Wednesday, 10 June 2015

මොකද්ද බොල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ?




සුදුසුකම් නැතුව ඉතාම පහසුවෙන්න කරන්න පුළුවන් රස්සා දෙකක් තියෙනවා කියලයි රටේ ප‍්‍රසිද්ධ. එකක් දේශපාලනය. අනෙක ජනමාධ්‍ය. ඒක එහෙමමද කියලා හොයනවට වඩා යම් පමණෙකින් හෝ එය ඇත්ත නම් ඒකට උත්තරයක් හොයන්න අපිට  ඕන වුණා. ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිවෙන්නේ ඒ අනුවයි. ඒ සමග බැඳුණු තවත් හේතු ගණනාවක් තිබුණත් මම කිව්ව කාරණය මූලික හේතුවක් වුණා. ඒකයි ඒ ගැන මෙතැන ලිව්වේ.



ඇත්තටම තමන් වැඩ කරන ක්‍ෂෙත‍්‍රය හැර අනෙක් සියලු ක්‍ෂෙත‍්‍රයන්හි දොස් දකින්න නුගුණ කියන්න දක්ෂයන් බහුතරයක් ඉන්න රටක් මේක. විශේෂයෙන්ම මේ සියලු විපත්ති කරදර වෙන්නෙ තමන් හැර සෙසු සමාජය නිසාය යන ආකල්පය අපේ ඇගපත පුරාම මුල්බැහැගෙන තියෙන්නෙ. හැබැයි හැම දෙනාම අවංකවම හිතලා තම තමන්ගෙ ක්‍ෂෙත‍්‍රවල අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ සඳහා පෙනී ඉන්නවා නම් දේශපාලකයටම සියල්ල පවරන්න  ඕන නෑ.. 

තීරණාත්මක කාලපරිච්ඡෙදවල බිහිවෙලා ඉදිරියට ඇවිත් කිසියම් කාර්යභාරයක් කරපු ජනමාධ්‍ය සංවිධාන කීපයක්ම මේ රටේ තිබෙනවා. ඒත් ඒ බොහෝ සංවිධානවල සැකැස්ම ගත්තොත් ඒවා පරණ වෙලා. ඒ වගේම ඒවායේ නියෝජනයත් පරණ වෙලා. තරුණ පිරිස ඒ වටා රොඳ බැඳගන්නෙ නැති තරම්. සමස්ත සමාජය පුරාවට පැතිරිලා තිබුණු අවිශ්වාසය ජනමාධ්‍ය සංවිධාන කෙරෙහිත් එල්ල වෙලා. ඒ කවර සීමාසහිතකම් තිබුණත් එකී සංවිධානවලිනුත් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට සැළකිය යුතු වටිනාකම් හා ඇගයීම් රාශියක්ම එකතු වුණා. 



දැන් අපි ගැන කතා කරනවා නම් අපේ ඉලක්කය අපේ ක්‍ෂෙත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරගැනීමයි. කෙටියෙන් කිව්වොත් රෙද්දක් ඇදගෙන රස්සාව කරන්න පුළුවන් තත්ත්වයට ඒකට කිසියම් හෝ පරිවර්තනයක් අත්පත් කරගැනීමයි. ඒක මෙහෙම මියනවා වගේ පහසු ක‍්‍රියාවලියක් නෙවෙයි. වැඩසටහන් හතර පහකින් ළගා විය හැකි ඉලක්කයකුත් නෙවෙයි. දුරදර්ශීව හිතලා අවංකව කැප වෙලා කළ යුතු බුද්ධිමය ගනුදෙනුවක ප‍්‍රතිපලයක්. ඇත්තටම පුළුල් හා ගැඹුරු වැඩක්. 

