Wednesday, 23 November 2016

උතුරු මුහුදේ අයිතිය කාටද?


ආක්‍රමණිකයන් දවල් කාලයේ ඉව අල්ලන අයුරු

ආක්‍රමණයට ලක් වූ උතුරු මුහුද

උතුරු මුහුදේ සිදුකෙරෙන ඉන්දීය ධීවර ආක්‍රමණය දශක ගණනාවක අතීතයට හිමිකම් කියන්නකි. තිස් වසරක සිවිල් යුද්ධය අස්සේ ජයටම කෙරුණු මේ මාළු හොරකමට මෙරට ධීවරයන්ගේ දැඩි විරෝධය පළවන්නට වූයේ 2009 න් පසුවය. එහෙත් තමිල්නාඩු ආක්‍රමණිකයාගේ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාර එල්ලවන්නට වූයේ මහින්ද අමරවීර ධීවර ඇමැතිවරයාගේ කාලයේදීය. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුලු‍ වී නීති විරෝධී මසුන් ඇල්ලීම සිදුකරන ලද  ඉන්දීය ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න අත් අඩංගුවට ගත්තත් ඒවා සියල්ල ආපසු නිදහස් කිරීමට සිදුවුණු අතීතය තරමක් වෙනස් වූයේ අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රා ඇතුලු‍ ධීවර ආම්පන්න සියල්ල රාජසන්තක කරනු ලැබීමෙනි. මෙයින් තදින්ම කෝපවුණේ තමිල්නාඩු දේශපාලනයයි. ලංකාවේ හයිකාරකමට එරෙහිව ඉන්දීය මධ්‍යම රජයට ගතු කියමින් ලියුම් කරදහි ලිවීම තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා ජයරාම්ට දෛනික ආහාර වේල තරම් සුපුරුදු දෙයක් වූයේ ඉනික්බිතිය. කෙසේ වෙතත් ප්‍රාන්ත දේශපාලනයේත් අසල්වැසියාගේ නෝක්කාඩුවේත් බලපෑම් සමඟ ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉන්දීය මහ ආණ්ඩුවට ද එයින් පිටුබලයක් ලැබිණි.

ඒ අනුව මාස ගණනක් තිස්සේ පැවැති සාකච්ඡාවල තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය 5 වැනිදා ඉන්දියාවේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සිදුවුණේ ද දේශපාලන වශයෙන් වූ පීඩන ආණ්ඩු දෙකටම එල්ලවෙමින් තිබෙද්දීය. ආරම්භයේදීම සාකච්ඡාව සඳහා ද ඉන්දියාවෙන් පැන වූ පූර්ව කොන්දේසි තුනක් තිබුණේය. ඒ ඇමැතිවරුන් අතර සාකච්ඡාවට ප්‍රථම ධීවර නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වීම, අත්අඩංගුවට පත් ධීවරයන්  නිදහස් කිරීම හා අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා නිදහස් කිරීමය. ශ්‍රී ලංකා රජය මෙයින් තුන්වැන්න හැර සෙසු කොන්දේසි දෙකට එකඟ වූ අතර සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාවට එය ප්‍රමාණවත් විය. ඉන්දු ලංකා ධීවර හා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවට දින නියම කෙරුණේ ඒ අනුවය.

ධීවර නියෝජිතයන්ගේ සාකච්ඡාවට උතුරු පළාතේ ධීවර දිස්ත්‍රික්ක හතර නියෝජනය කරමින් නායකයෝ දහ දෙනෙක් සහභාගී වූහ. නොවැම්බර් 2 වැනිදා දිල්ලියේ පැවැති මෙම රැස්වීමේදී මෙරට ධීවරයන් දැඩිව අවධාරණය කළ කරුණ වී තිබුණේ කිසිදු හේතුවක් මත මෙරට මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදීමට තමිල්නාඩු ධීවරයන්ට ඉඩ දිය නොහැකි බවයි. එසේම අත්අඩංගුවට පත් කිසිදු යාත්‍රාවක් නිදහස් කළ නොහැකි බව කී ඔවුන් ඉල්ලාසිටියේ බොටම් ට්‍රෝලිං ක්‍රියාවලිය වහා නතර කරන ලෙසටයි. මෙම තත්ත්වය තුළ දෙපාර්ශ්වයට සාකච්ඡා ප්‍රතිපල ගැන ඒකාබද්ධ නිවේදනයකට යෑමේ හැකියාව අවම වූයෙන් මීට පෙර කළ සාකච්ඡාවලදී මෙන් අමාත්‍යවරුන්ට ස්වාධීන වාර්තා දෙකක් නිකුත් කරන්නට ඉඩ දිය යුතුය යන අදහසට ඔවුහු පැමිණියහ. කෙසේ වෙතත් සාකච්ඡාවල සාර්ථකභාවයක් නොවූව ද නිශේධනාත්මක ලෙස එය විවේචනය කිරීමක් ද ධිවරයන්ගේ දකින්නට නැත. ඔවුන් මෙවැනි මධ්‍යස්ථභාවයකට පැමිණීමට හේතු වී තිබෙන්නේ ලාංකික ධීවරයන්ගේ ස්ථාවරය තමිල්නාඩුවට පමණක් නොව නවදිල්ලි මධ්‍යම රජයට ද පැහැදිලිව කියාපෑමේ අවස්ථාවක් මෙවර උදා වූ බවට වූ විශ්වාසය නිසාය. 

මෙකී සුහදතාව හා විශ්වසනීයභාවය සුරැකිය හැකි නම් ඉදිරි ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ද තමන් සූදානම් බව මෙරට ධීවර නියෝජිතයන්ගේ මතය විය. එහෙත් ඇතැම් දකුණු ඉන්දීය මාධ්‍ය මේ තත්ත්වය වාර්තා කළේ සාකච්ඡා අසාර්ථක හැටියටය. කෙසේ වුවද එම බාධා මධ්‍යයේ වුවද ලංකාවට පැමිණි ධීවර නියෝජිත පිරිස යාපනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සාකච්ඡාවල ප්‍රගතිය සිය සහෝදර ධීවර ජනයාට සැල කර සිටියහ. ඔවුන් එහිදී කියාසිටියේ යහපත් ප්‍රතිපලයක් වෙනුවෙන් වූ පළමු පියවර තැබීමක් මිස අසාර්ථක සාකච්ඡාවක් හැටියට කරන හැඳින්වීම පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් ඉන් පැය හතලිස් අටකට පසුව ඉන්දියාවේදී පැවති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවට ධීවර නියෝජිත රැස්වීමෙන් ලැබී තිබුණේ තල්ලුවකි. ධීවර ඇමැති මහින්ද අමරවීර, විදේශ ඇමැති මංගල සමරවීර හා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ඇතුලු නියෝජිත පිරිසට ධීවර නියෝජිතයන් වෙනුවෙන් එහි උපදේශක වරදාස් ත්‍යාගරාජා මහතා ද ඇතුලත් විය. මෙරට නියෝජනය සමඟ සසඳද්දී ඉන්දීය ධීවර හා කෘෂිකර්ම ඇමැති රාධා මෝහන් හා විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුලු ඉන්දීය නියෝජිත පිරිස සංඛ්‍යාත්මකව විශාල විය. එසේ වුවද සාකච්ඡාව ඉතාම සාමකාමී ස්වරූපයක් ගත් අතර ඒකාබද්ධ නිවේදනයකට යෑම එහි ප්‍රතිපලයයි. ඉන්දු ලංකා ධීවර ගැටලුවට කල්පවත්නා විසඳුමක් වෙනුවෙන් සළකාබැලිය හැකි කාරණා කීපයක් මෙහිදී අවධානයට ලක් කෙරුණි. ඉන් පළමුවැන්න වූයේ දෙරටේ නියෝජිතයන් ඇතුලත් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි. තමිල්නාඩු ධීවර හිමිකාරිත්වය විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් දියත් කරන ට්‍රෝලිං කර්මාන්තය තීරණාත්මක අවසානයකට ගෙනයෑමේ ක්‍රියාවලියට පණදීම එම කමිටුවේ කාර්යභාරයයි. අත්අඩංගුවට පත් ධීවරයන් හා බෝට්ටු ගැන සාකච්ඡා කිරීම ද ඊට පැවැරිණි. කෙසේ වෙතත් මේ කාරණා තුන සම්බන්ධයෙන් වුවද ලංකා රජය සුවිශේෂී එකඟතාවලට අවතීර්ණ වී නැති අතර ඒවා ගැන සාකච්ඡා කළ හැකි බව දන්වා තිබේ.

