Thursday 21 May 2015

අලුත් පරපුර හා යුද සැමරුම....



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ. බුදු දහමේ දාර්ශනික හරය සරල ගැමි වහරින් කියැවෙන මෙමඟින් හඟවන්නේ මැදුම් පිළිවෙත. ඕනෑම දෙයක අසීමාන්තික බව හේතුවෙන්නේ උන්මාදයකට. රැලි සේ සමාජයේ රළ නැගෙන විවිධ ප්‍රවණතාවල ද බොහෝවිට දකින්නට තිබෙන්නේ මේකමයි. ඇතැම් උන්මාදයන් අහිංසකයි. ඇතැම් ඒවා හාස්‍යජනකයි. කාලයක් චේ මෙන් තොප්පි පළඳින තරුණයෝ තවත් කාලයකදී බොබ් මාලේ මෙන් කොණ්ඩය වවනවා. නැත්නම් බෙකම් අනුගමනය කරනවා. එහෙමත් නැත්නම් ශිහාන් මිහිරංග එතැනට එනවා. තරුණියන් ද ඊට දෙවැනි නෑ.. එහෙත් කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණ ආදිය  මෙන් සෑම උන්මාදයක්ම එසේ අහිංසක නෑ. ඇතැම් ඒවා මාරාන්තිකයි. ජන සමාජයක සමගියට සමාදානයට අන්තරායදායකයි. එහෙත් ආකර්ශනීය මිථ්‍යා මතවලින් ඔතා ගත් කළ කවර සර්පයකු වුවද දෂ්ට කරනතුරු අපි දන්නේ නෑ. බොහෝවිට එවැනි උන්මාදයන් අත්වැල් බැඳගන්නේ රටේ දේශපාලනය එක්කයි. එහෙම අතිශය නරක ලෙස ප්‍රවණතාවක් ලෙස වර්ධනය කරන්නට දේශපාලකයන් උත්සාහ ගත් උන්මාදයක් හැටියට යුද්ධෝන්මාදය හඳුන්වන්න පුළුවන්.

යුද්ධය කොතැනක කවර පරිමාණයෙන් කවුරුන් විසින් කා හට එරෙහිව දියත් කරනු ලැබුවත් එහි පලය නම් මිහිරි එකක් නෙවෙයි. ශිෂ්ටසම්පන්න කවර සමාජයක් වුවත් අලුයම ලූ කෙල පිඩක් වගේ යුද්ධය බැහැර කරන්නේ මේ විශ්ව සත්‍ය හින්දයි. ඒත් දේශපාලනයට ඕනෑම දෙයක් ඔලුවෙන් හිටවන්න පුළුවන්. 
විශේෂයෙන්ම නොදියුණු රටවල පවතින පසුගාමී ජන හද මනස ඉතාම ලාබයට කළඹන්නට දේශපාලනයට පුළුවන්. පැණසර නොවන දේශපාලකයන් ඒ සඳහා පාවිච්චි කරන්නේත් සමාජයට අන්තරායකාරී දෘෂ්ටිමය අවි ආයුධ. ඒ හුදෙක් බලය සඳහාමයි. පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවටත් එවැනිම අන්තරායකර ඖෂධයක් පාලක ප්‍රජාවත් ඒ හා අත්වැල් බැඳගත් විවිධ අනුගාමික කොටසුත් එන්නත් කළා. ඒ තමයි යුද උන්මාදය. පාලකයන්ට නම් එය දිව ඔසුවක්ම වුණා. මොකද රැකියා වියුක්තිය, ආර්ථික පීඩනය ආදිය නිසා ආතතියට ලක්වන තරුණ ප්‍රජාවට සිය පීඩනය මුදාහරින මඟක් බවට හිංසනය පත්කරන්න පුළුවන් නිසා. එතකොට තමන්ගෙ පීඩනේ මුසල්මානුවගේ හරි දෙමළාගේ පිටින් හරි යවන්න තරුණයන්ටත් පුළුවන් වුණා.
ඒකෙන් අන්තිමේදි නිර්මාණය කරන්නේ සාහසිකත්වයේ විෂම චක්‍රයක් වුවත් පෙරලා ඒකත් දේශපාලනිකව සිය මතවාදය ශක්තිමත් කරන්නට දේශපාලකයන් නොමසුරු වුණා.

