Sunday 18 March 2012

එක්සත් ශිෂ්‍ය සංගමය හා පරිපාලනය අතර කසාදය

කොළඹ කැම්පස් එකට අලුතෙන් එන විද්‍යාර්ථින්ට අහන්න ලැබෙන ජනප‍්‍රිය මතයක් තමයි කොළඹ කැම්පස් එක නිර්දේශපාලනිකයි කියන එක. දේශපාලනයේ අයන්න ආයන්න කියවපු  ඕනම කෙනෙකුට මේ කතාව පට්ට ජෝක් එකක් වුණාට මේ මතවාදී ධජය උස්සන් හැටට හැටේ දුවන දේශපාලන විද්‍යා විශේෂවේදියෝත් මේ අය අතර ඉන්නවා. මේ මතයට මූල බීජය සපයන්නේ පිරිමි හොස්ටල් එක නොහොත් කිත්‍යාගරේ. ආරම්භයේදී මේ නිර්දේශපාලනික කොඩිය මතුවෙන්නේ තෙලවල කියලා කලින් තිබුණු හොස්ටල් එකේ මතය(අ:වි:ශි:බ:ම ට සහාය දැක්වීමේ)ට අභියෝග කිරීමේ උපක‍්‍රමයක් හැටියටයි. අන්තරේ මතය ගෙනියන පොදු ශිෂ්‍ය සංගමයේ දේශපාලනික නිජබිම වුණේ තෙලවල. අන්තරේ කියන්නේ කොහොමත් ලංකාවේ විශ්වවිද්‍යාල පරිපාලනේට නයාට අඳුකොල වගේ නිසා කිත්‍යාගරේ තමන්ගෙ න්‍යායික සගයෙක් කරගන්න කොළඹ විශ්වවිද්‍යාලීය පරිපාලනය පැකිලෙන්නේ නෑ. මේ අතර අන්තරේට සහයෝගී පොදු ශිෂ්‍ය සංගමයත් සිය පක්ෂ දේශපාලනික න්‍යාය පත‍්‍රය දිගහරිනවා. ඒ 2009 අවුරුද්දේ මැද. මේ කණ්ඩායම් දෙකම නවකයන් තමන්ගෙ පැත්තට හරවගන්න විවිධ උපක‍්‍රම පාවිච්චි කරනවා. තෙලවල අය ඔරියන්ටේෂන්වලටත් කලින් නවකයන්ව දිශානුගත කරන්න හිතාගෙන කොළඹට තේරුණු නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඒ අයගෙ හෝම් ටවුන්වලම සම්මන්ත‍්‍රණ සංවිධානය කරනවා. මට හිතෙන්නේ ඒක ජේ.වී.පී එක කල්තියා හදල දීපු ප්ලෑන් එකක් කියලයි. මේක දැනගන්න වීසී(මැඩම්) මෙන්න මෙහෙම දැන්වීමක් පලකරනවා. පත්තරවල ඒක නිව්ස් එකක් විදියටත් පළකරනවා.
විශේෂ දැන්වීමයි
ශාස්ත‍්‍ර පීඨයේ පළමු වසර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත,
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ නවක සිසුන් සඳහා විශ්වවිද්‍යාලයෙන් පිටත කිසිදු සම්මන්ත‍්‍රණයක් හෝ දේශනයක් සංවිධානය කර නොමැති බව දන්වා සිටින අතර, ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් නවක සිසුන් නොමග යැවීමේ පටු අරමුණින් මෙවැනි සම්මන්ත‍්‍රණ හා දේශණ මාතර, පේරාදෙණිය, නුගේගොඩ හා වෙනත් ස්ථානවල සංවිධානය කර ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලයට දැනගැනීමට ලැබී ඇත. නවක සිසුන් මෙම දේශන හා සම්මන්ත‍්‍රණ සඳහා සහභාගීවීමට අවශ්‍ය නොමැති බව දෙමව්පියන් වෙත දන්වන අතර, ඒ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලය කිසිදු වගකීමක් නොදරන බව ද දන්වා සිටී. නේවාසිකාගාර හා අනෙකුත් පහසුකම් සඳහා සුදුසුකම් ලබන නවක සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ පවත්නා නීති රීති අනුව සාධාරණව කටයුතු කරනු ලැබේ.