මීට අමතරව ධීවර නියෝජිතයන් හා ඇමැතිවරුන් අතර මාස තුනකට වරක් සමාන්තර සාකච්ඡා පැවැත්වීමටත් දෙරට අතර ක්ෂණික  ඇමතුම් සේවාවක් ආරම්භ කිරීමටත් සාකච්ඡා කෙරී තිබේ. ධීවරයන්ට සන්නිවේදන උපකරණ ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් සාගර කලාපයේදී ප්‍රචණ්ඩකාරී තත්ත්ව ඇතිනොවීමට වගබලාගැනීමත් දෙරටේම නියෝජිතයෝ එකඟතාවකට පැමිණියහ. ඒ අනුව පළමු ඒකාබද්ධ රැස්වීම ලබන වසරේ ජනවාරි 2 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

‘‘ධීවර ගැටලුව විසඳීම සඳහා වූ ක්‍රියාවලියට ආරම්භයක් ගැනීම මෙහිදී සිදුවුණා. ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශීයව අනුගමනය කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මේ ආරම්භයෙන් බාධාවක් නැහැ. ඒක ටිකක් පැහැදිලි කරනවා නම් ඉන්දීය ධීවරයන් හා යාත්‍රා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට මේ සාකච්ඡා නිසා බාධාවක් නෑ. ඇමැතිවරයා එම පියවර දිගටම ක්‍රියාත්මක කළ යුතු බව ධීවරයන්ගේත් ඉල්ලීමයි. ඒ වගේම මේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ලංකාව වගේම ඉන්දියාවත් බොටම් ට්‍රෝලිං ක්‍රමය මුළුමනින්ම නතර කළ යුතුය කියන මතයට ඇවිත් තිබෙනවා. මේ සාකච්ඡාවෙන් ලොකු ප්‍රගතියක් අත්පත්කරගත්තා කියලා එක්වරම කියන්න අපහසුයි. එය තීන්දුවෙන්නේ ඒකාබද්ධ කමිටුව ගන්නා තීරණ උඩයි. කමිටුවේ ව්‍යුහය ඊළඟ සාකච්ඡා වටයට කලින් සකසාගන්නවා. ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් ධීවරයන්ට ගැටලුවක් නෑ. ඔවුන් දැඩි ස්ථාවරයක ඉන්නේ අනවසර ධීවර යාත්‍රා කිසිසේත්ම නිදහස් නොකළ යුතුය යන්න සම්බන්ධයෙනුයි. * මෙරට ධීවර නියෝජිතයන්ගේ උපදේශක වශයෙන් සාකච්ඡා දෙකටම සහභාගී වූ ත්‍යාගරාජා වරදාස් මහතා සාකච්ඡාවල ප්‍රගතිය ගැන දැක්වූයේ එවැනි අදහසකි.

1983 සමස්ත ධීවර නිෂ්පාදනයෙන් සීයට 41ක් සපයනු ලැබුවේ උතුරේ ධීවරයන් විසිනි. යාපනේ පමණක් මෙට්‍රික් ටොන් 50 000 කින් ඊට දායක විය. එහෙත් ඒ සරුබිම යුද්ධය නිමාවීත් නැවත ගොඩනැගුණේ නැත. ජාතික මත්ස්‍ය අස්වැන්නෙන් දැන් උතුර සම්පාදනය කරන්නේ සීයට 10 ක් පමණි. ඒ සතියට දින තුනක් පමණක් මුහුදුයාමට උතුරේ ධීවරයන්ට වැටි ඇති සම්බාධක නිසාය. ඒ බාධාව නොතිබුණා නම් අඩුම තරමින් මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයක් කරගන්නට ඔවුනට අවස්ථාව පෑදෙනු ඇත. එසේ බලද්දී ජාතික මත්ස්‍ය නිෂ්පාදනයෙන් සීයට දහයක් ලාංකිකයන්ට අහිමිකරන්නට ඉන්දීය ආක්‍රමණික ධීවරයෝ කටයුතු කරති. වාර්තා වන අන්දමට එක් ඉන්දීය බෝට්ටුවක් නිසා දිනකට මෙරටට අහිමි වන මුදල රුපියල් 30 000 ත් 40 000 ත් අතර වන බව පැවැසේ. එවැනි බෝට්ටු දහස් ගණනක් මෙරට මුහුද ආක්‍රමණය කළ කල්හි එම ජාතික අපරාධය කොතෙක්ද? වසරකට එම පාඩුව රුපියල් බිලියන පහත් දහයත් අතර වන බවට නිල නොවන සංඛ්‍යා ලේඛන පවසයි.


