Wednesday, 11 November 2015

මාරපන මාධ්‍ය හමුවෙන් ආණ්ඩුවේ රෙදි යළි ගලවයි..

කට හින්දා නැහිල්ල

තිලක් මාරපන මහතා කියන්නේ ඉල්ලා අස්වීමට තමා ස්වාධීනව තීරණය කළ බවයි. එහෙත් අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් පිරිසකට පවසාතිබුණේ ගත යුතු හොඳම සහ සෘජුම තීරණය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම බව තමා මාරපනට පෙන්වාදුන් බවයි. ඒ අනුව මාරපන ඇත්තටම අස්වුණේ හදවත කී නිසාද අගමැති කී නිසාද යන්න පැහැදිලි නැත.

ඇත්තටම මාරපන තම ඉල්ලා අස්වීමෙන් හා ඉන්පසුව පැවැත් වූ මාධ්‍ය හමුවෙන් රෙදි ගලවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේය. ඔහු නොකියා කියන්නේ එය වැරැදි වෙලාවක දුන් වැරැදි ඇමැතිකමක් බවය. පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට නීතී උපදෙස් දුන් බව මාරපන කියයි. ඒ ගැන නීතිපතිවරයා පරීක්ෂණ අවසන් කර තීරණයක් දුන්නේ ජුනිවල බවත් තමා ඇමැති පදවියට පත්වුණේ සැප්තැම්බර්වල බවත් ඔහු කියයි. එහෙත් මාරපන අවසන් කළා යැයි කියන පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වූ බව රටම දනී. ආණ්ඩුවේ ප්‍රබල යැයි කියන දේශපාලකයන් විටින් විට කළ උදාරම් කතාවලින් වුවද එය පැහැදිලිය. මාරපනගේ කතාව ඇත්ත නම් අනෙක් සියලු ඇමැතිවරුන් කළ කතා බොරු විය යුතුය. කැබිනට් මාධ්‍ය හමුවලට අර්ථයක් නැති විය යුතුය.

ඉතාම වැදගත් කාරණය වන්නේ ඇවන්ගාඩ් ගැන එවන් පරීක්ෂණ දියත් මොහොතක ඇවන්ගාඩ් හිමිකරුගේ නීති උපදේශක වැඩේ කළ තැනැත්තාටම ඇවන්ගාඩ් පරීක්ෂණවලට අදාළ අමාත්‍යංශය පිරිනැමීමයි. එය කරන්නේ වෙන කවුරුවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය.

ඇමැතිකම දුන්නේ ඇයි?


මාධ්‍ය හමුවේදී ඇමැති මාරපන කළ තවත් බරපතල ප්‍රකාශ දෙකක් වේ. ඒවා නම් මෙසේය.

1)″මා ජනාධිපතිතුමාට අද උදේ කිව්වා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා ලෙසත් දැන්වුවා...″

2)ප්‍රශ්නය- නමුත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියල තිබුණා ඔබේ මතය රජයේ මතය නෙවෙයි කියලා?
  පිළිතුර- ඒක ඉතින් එතුමාගේ මතය..

පළමු ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු මාධ්‍ය හමුවේදී පැවසුවේ පොලිසිය බාර ඇමැතිකමේ තමා සිටියදී එම විමර්ශන තවදුරටත් කරගෙන යෑමට බාධා වේ යැයි යන සැකය නිසා අස්වීමට තීරණය කළ බවයි. එහෙත් ඒ කටින්ම ඔහු නැවත පවසන්නේ ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කරගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා හැටියට ජනාධිපතිවරයාට දැන් වූ බවයි. ඉතින් මාරපන මේ කරන්නේ කුමක්ද? විමර්ශනවලට බාධා වේ යැයි යන සැකය නිසාම අස්වුණා යැයි කියන මාරපන ඇවන්ගාඩ් ප්‍රශ්නය සමථයකට පත්කරගන්නා හැටියට ජනාධිපතිට නොකියා කියයි. යෝජනා කරයි. මේ ප්‍රකාශයෙන් ඔහු කරන්නේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවක් කිරීම නොවේද?

