Monday 29 February 2016

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑ එක්නැලිගොඩ....


සත්‍ය කියන්නෙ මොකද්ද කියන දාර්ශනික ප්‍රශ්නෙ එහෙමම තිබියදී සම්මත ජනමාධ්‍යවේදය තුළ මූලික කටයුත්ත වෙන්නේ ජනතාවට තොරතුරු සැපයීම. ඒ සපයන තොරතුරු හැකිතරම් සත්‍ය විය යුතුයි. නැත්නම් සත්‍යට සමීප විය යුතුයි. මේ නිසා තොරතුරු සැපයීමේදී ජනමාධ්‍යවේදීන්ට තිබෙන්නේ විශාල වගකීමක්. එහෙත් ප්‍රවෘත්තියකට හිමි වටිනාකම කුමක්ද යන පැනය අනුව මේ වගකීමත් බල්ලට ගිහින්. මේ වගකීම්විරහිතබවට මූලික හේතුව ජනමාධ්‍යවේදය යැයි කියා දෙයක් ලංකාවේ නොවීම. (ඒක වෙනම කතා කළ යුතු කරුණක්)

පාලක තැනට කන්දෙන්න ඕනෑ..

කොහොම වුණත් මේ නිසාම අද වනවිට මේ නිසාම ප්‍රවෘත්තියක් සම්පාදනය බ්ලොක් ගල් ගහනවා වගේ වැඩක්. අච්චුව හදාගත්තාම අනුපාන ටික දැනගත්තාම ඉල්ලන ප්‍රමාණයට දෙන්නයි තියෙන්නේ. මේ පුවත් බ්ලොක් ගල් ගහන නොයෙක් අච්චු තියෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ එවැනි එක අච්චුවක්.
විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ අද වනවිට සතියේ පුවත්වලින් වැඩි බරක් අදින එක අංගයක්. මේ නිසාම මාධ්‍යවේදියාත් බ්ලොක්ගල් සම්පාදන කරුවකු දක්වා ඌනණය වෙලා. ප්‍රෙස් කොන් ( ප්‍රෙස් කොන්ෆරන්ස්) යනවා කියලා තමයි එදිනෙදා භාවිතයෙදි මාධ්‍යකරුවන් මේ ගැන කතාවෙන්නේ. ඇතැමුන්ට මේ ප්‍රෙස් කොන් හරියට පොප් කොන් වගේ. හැබැයි මේ ප්‍රෙස් කෝන් කියන වාච්‍යාර්ථයේ තිබෙන ගාම්භීරත්වයක් මේ පුවත්පත් සාකච්ඡාවල නෑ. අතිශය වගකීම්විරහිත තැනක් හැටියට මේ ප්‍රෙස් කෝන් හඳුන්වන්න පුළුවන්.

ඔයා ඇත්ත කියනවද? බොරු කියනවද? අපිට වැදගත් නෑ අනේ...


මේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට වාඩිවෙන දේශපාලකයන්ටත් කරන්න තියෙන්නේ බොහෝම පුංචි දෙයක්. හැකිතරම් දෙපිට කැපෙන වචන කතා කරමින් විරුද්ධ දේශපාලන පක්ෂය විවේචනය කිරීම තමයි ඒ. අතරින් පතර ප්‍රස්ථා පිරුළක්, ආප්තෝපදේශයක් වගේ එකක් දැම්මා නම් තවත් හොඳයි. එතකොට බොහෝදුරට ඒ පිරුළ ප්‍රවෘත්තියේ සිරස්තලයට යොදාගන්නත් පුළුවන්.

මේ ප්‍රෙස් කොන්ෆරන්ස්වල තියෙන වාසිය තමයි ඇති පදමට බොරු කියන්න පුළුවන් වීම. මොකද මේ කියන්නෙ ඇත්තද නැත්තද කියලා මාධ්‍යකරුවන්ට වැඩකුත් නෑ. ඔවුන්ට මේ ප්‍රවෘත්ති සාකච්ඡා හරියට ඉස්කොලෙ යන කාලේ ලියපු අසා ලිවීම වගේ. හැමෝම බලන්නේ කියන දේවල් අහගෙන ඔහේ ලියාගන්න. ඒවායේ ඇත්ත නැත්ත හොයන්න ඔවුන් උනන්දුත් නෑ. ඒ කතාත් ඒ තරම්ම පැටලිලිසහගතයි. හරියට පඹගාලක් වගේ. ඒ නිසා ඔය කියන කතා අසා සිටින සහ පුවත්පත්වල ප්‍රවෘත්ති සාකච්ඡා කියවන මිනිසුන්ගේත් ඔළුව අවුල් වෙනවා.

පත්තරකාරයොත් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කියපුවා අනෙක් පැත්තට ලියලා ඒකට නම දාගන්නවා. පහුවැනිදා ඒක පත්තරේ විස්තරේට කියවනවා. ඔය විදියට මාස දෙක තුනක් ප්‍රවෘත්තියයි නමයි කියවෙද්දි මෑන්ස් ප්‍රසිද්ධ මාධ්‍යකාරයෙක් වෙනවා. ඇත්තටම බැලුවා නම ගිය අපරාධකරුවක් වෙනවාට වඩා පහසුවෙන් මේ විදියට නම ගිය මාධ්‍යකරුවක් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නම හැදුණු ගමන් තවදුරටත් හැදෑරීම් නෑ.(දැන්නම් ගොඩක් දුරට හැදෑරීම් ඇත්තෙම නෑ) වැදෑරීමම තමයි තියෙන්නේ.

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑමේ පාපයට හසුව ඇති ප්‍රගීත්..


අන්න එහෙම ප්‍රවත්තෘ සාකච්ඡාවලින් නම හදාගත්ත කෙනෙක් තමයි පහුගිය දවසක ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවකදි ඩිලාන් පෙරේරත් එක්ක සෙට් වෙලා ප්‍රගීත් එක්නැලිගොඩ කවුද කියලා ඇහුවේ. මොකද අවුරුදු තිහක් මාධ්‍යකරුවක් විදියට වැඩ කළාට මෑන්ස් හිතන් ඉන්නෙ ජර්නලිස්ම් කියන්නේ අසාලිවීම වගේ වැඩක් කියලා. අනේ එහෙම බැලුවාම ලෝකයේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පවා අපේ රටේ හිටියා නම් අබ සරණයි. මොකද අපේ ඈයොම පහුවැනිදා උන් මාධ්‍යවේදියොද කියලා අහන නිසා. හොඳ වෙලාවට අපේ රටේ එහෙම අය අඩුයි. ( ටික දෙනෙක් ඉන්නවා..හැබැයි ජනප්‍රකට නෑ..) ඒ නිසා ප්‍රෙස් කෝන් ගිහින් පොප් කෝන් කනවා වගේ නිව්ස් එකක් ගහගෙන හවස ගෙදර යන එකයි තියෙන්නේ..


No comments:

Post a Comment