කෙසේ වෙතත් මේ අබග්ගය ගැන සෘජුවම ඉන්දීය බලධාරින් හමුවේ කතාකරන්නට මහින්ද අමරවීර ධීවර ඇමැතිවරයා කටයුතු කර තිබුණේය.
''ඉන්දියානු ධීවරයින් සතියකට දින 03ක් ශ්‍රී ලංකා මුහුදු ජල තීරයේ දී නීති විරෝධී බොටම් ට්‍රෝලිං ක්‍රියාත්මක කරනවා. ඇස්තමේන්තු කර තිබෙන පරිදි එම දින 03 තුළ ඔවුන් ඉස්සෝ, දැල්ලෝ සහ මුහුදු කූඩැල්ලෝ මෙන්ම කකුළුවෝ වැනි ජලජ ජීවීන් ටොන් 600කට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගන්නවා. මේ නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය රු. මිලියන 63,000කට ආසන්නයි. එපමණක් නොව, නාවික හමුදාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට දිනපතා විශාල මුදලක් ශ්‍රී ලංකා මුහුදු තීරය ආරක්ෂා කිරීම සඳහා වැය කිරීමට සිදු වී තිබෙනවා. බොටම් ට්‍රෝලිං ක්‍රමය ක්‍රියාත්මක කරන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකාවේ මුහුදු පතුළ පමණක් නොව එහි ජීවත්වනසියළු ජලජ ජීවීන් අතුගා දැමීමක් සිදු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව අවට මුහුද මළ මුහුදක් බවට පත් වෙමින් තිබෙනවා. මෙවැනි විනාශකාරී ක්‍රම භාවිතය නිසා උතුරු නැගෙනහිර මුහුදු තීරයේ මත්ස්‍ය ගහණය දිනපතා අඩු වෙමින් තිබෙනවා. ඒක ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල මරු පහරක්. මම පෞද්ගලිකවම මෙම කටයුතු සොයා බැලීමක් කළා. ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ ගොඩබිම සිට කි.මී 03ක් දක්වා පැමිණෙන අවස්ථා තිබෙනවා. එපමණක් නොවේ එම පිරිස් ඉතාමත් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙමින් නාවික හමුදා යාත්‍රාවලට පවා හානි සිදු කළ අවස්ථා වාර්තා වෙනවා. එම නිසා අපේ මුහුද සීමාවේ දී අත්අඩංගුවට ගන්නා ඉන්දීය ටෝලර් යාත්‍රාවල සිටින ධිවරයින් මානුෂික හේතූන් මත වහාම නිදහස් කරනවා.නමුත්, අපි ධීවර යාත්‍රා හෝ උපකරණ නීතිය මගින් රාජ සන්තක කරනවා. එසේ කරන්නේ අන් කිසිවක් නිසා නොව, මේ සිදු කරන විනාශය නැවැත්වීම සඳහායි..* මේ ධීවර ඇමැතිවරයා ඉන්දීය බලධාරින්ට කී ඒ කතාවෙන් කොටසකි.

ලංකාවේ දැනට ක්‍රියාත්මක 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන පනතට අනුව නීතිවිරෝධී ධීවර කර්මාන්තය හා ආක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමේ බලයක් විෂය බාර ඇමැතිවරයාට පැහැදිලිවම තිබේ. මෙතෙක් කල් භාවිත නොවුණේ ඒ බලයයි. උතුරු මුහුද යනු ලංකාවට අතිශයින්ම බලපාන රාජ්‍යතාන්ත්‍රික බන්ධනයේ භූගෝලීය පැතිකඩක් වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් දැන් දෙරටේම රාජ්‍ය තන්ත්‍රයේත් ධීවරයන්ගේත් නවමු බලාපොරොත්තුව වී තිබෙන්නේ ඊළඟ සාම සාකච්ඡා වටයයි. ඊට වේදිකාව තනන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවයි. එය සාර්ථක වේද නොවේදැයි යන්න තීන්දු වීමේදී ඉදිරි මාස දෙක තීරණාත්මක කාලපරිච්ඡේදයක් වනු ඇති බව නම් සැක නැත.

බිඟුන් මේනක ගමගේ






Thursday, 17 March 2016

මන්ත්‍රී වැටුප් වැඩිකිරීම හෙවත් දූෂණය නවතා අල්ලස් දීම..





තිත්ත බෙහෙත් දීලා ආර්ථිකේ ගොඩගන්නවා කියන ආණ්ඩුව තාමත් රාජ්‍යයෙ ණය ප්‍රමාණය දන්නෙ නෑ. රාජපක්ෂ පාලනයේ පව් ගෙවන්න ජනතාවට සිදුවෙලා කියලා කිඹුල් කඳුළු හෙළන පාලක උන්නාන්සෙලා රැඩිකල් වෙනස පටන් අරගෙන බව පේනවා. දැන් ආණ්ඩුව මහින්දව තියන් ඉන්නෙ කෝකටත් තෛලය වගෙයි. ඇති අයගෙන් අරගෙන නැති අයට දෙනවා කිව්ව ආර්ථික ඔස්තාද්ලා යටතේ වක්‍ර බදු වැඩිවෙලා කියලයි ආර්ථික විශේෂඥයන් කියන්නෙ. හැබැයි ඒ ඇත්ත වහන්න රාජපක්ෂ බද්ද කියලා දේශපාලන නාට්‍යක් රඟදක්වමින් යනවා. 



ජනතාවට පටි තදකරගන්න කියලා තමන්ව බලයට පත්කරපු මිනිස්සුන්ව අන්ඳන ආණ්ඩුව නියම වැඩකට අත ගහලා. ඒ තමයි මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද වැඩිකිරීම. ආරංචි හැටියට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදි තමයි මේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද(17) තිබුණු කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යකරුවන් මේ ගැන ඇහුවාම ගයන්තලා සුජීව සේනසිංහලා අජිත් පීලා හැමෝම හිටියේ තිත්ත බෙහෙත් බීපු ගොළුවෝ වගෙයි. විමල් වීරවංශගෙ ලයිට් බිල පෙන්නලා පොළොවෙ පස් කාපු ජනතාමිතුරන්ගේ හෙළුව මෙච්චර ඉක්මනින්ම පේන එකත් හොඳයි කියලයි හිතෙන්නේ. 


එකගෙයි කෑම වඩා රසවත්ය..


ආරංචි හැටියට මෙන්න මේ විදියට තමයි වරප්‍රසාද වැඩිවෙන්නේ.. 

1.දැනට නිල නිවාස නොමැති මන්ත්‍රීවරු සඳහා මසකට රුපියල් 50 000 ක ගෙවල් කුලී දීමනාවක්
2.කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා මසකට රුපියල් 75 000 ක දීමනාවක් ද 
3.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දුරකථන දෙකක් සඳහා දැනට පාර්ලිමේන්තුවෙන් බිල්පත් ගෙවීමේ ක්‍රමය වෙනුවට මසකට රුපියල් 50 000 ක දීමනාවක් 
4.ව්‍යවස්ථාපිත මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වන දිනයකදී එක් මන්ත්‍රීවරයකුට රුපියල් 2500 ක පැමිණීමේ දීමනාවක් 
5.පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී ආංශික කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී එක් සාමාජික මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් 4000 ක දීමනාවක් හා සභාපතිවරයාට රුපියල් 5000 ක දීමනාවක් 


දැනට පවතින ක්‍රමයට අනුව එක් මන්ත්‍රීවරයකුට දුරකථන දෙකක් සඳහා බිල් ගෙවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට මසකට රුපියල් ලක්ෂ 30 ක් 35 ක් අතර මුදලක් වැයවෙනවා. ඒත් අලුත් යෝජනා ක්‍රියාත්මක වුණොත් ඒකට වැයවෙන මුදල රුපියල් 1 12 500000 ක්. කොහොමද ගණන..කියවගන්නත් අමාරුයි.. වෙනස කියන්නෙ මේකට කියලා හිතෙනකොටත් සැපයි අම්මපා..


කන් කෙඳිරිය...
හීන් කෙඳිරිය...