රාජිත කැබිනට් ප්‍රකාශක නෙවෙයිද?


දෙවැනි ප්‍රකාශය මඟින් මාරපන කෙලින්ම අභියෝග කරන්නේ ආණ්ඩුවේ මතයටය. මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රජයේ මතය නොවන බව කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. එහෙත් රාජිතගේ ප්‍රකාශය ගැන මාරපන කියන්නේ එය රාජිතගේ මතය බවය. ඒ කියන්නේ ආණ්ඩුවේ මතය නොවන බව නොවේද? මෙමගින් නැවත ආණ්ඩුව ජනතාවට කිවයුත්තේ ඇවන්ගාඩ් ගැන ආණ්ඩුවේ මතය කුමක්ද යන්නයි. තවද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම්දෙන රාජිත සේනාරත්න කරන්නේ තමන්ගේ මතය දැක්වීම යැයි මාරපන කියන්නේ නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවල ඇති අර්ථය කුමක්ද?


දැන හෝ නොදැන මෙම මාධ්‍ය හමුවේදී ද ඇමැතිවරයා කළ පුදුමය දනවන ප්‍රකාශ මඟින් අවසන සිදුකර ඇත්තේ ආණ්ඩුව වට දෙකකින් අමාරුවේ දැමීමය. දැන් මේ ගැන රටට ඇත්ත කිවයුත්තේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.

Friday, 6 November 2015

යහපාලනේ මල් පුප්පන මාර පන ලා....

නායකයිනි එන්න..මල් පිපීදැයි බලන්න..


තිලක් මාරපන යන නම ඇසුණු කලම දැන් රටේ ජනතාවට දැනෙන්නේ දළඹුවෙකු ඇඟේ ගෑවුණා වැනි හැඟීමකි. ඊට හේතුව නම් පසුගිය 4 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ නින්දනීය කතාවයි. රටක් කැළඹූ ඇවන්ට්ගාඩ් සිදුවීමේදී ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව කිසිදු හිරිකිතයක් නැතිව රටට කී තිලක් මාරපන යනු කවුද? ඒ මේ රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාය. රටක් කැළඹූ සිදුවීමක සැකකාර පාර්ශ්වය වෙනුවෙන් රටේ කැබිනට් ඇමැතිවරයකු පෙනීසිටිද්දී ඒ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටය.

රාජපක්ෂ පාලන සමයේදී පවා තිලක් මාරපනලා සම්බන්ධයෙන් රටේ පැතිර ගිය  පුවත් වූ කලී යහපත් ඒවා නොවේ. ඔහු ඊට පෙර පැවැති එජාප පාලන සමයන්හි දැරූ ඇමැතිකමුත් නීතිය විෂයෙහි දැරූ තනතුරුත් හැරුණුකොට පැවැති පාලනය පෙරලීමේ දේශපාලන පරිවර්තනයෙහි කිසිදු කර්තෘත්වයකට ගෞරවයක් හිමි විය යුත්තෙක් නොවේ. මෙවර යහපාලන ආණ්ඩුවේ වුවද ඔහුට ඇමැතිධුරයක් හිමිවන්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ලිමේන්තු ගමන නිසා මිස ජනතා ඡන්දයකින් ලැබූ ජයක් නිසා නොවේ. 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් නීතිපතිකමට සමු දී ගෙදර ගිය තිලක් මාරපන පළමු වරට පාර්ලිමේන්තු ආවේ 2001 දීය. ඒය ද ජාතික ලැයිස්තුවෙනි. එහෙත් ආරක්ෂක හා ප්‍රවාහන වැනි බාරදූර ඇමැතිකම් ඔහුට පැවැරිනි. මහින්ද රාජපක්ෂගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින ගාමිණි මාරපන යනු තිලක්ගේ සොයුරාය. තිලක් මාරපනගේ පුත්තු දෙදෙනා ද නීතිඥයෝය.

පාර්ලිමේන්තුව උසාවියක් කළ මාර පන..