දැන් රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණත් නුවර, ගම් නියම්ගම් ගිනි තැබූ පැරැණි පන්නයේ හනුමා නැටුම් අදටත් ඇතැම් තැනකින් හිස ඔසවන්නට කැස කවන බවක් පේනවා. එහෙත් ඒ හනුමාලාට දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මොකද දේශපාලන හයිය හත්තිය නැති වුණාම මූල්‍ය ප්‍රාග්ධනයත් අහිමිවෙද්දී විශාල වශයෙන් තරුණ ප්‍රජාව ඒකරාශි කරගැනීමට තිබුණු ශඛ්‍යතාවය දියවෙනවා.  ඒ වෙනුවට තරුණ පරපුරත් යුද්ධයට එරෙහිව කතාකිරීම මේ ව්‍යාපෘතිධාරීන්ගේ ඇසට කටු අනින දසුනක් වෙලා. තරුණ කලාකරුවන්, නාට්‍යකරුවන්, සාහිත්‍යකරුවන් ඇතුලුව විවිධ ප්‍රකාශන මාධ්‍යන්හි දක්ෂ පක්ෂකම් ඇති සමාජ සංවේදී තරුණ තරුණියන් පිරිසකගෙන් සැදුම්ලත් අලුත් පරපුර සංවිධානය යුද සැමරුම් වෙනුවට සහෝදරත්වයේ සැමරුමක් කරමින් පසුගියදා එවැනි වැඩකට අතගසාතිබුණා. වැඩේ තිබුණේ නෙළුම් පොකුණ ඉස්සරහ. ඒ හරියටම මැයි 19 වැනිදා. අලුත් පරපුර ප්‍රශ්නකර තිබුණේ යුද්ධයක අවසානයක් මිස ජයග්‍රහණයක් තිබේද කියලයි.
ඇත්තටම මේ ප්‍රශ්නය වඩාත් අධිසංවේදී විදියට ජන සමාජයෙන් ඇහුවේ අහිංසාවාදී දහමක් ලොවටම දායාද කළ බුදු රජාණන්වහන්සේ. එහෙත් පෙර කී ලෙසටම යුද්ධය උන්මාදයක්ව අවිද්‍යා කැට මුගුරු අතට ගත් ජාතිවාදී ධාරාවෝ කිසිවිටෙක් බුදු වදන සිහිපත් කරන්නට උත්සාහ කළේ නෑ. ජාතිකානුරාගය මුවාවෙන්  ජාතිවාදී නෙයියාඩම් නටමින් සමස්ත ජන මනසම දිය සුළියක් සේ කළම්භනය කරලා ඡන්ද ගැරීමේ සටන තමයි ඔවුන් ඊට වඩා උතුම්කොට සැළකුවේ.

ජනමාධ්‍යත් දේශපාලන අධිකාරිවාදයත් එකට මුසු වූ කළ ඇතිකරනු ලබන මතවාදී බලපෑමට මුහුණදීමට තරම් අදටත් අපේ පොදුජන සමාජය ශක්තිමත් නෑ. දේශපාලකයාට ගැතිකම් නොකරන ස්වාධීන බුද්ධිමතුන්ගේ අඩුව ඒකට හේතුවක්. මේ නිසා බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙන දේ වුණත් කොට්ටඋරයක් වගේ නොපිට ගසා පැත්ත පෙරලා බොරුවකට පරිවර්තනය කරන්නට දේශපාලකයාට පුළුවන්. යුද්ධය අවසන් වුණාට පස්සෙත් යුද්ධය පැවැති කාලයට වඩා සද්දයෙන් යුද්ධය සමරන්නට දේශපාලකයන්ට දැඩි කැක්කුමක් හටගෙනතිබුණේ මේ දේශපාලන ව්‍යාපෘතිය නිසයි.

