Tuesday 8 March 2016

බිග් පැච්


දේශපාලනය සමඟ සම්බන්ධ ඕනෑම දෙයක් ලංකාවේදී ඉතා පහසුවෙන් ප්‍රසිද්ධිය අත්පත් කරගනී. ඕනෑම ක්ෂෙත්‍රයක කුසලතාව නොමැති අයකුට වුවද තල්ලුවක් මුල්ලුවක් වේ නම් දේශපාලන සක්කයක්ව ඉදිරියට යන්නට බාධක නැත. මෙය කලාව ක්‍රීඩාව ආදී සියලු අංශයන්ට පොදු සාධකයකි. මෙරට ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද අපේ ජාතිකානුරාගී ක්‍රීඩාව බවට ක්‍රිකට් පත්වන්නේ ද ඒ අනුවය. දේශපාලනයෙන් ක්‍රිකට්වලට ලැබෙන ගැම්ම රටේ සෙසු ක්‍රීඩාවලට නොලැබෙන බව කවුරුත් දනිති. මේ කතාකරන්නට යන්නේ ක්‍රිකට් දේශපාලනය ගැන නොවේ. මේ දිනවල ඇදහැලෙන පාසල් මහා ක්‍රිකට් තරඟ වැස්සේ හේදෙන යෞවනෝදය ගැනය. බිග් මැච් අවසන් වනවිට වැටෙන් බිග් පැච් ගැනය.

බිග් මැච් කියනවිටම මැච් එක ක්‍රිකට් මිස අනෙකක් නොවේ. අනෙක් අතට බිග් මැච් ගසන්නට නම් ඒ ඉස්කෝල ද ටිකක් බිග් ලෙවල් එකේ ඒවා විය යුතුය. කාට හෝ ඇති අධික උනන්දුව හේතුකොටගෙන පාසල් දෙකක් අතර විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුමක් පවත්වන්නට කටයුතු යෙදුණ ද එය බිග් මැච් එකක් වන්නේ නැත. බිග් මැච් කියනවිටම රටවැසියන්ගේ ඔළුවලට එන්නට තරම් ඒවා ප්‍රකට විය යුතුය. නැත්නම් ඒ තුළ ඇත්තේ හුදු අහිංසක වෑයමක් පමණක් වනු ඇත. ක්‍රිකට්වල අයිතිය ඇත්තේ එංගලන්තයටය. එහෙත් අඛණ්ඩ ලෙස බිග් මැච් ගැසීමේ ඓතිහාසික වාර්තාව ඇත්තේ අපට යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ලංකාවට බිග් මැච් ඒ තරම්ම ජීර්ණය වූ සංස්කෘතික අංගයක් වී තිබේ.

තරඟයේ වීරයෝ...


ආරම්භක කාලවලදී සුදු අධිරාජ්‍යවාදයේ උරුමයක් හැටියට ලැබුණ ද පසුකාලීනව සුද්දාටත් වඩා භුක්තියේ අයිතියට සවි වන ආකාරයට බිග් මැච් සංවිධානය කරන්නට තරම් අපේ පාසල් දක්ෂ විය. විසි වැනි සියවසේ අග වනවිට හුදු විනෝදය හා ජවය විදහා දක්වන තැනකට සීමා වී තිබූ විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම් කාලානුරූපීව විශාල පරිවර්තනයකට ලක් වී ඇත. ක්‍රීඩාවට දේශපාලනය කළ විනය තරමටම වාණිජත්වය විසින් ඒ මත ඇතිකරනු ලැබ ඇති අගතීන් වසරක් පාසා වර්ධනය වන හැටි අපට අසන්නට දකින්නට ලැබේ. මහා පාසල් අරා සිටිනා ආදි ශිෂ්‍ය සංගම්වල බල පරාක්‍රමය මේ හා සෘජුවම සම්බන්ධය. මේ බල පරාක්‍රමයට රටේ දේශපාලනයේ මුදුන් අතු සෘජුවම සම්බන්ධය. ඒ නිසා බිග් මැච් සංස්කෘතිය පුරා පැතිර යන අනීතික ධර්මතා ප්‍රවණතා හැටියට මහා පාසල්වල දරුවන්ගේ උරුමයක් කරදෙන්නට තරම් මේ බල සම්බන්ධතා සැහැසි වී තිබේ.