බැලූවිට නම් මාරපන පවුලම නීතියේ සාරයම උකහාගත් පරම්පරාවක් මෙනි. එහෙත් ඒ සාරය යළි ප්‍රතිනිෂ්පාදනය වන්නේ ජාතික දේහයේ සාරය උරාබොන්නට නම් ඒ නීති දැනුමෙන් රටට පලක් නැත. එයින් අත්වන්නේ විනාශයක් පමණි. සැබැවින්ම මාරපන පාර්ලිමේන්තුවේදී කළ කතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුලකුරු දන්නා ඕනෑම අයෙකු සලිත කරන මට්ටමේ එකකි. පොලිසිය බාර මාර පන ඇමැති ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව ලැජ්ජා නැතිව කීමෙන් නොනැවැතී සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කලිසම් ද ගැලෙව්වේය. ඒ ඇවන්ට්ගාඩ් යනු මිලේනියම් සිටි බඳු ආණ්ඩු මාරුවකදී පොලිසිය ලකුණු දා ගන්නට කළ වැඩක් බව කියමිනි. අන්තිමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාට සිදුවුණේ ඔය ඇමැතිකම ළමයෙකුට දෙන්න යැයි කියන්නටය. මන්දයත් ඇමැතිගේ අමුතු කතාව ඒ තරම්ම ආණ්ඩුවක් පවා සසල කරවන වගකීම්විරහිත කතාවක් වීම නිසාය.

ඒ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවත් අතර වෙනස කුමක් ද?


ඇත්තටම වුණේ මේකය. මාරපනලාට පාර්ලිමේන්තුව අදාළ නැත. මාරපනලා කීයක් හරි හොයාගන්නේ නීති දැනුම උකස් කරලාය. මාර පනට පාර්ලිමේන්තුව පෙනුණේ උසාවිය වගේය. කතානායක පෙනුණේ මහේස්ත්‍රාත්වරයා වගේය. ඉතින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ විපක්ෂය නියෝජනය කරන්නේ රටේ ජනතාව බව මාරපනට මතක නැතුව ගියේය. තමා රටේ ජනතාවට වගකියන්නට බැඳී සිටින බව මාරපනට මතක නැතිව ගියේය. ඒ අස්සේ බළලා මල්ලෙන් එලියටත් පැන්නේය. ඇවන්ට්ගාඩ් සිදුවීමේ වගකීම්විරහිත ඇමැති කෙරුවාව දැන් මුළු රටම දැනගෙන හමාරය. ඇත්තවශයෙන්ම මාරපනගේ මේ නිහීන වැඩය ඔහුට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව වුව දෝෂාභියෝගයක් ගෙනඒමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

රටම ගිනිපත්තු කර පැවැති පාලනයට මිනීපෙට්ටියේ අවසන් ඇණ ගසන්නට යහපාලකයන් භාවිත කළ සටන් පාඨ යට ගොසිනි. ඒ වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ භීෂණකාරී පාලන සමයේ ඔළුව දෙපරැන්දෙ ගසාගෙන අපේ මොකෝ අපට මොකෝ තියරියට සිටි අවස්ථාවාදී දේශපාලන රැලක් ව්‍යාපාරිකයන් ලෙසින් කැබිනට් මණ්ඩලයේ ලැග සිටිනා අරුම පුදුම පාලනයකි. මේ ආණ්ඩුවේම ඇමැතිහොරු පෙන්නන සොහොන් ලකුණු අනුව ආණ්ඩුවට වැඩි ආයුෂක් ඇතැයි කෙසේ සිතන්නද?

(සැ-යු-විජයදාස රාජපක්ෂ යනු මාටින් වික්‍රමසිංහගෙන් පසු මෙලක බිහි වූ මහා ප්‍රාඥයා බැවින් ඔහු ගැන වෙනම ලිවිය යුතුය)

Thursday, 8 October 2015

බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...

බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...: ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේ...

ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නිහඬ ඇයි?



ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේශපාලන පලිගැනීම්වලින් තොරව ස්වයං නියාමනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා පත්තර ලෝකය හිතුවා. එහෙම හිතලා පුවත්පත් හිමිකරුවන්, ජනමාධ්‍ය සංවිධාන හා කර්තෘ සංසදය යන පාර්ශ්ව තුන එකතු වෙලා ආයතනයක් පිහිටුවාගත්තා. ඒක තමයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනSri Lanka Press Institute ය. 