එතැනදි අපිට උදවු  ඕනෑ සමාජ කොටස් රාශියක්ම සිටිනවා. විශේෂයෙන්ම පොදු සමාජය. අපිට හරිම වැදගත්. මොකද පොදු සමාජයේ කොටසක් ලෙස තමයි අපිත් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අවංක විවේචනය වැදගත්. සංවිධානයක් හැටියට ඒ විවේචනයට දොරගුළු අපි විවරකරලයි තිබෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පොදු සමාජ අගතීන්ගෙන් ව්‍යාධීන්ගෙන් රෝග පීඩාදියෙන් පෙලෙන ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට බෙහෙත් කරන්න තමයි මේ උත්සාහය. ඒ වෛද්‍ය භූමිකාවෙ එක කලාපයක් ඔබට බාරයි..

(මේ අපි අන්තිමට කළ වැඬේ)ඔන්න පාර..

මේක ගැඹුරු සාකච්චාවක්..දැනට ඒ ආරාධනාව කරන්නම්..අපි කරපු වැඩ හා අපේ දර්ශනය ගැන ඉදිරියේදී කතාකරමු..දැනට මේ සහෝදරත්වයේ ආරාධනාව බාරගන්න..

Monday, 8 June 2015

අස්ගිරි මහ නාහිමියන්ට මහින්ද බය වේවි ද?

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ ඇයි කියලා සවිස්තරාත්මකව නිවේදනයකින් කිව්වේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නෙ විශ්වාසභංගය ගේන අයවත් නෙවෙයි. ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර ගියපු හිටපු ජනාධිපති. පොඩ්ඩක් කලබල වුණා වැඩිද මංදා. මහින්ද මහත්තයාගෙ ඉක්මනට බළලා මල්ලෙන් එලියට පැන්නා. එතකොය විශ්වාසභංගෙ කාගෙ වැඩක්ද කියලා වැඩේ දැන් ක්ලියර්නෙ.

විශ්වාසභංගෙ අයිතිකාරයා...

ඒක එහෙමයි කියමුකෝ. මේ අතරේ රටේ මහනාහිමි කෙනෙකුත් තමන්ගේ නිල මතය රටට කියනවා. හැබැයි මහනාහිමියන් කියන්නේ තාම නිල බලේ ඉන්න කෙනෙක් මිස ගෙදර ගිය කෙනෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියෝ...

අත්ථදස්සි නාහිමියන් කියන කතාව

නාහිමියන්ගෙ කතාවට අනුව නම් දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. මෙහෙම වෙලාවක අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම තමන් අනුමත කරන්නේ නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා.

කුකුල් මස් සාදන ආකාරය කියන අතරේ වුණත් අපේ හාමුදුරුවනේ කියලා නිරායාසයෙන් කියවෙන්න තරම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වූ සිත් ඇති අපේ හිටපු ජනාධිපතිට ඔන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ගලගම අත්තදස්සි නාහිමියන්ගේ වදනට කීකරු වේවිද? ඕක තමයි බලන්න ඕනේ..

හැබැයි ඕක බලන්න ඕනේ මේ බෞද්ධ නඩේ පරණ කෙරුම්වලින්ම මිස කියන කතාවලින් නම් නෙවෙයි. සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ දාන්න එපාය කියලා ත්‍රෛනිකායික නාහිමිවරු නිවේදනයකින්ම කියලත් රාජපක්ෂ මහත්තයා වැඩ කරපු හැටි අපට අමතක නෑ..  දළදා මාළිගාව වටේ රේස් පදින්න දෙන්න එපාය කියලා මල්වතු අස්ගිරි නාහිමි දෙපළ කට කැඩෙනකන් කිව්වත් ජය සිරිමා බෝධියේ ඔළුව ගහගෙන පොටෝවලින් පත්තර පුරවපු මේ මහා බෞද්ධයා වැඩ කළ හැටි අපට අමතක නෑ.. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මතයක් දරපු නිසා මිහින්තලේ රාජමහා විහාරයට සළකපු සැලකිල්ල මිහින්තලේ මිනිස්සු දන්නවා. මේ විදියට කියන්න ගියොත් අපේ හාමුදුරුවනේ කිය කියා රඟන මේ නළු දේශපාලන බලවේගය අපේ හාමුදුරුවන්ට ඇට්ටි නෙවෙයි කුරුම්බැට්ටිත් හැලෙන්න සළකපු සැලකිල්ල රටම දන්නවා. 