උදාහරණයක් හැටියට පසුගිය වසරේ දකුණේ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවැති මහා ක්‍රිකට් ගැටුම නිමාවූයේ දෙවිදුහල්හි ආදි සිසුවන් ඇති පදමට ගුටි ඇනගැනීමේ සමාප්තියකිනි.  නිරීක්ෂණය අනුව එය අතිශයින්ම දේශපාලන සංවාදයක් බවට පත් වූ තත්ත්වයකට පරිවර්තනය විය. රටේ ජාතික දේශපාලනයේ නියුතුවූවන්ගේ ගුණ නැණ බලය ගැනත් ඉදිරි දේශපාලන සිදුවීම්වලට ක්‍රීඩාව ද බලපාන ආකාරය ගැනත් දෙපිරිස් අතරේම හොඳ සිංහලෙන් අදහස් හුවමාරු විය. අවසානය වනවිට දෙවිදුහල්වල මෑතකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් නව සමාජ මාධ්‍ය මඟින් ණය බේරාගන්නා සංවාද දක්වා ද එය ඇදී ගියේය. අදට ද ඒවායේ අඩුවක් නැත. මේ නම් කවර තත්ත්වයක් ද? ක්‍රීඩාවේ මූලිකම අරමුණු වන සුසංයමය, විනය, සමගිය එක්තැන් කරන්නේ මෙසේද? ඒ එක් උදාහරණයක් පමණි.

අනෙකා කවුද?


පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වලට ලක්ෂ්මිය මිස සරසවිය අවශ්‍ය නැත. සැබැවින්ම අද වනවිට වේගයෙන් පැතිර යන බිග් මැච් වසන්තය සමඟ මතු වී පෙනෙන ඇතැම් ප්‍රවණතා සන් කරන්නේ ද එයයි. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන අපි පාසල් මහා ක්‍රිකට් සැණකෙළියේ අංගයක්ව සංවිධානය කෙරෙන බයිසිකල් පැරඩ් ආදියෙහි සමාජ හිංසන පැතිකඩ ගැන කතා නොකරමු. පසුගිය සතියේ එලෙස බිග් මැච් උන්මාදයෙන් පිස්සු කෙළ තිබූ ඇමැති පුතෙක් සිය සගයන් ද කැටුව කොළඹ බාළිකා පාසලකට පැන තිබුණේ පිස්සුව ඉවසාගෙන ඉන්න බැරි තැනය. සගයන් පොලිස් අත්අඩංගුවට පත්වුණද ඇමැති තාත්තාගේ බලතල නිසා ඔහුට නිදහසේ ආ වැඩේ කරගෙන යන්නටත් ලැබිණි. මේ ආකාරයට අද වනවිට බිග් මැච් සංස්කෘතිය වර්ධනය වෙමින් තිබෙන්නේ සමාජයේ අධිපතිත්වය දරන කොටසකගේ බලයේ මහන්තත්වය විෂද කරන ක්‍රියාවලියක් හැටියටය. නීතියේ සමානාත්මතාවය ගැන කතා කරන බොහෝ දෙනා මේ ගැන මුනිවත රකිති. 





4 comments:

  1. ඔය අනෙකා කවුද කියන එකේ තියෙන්නේ අපේ පැරඩ් එකේදි ගත්ත ෆොටෝ එකක්

    ReplyDelete
  2. හා..උඹත් ගියැයි?

    ReplyDelete
  3. http://mallepol.blogspot.com/2016/03/blog-post_11.html

    ඔවුවා මොනාද...
    මෙන්න රියල් බිග් මැච් පින්තූරු!

    ReplyDelete
  4. අප්පට බොල.. ඇත්ත නේන්නම්.. මෙව්වනෙ පිංතූර..

    ReplyDelete