ඒ යටතේ පිහිටුවපු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙන් පත්තර වාර්තා සම්බන්ධ පැමිණිලි බාරගනිමින් සමථ මණ්ඩලයක් විදියට කටයුතු කළා. ඒ යටතේ පිහිටුව
පු අනෙක් ආයතනය වූ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් මේ රටට ජනමාධ්‍ය සිසුන් රැසක්ම දායාද කළා. ඒ කාලේ, ඒ කියන්නේ 2002 යූ.එන්.පී ආණ්ඩුව කාලේ ආණ්ඩුව පවා මේකට දුන්නේ ෆුල් සපෝට් එකක්.

2013 ජුනි 05 වැනිදා එවකට යූ.එන්.පී පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පුවත්පත් මණ්ඩල යෝජනා පනත් විවාදයට සහභාගී වෙමින් ඒ ගැන කිව්වෙ මෙන්න මෙහෙම.

‘‘නිදහස් ස්වාධීන මාධ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් 2002 දී එක්සත් ජාතික පෙරමුණ රජය ක‍්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුයි. එදා මාධ්‍ය ස්වාධීනත්වය, ගෞරවය ලබාදීම වෙනුවෙන් අපි කැප වුණා.  අපි කතෘ සංසඳය සමඟ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ, වෘත්තිය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය සමඟ පුවත්පත් ප‍්‍රකාශකයින්ගේ සංගමය සමඟ හා සිවිල් සමාජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ උපදේශ ලබා ගත්තා. ඒ අනුව පුවත්පත් ආයතනය (press institute) ස්ථාපිත කළා. එමෙන්ම ඒ තුළින් මාධ්‍යවේදීන්ට පුහුණුව ලබාදීම මෙන්ම පාඨකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ අයිතීන් රැකදීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසමත් ගොඩනැඟු‍වා. මේ තුළින් ස්වේච්ඡාවෙන් ස්වයං නියාමනයක් මඟින් ගැටළු විසඳා ගත හැකියි. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ලක්ෂණයි . මෙම දේවල් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම වෙනුවට මේ ආණ්ඩුව කළේ, කරමින් සිටින්නේ කුමක් ද?.“

එදා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය අද කතානායක වෙලා. ඒ වගේම  එදා පුවත්පත් මණ්ඩලයට පක්ෂව හඬ නැගූ හා විපක්ෂ මත දැරූ ප්‍රධාන පක්ෂ දෙක එක්ව හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබෙනවා. ඒත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මරාගෙන මැරෙන සටනක් දුන් යූ.එන්.පීය එක අද වැඩි සද්දයක් නැතුව ආණ්ඩුවේ ඇමැතිකම් දරන් ඉන්නවා.

මේ සියල්ල අතරේ ආණ්ඩුවේ උපදේශකයන්ගේ අනුශාසනා මැද පුවත්පත් මණ්ඩලය බලාත්මක කිරීම ගැන සම්මන්ත්‍රණ සංවිධානය වෙමින් තිබෙනවා. එවකට විපක්ෂයේ සිටි එජාපය ඇතුළු සිවිල් සමාජ බලවේග සමඟ සටන් කළ ඇතැම් මාධ්‍යවේදීන් අද ඉන්නේ ආණ්ඩුවේ ලොකු පුටු හොබවමින්. පුවත්පත් මණ්ඩලය එපෝ යැයි කියමින් තොරතුරු දැනගැනීමේ අයිතිය දියාාාව් යැයි රාජපක්ෂ ආණ්ඩුවට බල කළ මේ උදවියගේ සටන්කාමී ප්‍රවේශය අද අපිට දකින්න නෑ. 





