Wednesday 29 April 2015

18, 19 හා මන්ත‍්‍රී හෘද සාක්ෂිය

19 වැනි සංශෝධනය ගැන එක එක කතා කියවෙනවා. විවිධ මතිමතාන්තර පලවෙනවා. හැබැයි ඒක මොන විදියට සම්මත වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට යන්න හදද්දී කකුලෙන් අදින රටක ඒකත් නිකන් ඉන්න එකේ අහලා ගියත් මදෑ වගේ තමයි. උදේ පාන්දර ඉදන් පාර්ලිමේන්තුවේ තැපලා වෙන්නේ මොකද්ද කියලා බලා කියාගන්න ලොකු උනන්දුවක් තිබුණා. රාත්තිරි 12ටත් ළං වෙනකන් වැඬේ ඇදෙද්දි නම් අමාරුව සනීප වුණා.

විමල්, දිනේෂ්, වාසු තමයි 19 කොට්ට උරයක් වගේ අනෙක් පිට හරවන්න සෑහෙන්න ප‍්‍රතිගාමී වැඩ කොටසක් කළ බව පෙනුණේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා මරාගෙන මැරෙන්න හදපු මිනිස්සුද මේ කියලයි ඒ අයගේ කතා අහද්දී මට නම් හිතුණේ? ඒ වගේම නොදන්න ලතින් කතා කොරන්න ගිහින් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් තමන්ට තිබෙන දැනුමේ දරිද්‍රතාවය පෙන්නපු එක ගැන නම් අපි විමල් සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. වාසු නම් ටිකක් ජාමේ බේරාගත්තත් දිනේෂ් පවා වැඬේ නෝන්ඩි කරගත්තා. උදාහරණෙකට වගන්ති කීපයක්ම සම්මත වෙලා ඉස්සරහට යද්දී සම්මත වෙලා අහවර වූ වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කරන්න පවා දිනේෂ් ට‍්‍රයි කළා. පස්සෙදි කතානායකට සිද්ධවුණා දිනේෂ්ගේ පමාව පැහැදිලි කරන්න.

වඩාත්ම ශෝකජනක හා විස්මයජනක කතාව කළේ නීති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහත්තයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය කරුණු ගැන එතුමා දක්වපු උනන්දුව අනේ දෙයියනේ 18 ගේන වෙලාවෙත් තිබුණා නම් කියලා තමයි අපට හිතුණේ. උදේ පාන්දර ඉදන් කෙරුණු මන්ත‍්‍රීවරුන්ගේ කතා අවසානයේදී කියවූ කාරණාව තමයි මට නම් දවසේ පොයින්ට් එක වුණේ. එරික් වීරවර්ධන හැර සියලුම දෙනාම වාගේ 18 ට අත උස්සපු එක ගැන කණගාටු වෙනවාය, ලැජජ වෙනවාය, දුක්වෙනවාය වගේ කතා කිව්වා. ඒ හැම කතාවකින්ම අවසාන විග‍්‍රහයේදී ඔප්පුවුණේ වෙන මොකක්වත් නෙවෙයි මේ මිනිස්සු ඡුන්දය දීලා තියෙන්නේ හෘද සාක්ෂියට අනුව නෙවෙයි කියන එකයි. ඔන්න ලංකාවේ පාර්ලිමේන්ත මන්ත‍්‍රීවරු ප‍්‍රසිද්ධියේම ඒක පිළිගත්ත හැටි..

No comments:

Post a Comment