උපකුලපතිනි,
කොළඹ විශ්වවිද්‍යාලය,
2009.08.06
ඉතින් ඔය අලකලංචි මැද්දෙ කැම්පස් එකට ආපු අපට කොළඹ විශ්වවිද්‍යාලයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය (කිත්‍යාගරේ කස්ටියගෙන්) ‘‘සොයුරු සෙනෙහසක සොඳුරු ආමන්ත‍්‍රණයක් ’’ කියල ලීෆ්ලට් එකක් ලැබෙනවා. තෙලවල කස්ටිය කරපු ජරා වැඩෙන් උදක්ම කම්පා වෙච්චි මේ සොයුරෝ ඒකෙ මෙන්න මෙහෙම ලියනවා.

‘‘ පසුගිය දින කිහිපය තුළ නුඹේ පැහැබර අනාගතය බිලිගන්නට සැරසෙන පාපිෂ්ටයන් නුඹට අනන්තවත් කතා කල බව මතක ඇති. නීති විරෝධි ලෙස ‘‘ සංසද ’’ පවත්වන්නට ගත් උත්සාහය විශ්වවිද්‍යාලයේ ගුරුමව්පියවරුන් සම`ග එකතුව අප නවතා දැමූවෙමු. එසේනම් වෙනත් උපායකින් නුඹව බිලිගන්නට ඔවුන් දැන් සූදානම්. සබඳ නුඹම වැනිම වූ මල් හිතුමතේ පිපී ඔවුන්ගේ බවට රැුවටී ජීවිතය කාලකණ්ණි කරගත් වගට ඉතිහාසය පුරාම සාකෂ්‍ය ඇත’’
(උපුටා ගැනීම :- සොයුරු සෙනෙහසක සොඳුරු ආමන්ත‍්‍රණය, එක්සත් ශිෂ්‍ය සංවිධානය, දෙවන වසර)
ඒ කියන්නේ තෙලවල වැඬේ අල කරන්න ගුරුමව්පියවරුන්ගේ ද සහාය ලැබුණු බව මේ අය කියනවා. මට හිතෙන්නේ නම් ජ්‍යෙෂ්ට ශිෂ්‍ය අනුශාසකතුමා පියෙකුවීම නිසාත් වීසී මවක  වීම නිසාත් එක්සත් අය ඒ වචනය බය නැතුව පාවිච්චි කරන්න ඇති බවයි. කොහොම වුණත් ඒ වෙනකොට මේ නිර්දේශපාලනය ගැන කතා කරන හොඳ පුතාලා ගැන වීසීට නම් ලොකු විශ්වාසයක් තිබුණා.
    කාලය කෙමෙන් ඉක්ම යනවා. කැම්පස් එක ඇතුලේ මේ කණ්ඩායම් දෙක අතරේ අවස්ථා ගණනාවකදිම ගැටුම් ඇතිවෙනවා. තුවාල වෙනවා. නඩු යනවා. කැම්පස් එක වහනවා. සස්පෙන්ඞ් කරනවා. කැම්පස් එක අරිනවා. අවසාන විග‍්‍රයෙදි පරිපාලනය හැම ගැටුමකදිම කොන්දේසි විරහිතව එක්සත් අය රකින  ස්ථාවරයක් ගන්නවා.