අනේ ඉතින් දැන් මේ අස්ගිරි මහානාහිමියෝ දෙන පණිවුඩේ ආයෙත් අදාළ වෙන්නේ මේ ඊනියා බෞද්ධ නඩේටම තමයි. මොකද විශ්වාසභංගය ගෙනඑන හේතුව තතු ඇතිව පහදලා දීලා ඒකෙ නිල අයිතිකාරයා තමන් කියලා රාජපක්ෂ මහත්තයා රටටම කියලා තිබෙන නිසා.. ඔළුවක් තියෙනවා නම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නෑ කියලයි මහනාහිමියන් කියන්නේ..දැන් අපිට බලන්න පුළුවන් ඔළු තියෙන අය කවුද කියලා.. ඒ වගේම රාජපක්ෂ කල්ලිය සවන් යොමුකරන්නේ මොන පැත්තටද කියලයි.. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ද ගලගම අත්ථදස්සි නාහිමිට ද? 

Thursday, 21 May 2015

අලුත් පරපුර හා යුද සැමරුම....



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ. බුදු දහමේ දාර්ශනික හරය සරල ගැමි වහරින් කියැවෙන මෙමඟින් හඟවන්නේ මැදුම් පිළිවෙත. ඕනෑම දෙයක අසීමාන්තික බව හේතුවෙන්නේ උන්මාදයකට. රැලි සේ සමාජයේ රළ නැගෙන විවිධ ප්‍රවණතාවල ද බොහෝවිට දකින්නට තිබෙන්නේ මේකමයි. ඇතැම් උන්මාදයන් අහිංසකයි. ඇතැම් ඒවා හාස්‍යජනකයි. කාලයක් චේ මෙන් තොප්පි පළඳින තරුණයෝ තවත් කාලයකදී බොබ් මාලේ මෙන් කොණ්ඩය වවනවා. නැත්නම් බෙකම් අනුගමනය කරනවා. එහෙමත් නැත්නම් ශිහාන් මිහිරංග එතැනට එනවා. තරුණියන් ද ඊට දෙවැනි නෑ.. එහෙත් කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණ ආදිය  මෙන් සෑම උන්මාදයක්ම එසේ අහිංසක නෑ. ඇතැම් ඒවා මාරාන්තිකයි. ජන සමාජයක සමගියට සමාදානයට අන්තරායදායකයි. එහෙත් ආකර්ශනීය මිථ්‍යා මතවලින් ඔතා ගත් කළ කවර සර්පයකු වුවද දෂ්ට කරනතුරු අපි දන්නේ නෑ. බොහෝවිට එවැනි උන්මාදයන් අත්වැල් බැඳගන්නේ රටේ දේශපාලනය එක්කයි. එහෙම අතිශය නරක ලෙස ප්‍රවණතාවක් ලෙස වර්ධනය කරන්නට දේශපාලකයන් උත්සාහ ගත් උන්මාදයක් හැටියට යුද්ධෝන්මාදය හඳුන්වන්න පුළුවන්.

