රුපියල් බිලියන 130 ක් වටිනා සම්පත් විනාශ වෙනවා. මානව සම්පත පැත්තෙන් ගත්තත් ආර්ථිකය පැත්තෙන් ගත්තත් මේක විශාල විනාශයක්. මේක වෙනස් කළ යුතුයි. එහිදී එක පියවරක් හැටියට දඩ මුදල් වෙනස් කිරීම ගැන ඇත්තටම මගේ විරෝධයක් නෑ. මොකද අධිවේගෙන් ගිහින් රුපියල් 500 ක් දීලා බේරෙන්න පුළුවන් නම් බලපෑමක් නෑනෙ. සමාජ පාලක නීති යාවත්කාලීන විය යුතුයි. උදාහරණයකට ලංකාවේ බස් රථ හා ත්‍රී රෝද රථ වැඩියි. බස් රථ යන්නේ රේස්. ඒත් ගුණාත්මක නෑ. පහසුකම් නෑ. බස් එකට නැග්ගාම තොරොම්බල් වගේ. කණ පැලෙන්න කැසට් දාලා. හෝන් ගහගෙන විකාරෙන් යන්නේ. ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. මේ තත්ත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි.

‘‘ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. “

සංවාදය- බිඟුන් මේනක ගමගේ


2 comments:

  1. සෑහෙන සත්‍යක් තිබෙනවා කියපු කතාවල..

    ReplyDelete
    Replies
    1. හොඳ ව්‍යවසායකයෙක්.. දැනුමයි කුසලතාවයයි දෙකම තියෙනවා..

      Delete