 දැන් යුද්ධය නිමාවෙලා සය වසරක් ගතවෙද්දී අලුත් දේශපාලන පරිසරය එක්ක තරුණ පරපුරටත් ස්වාධීනව වැඩකට අතගහන්න අවස්ථාවක් උදාවෙලා. අන්න එතැනදි  තරුණ පරපුර හැටියට ආපසු හැරී බැලිය යුත්තේ යුද්ධයේ ශේෂ පත්‍රය කුමක්ද කියලයි. උතුරින් නැගෙනහිරින් දකුණෙන් විතරක් නෙවෙයි රට වටින්ම රෑ මැදියමේ ඇසෙන තරුණ වැන්දඹුවන්ගේ ශෝකී ගී රාවයට ඔබ කවුරුන් හෝ අද වනතුරු සවන් දුන්නාද? අත පය ඇහැ කණ අහිමිව ජීවිතයේ අඩක් දරාගෙන නිවාසවලටම සින්න වී සිටින සිංහල දමිළ තරුණයන්ගේ හදවත් අභ්‍යන්තරයෙන් නැගෙන වේදනාකාරී හඬට සවන් යොමුකළාද?  යුද්ධයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් ලෙස නිෂ්පාදනය කරන ලද්දා වූ මවුපියන් අහිමි දරු සිඟිත්තන්ගේ හුදෙකලා වූ ආත්මයන් සමඟ කෙටි වේලාවක් හෝ ගතකළාද? අතින් සටන් පාඨ උසුලාගෙන කටින් බතල කොල හිටුවන තුංමුල්ලේ දේශප්‍රේමී දේශපාලකයන්ගෙන් තරුණ පරපුර අහන්න ඕනෑ මේවයි.

රජ කාලේ රජුන් අතරම ද්වන්ධ සටන් ගැන අහල තිබුණත් අද කාලේ යුද්ධයක් ඇතිවුණොත් පෙරමුණට යන රජ පුතුන් ගැන කිසිදු තැනක සඳහන් වෙලා නෑ. ගියත් ලංකාවෙ යුද්ධෙ නම් උන් යන්නේ රාජකීය හමුදා පුහුණුව ගන්න වෙන රටකට. වෙඩරු, කිරි, ගිතෙලින් කවා පොවා රජ සැප දී හැදූ වැඩූ සිය දූ පුතුන්ට එවැනි වේදනාවක් දෙන්නට කිසිදු දේශපාලක අම්මෙක් අප්පෙක් කැමැති නෑ. ඇත්ත ඒකයි. ඒත් යුද්ධ කරන්නට නම් කොල්ලන් කෙල්ලන් ඕනෑ. සැප සිරි දී නෙක අදරින් වැඩු දරුවන් කරදිය ගැඹරෙන් එතෙර යවලා යුද්ධ කරන්නට අවශ්‍ය මානසිකත්වයට දුප්පත් දුවා දරුවන්ගේ මනස සන්නද්ධ කරන්නේ ඒ හින්දයි. අල්ලස් කොමිසමේ නම කියනවිට දණ බිම ඇණෙන මට්ටමට බයවෙන දේශපාලකයන්ගේ ඇත්ත වීරාභිවන්දනයක් අද දවසේ වඩ වඩාත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. සිය දේශපාලන ව්‍යාපෘති පරාජයට මෙන්ම පාරාජිකාවට පත්වද්දී නැවතත් යුද උන්මාදය නමැති හනුමාන්ට අත තබන්නට ඔවුන් උත්සාහ කරන්නේ ද මේ හෙළිදරව්වට ඇති බිය නිසාමයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක යුද්ධය පිළිබඳ අලුත් පරපුරේ වෙනස් කියවීම විශිෂ්ට වෑයමක් බව නොකියා වටේ යෑම කුහකකමක්. එහෙත් එතැනින් පමණක් අලුත් පරපුරට සිට විෂය පථය සීමාකරගන්නට බෑ. දැන් ඔවුන් කරන්න ඕනෑ යුද්ධයෙන් සැබැවින්ම පීඩාවට පත් වින්ධිතයන්ගේ සැබෑ සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්න ජනගත කිරීමයි. යුද වෙළෙන්ඳන්ගෙන් ද සාම වෙළෙන්ඳන්ගෙන් ද ඔවුන්ට වෙනස් මගක් ගන්න එතකොට පුළුවන්. මේක සහෝදරාත්මක යෝජනාවක්. පුළුවන් නම් ගන්න. 





