Sunday 26 March 2023

ලංකා ජනරජයේ දේවවරම්වාදී සෙවණැල්ල



පාලකයා යනු දෙවියන්ගේ නිර්මාණයක්ය යන්න රාජ්‍ය පිළිබඳ මුල් අවධියේ මතවාදයක් විය. දේවවරම්වාදය හැටියට හැඳින්වුණේ එයයි. ඊට අනුව රජු හෙවත් පාලකයා තෝරාපත්කරගනු ලබන්නේ දෙවියන් විසිනි. ඒ නිසා පාලකයා ගන්නා කිසිදු තීන්දුවක් ප්‍රශ්න කිරීමට මහජනයාට ඉඩක් නැත. ඒ සියලු දේ දෙවියන්ගේ නාමයෙන් සුජාත කෙරේ. කෙසේ වෙතත් මෙම නොදියුණු අදහස් පද්ධතිවලට සමාජයේ විමුක්තිය වෙනුවෙන් කතා කළ අදහස් දැක්වූවන්ගේ මැදිහත්වීම් සමග විශාල ප්‍රහාරයක් එල්ල විය. එය දවසකින් දෙකකින් සිදුවූවක් නොව සියවස් ගණනාවක් මිනිස් නිදහසේ විකාශනයකි. 

මිනිසුන්ගේ යහපත උදෙසා රාජ්‍ය නිර්මාණය කරගැනීමේදී ආගමික දහං ගැටවලින් මිදී දේශපාලනය වෙනම විෂයක් හැටියට පාදාගත්තේ ඒ අනුවය. මේ බෙදුම් ඉර ගසාගැනීම ආරම්භ වූයේ බටහිර ලෝකයෙනි. එහිදී පල්ලියෙන් රාජ්‍ය වෙන්කරගැනුණේ පූජකයන්ට තවදුරටත් පාලකයා නටවන්නට ඉඩ නොදෙමිනි. මේ වෙනුවෙන් බටහිර ලෝකය පුරා මහා පරිමාණ ජන සටන් ඇවිල ගිය අතර එහිදී ගිනිබත් වූ පල්ලි හා ඝාතනය වූ පූජකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මිනිසාගේ දේශපාලන ජීවිතයට ආගමට අත දැමීමට හැකි ප්‍රමාණය සීමා කරගත්තේ ලෝකයේ එවැනි ඉතිහාසයකිනි. මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් පාලනය කරනු ලබන ජනරජයක් බිහිවුණේ එම ඓතිහාසික මිනිස් මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් අවාසනාවකට ආසියාකරයේ ඇතැම් රටවල් රාජ්‍ය බවට පත්වූයේ එවැනි ඓතිහාසික මැදිහත්වීමකින් නොවේ. යටත්විජිතවාදයේ උරුමයක් හැටියටය. ලංකාව සැලකිය හැක්කේ ද එම වර්ගීකරණයට වැටෙන රටක් හැටියටය. 1948 බි්‍රතාන්‍යයන්ගෙන් ඩොමීනියන් පන්නයේ නිදහසක් ලැබූ දින මතු නොව 1972 දී ශ්‍රී ලංකා ජනරජයක් බිහිවීමෙන් පසුව පවා අදටත් අප ගෙවමින් සිටින්නේ එකී අතීත ප්‍රතිගාමීත්වයන් ද තුරු`ඵ කරගෙනය. කෙසේ වෙතත් මේ ප්‍රතිගාමීත්වයන් අද වනවිට අපට දකින්නට ලැබෙන්නේ බොහෝදුරට පාලකයන්ගෙන්ම මිස මහජනයාගෙන් නොවේ. එම ප්‍රතිගාමීත්වයේ නවතම ආසන්න උදාහරණය නම් රට ගිනි ගනිද්දී නුවර පැවැත් වූ ජනරජ පෙරහර විකාරයයි. 

 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙය සංවිධානය කළ බවත් රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරෙන බවත් එහි සඳහන් විය. මහජනතාවම අද ප්‍රශ්න කරන ආකාරයට වසර හැත්තෑ පහක ශේෂ පත්‍රය වී තිබෙන්නේම ආර්ථික වශයෙන් කඩා වැටුණු දෛනික ජීවිතයවත් ගත කරන්නට නොහැකි ජන ජීවිතයකි. එවැනි වටපිටාවක් රට කරවන පාලකයන්ට සුවිශේෂී වැදගත් අවස්ථාවක් වන්නේ කෙසේද යන්න පළමු ප්‍රශ්නයයි. 

