Friday 24 April 2015

රනිල් දුටු ජවිපෙ ...

පක්ෂ දේශපාලනයේදී සෙසු දේශපාලන පක්ෂ උත්කර්ෂයට නැන්වෙන විදියට කතාකරන්න බොහෝ කතිකයන් පෙළඹෙන්නේ නෑ. එහෙම පෙළඹුණත් ඒක සන්ධානගතවීමක තිබෙන උපක්‍රමිකභාවයෙන් එහා යන්නේ නෑ. අනෙක් අතට ලංකාවේ දැන් තිබෙන වාචාල දේශපාලන කතිකයන්ගෙන් නම් කොහොමටවත් සෙසු දේශපාලන පක්ෂයක හොඳක් අහන්න ලැබෙන්නේම නෑ. ලංකාවේ සාමාන්‍ය ජන මනස හදලා තිබෙන්නේත් පුළුවන් තරම් ඇටෑක් කරන එකා හොඳම කතිකයා හැටියට නිසා ඔළුවක් තිබෙන කෙනෙක්වත් ඒකට පෙළඹෙන්නේ නෑ. මේ තත්ත්වය සාමාන්‍ය ජන රැලිවල ඉඳලා රූපවාහිනී දේශපාලන සංවාද දක්වාම අද ව්‍යාප්ත වෙලා. අත් දෙක බැඳගෙන ඊනියා සිනාවකින් සරසාගන්න මුහුණුවලින් පටන්ගන්න සාකච්ඡා මැදදී ගුටි ඇනගෙන අත පය විකන බලු පොර දක්වා වූ වර්ධනය පහුගිය කාලේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඇති පදම් දැක්කා.

ඒත් වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් අතිශය සංයමයෙන් යුතුව දේශපාලන නායකයකු අදහස් දැක් වූ අවස්ථාවක් පහුගියදා දුටුවා. ඒ රනිල් වික්‍රමසිංහ විසින්. උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවන සත්‍යාගාරයේ දී ඔහු දැක් වූ ඒ අදහස වඩාත් සුවිශේෂි. මොකද ඔහු ඒ අදහස දැක්වූයේ රනිල්ගේ යූඑන්පීය කියලා තමන්ගේ පක්ෂය පවා හොඳට පතුරු ගහන ජනතා විමුක්ති පෙරමුණ ගැන නිසයි.

තරුණ කාලේ රනිල් විජේවීරගේ කතා අහන්න ජවිපෙ ජනරැලිවලට ගිහින් තිබෙනවා. ඒ අතීතය අලලා තමයි නිවේදකයා ප්‍රශ්නය අහන්නේ. ඒ මෙන්න මෙහෙම.

උපුල්- 1971 ජනරැලි නැරඹීමට ගිය පිරිස අතර 22 හැවිරිදි තරුණ රනිල් වික්‍රමසිංහ ද විය. ඔහුට හැඟුණේ මෙතෙක් විසඳී නැති ජනතා ප්‍රශ්නවලට ජවිපෙ නායකත්වයක් දී ඇති බවයි. ඒ කියන්නේ ඔබතුමා තරුණ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් බලන්න ගිහින් තිබෙනවා රෝහණ විජේවීරගේ කතා අහන්න. එදා සහ අද ජවිපෙ දේශපාලනය ගැන ඔබේ අදහස මොකද්ද?

මෙන්න රනිල්ගෙ උත්තරේ


රනිල්- එදා රෝහණ විජේවීර එලියට ඇවිල්ලා රැස්වීම් පවත්වද්දී ඒ රැස්වීම්වලට කන් දෙන්න එකකට දෙකකට මමත් ගියා. වැඩිය පැවැත්වුවේ නෑ. මොකද අප්‍රේල් මාසේ කැරැල්ල තිබුණා. එදා සමාජවාදය ඉදිරියට ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ මාක්ස්වාදී සමාජවාදය කියලා පෙන්වන්න බැලුවේ. මම රෝහණ විජේවීර දුන්න ඒ මාර්ගයට එකඟ වුණේ නෑ. ඒක සාර්ථක වෙන්නේ නෑ. අද මට පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ අද තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී... සමාජවාදයත් ඒ දෙක අතර තිබෙන ඒ ප්‍රවාහයට ඇතුල්වෙන්නේ කොහොමද.... වාමාංශික පක්ෂයක් හැටියට කොහොමද වැඩකටයුතු කරන්නේ. එතැන මට පෙනෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙත් විවිධ ප්‍රශ්න. විපර්යාසයක් වෙන අවස්ථාවකදී එහෙම ප්‍රශ්න ඇතිවෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලෙන් පස්සේ මේ තිබෙන ඡන්දවලින්  යූ.එන්.පී විරෝධී ඡන්ද කොටසක් තමන් ලබාගන්නේ කියන ප්‍රයත්නය තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා තිබෙන්නේ. ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා මේගොල්ලෝ ගන්න තීරණ අනුව තමයි කියන්න වෙන්නේ..  

සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම වෙනත් දේශපාලඥයකුගෙන් ඇහුවා නම් කොහොම උත්තරයක් ලැබේවි ද?

1 comment: