Thursday 17 March 2016

මන්ත්‍රී වැටුප් වැඩිකිරීම හෙවත් දූෂණය නවතා අල්ලස් දීම..





තිත්ත බෙහෙත් දීලා ආර්ථිකේ ගොඩගන්නවා කියන ආණ්ඩුව තාමත් රාජ්‍යයෙ ණය ප්‍රමාණය දන්නෙ නෑ. රාජපක්ෂ පාලනයේ පව් ගෙවන්න ජනතාවට සිදුවෙලා කියලා කිඹුල් කඳුළු හෙළන පාලක උන්නාන්සෙලා රැඩිකල් වෙනස පටන් අරගෙන බව පේනවා. දැන් ආණ්ඩුව මහින්දව තියන් ඉන්නෙ කෝකටත් තෛලය වගෙයි. ඇති අයගෙන් අරගෙන නැති අයට දෙනවා කිව්ව ආර්ථික ඔස්තාද්ලා යටතේ වක්‍ර බදු වැඩිවෙලා කියලයි ආර්ථික විශේෂඥයන් කියන්නෙ. හැබැයි ඒ ඇත්ත වහන්න රාජපක්ෂ බද්ද කියලා දේශපාලන නාට්‍යක් රඟදක්වමින් යනවා. 



ජනතාවට පටි තදකරගන්න කියලා තමන්ව බලයට පත්කරපු මිනිස්සුන්ව අන්ඳන ආණ්ඩුව නියම වැඩකට අත ගහලා. ඒ තමයි මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද වැඩිකිරීම. ආරංචි හැටියට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදි තමයි මේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද(17) තිබුණු කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යකරුවන් මේ ගැන ඇහුවාම ගයන්තලා සුජීව සේනසිංහලා අජිත් පීලා හැමෝම හිටියේ තිත්ත බෙහෙත් බීපු ගොළුවෝ වගෙයි. විමල් වීරවංශගෙ ලයිට් බිල පෙන්නලා පොළොවෙ පස් කාපු ජනතාමිතුරන්ගේ හෙළුව මෙච්චර ඉක්මනින්ම පේන එකත් හොඳයි කියලයි හිතෙන්නේ. 


එකගෙයි කෑම වඩා රසවත්ය..


ආරංචි හැටියට මෙන්න මේ විදියට තමයි වරප්‍රසාද වැඩිවෙන්නේ.. 

1.දැනට නිල නිවාස නොමැති මන්ත්‍රීවරු සඳහා මසකට රුපියල් 50 000 ක ගෙවල් කුලී දීමනාවක්
2.කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා මසකට රුපියල් 75 000 ක දීමනාවක් ද 
3.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දුරකථන දෙකක් සඳහා දැනට පාර්ලිමේන්තුවෙන් බිල්පත් ගෙවීමේ ක්‍රමය වෙනුවට මසකට රුපියල් 50 000 ක දීමනාවක් 
4.ව්‍යවස්ථාපිත මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වන දිනයකදී එක් මන්ත්‍රීවරයකුට රුපියල් 2500 ක පැමිණීමේ දීමනාවක් 
5.පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී ආංශික කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී එක් සාමාජික මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් 4000 ක දීමනාවක් හා සභාපතිවරයාට රුපියල් 5000 ක දීමනාවක් 


දැනට පවතින ක්‍රමයට අනුව එක් මන්ත්‍රීවරයකුට දුරකථන දෙකක් සඳහා බිල් ගෙවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට මසකට රුපියල් ලක්ෂ 30 ක් 35 ක් අතර මුදලක් වැයවෙනවා. ඒත් අලුත් යෝජනා ක්‍රියාත්මක වුණොත් ඒකට වැයවෙන මුදල රුපියල් 1 12 500000 ක්. කොහොමද ගණන..කියවගන්නත් අමාරුයි.. වෙනස කියන්නෙ මේකට කියලා හිතෙනකොටත් සැපයි අම්මපා..


කන් කෙඳිරිය...
හීන් කෙඳිරිය...


ඒකාබද්ධ විපක්ෂෙ නම් දැන් ඒකෙන්වත් ගොඩයෑමක් තියේද කියලා බලනවා. හැබැයි ඒ විරෝධයක් නොවන හීන් කෙඳිරියක් වගේ එකකින්. ඒකාබද්ධ විපක්ෂෙ වීරයෝ ජවිපෙට වඩා නම් ඒ හීන් කෙඳිරිය හොඳයි කියලා හිතෙන්නේ ජවිපෙන් කන්කෙඳිරියක්වත් නැති නිසයි. මේ යෝජනා ආපු ගෘහකාරක සභාවේ නිහාල් ගලප්පත්ති කියන සහෝදරයාත් හිටියාය කියන්නේ. ඒත් ජවිපෙන් ඒ ගැන තාම නෝ රෙස්පොන්ස්. හැබැයි 
 ජවිපෙ පසුගිය මහමැතිවරණයේදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියාසිටියේ මන්ත්‍රී වරප්‍රසාද අඩු කරනවා කියලයි. ජවිපෙ කී කතා...
ඒ අනුව මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත් අහෝසි කොට ඒ වෙනුවට ඔවුන්ගේ රාජකාරි සඳහා රජයෙන් වාහන ලබාදීම් යෝජනා කළ ජවිපෙ කළ වඩාත්ම පුදුම යෝජනවා වුණේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමයි. හැබැයි ජවිපෙ තාම නෝ රෙස්පොන්ස්. 



මේ ගැන කැබිනට් ප්‍රකාශකවරයා දෙකට දෙවාරෙට දීපු උත්තරවල හැටියට මේ යෝජනාව ක්‍රියාත්මක වෙන පාටකුයි පෙනෙන්නෙ. ඒ මදිවට අජිත් පී පෙරේරා ලැජ්ජා නැතුව ජනතා සම්මුතියක් ඇදලා ගත්තා. එයා කියන්නෙ ජනතාවගෙ සම්මුතියක් අනුව රාජ්‍ය පාලනය වෙනවලු. ජනතාව කැමැති නෑ කියනවා නම් වැටුප් වැඩි කිරීම් නවත්තන්න පුළුවන් වගේ කතාවක් කිව්වෙ. ඒත් මේ වැටුප් වැඩි කරන තරම ප්‍රමාණය බැලුවාම සම්මුතියේ ස්වභාවය අපට පේනවා. ඉක්මනටම වැටුප් වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 

5 comments:

  1. 225 ම එකයි. දී කිරට බළල්ලුත් සාක්කිලු

    ReplyDelete
  2. 225 ම එකයි. දී කිරට බළල්ලුත් සාක්කිලු

    ReplyDelete
  3. නිහාල් ගලප්පත්ති කතානායකට ලියුමක් යවලා විරෝධය පෑවා යැයි අද තිබුණු මාධ්‍ය හමුවේදී ජවිපෙ කියලා තිබුණා.. දැන් ඈවරයි.. දෑවරයි.. ආණ්ඩුවේ මහත්තුරු ඉතුරුයි.. බලමු..

    ReplyDelete
  4. ඔන්න බිඟුන් ජහ පාලනේ. දැං අපි අගේට ඔය ඔක්කෝම ගෙවමු.

    ReplyDelete
  5. මුළුමනින්ම අසාධාරණ වැඩක්.. මිනිසුන් විරෝධය පළ කළ යුතුයි දැඩිව..

    ReplyDelete