Wednesday 21 March 2012

ලංකාවේ සුප‍්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් පොරක් ජිනීවා දුටු හැටි

                 අධ්‍යාපනික මාධ්‍යක් විදියට ඉංග‍්‍රීසිය ලංකාව ඇතුලේ ප‍්‍රචලිත කරන්න මහත් වෙහෙසක් ගන්න ටියුෂන් ගුරුවරයෙක් වගේම ප‍්‍රධාන ධාරාවේ පත්තර ඇතුලේ බොහොම ලොකු සංවාදෙක නිරතවෙලා ඉන්න මහත්තයෙක් අපි නිකන් කතාකරන අතරතුරේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු යෝජනාව ගැන වෙනස්ම අදහසක් පළ කළා. මට ඒ අදහස වෙනස් කියලා කියන්න හිතුණේ ලෝක දැනුම ලබාගැනීමේදී ඉංග‍්‍රීසිය කියන භාෂාමය යතුර අන්‍යයන්ට බෙදන මේ ගුරුවරයා වඩා අනම්‍ය සිංහල ජාතිකවාදී දෘෂ්ටියකින් මේ ප‍්‍රශ්නය දිහා බලපු හින්දයි. ඔහු යෝජනා කළේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍ය බලය හෙබවූවේ සිංහල ජාතිය බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී අවධාරණය කළ යුතු බවයි. ඔහු කිව්වේ මාඝ, එලාර වගේ පාලකයන් මෙරට පාලනය කළ කාලය ඉතිහාසයේ ඉතාම සුළු කාලපරිච්ෙඡ්දයක් බව කිසිවෙකු විසින් කවුන්සිලය මධ්‍යයේ මේ වනතුරුත් ඔප්පු කරනු ලැබ නොමැති බවයි. ඒ වගේම එයා අපට මේ කතාව කිව්වේ තීරණාත්මක මොහොතක රට බේරාගැනීමේ වඩාත් නවමු හා තාර්කික මාවත හෙලිකරගත් අයෙකු වගේ පුදුම උද්‍යෝගයකින්. මේ වගේ කතාවක් කියන්න පුළුවන් අතිබහුතරයක් අපේ රටේ ඉන්න බව ඇත්ත. ඒ වගේම මේක සිද්ධියට අදාළව තක්කාලියි බෝල්ට් ඇණයි වගේ අසම්බන්ධිත කතාවක් වුණාට ප‍්‍රශ්නය තිබෙන්නේ මේ කතාව කරන පුද්ගලයාගේ භූමිකාව නිසයි.
 
ඇත්තටම මට මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මතුවෙච්ච ප‍්‍රධානතම කාරණා දෙකක් තිබුණා. එකක් බහුවිධ සමාජ මතවාද ලෝකය තුළ ඇති බව තේරුම්ගැනීමට අවශ්‍ය දැනුම් මාර්ගය විවර කරන අයෙකු මේ වගේ අධිපතිවාදී මර්දනීය අදහසක් දැරීමයි. අනෙක රටේ උගත්තු කියලා සිවිල් බලයක් හොබවන මේ වගේ අය කරන කතන්දරවලට පොදු ජනයා විසින් වටිනාකමක් ආරෝපණය කරනු ලැබීමේ භයානකකම යි.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවන වටපිටාව හෝ එහි අභිලාශයන්වත් නොදැන කරන මේ වගේ අදහස් දැක්වීම් තමයි අපි අද රට පුරාම දකින්නේ. අඩුම ගානේ ජනතා නියෝජිතයො දන්නෙත් නෑ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ව්‍යුහය හා ක‍්‍රියාකාරීත්වය මොන වගේද කියලා. සිංහල බෞද්ධ ඡුන්ද ගොඩ වැඩිකරගැනීමේ බාල උපක‍්‍රමයක් විදියට කෙරෙන ගැලරිය අමතන කතන්දර හා මෝඩ චූන් රංගන හැරුණම වගකිවයුතු පාර්ශ්වයකින්වත් සත්‍ය ගැන කතිකාවක් ගොඩනැගෙන්නේ නෑ. 
http://www.blogger.com/blogger.g?blogID=6141678029775485709#editor/target=post;postID=8368566445283416862විශේෂයෙන්ම ලංකාවේ මානව හිමිකම් කොමිසම වැඩවසම්කාමී පුද්ගලයන් කීප දෙනෙකුගේ බලපරාක‍්‍රමයට නතුවෙච්ච වෙලාවක ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු ප‍්‍රමුඛතම ආයතනයෙන් අපට කිසිවක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් වගකීම ආයතනිකවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙනුත් පැවැරුණු අය ඒක අත්හැරියම ඒක කරට ගන්නේ විමල් වීරවංශ, දි.මු.ජයරත්න වගේ කටු කාලා එදා වේල ජීවිතේ සරිකරගන්න අන්තවාදය සිය පැවැත්ම බවට පත්කරගත්ත අයයි. විකල්ප නායකයා කියල මහා මුග්ධ විදියට හැසිරෙමින් ඉස්මතු වෙන්න හදන සජිත්ලා වගේ බිම්මට්ටමේ මානසික ව්‍යාධියකින් පෙළෙන අයටවත් තමන් ජනතාවගේ (සිංහල බෞද්ධ)පැත්තේ කියලා කියන්න උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂවලටවත් ලෝක දේශපාලන යථාර්ථයට මුහුණ දෙන්න බෑ. ඒ අය ඊට සම්මුඛ වෙන්නත් බයයි. මොකද තමන්ට ගොඩයන්න තියෙන එකම මාර්ගය වෙච්ච මැතිවරණ දේශපාලනය තුළදී බලය ගොඩනගාගනිමින් ලංකාවට ආවේණික සියලු ව්‍යාධීන්ට ඊට පස්සේ දේශීය සංස්කෘතිය කියලා කටපුරා කියන්න බැරිවෙන නිසා.
ඉතින් බුද්ධිමතෙක් යැයි අපිත් මෙච්චරකල් හිතාගෙන හිටිය මේ ඉංගී‍්‍රසි ගුරුවරයාටත් ගෝත‍්‍රික වීරවංශට වඩා එක දශමයකින්වත් එහාට හිතන්න බැරිවෙච්ච එක ගැන නම් අපට දුකයි. ඒත් මෙයා හෙටත් ලංකාවේ ප‍්‍රධාන කියන පත්තර ඇතුලේ මාර ‘‘ඉන්ටර්නැෂනල් පොරක් ’’ විදියට මිනිස්සු හඳුනාගනීවි. අවුල ඒකයි.

No comments:

Post a Comment