16 comments:

  1. කණගාටුව ඇත්තටම අපේ අළුත් පරපුර (සංවිධානය නෙවෙයි අළුත් පරම්පරාව) ඉන්න ස්ථාවරය ඉතා පසුගාමී වීම. කොයිතරම් තාක්ෂණය දියුණු වුණත් දේශපාලන අධිකාරය විසින් බලහත්කාරයෙන් දාන සීමා කඩාගන ලෝකය එක්ක සම්බන්ධ වෙන්න ඉඩකඩ තිබුණත් අපේ තරුණ පරපුරේ බහුතරය ඉන්න ස්ථාවරය ඉතා පසුගාමීයි. බහුතරයක් දෙනා රාජපක්ෂලා නියම කරපු පටු සීමාවෙන් එහාට දැක්කෙ නැහැ. ඒ අත්දැකීම හොඳටම තියෙන්නෙ අළුත්ගම සිදුවීමේදී.
    කොහොම වුණත් ජාතික ප්‍රශ්ණය මඟෑරලා උපක්‍රමශීලීව මතු කරපු දූෂණ සම්බන්ධ සටන් පාඨ නිසා රාජපක්ෂලා පරාද වුණා. (ඒකට වැඩි දායකත්වය උතුරෙන්) දැන් අපට ලැබෙන් අවකාශය පාවිච්චි කරන්න පුළුවන් සහෝදරත්වය ප්‍රැක්ටිස් කරන්න.
    එතැනදී අළුත් පරපුරට පැවරෙන වගකීම යාපනයට ගිහින් බත් පැකට් බෙදන එක නෙවෙයි. (සමහරු කියන්නේ එහෙම) ඔවුන් කලාකරුවන් සහ ජනප්‍රිය පුද්ගලයන් නිසා වඩාත් ප්‍රබල ලෙස දකුණට ආමන්ත්‍රණය කිරීමයි ඔවුන්ගේ කාර්යය. මාධ්‍යෙව්දීන්ගේ වගකීම උතුරේ ප්‍රශ්ණ වාර්තා කිරීම. සමාජ ක්‍රියාකාරීන්ට ඔවුන්ගේ වගකීම.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බත් බෙදන්ට කිව්වෙ ගිය පාර වගෙ මේපාරත් පාර්ටි දායි කියලා අන්න ඒ සල්ලි වලින්. අනික උතුරෙ කොල්ලො ඇගෙ කෑලි ගලවගෙන බෝම්බ පුපුරුවගෙන මැරෙන එකට උත්තරෙ චන්ද්‍රිකා මැඩම් ගියා වගෙ සාම තවලම් යන එක නෙවෙයි.''ජාති වාදෙ නෝටි! ඒ නිසා උයාලා යුද්ධ කලන්න අපා! අපි උයාල වෙනුවෙන් ඉටිපන්දමුත් පත්තු කලානෙහ්'' කිව්වට ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදෙන්නෙ නැ!(ඊට වඩා බත් පැකට් බෙදන එක හොදයි!)දෙමළ සාමාන්‍ය ජනයාගෙ ගැටලුව බුදු දහමවත් සි0හළ සාමාන්‍ය ජනයාගෙ ගැටලුව හි0දු දමිළ වත් නොවෙයි! උන්ට ඕනෑ ජීවත් වීමටය...හොදින් ජීවත්වීමටය!

