Wednesday 23 November 2016

උතුරු මුහුදේ අයිතිය කාටද?


ආක්‍රමණිකයන් දවල් කාලයේ ඉව අල්ලන අයුරු

ආක්‍රමණයට ලක් වූ උතුරු මුහුද

උතුරු මුහුදේ සිදුකෙරෙන ඉන්දීය ධීවර ආක්‍රමණය දශක ගණනාවක අතීතයට හිමිකම් කියන්නකි. තිස් වසරක සිවිල් යුද්ධය අස්සේ ජයටම කෙරුණු මේ මාළු හොරකමට මෙරට ධීවරයන්ගේ දැඩි විරෝධය පළවන්නට වූයේ 2009 න් පසුවය. එහෙත් තමිල්නාඩු ආක්‍රමණිකයාගේ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාර එල්ලවන්නට වූයේ මහින්ද අමරවීර ධීවර ඇමැතිවරයාගේ කාලයේදීය. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුලු‍ වී නීති විරෝධී මසුන් ඇල්ලීම සිදුකරන ලද  ඉන්දීය ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න අත් අඩංගුවට ගත්තත් ඒවා සියල්ල ආපසු නිදහස් කිරීමට සිදුවුණු අතීතය තරමක් වෙනස් වූයේ අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රා ඇතුලු‍ ධීවර ආම්පන්න සියල්ල රාජසන්තක කරනු ලැබීමෙනි. මෙයින් තදින්ම කෝපවුණේ තමිල්නාඩු දේශපාලනයයි. ලංකාවේ හයිකාරකමට එරෙහිව ඉන්දීය මධ්‍යම රජයට ගතු කියමින් ලියුම් කරදහි ලිවීම තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා ජයරාම්ට දෛනික ආහාර වේල තරම් සුපුරුදු දෙයක් වූයේ ඉනික්බිතිය. කෙසේ වෙතත් ප්‍රාන්ත දේශපාලනයේත් අසල්වැසියාගේ නෝක්කාඩුවේත් බලපෑම් සමඟ ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉන්දීය මහ ආණ්ඩුවට ද එයින් පිටුබලයක් ලැබිණි.

ඒ අනුව මාස ගණනක් තිස්සේ පැවැති සාකච්ඡාවල තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය 5 වැනිදා ඉන්දියාවේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සිදුවුණේ ද දේශපාලන වශයෙන් වූ පීඩන ආණ්ඩු දෙකටම එල්ලවෙමින් තිබෙද්දීය. ආරම්භයේදීම සාකච්ඡාව සඳහා ද ඉන්දියාවෙන් පැන වූ පූර්ව කොන්දේසි තුනක් තිබුණේය. ඒ ඇමැතිවරුන් අතර සාකච්ඡාවට ප්‍රථම ධීවර නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වීම, අත්අඩංගුවට පත් ධීවරයන්  නිදහස් කිරීම හා අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා නිදහස් කිරීමය. ශ්‍රී ලංකා රජය මෙයින් තුන්වැන්න හැර සෙසු කොන්දේසි දෙකට එකඟ වූ අතර සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාවට එය ප්‍රමාණවත් විය. ඉන්දු ලංකා ධීවර හා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවට දින නියම කෙරුණේ ඒ අනුවය.

ධීවර නියෝජිතයන්ගේ සාකච්ඡාවට උතුරු පළාතේ ධීවර දිස්ත්‍රික්ක හතර නියෝජනය කරමින් නායකයෝ දහ දෙනෙක් සහභාගී වූහ. නොවැම්බර් 2 වැනිදා දිල්ලියේ පැවැති මෙම රැස්වීමේදී මෙරට ධීවරයන් දැඩිව අවධාරණය කළ කරුණ වී තිබුණේ කිසිදු හේතුවක් මත මෙරට මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදීමට තමිල්නාඩු ධීවරයන්ට ඉඩ දිය නොහැකි බවයි. එසේම අත්අඩංගුවට පත් කිසිදු යාත්‍රාවක් නිදහස් කළ නොහැකි බව කී ඔවුන් ඉල්ලාසිටියේ බොටම් ට්‍රෝලිං ක්‍රියාවලිය වහා නතර කරන ලෙසටයි. මෙම තත්ත්වය තුළ දෙපාර්ශ්වයට සාකච්ඡා ප්‍රතිපල ගැන ඒකාබද්ධ නිවේදනයකට යෑමේ හැකියාව අවම වූයෙන් මීට පෙර කළ සාකච්ඡාවලදී මෙන් අමාත්‍යවරුන්ට ස්වාධීන වාර්තා දෙකක් නිකුත් කරන්නට ඉඩ දිය යුතුය යන අදහසට ඔවුහු පැමිණියහ. කෙසේ වෙතත් සාකච්ඡාවල සාර්ථකභාවයක් නොවූව ද නිශේධනාත්මක ලෙස එය විවේචනය කිරීමක් ද ධිවරයන්ගේ දකින්නට නැත. ඔවුන් මෙවැනි මධ්‍යස්ථභාවයකට පැමිණීමට හේතු වී තිබෙන්නේ ලාංකික ධීවරයන්ගේ ස්ථාවරය තමිල්නාඩුවට පමණක් නොව නවදිල්ලි මධ්‍යම රජයට ද පැහැදිලිව කියාපෑමේ අවස්ථාවක් මෙවර උදා වූ බවට වූ විශ්වාසය නිසාය. 