මේ ආණ්ඩුවේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි  කිසිදු කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තිය දැනගැනීමට අපහසු වීම. මොකද පක්ෂ දෙකක ප්‍රතිපත්ති(ප්‍රතිපත්ති ද හුදු කතා ද?) මඟින් පුරුද්දනු ලැබෙන බැවින් බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය දෙමුහුන් වී තිබෙන හින්දා. එහෙම බැලුවාම පුවත්පත් මණ්ඩලයට එරෙහි වෙමින් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ අතීත සගයන්ගේ මතයත් හයිබ්‍රිඩ් වෙලාද කියලා ජනමාධ්‍ය සමාජයට සිතීම තාර්කිකයි නේද?

Monday, 10 August 2015

තරුණ ජනමාධ්‍යකාරයන් රතුපස්වලට ගියේ ඇයි?


උසස් පෙළ විභාගය ලියන්නට සිහින දකිමින් සිටි තරුණ ජීවිත දෙකක් ද බිලිගනිමින් රතුපස්වල සිදු වූ මනුෂ්‍ය ඝාතනයට දැන් වසර දෙකකි. කටුනායක, හලාවත මෙන්ම රතුපස්වල ද හුුදු මරණයේ ද්වාරයක සංකේතයක් පමණක් වෙමින් බොහෝ සිත්වලින් මැකීයමින් තිබේ. එහෙත් සැබෑවටම රටට සැබෑ වෙනසක් වී ඇත්නම් මේ ම්ලෙච්ඡු සිදුවීම් පිළිබ`දව සොයාබලන්නට තරම් මේ සමාජය ශිෂ්ටසම්පන්න විය යුතු නොවේද? ජනවාරි 8 වෙනස කරන්නට පැමිණි දේශපාලකයන්ගේ එක් සටන් පාඨයක් වූයේ රතුපස්වලයි. ජය පතා කළ දේශපාලන ප‍්‍රචාරණයේදී දැන්වීම් හැටියට විකිනුණේ රතුපස්වල ජනයාගේ රුධිරයයි. ඒ නිසා විකිණූ රුධිරයටවත් මිලක් ගෙවීමට පාලකයන් ශිෂ්ටසම්පන්න විය යුතුය. නැතිනම් එකී සාධාරණය වෙනුවෙන් අරගල කරන තැනකට හෝ පොදුජනයා තල්ලු විය යුතුය.

සාධාරණය පතා අරගල කරන තැනකට පොදුජනයා තල්ලු විය යුතු යැයි අප කීවද එය ඒ තරම්ම පහසු කටයුත්තක් ද? නැත. එසේනම් ඊට හේතු කිම? 



පසුගිය කාලය පුරාවටම ජලය, නිවාස, අධ්‍යාපනය, රැුකියා ආදී මූලික අවශ්‍යතා මුල්කරගනිමින් රටේ තැනින් නැත නැගුණු ජනවිරෝධයන් අපට සුලභව දැකගත හැකි විය. එහෙත් ඒවා බොහෝමයක් අවසන් වූයේ අවසන් විසදුමක් නොමැතිවය. විපරම්කාරී ලෙස සොයා බැලුවහොත් ඒ පසුපස ඇත්තේ නින්දනීය බල දේශපාලනය බව අපට පහසුවෙන් සොයාගත හැකිය. සිය ඡුන්දයෙන් පත්කෙරෙන නියෝජිතයන් සිය අවශ්‍යතා ගැන සැළකිල්ලක් නොදක්වන කල්හි කළයුත්තේ කුමක්දැයි පසුගිය කාලයේදී මේ රටේ ජනයාට තේරුම් ගියේය. එහෙත් අවාසනාවකට අවංක හැ`ගීමෙන් යුතුව රොද බැෙ`දන ජනයාගේ හිසේ නැග සිය බල දේශපාලන ව්‍යාපෘති දියත් කරගැනීමේ නින්දනීය දේශපාලනයක දේශපාලන පක්ෂ ද නිරත විය. ජනමාධ්‍ය හමුවේ දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කරගැනීමේ ලාබ දේශපාලනයක නිරත වූ ඇතැම් දේශපාලකයෝ රතුපස්වල ද එවැනිම රසමසවුලක් කරගත්හ. ප‍්‍රතිපලය වූයේ ජනමාධ්‍යට වෙනත් කාරණා රස මසවුලක් වෙද්දී ජනතා සේවකයෝ ද රතුපස්වලින් ඈත්මෑත් වීමය. ජනතා සේවකයන්ගෙන් ඈත් මෑත් වූ රතුපස්වල ජනයාට තමා හිසට තම අතමය යන පණිවුඩය ගෙන එහි යන්නට තරුණ ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.