      Delete
  2. තරිඳු අහන ප්‍රශ්නය වැදගත්.. ඒත් ලෝකෙයේ තාක්ෂණය දියුණුවීම එක්ක චින්තනය දියුණු වුණාට අපේ එහෙම වුණේ නෑ. නිදහස, නීතිය, අධිකරණ පද්ධතිය වගේම තාක්ෂණික මෙවලම් ලැබෙන්නෙත් පැරෂුට් ක්‍රමයටයි. ඒක අපේ දියුණුවේ විකාශනාත්මක පලයක් නෙවෙයි. ගෝලීය ආර්ථිකයේ ප්‍රසාරණයවීමක්. ඉතින් තාක්ෂණික මෙවලම් භාවිත කළාට පසුගාමී වැඩවසම් චින්තනය වෙනස්වෙන්නේ හෙමින්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කොළඹ කොල්ලු පිටියෙ බම්බලපිටියෙ දෙමළ අයයි සි0හල අයයි ඇයි සමගියෙන් ඉන්නෙ.හේතුව ආර්තික අවස්ථා තියෙනවා සහ ඒ මගින් ඒ තුල ඔවුන් එකට බැදිලා ඉන්නව!.අන්න ඒ වගේ උතුරෙ දමිල තරුනයටත් නැගෙනහිර දකුනෙ සි0හල තරුනයටත් ඕනි ආර්තික අවස්ථා. කොළඹ මහ දියුනු නගරයක් නෙමෙයි තමයි ඒත් එහි තියෙන ආර්තිකමය වටපිටාවවත් අර කියපු තරුණයන් වෙත අරන් යන්න ඕනි.දුගී බවෙ පීඩනය තියෙන තැනට, එය විවිධ ආකාරයෙන් පුපුරා යද්දි ඒකට සි0දුයි ච්ත්‍රපටියි ගැහුවට වැඩක් නෑ!(වමේ උන් කියන පා0තික දේශපාලනය උබල තරම්ම ආත්මාර්ථ කාමි නොවන්නෙ අන්න ඒ අර්තයෙන්!)

      Delete
  3. යුද්ධ වෙළෙන්දො සාම වෙළෙන්දො අතර මනුස්සකම සමූපාකාරගත කරන්න අපි උත්සාහයක් ගත යුතුයි

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එක්කො යුද්දේ එපා හො යුද්දේ මරු කියන ආතල් දෙකම නොවන තැනක් තියෙනවා කියලා උබට තෙරුන් ගන්ට අමාරුයි! ගොඩක් උන්ට තේරුන් ගන්ට අමාරුත් ඒකයි! ! යුද්දෙ නරකයි මොකද ඒක මතු වුනේ ''දුගී'' බවෙ අර්බුදය ධනේශ්වරය විසින් ජාති වාදයක් කිරීමෙන්! යුද්ධෙ හොදයි මොකද වැරදි විදියට වැරදි අනෙකාට ඕනි විදියට යුද්ධ කළත් එසේ රැවටුනේ අහේතුකව හෝ නිකන් ජොලියට හෝ නෙමෙයි!''(දෙමළ සටන්කාමියා සහ යුද සෙබලා සමාන බරකින් තබමින්)බත් පැකට බෙදන්ට ඕනි කලින් වැඩෙදි උබලා පාර්ටි දාපු එක වගෙ!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  7. හොඳ ලිපියක්. මම හැබැයි හමුදාව මිනීමරුවන් කියල කියනවට නම් විරුද්ධයි. දේශපාලන නායකත්වයක් යටතේ තමා හමුදාවක් කටයුතු කරන්නේ. මේ ලිපියේ එහෙම කටහ්වක් කියල නැහැ. නමුත් මම වෙන බ්ලොගයක කියෙව්වා අලුත් පරපුර එහෙම කියනවා කියල.

    ReplyDelete
  8. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17117-2015-05-27-22-42-05

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මිත්‍රයා... හමුදාව මිනීමරු කියලා කිව්වාම හොඳ මාතෘකාවක් ආවා..ඒකත් ලියමු..

      Delete