Thursday 18 February 2016

රැකියාවිරහිතවුන් VS රැකියාලාභින් ..

රැකියාව අයිතියක් නේද?

රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක්.. නේද? අපි දැන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ආණ්ඩු බොරු පොරොන්දු දීලා අපිව රවට්ටනවා. අපි මේ සටන් කරන්නෙ ඒකට විරුද්ධව.. ඔබට පුළුවන් නම් අපිට ආධාරයක් කරන්න. අපගේ මේ සටන ඔබේ දරුවාත් වෙනුවෙනුයි. රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..?

හද බස හොඳින් හඳුනන සහෝදරී කෝච්චි පෙට්ටියේ හුන් වැඩිහිටියන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් වැකි දෙක තුනෙන් තමන්ව ද හඳුන්වා දෙමින් සිය සටනට ආධාර ඉල්ලන්නීය. එහෙත් ගාලු කුමාරියේ හඬ මිස කෝච්චි පෙට්ටියේ මිනිසුන්ගේ හඬ නිහඬය. ඈ අසන පැනයට උත්තරයක් නැතුව මෙන් දෑස් අයා  බලා හිඳියෝ ඇගේ නික්ම යාමෙන් පසු නාට්‍ය කණ්ඩායමක් මෙන් විවිධ ආංගික අභිනයන් පාන්නට වූහ. රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..? යාබද කෝච්චි පෙට්ටියෙන් ද හද බස ඇසෙයි. හදවත පෑරෙයි.

හද බස ඇසෙයි.. හදවත පෑරෙයි..


මේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයයි. සවස කොළඹ කොටුවේ පැවැත්වෙන උද්ඝෝෂණ පෙලපාලියට  අවි මුවහත් කරනුව අගනුවරට ඇදෙන සංක්‍රමණික නුවරුන් දැනුම්වත් කිරීම ඔවුහු හිමිදිරියේම ආරම්භ කර ඇත. එහෙත් සුපුරුදු කරදරකාරී මුහුණත්තහඩුත් ප්‍රශ්නකාරී ඇසුත් මිස සහනශීලී වදනක් ඇසෙන මායිමක නැත.
ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..? තරුණියගේ හඬ නෑසෙන මානයේ මමිතුරා ප්‍රශ්න කරයි. අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ.. එක ප්‍රශ්නය දෙක තුන වෙයි. තරුණියගේ නික්මයාමෙන් ඉක්බිති කෝච්චි පෙට්ටියම විචාරක පෙට්ටියක් වෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයත් ඩෙංගු වගේය. එක් වී සටන් කරයි. උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ගැසුවහොත් පුවතක් වෙයි. උඩ එයි. යට යයි. ආණ්ඩුව ද කරන්නේ කුමක්දැයි හරිහැටි නොකියයි. ඒ සටන් කරන අතරේම ගමේ පළාතේ දේශපාලන නායකයාගෙන් යමක් කරගැනීමට පිරිසක් මාන බලති. උත්සාහය සපල වුවහොත් ඔවුහු ද අප මෙන්ම හිමිදිරියේ බත් තම්බාගෙන කෝච්චි පෙට්ටිවල නැගී දුර ගමන් යති. නැතිනම් කෙටි කාලයක් දුෂ්කරේට ගොස් නැවත ගම් රට එති. එහෙත් ඒ එන අතර මග මෙවැනි සටනක් දුටුවහොත් පරල වෙති. ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..? ඉක්බිති සිය අතීත මතක වස්තුව මරාගෙන පීඩිතයා වෙනුවට විචාරකයෙක් උපදී.  

පීඩිතයා වෙනුවට විචාරකයා උපදී..


ඇත්තටම දැන් කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මෙයයි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ අවුලුත් ආර්ථික අර්බුදයත් සමව කැලැතී ඇඹරෙද්දී සාම්ප්‍රදායික ප්‍රශ්නාවලි මිනිසුන්ගේ ජීවන අන්දර බවට ඌනණය වී තිබේ. කෝච්චි පෙට්ටියට නැගී ටිකට් පත් විකුණූ තරුණියගෙන් ප්‍රශ්න කළ මමිතුරා ද උපාධිධාරියෙකි. එහෙත් ඔහුට රැකියා ප්‍රශ්නයට දරුණුව මුහුණ දීමට අවස්ථාව නොලද්දේ රාජ්‍ය නොවන සංවිධානයක් සාමය ගොඩනැන්වීම පිණිස ඔහුගේ සහායට පැමිණියෙනි. රටේ ප්‍රශ්න මෙන්ම ඔවුන්ගේ රැකියා ද ස්ථිරය. මන්දයත් සාමය හා සංහිඳීයාව ද පෙනෙන මානයක නැති හෙයිනි. එහෙත් එවැනි අවසර නොලබන බොහෝ උපාධිධාරියෝ රාජ්‍ය සේවයට ඇලුම් කරති. ඔවුන්ගෙන් බහුතරය මානව ශාස්ත්‍රපීඨ සිසුහුය. මේ කලක් තිස්සේ පැමිණි සාම්ප්‍රදායික ආකල්ප මාලාවේ දිගුවකි.