ඒකාබද්ධ විපක්ෂෙ නම් දැන් ඒකෙන්වත් ගොඩයෑමක් තියේද කියලා බලනවා. හැබැයි ඒ විරෝධයක් නොවන හීන් කෙඳිරියක් වගේ එකකින්. ඒකාබද්ධ විපක්ෂෙ වීරයෝ ජවිපෙට වඩා නම් ඒ හීන් කෙඳිරිය හොඳයි කියලා හිතෙන්නේ ජවිපෙන් කන්කෙඳිරියක්වත් නැති නිසයි. මේ යෝජනා ආපු ගෘහකාරක සභාවේ නිහාල් ගලප්පත්ති කියන සහෝදරයාත් හිටියාය කියන්නේ. ඒත් ජවිපෙන් ඒ ගැන තාම නෝ රෙස්පොන්ස්. හැබැයි 
 ජවිපෙ පසුගිය මහමැතිවරණයේදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියාසිටියේ මන්ත්‍රී වරප්‍රසාද අඩු කරනවා කියලයි. ජවිපෙ කී කතා...
ඒ අනුව මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත් අහෝසි කොට ඒ වෙනුවට ඔවුන්ගේ රාජකාරි සඳහා රජයෙන් වාහන ලබාදීම් යෝජනා කළ ජවිපෙ කළ වඩාත්ම පුදුම යෝජනවා වුණේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමයි. හැබැයි ජවිපෙ තාම නෝ රෙස්පොන්ස්. 



මේ ගැන කැබිනට් ප්‍රකාශකවරයා දෙකට දෙවාරෙට දීපු උත්තරවල හැටියට මේ යෝජනාව ක්‍රියාත්මක වෙන පාටකුයි පෙනෙන්නෙ. ඒ මදිවට අජිත් පී පෙරේරා ලැජ්ජා නැතුව ජනතා සම්මුතියක් ඇදලා ගත්තා. එයා කියන්නෙ ජනතාවගෙ සම්මුතියක් අනුව රාජ්‍ය පාලනය වෙනවලු. ජනතාව කැමැති නෑ කියනවා නම් වැටුප් වැඩි කිරීම් නවත්තන්න පුළුවන් වගේ කතාවක් කිව්වෙ. ඒත් මේ වැටුප් වැඩි කරන තරම ප්‍රමාණය බැලුවාම සම්මුතියේ ස්වභාවය අපට පේනවා. ඉක්මනටම වැටුප් වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 

Monday, 14 March 2016

පන්හිඳ කගපතක් කරගත් සුනිල හදවත- සුනිල් මාධව ..




ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්‍රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි.

ප්‍රතිවිරෝධතාවල ස්වරූපය සුනිල් අයියා දැනසිටියේ නැත..


වෘත්තින් රැසක් අතර පත්තර රස්සාව පත්‍රකලාවේදය යැයි හැඳින්වෙන්නේ ඒ තුළ වූ විද්‍යාවත් කලාවත් යන ද්විත්ව ගුණාංගය නිසාය. එහෙත් පත්තරකාරයකු වීමට යත්න දරන ඇතැමුන්ගේ අවසන් පරමාර්ථ අතර වන්නේ බලය ගොඩනගාගැනීමය. පත්තර රස්සාව තුළ තමා නියෝජනය කරන අංශය තුළ වූ බල සබඳතා ඊට පිහිටට එයි. මේ නිසාම අන්තිමේදී පත්තරකාරයාට ද නිතැතින්ම දේශපාලනයක් තිබේ. සුනිල් මාධව ප්‍රේමතිලක නම් වූ ඒ සොඳුරු පත්තරකාරයාට ද දේශපාලනයක් තිබුණේය. ඒ හඬක් නැති මිනිසුන්ට හඬක් වීමේ දේශපාලනයයි. අවවරප්‍රසාදිතයන්ට, නිර්ධන නිර්බල පීඩිත ජීවිතවලට හෙටක් හැදීම වෙනුවෙන් වූ දේශපාලනයයි. ජාතියක ජීවනාලිය තරුණ පරපුර යැයි සිතූ දේශපාලනයයි. ඒ දේශපාලනයේදී සුවහසක් වූ සටන්කාමී ගෝලයන්ට යෂ්ටිය දෙන්නට තවත් පරපුරක් හදන්නට ඔහු පැකිලුණේ නැත. ඒ ඔහු තුළ ඇතැම් මාධ්‍ය ඔස්තාද්ලාට මෙන් බලයේ මහන්තත්වයක් නොතිබූ බැවිනි. මේ නිසා සැබැවින්ම ඔහු සිය ගෝල බාලයන් පවා සැළකුවේ සහෝදර සටන් සගයින් මෙනි.

විප්‍රවාසී දිවියක වේදනාව- රෝහිත භාෂණ


පැරැණි වාමාංශික කොටස්වලින් කැඩී වෙන් වී පිහිටු වූ නව දේශපාලන ව්‍යාපාර, විකල්ප පුවත්පත්කලාවට බැඳි පෙමින් අකුරු කළවුන්, ජනතාවාදී කලාවක් ගොඩනැගීමේ සිහිනයක සිටි පිරිස් ඇතුලු ප්‍රගතිශීලී සමාජ කොටස් රැසක් එකවර ඔහුගේ සේවනයත් සෙවණත් ලැබුවේය. සුදර්ශිය, මහජන පුස්තකාලය ආදී තැන් මේ බොහෝ දෙනාගේ කතිකා මණ්ඩප විය. වාද විවාද පුරාවට අලුත් ලේ සමඟ ගනුදෙනු කළ සුනිල් අයියා ඒවා අවසන සාද කතා සඳහා මධුවිතක් පුරන්නට ගියේ ද බොහෝ විට ඒ තරුණ කොටස් සමඟය. ඇත්තටම පත්තර කලාවෙන් ගොඩයනවා නම් සුනිල් අයියාට බොහෝ මං පෙත් විවරව තිබිණි. එහෙත් ඔහු විශ්වාස කළ දේශපාලන ධර්මය විසින් ඒවා අලුයම ලූ කෙලපිඩක් තරම්වත් අගය කරනු ලැබුවේ නැත. එසේ වුවත් සුනිල් අයියා නිසා ගොඩ ගිය අයගේ ගණන බැලුවද සංඛ්‍යාත්මකව සුළුපටු නැත. වහන් රහිත දෙපයින් ඇවිද ගිය, පත්ඉරු මත සිමෙන්ති පොලොවේ රැය පහන් කළ ඒ ඇතැමුන් අංශක එකසිය අසූවකින් දේශපාලන කරණම් ගසා කැබිනට් ඇමැතිවරු දක්වා යද්දී සුනිල් අයියා සමසිතින් ඒ දෙස බලාසිටියේය.