      දැන් අපි මේ කියන සිද්ධි  රාජ්‍ය ප‍්‍රතිපත්ති හා පරිපාලනය ගැන අපේම ගුරුවරයා වෙච්චි ධම්ම දිසානායක මහත්තයා කියල දීපු සාස්තරේට  අනුව සූත‍්‍රගත කරල ලිහාගමු බලන්න. රාජ්‍ය ප‍්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ‘‘ සමාජයට බලයක් සහිතව යම්කිසි අගයන් සමුදායක් බෙදාහැරීමයි. ඒක පවතින දේශපාලන පද්ධතියේ අවසාන නිමැවුම : (Final  output  of  the  rulling  political  system)    යි. ඉතින් අපේ මේ කතන්දරේ ගැටගැහෙන්නේ මූලිකවම ලංකාවේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය එක්කයි. එතකොට වීසී කියන්නේ කවුද? පරිපාලන නිලධාරිනියක්. එහෙම නැත්තන් රාජ්‍ය සේවිකාවක්.: (public  servent). ඇය පරිපාලන විධායකය නියෝජනය කරනවා. එතකොට ප‍්‍රශ්නයක් එනවනේ පරිපාලන විධායකය කොහොමද දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කියලා. ඒක හරිම සරලයි. ප‍්‍රතිපත්ති සකස් කෙරෙන්නේ ව්‍යවස්ථාදායකයෙන්. දැන් තියෙන තත්ත්වය අනුව (තුනෙන් දෙකේ බලයක් තිබෙන) ආණ්ඩුව විසින්. ඒ අයට කියන්නේ දේශපාලන විධායකය කියලා. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන විධායකය සකස් කරන ප‍්‍රතිපත්ති කොළඹ කැම්පස් එකේදි සංයුක්ත වෙන්නේ වීසී කියන පරිපාලන විධායකය හරහා. දැන් පැහැදිලිනේ මෙතන තියෙන දේශපාලනය. එල්.ඞී. වයිට් කියන චින්තකයා බොහොම පැහැදිලිව මේ තත්ත්වය ‘‘ රාජ්‍ය පරිපාලනය කියන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම හා පාලනය සඳහා උපයෝගී කරගනු ලබන සියලුම කාර්්‍ය භාරයන් ’’ කියල පැහැදිලිව කියනවා. ජනතා නියෝජිතයන් වන දේශපාලන විධායකයට දේශපාලන බලය තිබෙන අතර පරිපාලන විධායකයට තිබෙන්නේ වැඬේ කරන්න අවශ්‍ය අධිකාරයයි.  ‘‘දේශපාලනය හා පරිපාලනය වෙන්කළ හැකි දෙයක් නෙවෙයි’’ කියලා හෙන්රි ෆායල් කිව්වේ ඒ නිසයි. මෙතැනදි එක්සත් එක සම්බන්ධ වෙන්නේ කොහොමද? එක්සත් එක නීත්‍යනුකූල ශිෂ්‍ය සංවිධානයක් විදියට එලියට එන්නේ මේ අවුරුද්දේ. ඒකත් ශාස්ත‍්‍ර පීඨයේ බහුතරයක් වූ ස්ත‍්‍රීන් (ශිෂ්‍යාවන්) හා කිත්‍යාගාරය නියෝජනය නොකරන ශිෂ්‍ය ශිෂ්‍ය දෙපාර්ශ්වයම (පිට අය) විතැන් කරල අනෙක් අතට කිත්‍යාගරයෙම තමන්ට එක`ග නැති අයත් කොන් කරල බොහොම හොර රහසේ තියපු ඡුන්දෙකින්. ඒ ගැන වෙනම කතා කරමුකෝ. කොහොමහරි දැන් ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමය කියලා මේ අය පෙනීසිටිනවානම් ඒ අය දැනගන්න  ඕනෙ ඒ අයගෙ භූමිකාව මොකද්ද කියලා. ඇත්තටම ශිෂ්‍ය සංගමය කියන්නේ විශ්වවිද්‍යාලය තුළ මෙන්ම මහා සමාජය තුළත් බලපෑම් කණ්ඩායමක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින රටක ශිෂ්‍ය කණ්ඩායම් ප‍්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත්කාර පාර්ශ්වයක්. හැබැයි ඒ අය ඇකඩමික් එක ඇතුළේ බුද්ධිමය කුලකයක් වෙන්න  ඕනේ. දැන් අපි ආයෙම යමු එක්සත් හා වීසී ඊනියා සම්මුතිකාමී නිද්‍රාශීලී දේශපාලනයට.