යුද්ධය කොතැනක කවර පරිමාණයෙන් කවුරුන් විසින් කා හට එරෙහිව දියත් කරනු ලැබුවත් එහි පලය නම් මිහිරි එකක් නෙවෙයි. ශිෂ්ටසම්පන්න කවර සමාජයක් වුවත් අලුයම ලූ කෙල පිඩක් වගේ යුද්ධය බැහැර කරන්නේ මේ විශ්ව සත්‍ය හින්දයි. ඒත් දේශපාලනයට ඕනෑම දෙයක් ඔලුවෙන් හිටවන්න පුළුවන්. 
විශේෂයෙන්ම නොදියුණු රටවල පවතින පසුගාමී ජන හද මනස ඉතාම ලාබයට කළඹන්නට දේශපාලනයට පුළුවන්. පැණසර නොවන දේශපාලකයන් ඒ සඳහා පාවිච්චි කරන්නේත් සමාජයට අන්තරායකාරී දෘෂ්ටිමය අවි ආයුධ. ඒ හුදෙක් බලය සඳහාමයි. පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවටත් එවැනිම අන්තරායකර ඖෂධයක් පාලක ප්‍රජාවත් ඒ හා අත්වැල් බැඳගත් විවිධ අනුගාමික කොටසුත් එන්නත් කළා. ඒ තමයි යුද උන්මාදය. පාලකයන්ට නම් එය දිව ඔසුවක්ම වුණා. මොකද රැකියා වියුක්තිය, ආර්ථික පීඩනය ආදිය නිසා ආතතියට ලක්වන තරුණ ප්‍රජාවට සිය පීඩනය මුදාහරින මඟක් බවට හිංසනය පත්කරන්න පුළුවන් නිසා. එතකොට තමන්ගෙ පීඩනේ මුසල්මානුවගේ හරි දෙමළාගේ පිටින් හරි යවන්න තරුණයන්ටත් පුළුවන් වුණා.
ඒකෙන් අන්තිමේදි නිර්මාණය කරන්නේ සාහසිකත්වයේ විෂම චක්‍රයක් වුවත් පෙරලා ඒකත් දේශපාලනිකව සිය මතවාදය ශක්තිමත් කරන්නට දේශපාලකයන් නොමසුරු වුණා.

දැන් රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණත් නුවර, ගම් නියම්ගම් ගිනි තැබූ පැරැණි පන්නයේ හනුමා නැටුම් අදටත් ඇතැම් තැනකින් හිස ඔසවන්නට කැස කවන බවක් පේනවා. එහෙත් ඒ හනුමාලාට දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මොකද දේශපාලන හයිය හත්තිය නැති වුණාම මූල්‍ය ප්‍රාග්ධනයත් අහිමිවෙද්දී විශාල වශයෙන් තරුණ ප්‍රජාව ඒකරාශි කරගැනීමට තිබුණු ශඛ්‍යතාවය දියවෙනවා.  ඒ වෙනුවට තරුණ පරපුරත් යුද්ධයට එරෙහිව කතාකිරීම මේ ව්‍යාපෘතිධාරීන්ගේ ඇසට කටු අනින දසුනක් වෙලා. තරුණ කලාකරුවන්, නාට්‍යකරුවන්, සාහිත්‍යකරුවන් ඇතුලුව විවිධ ප්‍රකාශන මාධ්‍යන්හි දක්ෂ පක්ෂකම් ඇති සමාජ සංවේදී තරුණ තරුණියන් පිරිසකගෙන් සැදුම්ලත් අලුත් පරපුර සංවිධානය යුද සැමරුම් වෙනුවට සහෝදරත්වයේ සැමරුමක් කරමින් පසුගියදා එවැනි වැඩකට අතගසාතිබුණා. වැඩේ තිබුණේ නෙළුම් පොකුණ ඉස්සරහ. ඒ හරියටම මැයි 19 වැනිදා. අලුත් පරපුර ප්‍රශ්නකර තිබුණේ යුද්ධයක අවසානයක් මිස ජයග්‍රහණයක් තිබේද කියලයි.
ඇත්තටම මේ ප්‍රශ්නය වඩාත් අධිසංවේදී විදියට ජන සමාජයෙන් ඇහුවේ අහිංසාවාදී දහමක් ලොවටම දායාද කළ බුදු රජාණන්වහන්සේ. එහෙත් පෙර කී ලෙසටම යුද්ධය උන්මාදයක්ව අවිද්‍යා කැට මුගුරු අතට ගත් ජාතිවාදී ධාරාවෝ කිසිවිටෙක් බුදු වදන සිහිපත් කරන්නට උත්සාහ කළේ නෑ. ජාතිකානුරාගය මුවාවෙන්  ජාතිවාදී නෙයියාඩම් නටමින් සමස්ත ජන මනසම දිය සුළියක් සේ කළම්භනය කරලා ඡන්ද ගැරීමේ සටන තමයි ඔවුන් ඊට වඩා උතුම්කොට සැළකුවේ.