කොළඹ යුගයේ සුප්‍රකටම කවියකු වූ මීමන ප්‍රේමතිලකයන් වනාහි සුනිල් අයියාගේ ආදරණීය තාත්තාය. මීමන ප්‍රේමතිලකයන්ට කවිත්වය රුධිරයට මුසු වූයේ යම් සේද සුනිල් අයියාට ජනතාවාදය නමැති කලාව රුධිරගත වී තිබිණි. පැටි වියේ සිටම මාධ්‍ය ලෝකයට පෙමින් බැඳුණු සුනිල් මාධව ශත දහයේ විශ්ව විද්‍යාලය හෙවත් සිළුමිණ තුළින් මාධ්‍ය ජීවිතය අරඹන්නේ බෙනඩික් දොඩම්පේගම නම් වූ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියා ගුරුතන්හි තබාය. සිළුමිණ, දිනමිණ, සරසවිය හා ජනතා ආදී බේරෙගෙදර පත්තර රැසක ඔහු අකුරු කළේය. එහෙත් ස්වාධීනත්වය දැඩි සේ අගය කළ සුනිල් මාධවගේ මාධ්‍ය ජීවිතයේ ඔහුගේ නිසග ජනතාවාදී කලාව ආරම්භවන්නේ දිවයින පුවත්පතෙනි. තරුණ අසහනයත් අපේක්ෂාභංගත්වයත් රජ කරමින් පැවැති මොහොතක සුනිල් අයියා ආරම්භ කළ 8 වැනි පිටුව අයුක්තියට එරෙහිවූවන්ට පහන් තරුවක් බඳු විය. පැවැති දේශපාලනය ප්‍රශ්න කරමින් ඇරඹුණු තරුණ ප්‍රවාහය සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අකුරු සමඟ ඉදිරියටම ගලා ගියේ පාලක පංතියේ කෝපයට ලක්වෙමිනි. ක්‍රමයට අනුගත වෙන බොහෝ දෙනා අතර සුනිල් අයියා තරුණ පරපුරේ නොමද ගෞරවාදරයට පත්වන්නට එය ප්‍රබල හේතුවක් විය.


සුනිල් අයියා විභූති මල්ලි ගැන නිහඬ ඇයි?

සමාජයේ ප්‍රභූ තන්ත්‍රයේ ඇසුර මාධ්‍ය වෘත්තියේ ස්වභාවයෙන්ම හිමිවන්නක් වුවද සුනිල් මාධව හිටගත්තේ නිර්ප්‍රභූන් සමඟය. සටන් කළේ නිර්බලයන් වෙනුවෙනි. වෘත්තියෙන් ලැබෙන දේශපාලන බලයෙන් ඉහළ මාලයට පැනගන්නට දත කන පිරිස් අතර ඔහු වාසය කළේ පහළ මාලයට වීය. මේ නිසාවෙන්ම ලද පොදු ජන ඇසුර ඔහුගේ අකුරුවලට ජීවය කැව්වේය. ඒවා ව්‍යාජ කාව්‍යෝක්ති නොවී ඇත්ත ඇතිසැටියෙන්ම දුටු ලිපි විය. සත්‍යවාදියකුගේ දිනපොතක් ලිවීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුවද ඔහු ඒ කාරිය සැහැල්ලුවෙන් කළේ එහෙයිනි. මේ ඇත්ත ලිවිම නිසාම පත්තර ජීවිතයේ හැලහැප්පීම්වලින් ද අඩුවක් නොවූ සුනිල් අයියා කීපවරක්ම පත්තර රස්සාව දමාගසා ගෙදර ගියේය. එහෙත් එයින් ඔහුගේ මතවාදය වියැකී ගියේ නැත. ලක්මිණ , ලක්දිව වනාහි ඒ නොමියෙන මතවාදයේ නව ප්‍රකාශනයෝය. විනී හෙට්ටිගොඩ, රෝහිත භාෂණ, විමලසිරි ගම්ලත්, ඩලස් අලහප්පෙරුම, තිඹිරියාගම බණ්ඩාර එවක ඒ සහෝදර කතු මඩුල්ලේ සටන් සගයෝ වූහ. ලාංකික දේශපාලනයේ ඓතිහාසික සරදම් මේ යැයි කියාපාන්නට මෙන් අද ඒ මිතුරන්ගෙන් කෙනෙකු කැබිනට්ටුවට යද්දී තවකෙකුට මව්බිමෙන් ඈත්ව විප්‍රවාසී ජීවිතයක් ගතකරන්නට සිදුව තිබේ. 

සුනිල් අයියා නොදකින විභූතිගේ අවතාරය..


සුනිල් අයියාගේ දිවිසැරියේ පත්තර ලකුණ සනිටුහන් කරන එක් හරස්කඩක් හැටියට මේ මිත්‍ර සමාගමේ කතාව අපට හැඳින්විය හැකිය. සුනිල් අයියාගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂීම කාලයක් හැටියට හැඳින්විය හැක්කේ පොදු ජන ප්‍රාග්ධන සම්පාදනයෙන් ආරම්භ කළ හිරු පුවත්පතයි. අතිශය දේශපාලනික වැඩපිළිවෙලක් හැටියට දියත් වූ හිරු පුවත්පත විමුක්ති දේශපාලන සටන්බිම සෘජුව අරමුණු කරගනිමින් ආසන්න අතීතයේ තැබූ සළකුණ සුවිශේෂීය. බලය සඳහා බලය පසුපස දිවිම මිනිස් ස්වභාවයේ මූලික ලක්ෂණයක් යැයි කීවේ තෝමස් හොබ්ස්ය. මෙය සාමාන්‍ය මිනිසුන්ට අදාළ වන්නේ යම්සේද ඊට වැඩි බරකින් යුතුව මාධ්‍යවේදීන්ට අදාළවේ. රාජ්‍ය බලය විසින් සියල්ල හසුරුවනු ලබන ලංකාව වැනි රටවලදී ඒ යථාව තවත් දරුණු වේ. එහෙත් පත්තර ලෝකයේදී මේ කතාව උඩියටිකුරු කළ මිනිසෙකි. හේ ආදරණීය සුනිල් අයියාය. ඒ ඔහු මිනිසුන්ට අප්‍රමාණව ආදරය කළ නිසාය.

Tuesday, 8 March 2016

බිග් පැච්


දේශපාලනය සමඟ සම්බන්ධ ඕනෑම දෙයක් ලංකාවේදී ඉතා පහසුවෙන් ප්‍රසිද්ධිය අත්පත් කරගනී. ඕනෑම ක්ෂෙත්‍රයක කුසලතාව නොමැති අයකුට වුවද තල්ලුවක් මුල්ලුවක් වේ නම් දේශපාලන සක්කයක්ව ඉදිරියට යන්නට බාධක නැත. මෙය කලාව ක්‍රීඩාව ආදී සියලු අංශයන්ට පොදු සාධකයකි. මෙරට ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද අපේ ජාතිකානුරාගී ක්‍රීඩාව බවට ක්‍රිකට් පත්වන්නේ ද ඒ අනුවය. දේශපාලනයෙන් ක්‍රිකට්වලට ලැබෙන ගැම්ම රටේ සෙසු ක්‍රීඩාවලට නොලැබෙන බව කවුරුත් දනිති. මේ කතාකරන්නට යන්නේ ක්‍රිකට් දේශපාලනය ගැන නොවේ. මේ දිනවල ඇදහැලෙන පාසල් මහා ක්‍රිකට් තරඟ වැස්සේ හේදෙන යෞවනෝදය ගැනය. බිග් මැච් අවසන් වනවිට වැටෙන් බිග් පැච් ගැනය.