රතුපස්වල සංහාරයට වසර දෙකක් ගතවෙන තැන රතුපස්වල ගම්වැසියන් සමග අප සිටගත්තේ අරමුණු රැුසක් පෙරදැරි කරගෙනය. ජනමාධ්‍යවේදියාගේ පළමු ආරක්ෂකයා ජනසමාජයයි. ජනමාධ්‍යවේදියාට ජනමාධ්‍ය නිදහස ලැබෙන්නේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති නිදහස නමැති මූලාශ‍්‍රයෙනි. එහෙත් අවාසනාවකට මේ මූලික සංකල්පීය කාරණා පවා අද වනවිට ජනමාධ්‍ය සමාජයෙහි බොහෝ පැණසර යැයි කියන පුද්ගලයෝ පවා නොදනිති. මේ නිසාම ජනමාධ්‍යකරණයට පිවිසෙන නවකයෝ ද ජනමාධ්‍ය යනු රටේ පාලකයන් සමග හිටගෙන කරන දෙයක් හැටියට වැරැුදි පූර්වාදර්ශයන්හි පිහිටා කටයුතු කරති. රතුපස්වල ජනයා සමග තරුණ ජනමාධ්‍යවේදීන් සිටගැනීමේ මුඛ්‍ය අරමුණක් ගැටගැසෙන්නේ මෙම ප‍්‍රතිසංස්කරණමය වුවමනාව සමගින් යැයි කීවොත් එහි වරදක් නැත. ඒ අනුව රටේ දේශපාලන තිරය පසුපස සිදුවන බොහෝ දෑ විනිවිද දකින්නන් හැටියට තමන්ට තම වෘත්තියට නිදහස සම්පාදනය කරන පොදුජනයාට අත්වැලක් විය හැකි මගක් අපි සොයමින් සිටිමු. රතුපස්වල යනු එකී සමාජ සාධාරණත්වයක් සදහා වූ සටනේ බිහිදොර ය. ගමන ඇත්තේ බිහිදොරින් ඉක්බිතිය. ඉතින් ඒ ගමන සිතන තරම් සුන්දර යැයි අපි නොසිතමු. එහෙත් පොදු ජනයා සමග ඒකාබද්ධ වූ එකී ප‍්‍රතිසංස්කරණාත්මක අලුත් ගමන ජීවයෙන් පිරුණු එකක් වනු ඇති බව නම් නිරනුමානය. ඉතින් අපි රතුපස්වලට සාධාරණයක් ඉටුකරමින් ඊට ප‍්‍රාණය පිඹිමු. 



(තරුණ ජනමාධ්‍යකාරයන් රතුපස්වලට ගියේ කවර අරමුණකින්දැයි එක්වරම අප ගැන නොදන්නා කෙනෙකුට පැනයක් මතුවෙන්නට පුළුවන. මේ අප ගැන වූ කෙටි හැදින්වීම ඒ සහෝදරත්වයටයි.. 
තරුණ ජනමාධ්‍යකාරයන් කියන්නේ කවුද?





Wednesday, 10 June 2015

මොකද්ද බොල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ?




සුදුසුකම් නැතුව ඉතාම පහසුවෙන්න කරන්න පුළුවන් රස්සා දෙකක් තියෙනවා කියලයි රටේ ප‍්‍රසිද්ධ. එකක් දේශපාලනය. අනෙක ජනමාධ්‍ය. ඒක එහෙමමද කියලා හොයනවට වඩා යම් පමණෙකින් හෝ එය ඇත්ත නම් ඒකට උත්තරයක් හොයන්න අපිට  ඕන වුණා. ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිවෙන්නේ ඒ අනුවයි. ඒ සමග බැඳුණු තවත් හේතු ගණනාවක් තිබුණත් මම කිව්ව කාරණය මූලික හේතුවක් වුණා. ඒකයි ඒ ගැන මෙතැන ලිව්වේ.