ජනමාධ්‍යත් දේශපාලන අධිකාරිවාදයත් එකට මුසු වූ කළ ඇතිකරනු ලබන මතවාදී බලපෑමට මුහුණදීමට තරම් අදටත් අපේ පොදුජන සමාජය ශක්තිමත් නෑ. දේශපාලකයාට ගැතිකම් නොකරන ස්වාධීන බුද්ධිමතුන්ගේ අඩුව ඒකට හේතුවක්. මේ නිසා බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙන දේ වුණත් කොට්ටඋරයක් වගේ නොපිට ගසා පැත්ත පෙරලා බොරුවකට පරිවර්තනය කරන්නට දේශපාලකයාට පුළුවන්. යුද්ධය අවසන් වුණාට පස්සෙත් යුද්ධය පැවැති කාලයට වඩා සද්දයෙන් යුද්ධය සමරන්නට දේශපාලකයන්ට දැඩි කැක්කුමක් හටගෙනතිබුණේ මේ දේශපාලන ව්‍යාපෘතිය නිසයි.

 දැන් යුද්ධය නිමාවෙලා සය වසරක් ගතවෙද්දී අලුත් දේශපාලන පරිසරය එක්ක තරුණ පරපුරටත් ස්වාධීනව වැඩකට අතගහන්න අවස්ථාවක් උදාවෙලා. අන්න එතැනදි  තරුණ පරපුර හැටියට ආපසු හැරී බැලිය යුත්තේ යුද්ධයේ ශේෂ පත්‍රය කුමක්ද කියලයි. උතුරින් නැගෙනහිරින් දකුණෙන් විතරක් නෙවෙයි රට වටින්ම රෑ මැදියමේ ඇසෙන තරුණ වැන්දඹුවන්ගේ ශෝකී ගී රාවයට ඔබ කවුරුන් හෝ අද වනතුරු සවන් දුන්නාද? අත පය ඇහැ කණ අහිමිව ජීවිතයේ අඩක් දරාගෙන නිවාසවලටම සින්න වී සිටින සිංහල දමිළ තරුණයන්ගේ හදවත් අභ්‍යන්තරයෙන් නැගෙන වේදනාකාරී හඬට සවන් යොමුකළාද?  යුද්ධයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් ලෙස නිෂ්පාදනය කරන ලද්දා වූ මවුපියන් අහිමි දරු සිඟිත්තන්ගේ හුදෙකලා වූ ආත්මයන් සමඟ කෙටි වේලාවක් හෝ ගතකළාද? අතින් සටන් පාඨ උසුලාගෙන කටින් බතල කොල හිටුවන තුංමුල්ලේ දේශප්‍රේමී දේශපාලකයන්ගෙන් තරුණ පරපුර අහන්න ඕනෑ මේවයි.