බිග් මැච් කියනවිටම මැච් එක ක්‍රිකට් මිස අනෙකක් නොවේ. අනෙක් අතට බිග් මැච් ගසන්නට නම් ඒ ඉස්කෝල ද ටිකක් බිග් ලෙවල් එකේ ඒවා විය යුතුය. කාට හෝ ඇති අධික උනන්දුව හේතුකොටගෙන පාසල් දෙකක් අතර විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුමක් පවත්වන්නට කටයුතු යෙදුණ ද එය බිග් මැච් එකක් වන්නේ නැත. බිග් මැච් කියනවිටම රටවැසියන්ගේ ඔළුවලට එන්නට තරම් ඒවා ප්‍රකට විය යුතුය. නැත්නම් ඒ තුළ ඇත්තේ හුදු අහිංසක වෑයමක් පමණක් වනු ඇත. ක්‍රිකට්වල අයිතිය ඇත්තේ එංගලන්තයටය. එහෙත් අඛණ්ඩ ලෙස බිග් මැච් ගැසීමේ ඓතිහාසික වාර්තාව ඇත්තේ අපට යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ලංකාවට බිග් මැච් ඒ තරම්ම ජීර්ණය වූ සංස්කෘතික අංගයක් වී තිබේ.

තරඟයේ වීරයෝ...


ආරම්භක කාලවලදී සුදු අධිරාජ්‍යවාදයේ උරුමයක් හැටියට ලැබුණ ද පසුකාලීනව සුද්දාටත් වඩා භුක්තියේ අයිතියට සවි වන ආකාරයට බිග් මැච් සංවිධානය කරන්නට තරම් අපේ පාසල් දක්ෂ විය. විසි වැනි සියවසේ අග වනවිට හුදු විනෝදය හා ජවය විදහා දක්වන තැනකට සීමා වී තිබූ විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම් කාලානුරූපීව විශාල පරිවර්තනයකට ලක් වී ඇත. ක්‍රීඩාවට දේශපාලනය කළ විනය තරමටම වාණිජත්වය විසින් ඒ මත ඇතිකරනු ලැබ ඇති අගතීන් වසරක් පාසා වර්ධනය වන හැටි අපට අසන්නට දකින්නට ලැබේ. මහා පාසල් අරා සිටිනා ආදි ශිෂ්‍ය සංගම්වල බල පරාක්‍රමය මේ හා සෘජුවම සම්බන්ධය. මේ බල පරාක්‍රමයට රටේ දේශපාලනයේ මුදුන් අතු සෘජුවම සම්බන්ධය. ඒ නිසා බිග් මැච් සංස්කෘතිය පුරා පැතිර යන අනීතික ධර්මතා ප්‍රවණතා හැටියට මහා පාසල්වල දරුවන්ගේ උරුමයක් කරදෙන්නට තරම් මේ බල සම්බන්ධතා සැහැසි වී තිබේ.

උදාහරණයක් හැටියට පසුගිය වසරේ දකුණේ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවැති මහා ක්‍රිකට් ගැටුම නිමාවූයේ දෙවිදුහල්හි ආදි සිසුවන් ඇති පදමට ගුටි ඇනගැනීමේ සමාප්තියකිනි.  නිරීක්ෂණය අනුව එය අතිශයින්ම දේශපාලන සංවාදයක් බවට පත් වූ තත්ත්වයකට පරිවර්තනය විය. රටේ ජාතික දේශපාලනයේ නියුතුවූවන්ගේ ගුණ නැණ බලය ගැනත් ඉදිරි දේශපාලන සිදුවීම්වලට ක්‍රීඩාව ද බලපාන ආකාරය ගැනත් දෙපිරිස් අතරේම හොඳ සිංහලෙන් අදහස් හුවමාරු විය. අවසානය වනවිට දෙවිදුහල්වල මෑතකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් නව සමාජ මාධ්‍ය මඟින් ණය බේරාගන්නා සංවාද දක්වා ද එය ඇදී ගියේය. අදට ද ඒවායේ අඩුවක් නැත. මේ නම් කවර තත්ත්වයක් ද? ක්‍රීඩාවේ මූලිකම අරමුණු වන සුසංයමය, විනය, සමගිය එක්තැන් කරන්නේ මෙසේද? ඒ එක් උදාහරණයක් පමණි.

අනෙකා කවුද?


පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වලට ලක්ෂ්මිය මිස සරසවිය අවශ්‍ය නැත. සැබැවින්ම අද වනවිට වේගයෙන් පැතිර යන බිග් මැච් වසන්තය සමඟ මතු වී පෙනෙන ඇතැම් ප්‍රවණතා සන් කරන්නේ ද එයයි. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන අපි පාසල් මහා ක්‍රිකට් සැණකෙළියේ අංගයක්ව සංවිධානය කෙරෙන බයිසිකල් පැරඩ් ආදියෙහි සමාජ හිංසන පැතිකඩ ගැන කතා නොකරමු. පසුගිය සතියේ එලෙස බිග් මැච් උන්මාදයෙන් පිස්සු කෙළ තිබූ ඇමැති පුතෙක් සිය සගයන් ද කැටුව කොළඹ බාළිකා පාසලකට පැන තිබුණේ පිස්සුව ඉවසාගෙන ඉන්න බැරි තැනය. සගයන් පොලිස් අත්අඩංගුවට පත්වුණද ඇමැති තාත්තාගේ බලතල නිසා ඔහුට නිදහසේ ආ වැඩේ කරගෙන යන්නටත් ලැබිණි. මේ ආකාරයට අද වනවිට බිග් මැච් සංස්කෘතිය වර්ධනය වෙමින් තිබෙන්නේ සමාජයේ අධිපතිත්වය දරන කොටසකගේ බලයේ මහන්තත්වය විෂද කරන ක්‍රියාවලියක් හැටියටය. නීතියේ සමානාත්මතාවය ගැන කතා කරන බොහෝ දෙනා මේ ගැන මුනිවත රකිති. 





Monday, 29 February 2016

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑ එක්නැලිගොඩ....


සත්‍ය කියන්නෙ මොකද්ද කියන දාර්ශනික ප්‍රශ්නෙ එහෙමම තිබියදී සම්මත ජනමාධ්‍යවේදය තුළ මූලික කටයුත්ත වෙන්නේ ජනතාවට තොරතුරු සැපයීම. ඒ සපයන තොරතුරු හැකිතරම් සත්‍ය විය යුතුයි. නැත්නම් සත්‍යට සමීප විය යුතුයි. මේ නිසා තොරතුරු සැපයීමේදී ජනමාධ්‍යවේදීන්ට තිබෙන්නේ විශාල වගකීමක්. එහෙත් ප්‍රවෘත්තියකට හිමි වටිනාකම කුමක්ද යන පැනය අනුව මේ වගකීමත් බල්ලට ගිහින්. මේ වගකීම්විරහිතබවට මූලික හේතුව ජනමාධ්‍යවේදය යැයි කියා දෙයක් ලංකාවේ නොවීම. (ඒක වෙනම කතා කළ යුතු කරුණක්)

පාලක තැනට කන්දෙන්න ඕනෑ..