ඇත්තටම තමන් වැඩ කරන ක්‍ෂෙත‍්‍රය හැර අනෙක් සියලු ක්‍ෂෙත‍්‍රයන්හි දොස් දකින්න නුගුණ කියන්න දක්ෂයන් බහුතරයක් ඉන්න රටක් මේක. විශේෂයෙන්ම මේ සියලු විපත්ති කරදර වෙන්නෙ තමන් හැර සෙසු සමාජය නිසාය යන ආකල්පය අපේ ඇගපත පුරාම මුල්බැහැගෙන තියෙන්නෙ. හැබැයි හැම දෙනාම අවංකවම හිතලා තම තමන්ගෙ ක්‍ෂෙත‍්‍රවල අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ සඳහා පෙනී ඉන්නවා නම් දේශපාලකයටම සියල්ල පවරන්න  ඕන නෑ.. 

තීරණාත්මක කාලපරිච්ඡෙදවල බිහිවෙලා ඉදිරියට ඇවිත් කිසියම් කාර්යභාරයක් කරපු ජනමාධ්‍ය සංවිධාන කීපයක්ම මේ රටේ තිබෙනවා. ඒත් ඒ බොහෝ සංවිධානවල සැකැස්ම ගත්තොත් ඒවා පරණ වෙලා. ඒ වගේම ඒවායේ නියෝජනයත් පරණ වෙලා. තරුණ පිරිස ඒ වටා රොඳ බැඳගන්නෙ නැති තරම්. සමස්ත සමාජය පුරාවට පැතිරිලා තිබුණු අවිශ්වාසය ජනමාධ්‍ය සංවිධාන කෙරෙහිත් එල්ල වෙලා. ඒ කවර සීමාසහිතකම් තිබුණත් එකී සංවිධානවලිනුත් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට සැළකිය යුතු වටිනාකම් හා ඇගයීම් රාශියක්ම එකතු වුණා. 



දැන් අපි ගැන කතා කරනවා නම් අපේ ඉලක්කය අපේ ක්‍ෂෙත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරගැනීමයි. කෙටියෙන් කිව්වොත් රෙද්දක් ඇදගෙන රස්සාව කරන්න පුළුවන් තත්ත්වයට ඒකට කිසියම් හෝ පරිවර්තනයක් අත්පත් කරගැනීමයි. ඒක මෙහෙම මියනවා වගේ පහසු ක‍්‍රියාවලියක් නෙවෙයි. වැඩසටහන් හතර පහකින් ළගා විය හැකි ඉලක්කයකුත් නෙවෙයි. දුරදර්ශීව හිතලා අවංකව කැප වෙලා කළ යුතු බුද්ධිමය ගනුදෙනුවක ප‍්‍රතිපලයක්. ඇත්තටම පුළුල් හා ගැඹුරු වැඩක්. 

එතැනදි අපිට උදවු  ඕනෑ සමාජ කොටස් රාශියක්ම සිටිනවා. විශේෂයෙන්ම පොදු සමාජය. අපිට හරිම වැදගත්. මොකද පොදු සමාජයේ කොටසක් ලෙස තමයි අපිත් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අවංක විවේචනය වැදගත්. සංවිධානයක් හැටියට ඒ විවේචනයට දොරගුළු අපි විවරකරලයි තිබෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පොදු සමාජ අගතීන්ගෙන් ව්‍යාධීන්ගෙන් රෝග පීඩාදියෙන් පෙලෙන ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට බෙහෙත් කරන්න තමයි මේ උත්සාහය. ඒ වෛද්‍ය භූමිකාවෙ එක කලාපයක් ඔබට බාරයි..

(මේ අපි අන්තිමට කළ වැඬේ)ඔන්න පාර..

මේක ගැඹුරු සාකච්චාවක්..දැනට ඒ ආරාධනාව කරන්නම්..අපි කරපු වැඩ හා අපේ දර්ශනය ගැන ඉදිරියේදී කතාකරමු..දැනට මේ සහෝදරත්වයේ ආරාධනාව බාරගන්න..

Monday, 8 June 2015

අස්ගිරි මහ නාහිමියන්ට මහින්ද බය වේවි ද?