අනෙක් කරුණ වන්නේ එවැනි සම්ප්‍රදායක් පැවතීමමයි. දියුණු ලෝකයේ ජනරජය බිහිවන්නේම ආගමික වහන්තරාවෙන් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයට එල්ල වූ පල්ලියේ බලපෑමෙන් මුදාගැනීමට කළ සටන්වලිනි. ඒ තුළ නැවතත් ජනරජය කිසිදු ආගමික සංස්ථාවක පසුගමන්යෑමක් නැත. එහෙත් ලංකාව නමැති රාජ්‍යයේදී ජනරජ ලාංඡනය එළිබසින්නේ එක් ආගමික සංස්ථාවක මර්මස්ථානයක සිට ආගමික මංගල්‍යක් ලෙසිනි. රාජ්‍යයේ ත්‍රිවිධ බල ආයතන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන නවීන ආයතන තුනෙන් එතැන නොසිටියේ අධිකරණය පමණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනරජ උළෙලට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ පටන් අමාත්‍යවරුන් මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටියහ. 

දාර්ශනික පෝෂණය..




කෙසේ වෙතත් හුදෙක් විරුද්ධත්වය පෑම වෙනුවට වඩාත් සක්‍රීය එරෙහිවීමක් හරහා රාජ්‍ය ආගමික සංස්ථාවෙන් වෙන්කිරීමට යෝජනා කෙරුණු පූජ්‍යතන්ත්‍රවාදවිරෝධයේ මූලික ඉලක්කයක් වූයේ ආගම මු`ඵමනින්ම පෞද්ගලික විශ්වාස පද්ධතියක් පමණක් බවට පත්කිරීමය. මෙම දේශපාලනය ඇතැම් තැන්වලදී වාමාංශික බුද්ධිමතුන්ගේ අනුප්‍රාණය ලැබූ අතර ප්‍රංශයේ වෝල්ටෙයාර් වැනි දාර්ශනිකයන්ගෙන් එහි හරපද්ධතිය පෝෂණය විය. ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි ප්‍රංශ විප්ලවයෙන් රළ නැගූ මෙම ව්‍යාපාරයට 1870 වන විට ඉතාලියට පාප් වහන්සේ වතිකානුවට පමණක් සීමා කිරීමටත් හැකියාව ලැබිණි. දේශපාලන බලයේ ලෞකික වැදගත්කම ඇතිකිරීම වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ මැකියාවෙල්ලි ඊට මූලික පදනම දැමූ දාර්ශනිකයා විය.

ලංකාව.. 

කෙසේ වෙතත් ලංකාවට අදාළව ගත්කළ නම් දේශපාලනිකව එය හැඳින්විය හැක්කේ බොහෝ කාරණාවලදී මෙන්ම උත්ප්‍රාසාත්මක කරුණක් බවය. අපේ ආණ්ඩුක්‍රමය නම් ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මැයෙනි. 1972 දී ව්‍යවස්ථාවෙන් පිහිටු වූ ලංකා ජනරජය 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනරජය විය. සාමාන්‍යයෙන් ලොව පුරා පෙර සඳහන් කළ ජනරජ ඉතිහාසයන් නිර්මාණය වී තිබෙන්නේම ජනයාගේ රාජ්‍ය යන ලෞකික අරුතෙනි. මක්නිසාද යත් මනුෂ්‍යයාගේ යහපත පිණිස ඒ රාජ්‍යන් මනුෂ්‍යයාගේම භෞතික නිර්මාණයක් වන බැවිනි. 

එහෙත් යටත්විජිත සමයේ පටන්ම අනාගත ජාතික රාජ්‍ය පරිකල්පනය කරගැනීමට අපහසු වූ දේශීය නායකයන් විසින් අපට නිර්මාණය කරනු ලැබුවේ අපූරු ජනරජයකි. එක් ආගමකට ප්‍රමුඛතාව දෙන බවට වූ සඳහනින් ලබන අවස්ථාවාදී කෙටිකාලීන දේශපාලන වාසිය මිස ඔවුහු අනාගතවාදී දැක්මකින් යුක්ත වූවෝ නොවූහ. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සමාජ දේශපාලනික වශයෙන් වූ අවිද්‍යා අඳුරකට ඇද වැටී ඇත්තේ ඒ ජනරජයයි. පාලකයාගේ පටන් පීඩිතයා මතු නොව වාමාංශිකයා දක්වා පූජ්‍යතන්ත්‍රවාදයේ පාමුල වැටී නින්දාවට පත්කරන්නේ ඒ ජනරජයක බලයයි. 


 

No comments:

Post a Comment