රජ කාලේ රජුන් අතරම ද්වන්ධ සටන් ගැන අහල තිබුණත් අද කාලේ යුද්ධයක් ඇතිවුණොත් පෙරමුණට යන රජ පුතුන් ගැන කිසිදු තැනක සඳහන් වෙලා නෑ. ගියත් ලංකාවෙ යුද්ධෙ නම් උන් යන්නේ රාජකීය හමුදා පුහුණුව ගන්න වෙන රටකට. වෙඩරු, කිරි, ගිතෙලින් කවා පොවා රජ සැප දී හැදූ වැඩූ සිය දූ පුතුන්ට එවැනි වේදනාවක් දෙන්නට කිසිදු දේශපාලක අම්මෙක් අප්පෙක් කැමැති නෑ. ඇත්ත ඒකයි. ඒත් යුද්ධ කරන්නට නම් කොල්ලන් කෙල්ලන් ඕනෑ. සැප සිරි දී නෙක අදරින් වැඩු දරුවන් කරදිය ගැඹරෙන් එතෙර යවලා යුද්ධ කරන්නට අවශ්‍ය මානසිකත්වයට දුප්පත් දුවා දරුවන්ගේ මනස සන්නද්ධ කරන්නේ ඒ හින්දයි. අල්ලස් කොමිසමේ නම කියනවිට දණ බිම ඇණෙන මට්ටමට බයවෙන දේශපාලකයන්ගේ ඇත්ත වීරාභිවන්දනයක් අද දවසේ වඩ වඩාත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. සිය දේශපාලන ව්‍යාපෘති පරාජයට මෙන්ම පාරාජිකාවට පත්වද්දී නැවතත් යුද උන්මාදය නමැති හනුමාන්ට අත තබන්නට ඔවුන් උත්සාහ කරන්නේ ද මේ හෙළිදරව්වට ඇති බිය නිසාමයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක යුද්ධය පිළිබඳ අලුත් පරපුරේ වෙනස් කියවීම විශිෂ්ට වෑයමක් බව නොකියා වටේ යෑම කුහකකමක්. එහෙත් එතැනින් පමණක් අලුත් පරපුරට සිට විෂය පථය සීමාකරගන්නට බෑ. දැන් ඔවුන් කරන්න ඕනෑ යුද්ධයෙන් සැබැවින්ම පීඩාවට පත් වින්ධිතයන්ගේ සැබෑ සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්න ජනගත කිරීමයි. යුද වෙළෙන්ඳන්ගෙන් ද සාම වෙළෙන්ඳන්ගෙන් ද ඔවුන්ට වෙනස් මගක් ගන්න එතකොට පුළුවන්. මේක සහෝදරාත්මක යෝජනාවක්. පුළුවන් නම් ගන්න. 





Tuesday, 12 May 2015

මහින්ද බලන්නට ආ ජනතාව කවුද?

‘‘මම තනතුරු ඉල්ලුවේ නැහැ. ඉල්ලන්නෙත් නැහැ. තනතුරු ජනතාව තුළින් ඉල්ලන දෙයක්‌. ජනවාරි 09 වැනිදා ජනතාව ඇවිත් මාව හමුවුණා. ජනතාව වියදම් කරගෙන මාව බලන්න ආවා. මට හිතුණා මා විසින් වියදම් කරගෙන පන්සල්වලට, දේවාලවලට ඇවිත් ජනතාව හමුවන්න. ඇත්තටම මේ දවස්‌වල ජීවත්වන්නේ පන්සල්වල, දේවාලවල.“....... මහින්ද රාජපක්ෂ
                             
                                 මේ
පෙරේදා(10) හික්කඩුව සීනිගම දේවාලයට ආපු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට කියපු කතාව. ඇත්තටම මේ කතාව දැක්කාම හිතුණේ ලංකාවේ ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තාමත් මහින්ද රාජපක්ෂ නම් පාඩමක් ඉගෙනගෙන නැති පාටයි. තනතුරු ඉල්ලන්නේ නැතිව තනතුරුවලට පැමිණීමක් ආගමික ශාසනවල කෙසේවෙතත් දේශපාලනයේ නම් නෑ. දේශපාලනය කියන්නේම බලය සඳහා බලය පසුපස දිවයෑමක්. ඒ දිවයෑම නියතියක් නිසා තමයි මහින්ද රාජපක්ෂ තාමත් පන්සල් කෝවිල් ගානේ බඩගාන්නේ. එහෙම නැත්නම් ජීවිතයේ සැඳෑ කාලයවත් නිස්කලංකේ නිවාඩු පාඩුවේ ගතකරන්න ඔහුට පුළුවන් වෙන්න ඕනෑ. මේ නම් බලකාමයම මිස වෙන කිසිවක් නෙවෙයි.

