Thursday 25 February 2016

මවුන්ට් එලිසබෙත් පන්නයේ මරණයක්...



වාමාංශික දේශපාලන පක්ෂවල සංවිධායකයෝ සිය සාමාජිකත්වය පුළුල් කරගැනීම සඳහා කරන බඳවාගැනීම්වලදී පංති පරතරය පෙන්වාදෙන්නට අපූරු උපහැරණයක් භාවිත කරති. ඒ ජීවිතවල වටිනාකම මූල්‍යමය වටිනාකමක් දක්වා ඌනණය කෙරන අවස්ථාවක් වන සෞඛ්‍ය සේවා ප්‍රශ්නයයි. ඒ අනුව ධනපතියා පුංචිම කැසිල්ලකට පවා ලොව හොඳම රෝහල්වල සුවය සොයද්දී පීඩිතයෝ සිය මාරාන්තික රෝග හමුවේ වුවද රජයේ රෝහල්වල පෝලිම් ගැසී බෙහෙත් ටික ගැනීමට බලා සිටිති. එලොව යනවාද මෙලොව ඉන්නවාද යන්න තීරණය කෙරෙන ශල්‍යකර්මවලට වුවද ජීවිත අවදානමත් දරාගෙන පොරොත්තු ලේඛනවලම ලැග සිටිති. ඉතින් මේ ක්‍රමය සාධාරණදැයි අසද්දී මිනිස්සු නිරුත්තර වෙති. එහෙත් එසේ ධර්මය වදාළ වාමාංශික ප්‍රචාරක ලේකම්වරුම පක්ෂය පමණක් නොව පංතියත් මාරුකරගෙන සුළු හිස රුජාවටත් ගුවන්ගතව හොඳම රෝහල්වල සේවය සොයද්දී පීඩිත පංතියම අන්දුන් කුන්දුන්ය. ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව, ධනපති තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. පාරිභෝගිකවාදයේ පතුළටම වැටුණු කලත් උන් වළිකන්නේ ලෙනින්ගේ ඇගේම එල්ලෙන්නටය. එහෙත් එය කෙතරම් විසිළුසහගතදැයි කිවහොත් අන්තිමේදී උන්දෑලාගේ මේ  බිරින්ඳෑලාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී මේ ලෝකයෙත් නැති ලෙඩ හැදී සයනාසනාරූඩවන්නට සොයන්නේත් සුපිරි පහසුකම් සපිරි පෞද්ගලික රෝහල්මය.

මේ රාජකීය සැකසුම ඇතිහැකි ඔබ වෙනුවෙන්මයි..

සෞඛ්‍ය සේවය හා දේශපාලනය ගැන මෙහෙම කියන්න හිතුණේ මවුන්ට් එලිසබෙත් රෝහල නිසාය. හරියටම කිව්වොත් ඊටත් වඩා මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා නිසාය. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුලත් කිරීම දේශපාලන පුවතක් බවට පත්වීම හා ඒ අනුසාරයෙන් ඇති වූ කතා නිසාය.රාජපක්ෂ ආණ්ඩු පෙරලියේ කතෘවරයකු වූ රාජිත මේ ඇතුලත් වී සිටින මවුන්ට් එලිසබෙත් රෝහල යනු සෝභිත හිමියන් ද අවසන් වරට ප්‍රතිකාර ලැබූ තැනය. අනෙක් අතට පසුගිය කාලය පුරා දේව කන්නලව්වලට වැඩි බරක් තැබූ ඒකාබද්ධ විපක්ෂය හාස්කමක් වන තුරු බලා සිටී. මේ සිදුවීම් හා පොල් ගැසීම් අතර තාර්කික ප්‍රතිපල ප්‍රබන්ධයෝ සුළං වේගයෙන් හමා යති. ඒ හමායාමේ කුරිරු ප්‍රීතිය කොතෙක්දැයි කිවහොත් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැඩි සේ ඇලුම් කරන මා හඳුනන ස්ත්‍රියක මේ දිනවල සිටින්නී රාජිත සේනාරත්නගේ දේශපාලන ජීවිතයට සෝභිත හිමි මාදිලියේ අවසානයක් අපේක්ෂා කරන උදෙ‍ේ‍යා්ගයකිනි. අනෙක් අතට ඇය දිගින් දිගටම ප්‍රශ්න කරන්නී සෞඛ්‍ය ඇමැතිට මේ තරම් රට සැප කුමටදැයි කියාය.


 මේ නිසා මේ සෞඛ්‍ය ඇමැතිවරයා ලියුම්කරුට කී දෙයක් සිහියට නැගේ.
ඔයා දන්නවද තාත්තා මට රාජිත කියලා දැම්මේ ඇයි කියලා.. ඇමැතිවරයාගේ පැනයට හිස වැනූවෙන් ඔහු එය පැහැදිලි කළේ මෙසේය. රාජිත කියන්නෙ පරාජය කළ නොහැකි කියන කියන එක.. .. ඒ ඔහු තම බල දේශපාලනයට සංඥා නාමයත් භාවිත කරන හැටිය. 

මේ සැප මවුන්ට් එලිසබෙත්හිම මිස ...