කොහොම වුණත් මේ නිසාම අද වනවිට මේ නිසාම ප්‍රවෘත්තියක් සම්පාදනය බ්ලොක් ගල් ගහනවා වගේ වැඩක්. අච්චුව හදාගත්තාම අනුපාන ටික දැනගත්තාම ඉල්ලන ප්‍රමාණයට දෙන්නයි තියෙන්නේ. මේ පුවත් බ්ලොක් ගල් ගහන නොයෙක් අච්චු තියෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ එවැනි එක අච්චුවක්.
විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ අද වනවිට සතියේ පුවත්වලින් වැඩි බරක් අදින එක අංගයක්. මේ නිසාම මාධ්‍යවේදියාත් බ්ලොක්ගල් සම්පාදන කරුවකු දක්වා ඌනණය වෙලා. ප්‍රෙස් කොන් ( ප්‍රෙස් කොන්ෆරන්ස්) යනවා කියලා තමයි එදිනෙදා භාවිතයෙදි මාධ්‍යකරුවන් මේ ගැන කතාවෙන්නේ. ඇතැමුන්ට මේ ප්‍රෙස් කොන් හරියට පොප් කොන් වගේ. හැබැයි මේ ප්‍රෙස් කෝන් කියන වාච්‍යාර්ථයේ තිබෙන ගාම්භීරත්වයක් මේ පුවත්පත් සාකච්ඡාවල නෑ. අතිශය වගකීම්විරහිත තැනක් හැටියට මේ ප්‍රෙස් කෝන් හඳුන්වන්න පුළුවන්.

ඔයා ඇත්ත කියනවද? බොරු කියනවද? අපිට වැදගත් නෑ අනේ...


මේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට වාඩිවෙන දේශපාලකයන්ටත් කරන්න තියෙන්නේ බොහෝම පුංචි දෙයක්. හැකිතරම් දෙපිට කැපෙන වචන කතා කරමින් විරුද්ධ දේශපාලන පක්ෂය විවේචනය කිරීම තමයි ඒ. අතරින් පතර ප්‍රස්ථා පිරුළක්, ආප්තෝපදේශයක් වගේ එකක් දැම්මා නම් තවත් හොඳයි. එතකොට බොහෝදුරට ඒ පිරුළ ප්‍රවෘත්තියේ සිරස්තලයට යොදාගන්නත් පුළුවන්.

මේ ප්‍රෙස් කොන්ෆරන්ස්වල තියෙන වාසිය තමයි ඇති පදමට බොරු කියන්න පුළුවන් වීම. මොකද මේ කියන්නෙ ඇත්තද නැත්තද කියලා මාධ්‍යකරුවන්ට වැඩකුත් නෑ. ඔවුන්ට මේ ප්‍රවෘත්ති සාකච්ඡා හරියට ඉස්කොලෙ යන කාලේ ලියපු අසා ලිවීම වගේ. හැමෝම බලන්නේ කියන දේවල් අහගෙන ඔහේ ලියාගන්න. ඒවායේ ඇත්ත නැත්ත හොයන්න ඔවුන් උනන්දුත් නෑ. ඒ කතාත් ඒ තරම්ම පැටලිලිසහගතයි. හරියට පඹගාලක් වගේ. ඒ නිසා ඔය කියන කතා අසා සිටින සහ පුවත්පත්වල ප්‍රවෘත්ති සාකච්ඡා කියවන මිනිසුන්ගේත් ඔළුව අවුල් වෙනවා.

පත්තරකාරයොත් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කියපුවා අනෙක් පැත්තට ලියලා ඒකට නම දාගන්නවා. පහුවැනිදා ඒක පත්තරේ විස්තරේට කියවනවා. ඔය විදියට මාස දෙක තුනක් ප්‍රවෘත්තියයි නමයි කියවෙද්දි මෑන්ස් ප්‍රසිද්ධ මාධ්‍යකාරයෙක් වෙනවා. ඇත්තටම බැලුවා නම ගිය අපරාධකරුවක් වෙනවාට වඩා පහසුවෙන් මේ විදියට නම ගිය මාධ්‍යකරුවක් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නම හැදුණු ගමන් තවදුරටත් හැදෑරීම් නෑ.(දැන්නම් ගොඩක් දුරට හැදෑරීම් ඇත්තෙම නෑ) වැදෑරීමම තමයි තියෙන්නේ.

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑමේ පාපයට හසුව ඇති ප්‍රගීත්..


අන්න එහෙම ප්‍රවත්තෘ සාකච්ඡාවලින් නම හදාගත්ත කෙනෙක් තමයි පහුගිය දවසක ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවකදි ඩිලාන් පෙරේරත් එක්ක සෙට් වෙලා ප්‍රගීත් එක්නැලිගොඩ කවුද කියලා ඇහුවේ. මොකද අවුරුදු තිහක් මාධ්‍යකරුවක් විදියට වැඩ කළාට මෑන්ස් හිතන් ඉන්නෙ ජර්නලිස්ම් කියන්නේ අසාලිවීම වගේ වැඩක් කියලා. අනේ එහෙම බැලුවාම ලෝකයේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පවා අපේ රටේ හිටියා නම් අබ සරණයි. මොකද අපේ ඈයොම පහුවැනිදා උන් මාධ්‍යවේදියොද කියලා අහන නිසා. හොඳ වෙලාවට අපේ රටේ එහෙම අය අඩුයි. ( ටික දෙනෙක් ඉන්නවා..හැබැයි ජනප්‍රකට නෑ..) ඒ නිසා ප්‍රෙස් කෝන් ගිහින් පොප් කෝන් කනවා වගේ නිව්ස් එකක් ගහගෙන හවස ගෙදර යන එකයි තියෙන්නේ..


Thursday, 25 February 2016

මවුන්ට් එලිසබෙත් පන්නයේ මරණයක්...



වාමාංශික දේශපාලන පක්ෂවල සංවිධායකයෝ සිය සාමාජිකත්වය පුළුල් කරගැනීම සඳහා කරන බඳවාගැනීම්වලදී පංති පරතරය පෙන්වාදෙන්නට අපූරු උපහැරණයක් භාවිත කරති. ඒ ජීවිතවල වටිනාකම මූල්‍යමය වටිනාකමක් දක්වා ඌනණය කෙරන අවස්ථාවක් වන සෞඛ්‍ය සේවා ප්‍රශ්නයයි. ඒ අනුව ධනපතියා පුංචිම කැසිල්ලකට පවා ලොව හොඳම රෝහල්වල සුවය සොයද්දී පීඩිතයෝ සිය මාරාන්තික රෝග හමුවේ වුවද රජයේ රෝහල්වල පෝලිම් ගැසී බෙහෙත් ටික ගැනීමට බලා සිටිති. එලොව යනවාද මෙලොව ඉන්නවාද යන්න තීරණය කෙරෙන ශල්‍යකර්මවලට වුවද ජීවිත අවදානමත් දරාගෙන පොරොත්තු ලේඛනවලම ලැග සිටිති. ඉතින් මේ ක්‍රමය සාධාරණදැයි අසද්දී මිනිස්සු නිරුත්තර වෙති. එහෙත් එසේ ධර්මය වදාළ වාමාංශික ප්‍රචාරක ලේකම්වරුම පක්ෂය පමණක් නොව පංතියත් මාරුකරගෙන සුළු හිස රුජාවටත් ගුවන්ගතව හොඳම රෝහල්වල සේවය සොයද්දී පීඩිත පංතියම අන්දුන් කුන්දුන්ය. ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව, ධනපති තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. පාරිභෝගිකවාදයේ පතුළටම වැටුණු කලත් උන් වළිකන්නේ ලෙනින්ගේ ඇගේම එල්ලෙන්නටය. එහෙත් එය කෙතරම් විසිළුසහගතදැයි කිවහොත් අන්තිමේදී උන්දෑලාගේ මේ  බිරින්ඳෑලාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී මේ ලෝකයෙත් නැති ලෙඩ හැදී සයනාසනාරූඩවන්නට සොයන්නේත් සුපිරි පහසුකම් සපිරි පෞද්ගලික රෝහල්මය.