දෙවැනි කාරණය තමයි ඔහු කියන ජනතාව. ජනවාරි 9 වැනිදා ඇවිල්ලා ඔහුව මුණගැහුණාය කියන ජනතාව. දේශපාලනයේදී සාමාන්‍ය ජනයා මුලාකරන ලෙස බස හැසිරවීමට ලංකාවේ බොහෝ දේශපාලකයන් දක්ෂයි. ඒ දක්ෂකම කියන්නේම අඩුදේශපාලනික දැනුමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවම සංකල්පීය දැනුමක් සහිත සමාජයක ජයටම ඇතිකරගන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක දක්ෂකමට වඩා කපටිකම. මහින්දගෙ කතාව දකින සාමාන්‍ය මනුස්සෙයකුට වුණත් එක්වරම හිතට එන්නේ ඇත්තටම තාමත් මහින්ද එක්ක මිනිස්සු ඉන්නවා වගේ අදහසක්. ඒත් ඇත්ත නම් මේ රටේ අතිබහුතර ඡන්දයකින් ඔහුව පරාජයට පත්කරලා ගෙදර යවලා ඉවරයි කියන එකයි. 

අතින් වියදම් කරගෙන පන්සල්, දේවාල ගානේ යන්නේ මිනිස්සු කරදරයක් වුණාම. ඒ වගේම තමයි ලංකාවේ දේවාලවලට යන සැළකිය යුතු පිරිසක් ඉන්නවා පාතාලයන්. පාතාලයොත් හොරුත් දූෂකයොත් දෙයියනේ කියලා සැප විඳලා ඉන්න හැටි දැක්කාම නම් දෙවියන් හා පාතාලය අතර ඇති සම්බන්ධය ශක්තිමත්දෝ කියලා හිතෙනවා. එහෙම බැලුවාම බලය තිබුණු කාලේ හැසිරුණු හැටි රෑට මතක් නොවෙන්න විදියකුත් නෑ නෙව. ඉතින් අතින් කාලා හරි පන්සල්, කෝවිල් ගානේ ගිහිල්ලාවත් හිත විරේක කරගන්න එකට නම් අපට දොසක් කියන්න බෑ. 

Thursday, 30 April 2015

ශාන්ත විජේසූරියගේ ආගමනය...

මල්ලී.. මම ශාන්ත.. මම ආවා.. වෙලාව හරියටම හවස 5.18 යි. වසර දෙකක් තිස්සේ නේපාලයේ කත්මණ්ඩුවල සිර කර තිබූ නිර්භීත මාධ්‍ය අකුරක මනුස්ස හඬ හෑන්ඩ් ෆෝන් එකට ගලාගෙන එන්නට වුණා..අම්මටහුඩු.. මට කියැවුණේ එච්චරයි. කාලයක් තිස්සේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ (පත්‍රකලාවේදීන්ගේ)සංගමය හැටියටත් අප පෞද්ලිකවත් ගත් මහන්සියක ප්‍රතිපලය.. ශාන්ත අයියා මුණගැසීමේ දැඩි වුවමනාව තිබුණත් රාත්‍රී සේවයත් බහුල රාජකාරිත් නිසා ගමන දවසකට දෙකකට කල්දමන්නට සිදුවුණා. කොහොම වුණත් ශාන්ත විජේසූරියගේ පැමිණීම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නම් ලොකු හයියක්.