දැන් ඉහත පළමුව කී අතීත වාමාංශික ප්‍රචාරක ලේකම්වරයාත් මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ භෞතික අවසානයක් යදින දේශපාලන යාදිනියත් අතර සම්බන්ධ කර කතාවේ අවසානයට යා හැකිය. දේශපාලනය තුළ රාජිත නොව බණ්ඩාරනායක, රාජපක්ෂ, ජයවර්ධන ආදී සංඥා නාමයන්ට ඊටත් වඩා අළෙවි වටිනාකමක් තිබේ. දේශපාලනය වැඩවසම් වන තරම අනුව එය තවත් තීව්‍ර වෙයි. එහෙත් භෞතික ශරීර රෝගාතුර වූ කළ ඒ බොහෝ දෙනාගේ වටිනාකම තීරණය වන්නේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව මතය. මාරාන්තික අවස්ථාවකදී සංඥා නාම අළෙවිකරන්නන්ගේ පමණක් නොව පොල් ගසන කල්ලිවල ද ගැලවුම්කාර දෙවියා උසස්ම වෛද්‍ය සේවය වන්නේ එහෙයිනි. සැබැවින්ම තීරණාත්මක අවස්ථාවලදී මරණය පරාජය කළහැක්කේ විද්‍යා තාක්ෂණයේ මහිමයෙන් මිස සංඥා නාමවලින් නොවේ. මේ නිසාම දුප්පත්කමේ සාපය නිසා උසස් වෛද්‍ය සැපයුම් නොමැතිකමින් මරණය හමුවේ පරාජය වන රාජිතලා මේ රටේ කොතෙකුත් වෙති. සාප කරන්නන් ද උදම් අනන්නන් ද ආමන්ත්‍රණය නොකරන, කතා නොකරන යථාර්ථය එයයි.


ජීවිතය ඕනෙම ද? 


ඇති හැකි අය මවුන්ට් එලිසබෙත් ගියාට අපේ නම් අහිතක් නැත. එහෙත් රටේ සෞඛ්‍ය ඇමැතිවරයා සුළු යැයි කියන සැත්කමකටත් සිංගප්පූරුවට යන විට එහි නොකියන කතාව වන්නේ මේ රටේ සෞඛ්‍ය සේවයේ තත්ත්වයයි. එනිසා අප වද වෙන්නේ වේදනා නාශක පෙත්තක්වත් වෛද්‍යවරයකුවත් නැතිව පරාජය වන මේ රටේ ජීවිත ගැනය. අනෙක් අතට ජීවිතවල අවසානය යදිමින් දේශපාලන පරිවර්තන සිදුවන තුරු මාන බලන වැඩවසම් යාදිනියන්ට සිහිකළයුත්තක් ද වේ. ඒ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් කළ හැකි මුදල ලක්ෂ තුනහමාර දක්වා වැඩි කරන ලෙස වූ යෝජනා ගෙනආවේ පහුගිය පාලන සමයේදීම වන බවය. අවසන මේ කිසිවෙකුගේ හව්හරණක් නැත්තේ මහජන නියෝජිතයන් උජාරුවන් කියන ජනවරම ප්‍රදානය කරන මහජනයාටය. ඒ අතින් නම් විපක්ෂත් ආණ්ඩුත් මැද්දේ ඔවුන් තාමත් පරාජිතය. 

එවිට අර පැරැණි වාමාංශික ප්‍රචාරක ලේකම්ලා නොකියන කෑල්ල එලියට එයි. ඒ මෙසේය. ‘‘ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. ඒ වගේම මම ධනවාදයවත් ධනපති විද්‍යා තාක්ෂණයවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ...“



3 comments:

  1. ඇමතිවරයා පෙනීසිටි ඡුායාරූප මවුන්ට් එළිසබෙත් රෝහලේ වෙබ් අඩවියෙහි ඇති වීඅයිපී කාමරවල ඡුායාරූපවලට සමාන අතර ඇමතිවරයා නැවතී සිටියේ වීඅයිපී කාමර වල යැයි අනුමාන කළහොත් එම කාමරයක දිනෙක වියදම රුපියල් 369 546ක් වන්නේ ය. ඔහු විදේශගත වූයේ 20 වැනිදා වන අතර 25 තෙක් දින පහක් ගණනය කළද ඔහු වීඅයිපී කාමරයක නැවතුණේ නම් සම්පූර්ණ වියදම 1 847 730 වන්නේ ය. මේ දළ වශයෙන් වියදම සම්බන්ධයෙන් චිත‍්‍රයක් මවාගැනීඹ සඳහා කළ අවම ගණනය කිරීමක් පමණකි. ශල්‍යකර්මය සඳහා ද, ඇම්බියුලන්ස් ගුවන්යානය සඳහා ද, වෙනත් වියදම් ද ගණනය කර නොමැත.

    ReplyDelete
  2. සින්ජොප්පූරුවේ හොඳම වෛද්ය ප්‍රතිකාර ලබා දෙන්නේ ඔය මවුන්ට් එලිසබෙත් හොස්පිටිතාලේ නොව නැශනල් යුනිවසිටි හොස්පිටිතාලේ බව එහි සේවය කල අය දනිති!

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ගැන මම නොලිව්වෙමි. ඒත් ඒ තැන ගැන කී ඔබට තුති..

      Delete