පහුගිය කාලෙ පුරාම පැවැතිච්ච සම්මුතියට අනුව එක්සත් අය වීසීවවත් වීසී එක්සත් අයවත් ප‍්‍රශ්න කළේ නෑ. මේ නිසා එක්සත් අය නිදහස්කාමී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැුග් එක දෙනකොට ඒක බරපතල විදියට දකින්න පරිපාලනය කටයුතු කළේ නෑ. අනෙක් අතට පරිපාලනයත් දැනගෙන හිටියා තමන්ව ප‍්‍රශ්න කරන්න ශඛ්‍යතාවය තිබුණු ආචාර්යවරුන්ව මර්දනය කරන්න එක්සත් එක තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් උපක‍්‍රමයක් නෑ කියලා. මේ නිසා  වගකිව යුතු ශිෂ්‍ය නියෝජිතයන්ව, ශාස්ත‍්‍රාලීය නිදහස අගය කරපු ආචාර්යවරුන්ට ප‍්‍රසිද්ධියේ හූ තියන තැනට පත්කරලා බලපත‍්‍රලාභී මජරයන් බවට අනුවර්තනය කරන්නට වීසී හරිම සවිඥානකව මැදිහත් වුණා. ඒක එහෙම නෙවෙයි කියල කියන්න හැකි තරමේ උදාහරණ ඇය සතුව කොහෙත්ම නෑ. මේ නිසා අනෙක් අතට ශිෂ්‍ය සංගමයට සිදුවුණා තමන්ගෙ මතය වීසී හිතවාදී මිත‍්‍රශීලී එකක් බවට පත්කරගන්නට.දැන් මේ දෙගොල්ලම මිනිස්සු නිදහසේ කතාකරනවට ( දේශපාලනය කරනවට) අකැමැති නිසා පොදු හතුරා බවට පත්වෙන්නේ එකම පාර්ශ්වයක්නේ. සාමාන්‍යයෙන් ශිෂ්‍ය සංගමයකින් කෙරෙන්නේ ශිෂ්‍ය නියෝජිතයන් විදියට කටයුතු කිරීම වුණත් මේ නින්දාසහගත විශ්වාස කිරීම විසින් මේ අයව පරිපාලනයේ නියෝජිතයන් බවට පත්කෙරුණා. ඉතින් ශිෂ්‍ය සංගමයක් කියන්නේ බලපෑම් කණ්ඩායමක් වුණත් මේ පසුගාමී දෙබිඩි නියෝජනය නිසා මොවුන්ට පරිපාලන ප‍්‍රතිපත්ති හෝ ඊට තීන්දු නිශ්චය කෙරෙන දේශපාලන විධායකයේ හැසිරීම් ප‍්‍රශ්න කරන්න බැරුව යනවා. මේ නිසා ඇත්තවශයෙන්ම මොවුන් බලපෑම් කණ්ඩායමක් වුණේ පරපීඩාකාමීත්වය සම්බන්ධයෙන් නවකයන්ටයි. නවකයන්ගේ ස්වාධීන සජීවී සංවාදශීලීත්වය ෆ්ලැට් කරන්න ඒ ගෝත‍්‍රික වැඬේට පුරවර සරසවියේ පටිසෝතගාමී (උඩුගංබලා යන) වැඩක් කියලා අපූරුම සිද්ධාන්තෙකුත් හොයාගත්තා. අද ඒවා ප‍්‍රමෝට් කරපු එක්කෙනෙක් ශ‍්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වීමත් ඔවුන්ගේ නිර්දේශපාලනික වංශ කතාවේ සුජාතභාවය කියන උදාහරණ දෙකක් පමණයි. තමන් නවක වදයට විරුද්ධ බව කියන මේ කණ්ඩායම් නේවාසිකාගාරය තුළ ගොන්පාට් නාමයෙන් යහමින් නවකයන්ට  මාස ගණන් නවක වදය දෙනවා. මේක ඉතින් චක‍්‍රයක් වගේ ඊළ`ග කණ්ඩායමටත් උරුම වෙනවා. වෛරය සහ පලිය පිරිමසාගැනීමේ දේශපාලනය හා බලය පෙන්වීමේ මනෝගතිකයන් නවකයන්ව දිශානුගත කිරීම නමින් දියත් වෙනවා.