මේ රාජකීය සැකසුම ඇතිහැකි ඔබ වෙනුවෙන්මයි..

සෞඛ්‍ය සේවය හා දේශපාලනය ගැන මෙහෙම කියන්න හිතුණේ මවුන්ට් එලිසබෙත් රෝහල නිසාය. හරියටම කිව්වොත් ඊටත් වඩා මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා නිසාය. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුලත් කිරීම දේශපාලන පුවතක් බවට පත්වීම හා ඒ අනුසාරයෙන් ඇති වූ කතා නිසාය.රාජපක්ෂ ආණ්ඩු පෙරලියේ කතෘවරයකු වූ රාජිත මේ ඇතුලත් වී සිටින මවුන්ට් එලිසබෙත් රෝහල යනු සෝභිත හිමියන් ද අවසන් වරට ප්‍රතිකාර ලැබූ තැනය. අනෙක් අතට පසුගිය කාලය පුරා දේව කන්නලව්වලට වැඩි බරක් තැබූ ඒකාබද්ධ විපක්ෂය හාස්කමක් වන තුරු බලා සිටී. මේ සිදුවීම් හා පොල් ගැසීම් අතර තාර්කික ප්‍රතිපල ප්‍රබන්ධයෝ සුළං වේගයෙන් හමා යති. ඒ හමායාමේ කුරිරු ප්‍රීතිය කොතෙක්දැයි කිවහොත් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැඩි සේ ඇලුම් කරන මා හඳුනන ස්ත්‍රියක මේ දිනවල සිටින්නී රාජිත සේනාරත්නගේ දේශපාලන ජීවිතයට සෝභිත හිමි මාදිලියේ අවසානයක් අපේක්ෂා කරන උදෙ‍ේ‍යා්ගයකිනි. අනෙක් අතට ඇය දිගින් දිගටම ප්‍රශ්න කරන්නී සෞඛ්‍ය ඇමැතිට මේ තරම් රට සැප කුමටදැයි කියාය.


 මේ නිසා මේ සෞඛ්‍ය ඇමැතිවරයා ලියුම්කරුට කී දෙයක් සිහියට නැගේ.
ඔයා දන්නවද තාත්තා මට රාජිත කියලා දැම්මේ ඇයි කියලා.. ඇමැතිවරයාගේ පැනයට හිස වැනූවෙන් ඔහු එය පැහැදිලි කළේ මෙසේය. රාජිත කියන්නෙ පරාජය කළ නොහැකි කියන කියන එක.. .. ඒ ඔහු තම බල දේශපාලනයට සංඥා නාමයත් භාවිත කරන හැටිය. 

මේ සැප මවුන්ට් එලිසබෙත්හිම මිස ...


දැන් ඉහත පළමුව කී අතීත වාමාංශික ප්‍රචාරක ලේකම්වරයාත් මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ භෞතික අවසානයක් යදින දේශපාලන යාදිනියත් අතර සම්බන්ධ කර කතාවේ අවසානයට යා හැකිය. දේශපාලනය තුළ රාජිත නොව බණ්ඩාරනායක, රාජපක්ෂ, ජයවර්ධන ආදී සංඥා නාමයන්ට ඊටත් වඩා අළෙවි වටිනාකමක් තිබේ. දේශපාලනය වැඩවසම් වන තරම අනුව එය තවත් තීව්‍ර වෙයි. එහෙත් භෞතික ශරීර රෝගාතුර වූ කළ ඒ බොහෝ දෙනාගේ වටිනාකම තීරණය වන්නේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව මතය. මාරාන්තික අවස්ථාවකදී සංඥා නාම අළෙවිකරන්නන්ගේ පමණක් නොව පොල් ගසන කල්ලිවල ද ගැලවුම්කාර දෙවියා උසස්ම වෛද්‍ය සේවය වන්නේ එහෙයිනි. සැබැවින්ම තීරණාත්මක අවස්ථාවලදී මරණය පරාජය කළහැක්කේ විද්‍යා තාක්ෂණයේ මහිමයෙන් මිස සංඥා නාමවලින් නොවේ. මේ නිසාම දුප්පත්කමේ සාපය නිසා උසස් වෛද්‍ය සැපයුම් නොමැතිකමින් මරණය හමුවේ පරාජය වන රාජිතලා මේ රටේ කොතෙකුත් වෙති. සාප කරන්නන් ද උදම් අනන්නන් ද ආමන්ත්‍රණය නොකරන, කතා නොකරන යථාර්ථය එයයි.


ජීවිතය ඕනෙම ද? 


ඇති හැකි අය මවුන්ට් එලිසබෙත් ගියාට අපේ නම් අහිතක් නැත. එහෙත් රටේ සෞඛ්‍ය ඇමැතිවරයා සුළු යැයි කියන සැත්කමකටත් සිංගප්පූරුවට යන විට එහි නොකියන කතාව වන්නේ මේ රටේ සෞඛ්‍ය සේවයේ තත්ත්වයයි. එනිසා අප වද වෙන්නේ වේදනා නාශක පෙත්තක්වත් වෛද්‍යවරයකුවත් නැතිව පරාජය වන මේ රටේ ජීවිත ගැනය. අනෙක් අතට ජීවිතවල අවසානය යදිමින් දේශපාලන පරිවර්තන සිදුවන තුරු මාන බලන වැඩවසම් යාදිනියන්ට සිහිකළයුත්තක් ද වේ. ඒ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් කළ හැකි මුදල ලක්ෂ තුනහමාර දක්වා වැඩි කරන ලෙස වූ යෝජනා ගෙනආවේ පහුගිය පාලන සමයේදීම වන බවය. අවසන මේ කිසිවෙකුගේ හව්හරණක් නැත්තේ මහජන නියෝජිතයන් උජාරුවන් කියන ජනවරම ප්‍රදානය කරන මහජනයාටය. ඒ අතින් නම් විපක්ෂත් ආණ්ඩුත් මැද්දේ ඔවුන් තාමත් පරාජිතය. 

එවිට අර පැරැණි වාමාංශික ප්‍රචාරක ලේකම්ලා නොකියන කෑල්ල එලියට එයි. ඒ මෙසේය. ‘‘ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. ඒ වගේම මම ධනවාදයවත් ධනපති විද්‍යා තාක්ෂණයවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ...“