Wednesday 11 November 2015

මාරපන මාධ්‍ය හමුවෙන් ආණ්ඩුවේ රෙදි යළි ගලවයි..

කට හින්දා නැහිල්ල

තිලක් මාරපන මහතා කියන්නේ ඉල්ලා අස්වීමට තමා ස්වාධීනව තීරණය කළ බවයි. එහෙත් අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් පිරිසකට පවසාතිබුණේ ගත යුතු හොඳම සහ සෘජුම තීරණය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම බව තමා මාරපනට පෙන්වාදුන් බවයි. ඒ අනුව මාරපන ඇත්තටම අස්වුණේ හදවත කී නිසාද අගමැති කී නිසාද යන්න පැහැදිලි නැත.

ඇත්තටම මාරපන තම ඉල්ලා අස්වීමෙන් හා ඉන්පසුව පැවැත් වූ මාධ්‍ය හමුවෙන් රෙදි ගලවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේය. ඔහු නොකියා කියන්නේ එය වැරැදි වෙලාවක දුන් වැරැදි ඇමැතිකමක් බවය. පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට නීතී උපදෙස් දුන් බව මාරපන කියයි. ඒ ගැන නීතිපතිවරයා පරීක්ෂණ අවසන් කර තීරණයක් දුන්නේ ජුනිවල බවත් තමා ඇමැති පදවියට පත්වුණේ සැප්තැම්බර්වල බවත් ඔහු කියයි. එහෙත් මාරපන අවසන් කළා යැයි කියන පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වූ බව රටම දනී. ආණ්ඩුවේ ප්‍රබල යැයි කියන දේශපාලකයන් විටින් විට කළ උදාරම් කතාවලින් වුවද එය පැහැදිලිය. මාරපනගේ කතාව ඇත්ත නම් අනෙක් සියලු ඇමැතිවරුන් කළ කතා බොරු විය යුතුය. කැබිනට් මාධ්‍ය හමුවලට අර්ථයක් නැති විය යුතුය.

ඉතාම වැදගත් කාරණය වන්නේ ඇවන්ගාඩ් ගැන එවන් පරීක්ෂණ දියත් මොහොතක ඇවන්ගාඩ් හිමිකරුගේ නීති උපදේශක වැඩේ කළ තැනැත්තාටම ඇවන්ගාඩ් පරීක්ෂණවලට අදාළ අමාත්‍යංශය පිරිනැමීමයි. එය කරන්නේ වෙන කවුරුවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය.

ඇමැතිකම දුන්නේ ඇයි?


මාධ්‍ය හමුවේදී ඇමැති මාරපන කළ තවත් බරපතල ප්‍රකාශ දෙකක් වේ. ඒවා නම් මෙසේය.

1)මා ජනාධිපතිතුමාට අද උදේ කිව්වා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා ලෙසත් දැන්වුවා...

2)ප්‍රශ්නය- නමුත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියල තිබුණා ඔබේ මතය රජයේ මතය නෙවෙයි කියලා?
  පිළිතුර- ඒක ඉතින් එතුමාගේ මතය..

පළමු ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු මාධ්‍ය හමුවේදී පැවසුවේ පොලිසිය බාර ඇමැතිකමේ තමා සිටියදී එම විමර්ශන තවදුරටත් කරගෙන යෑමට බාධා වේ යැයි යන සැකය නිසා අස්වීමට තීරණය කළ බවයි. එහෙත් ඒ කටින්ම ඔහු නැවත පවසන්නේ ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කරගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා හැටියට ජනාධිපතිවරයාට දැන් වූ බවයි. ඉතින් මාරපන මේ කරන්නේ කුමක්ද? විමර්ශනවලට බාධා වේ යැයි යන සැකය නිසාම අස්වුණා යැයි කියන මාරපන ඇවන්ගාඩ් ප්‍රශ්නය සමථයකට පත්කරගන්නා හැටියට ජනාධිපතිට නොකියා කියයි. යෝජනා කරයි. මේ ප්‍රකාශයෙන් ඔහු කරන්නේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවක් කිරීම නොවේද?

රාජිත කැබිනට් ප්‍රකාශක නෙවෙයිද?


දෙවැනි ප්‍රකාශය මඟින් මාරපන කෙලින්ම අභියෝග කරන්නේ ආණ්ඩුවේ මතයටය. මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රජයේ මතය නොවන බව කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. එහෙත් රාජිතගේ ප්‍රකාශය ගැන මාරපන කියන්නේ එය රාජිතගේ මතය බවය. ඒ කියන්නේ ආණ්ඩුවේ මතය නොවන බව නොවේද? මෙමගින් නැවත ආණ්ඩුව ජනතාවට කිවයුත්තේ ඇවන්ගාඩ් ගැන ආණ්ඩුවේ මතය කුමක්ද යන්නයි. තවද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම්දෙන රාජිත සේනාරත්න කරන්නේ තමන්ගේ මතය දැක්වීම යැයි මාරපන කියන්නේ නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවල ඇති අර්ථය කුමක්ද?


දැන හෝ නොදැන මෙම මාධ්‍ය හමුවේදී ද ඇමැතිවරයා කළ පුදුමය දනවන ප්‍රකාශ මඟින් අවසන සිදුකර ඇත්තේ ආණ්ඩුව වට දෙකකින් අමාරුවේ දැමීමය. දැන් මේ ගැන රටට ඇත්ත කිවයුත්තේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.

No comments:

Post a Comment