   කෙහොමින් කොහොමහරි වීසීගේ අධීක්ෂණය සමාජ විද්‍යාඥයන්ගේ මෙහෙයවීම හා එක්සතුන්ගේ ක‍්‍රියාකාරීත්වය මැද පොදු ශිෂ්‍ය සංගමය කොළඹ කැම්පස් එකෙන් අතුගා දමන්න 2010 වෙනකොට හැකිවෙනවා. ඉතිරි වෙච්ච නෂ්ටාවශේෂත් පොඩිපට්ටම් කරල දාන්න බලය තහවුරුකරගත් එක්සත් අය කටයුතු කරනවා. අවිදුර දෘෂ්ටිකත්වය උපන්ගෙයි ව්‍යාධියක් වෙච්ච එක්සත් බළකායට මේක ඒ මොහොතේ ඓතිහාසික යුද ජයක් වෙනවා. ඉතින් මේ අය ඒ බලය ටෙස්ට් කරන්න හතුරෙක් හොයනවා. ළ`ගම හතුරා බවට පත්වෙන්නේ කොළඹ කියල ඒ අයම කියන  ඕෆ්කලම්බු ස්ටුඩන්ට්ලයි. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. දේශපාලනය එපා කියපු මේ අයට කැම්පස් එක ඇතුළේ වැඩකරන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ. මොකද ග‍්‍රාමීය සිංහල බෞද්ධ දෘෂ්ටියට අනුව නිර්දේශපාලනික වැඩ විදියට අහුවෙන්නේම පිරිත් බණ බලි තොවිල් බලු කපුටු දාන විතරනේ. ඉතින් කට්ටිය ඒව යහමින් පටන්ගන්නවා. අපේ ගම්වල දායක සභා, කුළ`ගන සමිති ඉන්න ආස්ථානයට මේ අය කියන විදියට රටේ ප‍්‍රධානතම  විශ්වවිද්‍යාලයේ හා ලෝකයේ හොඳම ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමය අවප‍්‍රමාණය වෙනවා. හැබැයි ඒ වෙනකොට රටපුරා වේගයෙන් පැතිර යමින් තිබුණු පශ්චාත් යුද ලාංකීය යුද්ධාගමික ප‍්‍රබෝධය මේ අයට ධෛර්්‍ය සපයනවා. මොකද නිර්දේශපාලනික මේ අයගේ දේශපාලන න්‍යාය පත‍්‍රය රාජ්‍ය බල න්‍යාය පත‍්‍රය හා 100% ක් සමපාත වෙනවනේ. ඒකයි. මේ නිසා බුදු හාමුදුරුවෝ තුන් හිතකින්වත් නොහිතපු දේවල් ‘‘බුදු වදනේ සඳහන් වන පරිදි ’’ යි යනුවෙන් කිසිම ලැජ්ජාවක් නැතිව දෙසා බාන සිංහල බෞද්ධ කොඩිය අරන් දුවන හෙළ උරුමය හා මාක්ස්ටත් න්‍යාය සපයන ජාතික නිදහස් පෙරමුණ වගේ දේශපාලන පක්ෂ තමන්ගේ අවිධිමත් මතවාදයට ආලෝකයක් සපයන ගමන් සගයෝ බවට පත්කෙරෙන්නේ නිරුත්සාහයෙන්.
