Wednesday, 10 February 2016

ජාතිය ගොඩනැගීම හා අවජාතක දේශපාලනය..



කාටවත් වැඩක් නැති පොල් ගැහිල්ලක් ගැන මරාගන්නවට වඩා නරකද.. මේ කීර්තිය ගේන කොල්ලො කෙල්ලො ගැන පොඩ්ඩක් කතා කරන එක.. කොමෙන්ට් කරමු.. ෂෙයාර් කරමු.. කියවමු.. ලියමු මෙව්වා ගැන.. මෙන්න ජුලියන් බෝලින්ලා සුසන්තිකාලා ශ්‍රියාණිලා ධම්මිකා මැණිකේලා ආයෙත් බිහිවෙනවා. ගූගල් කරපල්ලා.. ඉමේජස් හොයලා බුකිය පුරවලා සමරපල්ලා..

පසුගිය පෙබරවාරි 6 වැනිදා හැන්දෑකරේ මුහුණු පොතේ කරක් ගැසූ මට මොහොමඩ් ෆර්සාන්ගේ මේ පෝස්ටුව දුටු විට සියුම් සතුටක් ඇතිවිණි. ඒ තමන්ගේ ලේ කුමන පාටදැයි සොයා බලනු රිසිව රටේම නැති මඩ අවලාදයෙන් අපවාදයෙන් ද්වේෂයත් වෛරයත් මුහුණු පොත මත වැපිරෙමින් තිබුණු නිසාය. එහෙත් එවැනි සාපලත් කතා මැද ඉහත අදහස ඉස්මතුවේද යන සංකාව එසැණින් මසිත නැගිණි. සටහන තබන අද වනවිට ඒ සැකය දුරැර සටහන් තැබූ මුසල්මාන සොයුරා ද ගොඩදමන්නට පිරිසක් එකාවන්ව කටයුතු කර තිබේ. ඒ අන් කවුරුන්වත් නොව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකික වීර දූ පුත්තුය. පොල් ගැසීමේ, සාප කිරීමේ පටන් ව්‍යාජ උපවාස දක්වා පැතිර පවත්නා ශ්‍රී ලාංකික දේශපාලනයේ ඊනියා කෙළි කවටකම් මැද දෑස් නිලංකාර කරගත් සමාජයක හදවත පහුරු ගාන්නට මේ කුරුලු රෑන සමත්ව තිබේ. හුස්ම හිර කරන, අනුන්ගේ ලේ ඉල්ලන, වචන හරඹයෙන් දස්කම් පාන ගෝත්‍රික නයුවන් මැද සිය සියල් සිරුරේ උපරිම ජවය මඟින් රනින් රිදියෙන් ලෝකඩින් ලක් මව් සරසන්නට මේ කුරුලු රෑන සමත්ව තිබේ. ඒ ලොව සුවිසල්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වූ අසල්වැසි ඉන්දියාවට පමණක් දෙවැනි වෙමිනි. මේ අභිමානයට ඇති එකම පර්යාය පදය ශ්‍රී ලාංකිකත්වයම මිස අන් කුමක්ද?

වේගවත්ම ලාංකිකයාගේ සිට වේගවත්ම දකුණු ආසියානුවා දක්වා ගිය හිමාෂ ...


ජාතික කොඩිය කෑලි කර දේශයක හද පාරන යුගයක සාග් ක්‍රීඩා උළෙලේ තරඟ වැදුණු අපේ සහෝදර සහෝදරියන්ගේ එකම පැතුම වූයේ සිය ජයග්‍රහණයෙන් ඉක්බිති ඒ ජාතික කොඩියම හිසට සේසත් කරගන්නටය. එකම රටක් තුළ දේශපාලනයත් ක්‍රීඩාවත් වර නැගෙන අපූරුව.. එහෙත් අවාසනාවට කරුණ වන්නේ මේ ඇත්ත යථාර්ථය තේරුම් ගත්තත් ඒ ගැන කතාකරන්නට තරම් නිර්භය මිනිසුන්ගේ අඩුවයි. මුරලිගේ පිට දඟ පන්දුවට ප්‍රතිවාදීන් ඇඹරෙද්දී හුරේ දැමූ සමාජයක්ම තාජුඩීන්ගේ ඝාතනයට වගකිවයුත්තන් ගැන සොයද්දී වෙනස් මුහුණුවරකින් දඟ කැවෙන්නේ ඒ නිසාය. ඒ විකෘති දඟකැවීමේ පාපය වසර තිහක් පුරාවට අත්විඳි ජාතියක් හැටියට දැන් අප කළයුත්තේ ක්‍රීඩාව වැනි ඉසව් අනාගතවාදී දේශපාලන දැක්මකින් භාවිත කිරීමය. හිමාෂ ඒෂාන්.. ඔහොමම දුවගෙන වරෙන් කොළඹට ආදරෙන් උඹව බදාගන්න.. උඹ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා.. යැයි කියමින් මොහොමඩ් ෆර්සාන් මුහුණු පොතේ දමන සටහන මට වඩාත් හෘදයාංගම වන්නේ එහෙයිනි. 

ජාතිය ගොඩනැගුණේ සීතල කාමරවල නොවේ..



ජාතිය ගොඩනැගුණේ වට මේස සාකච්ඡා පිරුණු සීත කාමර තුළ නොව ක්‍රීඩාලෝලීන්ගෙන් පිරුණු කෝපි කඩවල් තුළ දීය යන්න බටහිර ප්‍රකට මතයකි. අපේ රටට අදාළව ගත්තත් එය වඩාත් ප්‍රබල කාව්‍යෝක්තියකි. එහෙත් ඒ ඇත්ත යථාර්ථය පසක් කරන්නට සිරුරේ ජවයෙන් ලක්මව සරසන දූ පුතුන් මෙන්ම ජාති කුල ගොත් පටු සීමා මායිම් ඉක්මවන සිහිබුද්ධියක් ඇති මිනිසුන් ද අවශ්‍ය කර තිබේ. මොහොමඩ් ෆර්සාන්ලාගේ පුංචි ෆේස් බුක් ලිපිය වඩා රැඩිකල් වන්නේ ඒ අවකාශය තුළය. මුරලි කඩුල්ලක් දවා ගනිද්දී අත් පොළසන් දුන් අපට කිමිකෝ රහීම්ස් ජල තලය දෙබෑකරගෙන දකුණු ආසියාවම පරදවද්දී මුනිවත රැකිය හැකිද? ලේ වල ගඳ සුවඳ ඉතිහාසය හා නිරුක්තිය සොයන්නෝ දැන් කුමක් කියන්නෝද? ඔවුන් මේ ජයග්‍රහණයත් ව්‍යවච්ඡේද කරන්නට දැන් සූදානම් ද?












4 comments:

  1. මයුමි රහීම්ලා සිංහලේ නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    එයාලා ශ්‍රී ලංකාවේ...
    කහකඩයන්ගෙ සිහින රටට ගියානං පදක්කම් ගොඩක් අහිමි වෙන්න තිබුණා...
    ජාතිය ගොඩනඟන්න ක්‍රීඩාව ගොඩක් වැදගත්

    ReplyDelete
  2. Replies
    1. thanks a lot and waiting for concrete implementations....

      Delete
  3. අැත්ත මේකයි බිගුන්...............

    ReplyDelete