රාජ්‍ය සේවයේ නියුතු පුත්‍ර රත්නයකට දෝණියැන්දෑ සරණ පාවා දීම ගෞරවයක් ලෙස සැළකූ සමාජය අදටද වෙනස් වී ඇත්තේ ඉතා සෙමිනි. අනෙක් අතට රාජ්‍ය සේවය වනාහි ආණ්ඩු සේවය හෙවත් පවතින පාලක පංතියට සේවය කිරීමය යනුවෙන් නඩත්තු කළ සම්ප්‍රදාය මුළු රටටම පාරාවළල්ලක් වී තිබේ. එහෙත් ඒ දුර්දාන්ත ක්‍රමයම ඉදරියට දායාද කරනු විනා විකල්ප මගක් ගැන වූ දේශපාලන අධිෂ්ඨානයක් නැති ගානය. අපිට වැඩ කරපු උන්ට රස්සා ටිකක් දෙන්න බැරිනම් මේ ඇමැතිකමෙන් ඇති වැඩේ මොකද්දැයි දේශපාලකයන් ප්‍රසිද්ධියේම කියන්නේ ඒ නිසාය.

එක පවුලකට ආණ්ඩුවේ එක රැකියාවක්වත් දුන්නොත් පවුලේ ඡන්ද කීපයක්වත් ඩැහැගත හැකිය. ඉතින් රාජ්‍ය සේවය යනු තාමත් ප්‍රධාන පක්ෂ දෙකට ඡන්ද බැංකුය. අනෙක් අතට නව නිපැයුමක් හෝ නිසි කලමනාකරණයක් නැති රාජ්‍ය සේවය තව තවත් ප්‍රසාරණය කිරීමේ බර පෙරලා පැමිණෙන්නේ ද පොදු ජනතාව මතය. මන්දයත් රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද පතා ඊට ඇතුලුවන සියල්ලන්ගේම වැය බර ගෙවන්නේ මහජන බදු මුදලෙන් වන නිසාය. එහෙත් දේශපාලකයෝ මේ ටික කීමට කැමැති නැත. ගෞරවනීය රාජ්‍ය සේවයට අද බඳවා ගත් යනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කරමින් කට උල් කරගනිමින් මුසා තෙපලන්නේ ඒ දේශපාලන බිජු බඩේ තියාගෙනය. අන්තිමේදී සිදුවන්නේ උපාධිධාරින් හෝද හෝද මඩේ දැමීමකි.

උත්තර නැද්ද?


ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..? අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ.. මේ කතාවල පූර්ණ ඇත්තක් නැතත් ගත යුත්තක් තිබේ. ඒ මෙරට විරැකියා ප්‍රශ්නය පිළිබඳ යථාර්ථයයි. එහෙත් ඊට මුහුණදීමේදී ප්‍රධාන වගකිවයුත්තා වන ආණ්ඩුත් දේශපාලකයෝත් සිටින්නේ කොලේ වහලා ගහන තැනකය. රටේ දියුණුවට ඉවහල් වන පෞද්ගලික අංශය ප්‍රසාරණයටත් නිපැයුම් ආර්ථිකයකටත් අසමත් වූ සියලු පාලකයෝ මීට වගකිවයුත්තෝය. පාඨලි චම්පික ඇමැතිවරයා ආණ්ඩු පෙරළියට පෙර ගණන් හදා කී අන්දමට සැබැවින්ම උගත් රැකියා වියුක්තිය වැඩිවෙමින් තිබේ. එහෙත් අද නිවන් දකින්නට ඉතා සමීපවූවන් මෙන් කතා කරන විපක්ෂය ද සාම්ප්‍රදායික රාජ්‍ය සේවා මිථ්‍යාව නඩත්තු කරමින් සිටී. දෙපක්ෂයේම අරමුණු ඉටු වන ලෙස උදේ කතා කළ රැකියා විරහිත උපාධිධාරීන්ට සවස පොලිසියෙන් කඳුළු ගෑස් ගසා තිබුණේ ආණ්ඩුවටත් උත්තරයක් නැති බව යළි පසක් කරමිනි.

සවස පහයි හතලිහට පමණ ඇත.
අර කාලකන්නි අදත් පාර වහගෙන.. මට එන්න වෙන්නෙ නෑ මචං.. බේස්ලයින් පාරෙත් මාර ට්‍රැෆික්. උඹ පලයන්.. මෙවර ප්‍රශ්න නැත. උපාධිධාරි රැකියාලාභී මිතුරා දුම්රිය මගහැරීම ගැන දෙස් තියයි.  



2 comments:

  1. ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″ ″අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ..″////// athha

    ReplyDelete
    Replies
    1. ඒත් රාජ්‍ය සේවය මහජනයා පිණිස නෙවෙයි පාක්ෂික ඡන්ද පිණිසයි කියලයි දේශපාලකයන් පාවිච්චි කරන්නේ.. පුරවැසියාගේ අනාගතයට රාජ්‍ය වගකීමෙන් බැඳී ඉන්නවා කියන එක බල දේශපාලනයට අදාළ නෑ..

      Delete