මෙකී සුහදතාව හා විශ්වසනීයභාවය සුරැකිය හැකි නම් ඉදිරි ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ද තමන් සූදානම් බව මෙරට ධීවර නියෝජිතයන්ගේ මතය විය. එහෙත් ඇතැම් දකුණු ඉන්දීය මාධ්‍ය මේ තත්ත්වය වාර්තා කළේ සාකච්ඡා අසාර්ථක හැටියටය. කෙසේ වුවද එම බාධා මධ්‍යයේ වුවද ලංකාවට පැමිණි ධීවර නියෝජිත පිරිස යාපනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සාකච්ඡාවල ප්‍රගතිය සිය සහෝදර ධීවර ජනයාට සැල කර සිටියහ. ඔවුන් එහිදී කියාසිටියේ යහපත් ප්‍රතිපලයක් වෙනුවෙන් වූ පළමු පියවර තැබීමක් මිස අසාර්ථක සාකච්ඡාවක් හැටියට කරන හැඳින්වීම පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් ඉන් පැය හතලිස් අටකට පසුව ඉන්දියාවේදී පැවති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවට ධීවර නියෝජිත රැස්වීමෙන් ලැබී තිබුණේ තල්ලුවකි. ධීවර ඇමැති මහින්ද අමරවීර, විදේශ ඇමැති මංගල සමරවීර හා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ඇතුලු නියෝජිත පිරිසට ධීවර නියෝජිතයන් වෙනුවෙන් එහි උපදේශක වරදාස් ත්‍යාගරාජා මහතා ද ඇතුලත් විය. මෙරට නියෝජනය සමඟ සසඳද්දී ඉන්දීය ධීවර හා කෘෂිකර්ම ඇමැති රාධා මෝහන් හා විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුලු ඉන්දීය නියෝජිත පිරිස සංඛ්‍යාත්මකව විශාල විය. එසේ වුවද සාකච්ඡාව ඉතාම සාමකාමී ස්වරූපයක් ගත් අතර ඒකාබද්ධ නිවේදනයකට යෑම එහි ප්‍රතිපලයයි. ඉන්දු ලංකා ධීවර ගැටලුවට කල්පවත්නා විසඳුමක් වෙනුවෙන් සළකාබැලිය හැකි කාරණා කීපයක් මෙහිදී අවධානයට ලක් කෙරුණි. ඉන් පළමුවැන්න වූයේ දෙරටේ නියෝජිතයන් ඇතුලත් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි. තමිල්නාඩු ධීවර හිමිකාරිත්වය විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් දියත් කරන ට්‍රෝලිං කර්මාන්තය තීරණාත්මක අවසානයකට ගෙනයෑමේ ක්‍රියාවලියට පණදීම එම කමිටුවේ කාර්යභාරයයි. අත්අඩංගුවට පත් ධීවරයන් හා බෝට්ටු ගැන සාකච්ඡා කිරීම ද ඊට පැවැරිණි. කෙසේ වෙතත් මේ කාරණා තුන සම්බන්ධයෙන් වුවද ලංකා රජය සුවිශේෂී එකඟතාවලට අවතීර්ණ වී නැති අතර ඒවා ගැන සාකච්ඡා කළ හැකි බව දන්වා තිබේ.