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ ඇයි කියලා සවිස්තරාත්මකව නිවේදනයකින් කිව්වේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නෙ විශ්වාසභංගය ගේන අයවත් නෙවෙයි. ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර ගියපු හිටපු ජනාධිපති. පොඩ්ඩක් කලබල වුණා වැඩිද මංදා. මහින්ද මහත්තයාගෙ ඉක්මනට බළලා මල්ලෙන් එලියට පැන්නා. එතකොය විශ්වාසභංගෙ කාගෙ වැඩක්ද කියලා වැඩේ දැන් ක්ලියර්නෙ.

විශ්වාසභංගෙ අයිතිකාරයා...

ඒක එහෙමයි කියමුකෝ. මේ අතරේ රටේ මහනාහිමි කෙනෙකුත් තමන්ගේ නිල මතය රටට කියනවා. හැබැයි මහනාහිමියන් කියන්නේ තාම නිල බලේ ඉන්න කෙනෙක් මිස ගෙදර ගිය කෙනෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියෝ...

අත්ථදස්සි නාහිමියන් කියන කතාව

නාහිමියන්ගෙ කතාවට අනුව නම් දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. මෙහෙම වෙලාවක අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම තමන් අනුමත කරන්නේ නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා.

කුකුල් මස් සාදන ආකාරය කියන අතරේ වුණත් අපේ හාමුදුරුවනේ කියලා නිරායාසයෙන් කියවෙන්න තරම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වූ සිත් ඇති අපේ හිටපු ජනාධිපතිට ඔන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ගලගම අත්තදස්සි නාහිමියන්ගේ වදනට කීකරු වේවිද? ඕක තමයි බලන්න ඕනේ..

හැබැයි ඕක බලන්න ඕනේ මේ බෞද්ධ නඩේ පරණ කෙරුම්වලින්ම මිස කියන කතාවලින් නම් නෙවෙයි. සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ දාන්න එපාය කියලා ත්‍රෛනිකායික නාහිමිවරු නිවේදනයකින්ම කියලත් රාජපක්ෂ මහත්තයා වැඩ කරපු හැටි අපට අමතක නෑ..  දළදා මාළිගාව වටේ රේස් පදින්න දෙන්න එපාය කියලා මල්වතු අස්ගිරි නාහිමි දෙපළ කට කැඩෙනකන් කිව්වත් ජය සිරිමා බෝධියේ ඔළුව ගහගෙන පොටෝවලින් පත්තර පුරවපු මේ මහා බෞද්ධයා වැඩ කළ හැටි අපට අමතක නෑ.. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මතයක් දරපු නිසා මිහින්තලේ රාජමහා විහාරයට සළකපු සැලකිල්ල මිහින්තලේ මිනිස්සු දන්නවා. මේ විදියට කියන්න ගියොත් අපේ හාමුදුරුවනේ කිය කියා රඟන මේ නළු දේශපාලන බලවේගය අපේ හාමුදුරුවන්ට ඇට්ටි නෙවෙයි කුරුම්බැට්ටිත් හැලෙන්න සළකපු සැලකිල්ල රටම දන්නවා. 

අනේ ඉතින් දැන් මේ අස්ගිරි මහානාහිමියෝ දෙන පණිවුඩේ ආයෙත් අදාළ වෙන්නේ මේ ඊනියා බෞද්ධ නඩේටම තමයි. මොකද විශ්වාසභංගය ගෙනඑන හේතුව තතු ඇතිව පහදලා දීලා ඒකෙ නිල අයිතිකාරයා තමන් කියලා රාජපක්ෂ මහත්තයා රටටම කියලා තිබෙන නිසා.. ඔළුවක් තියෙනවා නම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නෑ කියලයි මහනාහිමියන් කියන්නේ..දැන් අපිට බලන්න පුළුවන් ඔළු තියෙන අය කවුද කියලා.. ඒ වගේම රාජපක්ෂ කල්ලිය සවන් යොමුකරන්නේ මොන පැත්තටද කියලයි.. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ද ගලගම අත්ථදස්සි නාහිමිට ද?