     මෙන්න මෙහෙම දැහැමෙන් සෙමෙන් ශාස්ත‍්‍ර පීඨය විචාලන කල්හි තමයි එක්සත් එකේ කරුමෙකට වගේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගේන බව කියන්නේ. එක්සත් එකේ නායකයො හරිම අසරණ වෙන තැනක් මේක. කෙහෙම්මල් පනතක් නිසා රට පුරාම උගත් බුද්ධිමත් ප‍්‍රජාව කෑ ගහද්දි දේශපාලනය එපා කියපු අපටත්  නිස්සද්දව ඉන්න බැරිවෙනවා කියලා ඒ අයට තේරෙනවා. මොකද ඒ වෙද්දි ජනඅරගල ව්‍යාපාරයත් ජවිපෙන් විතැන් වුණු අ:වි:ශි:බ:ම තමන්ගේ කරගෙන හරිම කූට විදියට  සරසවි ප‍්‍රජාව අතරේ බලය විහිදුවල තිබුණු නිසාත් ඒකෙන් ගැලවෙන්න කොළඹ විශ්වවිද්‍යාලයට පවා බැරිවෙන බව දැනගෙන හිටපු නිසාත්. මේ නිසා දෛවයේ සරදමකට වගේ එකම වර ආණ්ඩුව රකින්නත් (වීසී ව ආරක්ෂා කරන්නත්) ආණ්ඩුවට විරුද්ධ වෙන්නත් (පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි වෙන්නත්) එක්සත් අයට සිදුවෙනවා. මේක එක්සත් නායකයගේ එහෙම නැත්තන් අපේ ජයන්තගේ මොළේ කොලොප්පන් කරන ක‍්‍රියාවලියක්නේ. සභාපතිකමත්  ඕන. වීසීත්  ඕන. විරෝධයට සහභාගී වෙන්නත්  ඕන. ඒ වැඬේ නිදහස් අධ්‍යාපනය රැුකගැනීම යන්නට මුවාවෙලා ඉෂ්ට කරගන්නත් ඔවුන් කටයුතු කරනවා. වීසී ඔවුන්ගේ අසරණභාවය තේරුම්ගන්නවා. ඉතින් ජනාධිපතිතුමා වමට සිග්නල් දාල හැමදාම වාහනේ දකුණට හරවන වාසුදේව මහත්තයට දෙනවා වගේ චාන්ස් එකක් වීසී ජයන්තට දෙනවා. අද වෙද්දි පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු රට හොල්ලපු විරෝධය නිසා යැයි කියන්න තරම් අඳබාල කතන්දරත් තැන තැන ඇහෙනවා. හැබැයි සමස්ථ පීඨ ශිෂ්‍ය එකමුතුව නමින් ජන අරගල ව්‍යාපාරය හා දීග කාපු ජයන්තලා ඇටි කෙහෙල් කාපු කවුද බවට පත්වෙලා. කරපු වැඬේ තිබුණු දේශපාලනය හා ඒකේ කොන්දේසි මොනවද කියලා ඒ අය හොඳට දන්නවා. අවසාන වශයෙන් අපි ජයන්ත සහෝදරයගෙන් බොහොම සරල ප‍්‍රශ්න කීපයක් අහනවා.
ජයන්ත,
1.උඹ යූනියන් එකක් කියන වචනයෙන් අදහස් කරන්නේ මොකද්ද?
2.දේශපාලනය කියන්නේ මොකටද?
3.විශ්වවිද්‍යාලයක් කියන්නේ මොකකටද?
4.විශ්වවිද්‍යාල පරිපාලනය හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අතර ඇත්තේ කවර සම්බන්ධයක්ද?
5.විශ්වවිද්‍යාල පරිපාලනය හා ස්ටුඩන්ට් යූනියන් එකක් අතර ඇත්තේ කවර සම්බන්ධයක්ද?
6.නවක වදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

(තව ප‍්‍රශ්න තියෙනවා. ඒව අපි ඉස්සරහට ලිහාගමු)

No comments:

Post a Comment