මීට අමතරව ධීවර නියෝජිතයන් හා ඇමැතිවරුන් අතර මාස තුනකට වරක් සමාන්තර සාකච්ඡා පැවැත්වීමටත් දෙරට අතර ක්ෂණික  ඇමතුම් සේවාවක් ආරම්භ කිරීමටත් සාකච්ඡා කෙරී තිබේ. ධීවරයන්ට සන්නිවේදන උපකරණ ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් සාගර කලාපයේදී ප්‍රචණ්ඩකාරී තත්ත්ව ඇතිනොවීමට වගබලාගැනීමත් දෙරටේම නියෝජිතයෝ එකඟතාවකට පැමිණියහ. ඒ අනුව පළමු ඒකාබද්ධ රැස්වීම ලබන වසරේ ජනවාරි 2 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

‘‘ධීවර ගැටලුව විසඳීම සඳහා වූ ක්‍රියාවලියට ආරම්භයක් ගැනීම මෙහිදී සිදුවුණා. ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශීයව අනුගමනය කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මේ ආරම්භයෙන් බාධාවක් නැහැ. ඒක ටිකක් පැහැදිලි කරනවා නම් ඉන්දීය ධීවරයන් හා යාත්‍රා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට මේ සාකච්ඡා නිසා බාධාවක් නෑ. ඇමැතිවරයා එම පියවර දිගටම ක්‍රියාත්මක කළ යුතු බව ධීවරයන්ගේත් ඉල්ලීමයි. ඒ වගේම මේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ලංකාව වගේම ඉන්දියාවත් බොටම් ට්‍රෝලිං ක්‍රමය මුළුමනින්ම නතර කළ යුතුය කියන මතයට ඇවිත් තිබෙනවා. මේ සාකච්ඡාවෙන් ලොකු ප්‍රගතියක් අත්පත්කරගත්තා කියලා එක්වරම කියන්න අපහසුයි. එය තීන්දුවෙන්නේ ඒකාබද්ධ කමිටුව ගන්නා තීරණ උඩයි. කමිටුවේ ව්‍යුහය ඊළඟ සාකච්ඡා වටයට කලින් සකසාගන්නවා. ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් ධීවරයන්ට ගැටලුවක් නෑ. ඔවුන් දැඩි ස්ථාවරයක ඉන්නේ අනවසර ධීවර යාත්‍රා කිසිසේත්ම නිදහස් නොකළ යුතුය යන්න සම්බන්ධයෙනුයි. * මෙරට ධීවර නියෝජිතයන්ගේ උපදේශක වශයෙන් සාකච්ඡා දෙකටම සහභාගී වූ ත්‍යාගරාජා වරදාස් මහතා සාකච්ඡාවල ප්‍රගතිය ගැන දැක්වූයේ එවැනි අදහසකි.

1983 සමස්ත ධීවර නිෂ්පාදනයෙන් සීයට 41ක් සපයනු ලැබුවේ උතුරේ ධීවරයන් විසිනි. යාපනේ පමණක් මෙට්‍රික් ටොන් 50 000 කින් ඊට දායක විය. එහෙත් ඒ සරුබිම යුද්ධය නිමාවීත් නැවත ගොඩනැගුණේ නැත. ජාතික මත්ස්‍ය අස්වැන්නෙන් දැන් උතුර සම්පාදනය කරන්නේ සීයට 10 ක් පමණි. ඒ සතියට දින තුනක් පමණක් මුහුදුයාමට උතුරේ ධීවරයන්ට වැටි ඇති සම්බාධක නිසාය. ඒ බාධාව නොතිබුණා නම් අඩුම තරමින් මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයක් කරගන්නට ඔවුනට අවස්ථාව පෑදෙනු ඇත. එසේ බලද්දී ජාතික මත්ස්‍ය නිෂ්පාදනයෙන් සීයට දහයක් ලාංකිකයන්ට අහිමිකරන්නට ඉන්දීය ආක්‍රමණික ධීවරයෝ කටයුතු කරති. වාර්තා වන අන්දමට එක් ඉන්දීය බෝට්ටුවක් නිසා දිනකට මෙරටට අහිමි වන මුදල රුපියල් 30 000 ත් 40 000 ත් අතර වන බව පැවැසේ. එවැනි බෝට්ටු දහස් ගණනක් මෙරට මුහුද ආක්‍රමණය කළ කල්හි එම ජාතික අපරාධය කොතෙක්ද? වසරකට එම පාඩුව රුපියල් බිලියන පහත් දහයත් අතර වන බවට නිල නොවන සංඛ්‍යා ලේඛන පවසයි.


කෙසේ වෙතත් මේ අබග්ගය ගැන සෘජුවම ඉන්දීය බලධාරින් හමුවේ කතාකරන්නට මහින්ද අමරවීර ධීවර ඇමැතිවරයා කටයුතු කර තිබුණේය.
''ඉන්දියානු ධීවරයින් සතියකට දින 03ක් ශ්‍රී ලංකා මුහුදු ජල තීරයේ දී නීති විරෝධී බොටම් ට්‍රෝලිං ක්‍රියාත්මක කරනවා. ඇස්තමේන්තු කර තිබෙන පරිදි එම දින 03 තුළ ඔවුන් ඉස්සෝ, දැල්ලෝ සහ මුහුදු කූඩැල්ලෝ මෙන්ම කකුළුවෝ වැනි ජලජ ජීවීන් ටොන් 600කට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගන්නවා. මේ නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය රු. මිලියන 63,000කට ආසන්නයි. එපමණක් නොව, නාවික හමුදාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට දිනපතා විශාල මුදලක් ශ්‍රී ලංකා මුහුදු තීරය ආරක්ෂා කිරීම සඳහා වැය කිරීමට සිදු වී තිබෙනවා. බොටම් ට්‍රෝලිං ක්‍රමය ක්‍රියාත්මක කරන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකාවේ මුහුදු පතුළ පමණක් නොව එහි ජීවත්වනසියළු ජලජ ජීවීන් අතුගා දැමීමක් සිදු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව අවට මුහුද මළ මුහුදක් බවට පත් වෙමින් තිබෙනවා. මෙවැනි විනාශකාරී ක්‍රම භාවිතය නිසා උතුරු නැගෙනහිර මුහුදු තීරයේ මත්ස්‍ය ගහණය දිනපතා අඩු වෙමින් තිබෙනවා. ඒක ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල මරු පහරක්. මම පෞද්ගලිකවම මෙම කටයුතු සොයා බැලීමක් කළා. ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ ගොඩබිම සිට කි.මී 03ක් දක්වා පැමිණෙන අවස්ථා තිබෙනවා. එපමණක් නොවේ එම පිරිස් ඉතාමත් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙමින් නාවික හමුදා යාත්‍රාවලට පවා හානි සිදු කළ අවස්ථා වාර්තා වෙනවා. එම නිසා අපේ මුහුද සීමාවේ දී අත්අඩංගුවට ගන්නා ඉන්දීය ටෝලර් යාත්‍රාවල සිටින ධිවරයින් මානුෂික හේතූන් මත වහාම නිදහස් කරනවා.නමුත්, අපි ධීවර යාත්‍රා හෝ උපකරණ නීතිය මගින් රාජ සන්තක කරනවා. එසේ කරන්නේ අන් කිසිවක් නිසා නොව, මේ සිදු කරන විනාශය නැවැත්වීම සඳහායි..* මේ ධීවර ඇමැතිවරයා ඉන්දීය බලධාරින්ට කී ඒ කතාවෙන් කොටසකි.

ලංකාවේ දැනට ක්‍රියාත්මක 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන පනතට අනුව නීතිවිරෝධී ධීවර කර්මාන්තය හා ආක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමේ බලයක් විෂය බාර ඇමැතිවරයාට පැහැදිලිවම තිබේ. මෙතෙක් කල් භාවිත නොවුණේ ඒ බලයයි. උතුරු මුහුද යනු ලංකාවට අතිශයින්ම බලපාන රාජ්‍යතාන්ත්‍රික බන්ධනයේ භූගෝලීය පැතිකඩක් වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් දැන් දෙරටේම රාජ්‍ය තන්ත්‍රයේත් ධීවරයන්ගේත් නවමු බලාපොරොත්තුව වී තිබෙන්නේ ඊළඟ සාම සාකච්ඡා වටයයි. ඊට වේදිකාව තනන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවයි. එය සාර්ථක වේද නොවේදැයි යන්න තීන්දු වීමේදී ඉදිරි මාස දෙක තීරණාත්මක කාලපරිච්ඡේදයක් වනු ඇති බව නම් සැක නැත.

බිඟුන් මේනක ගමගේ






No comments:

Post a Comment