ශාන්ත විජේසූරිය කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඇත්ත කතාවේ ජීවමාන සාක්කියක්. ඒක රැකගත යුතු වුණේ ජනමාධ්‍ය නිදහස ගැන පොර ටෝක්ස් දෙසන බොහෝ දෙනෙකුට නොදන්නා පැති ගැන කතාකරන්නට ඉඩක් ඉතුරු කරගන්න ඕනෑ වුණ නිසයි. කොහොම වුණත් දැන් ශාන්ත නැවතත් ලංකාවේ. දීර්ඝ නිහැඬියාවකින් පසු කුරුල්ලාගේ නාදය ආයේමත්. ඒක මොන කූඩුවෙන් ඇහේවිද එහෙම නැත්නම් ඒ නාදය කූඩු නොවී නිදහසේම ගලායාවිද කියලා දැන්ම කියන්න අමාරුයි. අලුත් පත්තර පටන්ගන්න තවත් පත්තර අර්බුදයට යන කාලයක් ඇවිත්. කොහොම වුණත් කර්මාන්ත ශාලාවල අයිතිය අපේ නෙවෙයි. අපි වැටුප් ශ්‍රමිකයෝ. එතැනදි ශාන්තලා අපි කවුරුත් එකයි. ඉතින් තව ටික දොහක් බලාගෙන ඉම්මු වෙන්නේ මොකද කියලා..

Wednesday, 29 April 2015

18, 19 හා මන්ත‍්‍රී හෘද සාක්ෂිය

19 වැනි සංශෝධනය ගැන එක එක කතා කියවෙනවා. විවිධ මතිමතාන්තර පලවෙනවා. හැබැයි ඒක මොන විදියට සම්මත වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට යන්න හදද්දී කකුලෙන් අදින රටක ඒකත් නිකන් ඉන්න එකේ අහලා ගියත් මදෑ වගේ තමයි. උදේ පාන්දර ඉදන් පාර්ලිමේන්තුවේ තැපලා වෙන්නේ මොකද්ද කියලා බලා කියාගන්න ලොකු උනන්දුවක් තිබුණා. රාත්තිරි 12ටත් ළං වෙනකන් වැඬේ ඇදෙද්දි නම් අමාරුව සනීප වුණා.

විමල්, දිනේෂ්, වාසු තමයි 19 කොට්ට උරයක් වගේ අනෙක් පිට හරවන්න සෑහෙන්න ප‍්‍රතිගාමී වැඩ කොටසක් කළ බව පෙනුණේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා මරාගෙන මැරෙන්න හදපු මිනිස්සුද මේ කියලයි ඒ අයගේ කතා අහද්දී මට නම් හිතුණේ? ඒ වගේම නොදන්න ලතින් කතා කොරන්න ගිහින් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් තමන්ට තිබෙන දැනුමේ දරිද්‍රතාවය පෙන්නපු එක ගැන නම් අපි විමල් සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. වාසු නම් ටිකක් ජාමේ බේරාගත්තත් දිනේෂ් පවා වැඬේ නෝන්ඩි කරගත්තා. උදාහරණෙකට වගන්ති කීපයක්ම සම්මත වෙලා ඉස්සරහට යද්දී සම්මත වෙලා අහවර වූ වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කරන්න පවා දිනේෂ් ට‍්‍රයි කළා. පස්සෙදි කතානායකට සිද්ධවුණා දිනේෂ්ගේ පමාව පැහැදිලි කරන්න.

වඩාත්ම ශෝකජනක හා විස්මයජනක කතාව කළේ නීති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහත්තයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය කරුණු ගැන එතුමා දක්වපු උනන්දුව අනේ දෙයියනේ 18 ගේන වෙලාවෙත් තිබුණා නම් කියලා තමයි අපට හිතුණේ. උදේ පාන්දර ඉදන් කෙරුණු මන්ත‍්‍රීවරුන්ගේ කතා අවසානයේදී කියවූ කාරණාව තමයි මට නම් දවසේ පොයින්ට් එක වුණේ. එරික් වීරවර්ධන හැර සියලුම දෙනාම වාගේ 18 ට අත උස්සපු එක ගැන කණගාටු වෙනවාය, ලැජජ වෙනවාය, දුක්වෙනවාය වගේ කතා කිව්වා. ඒ හැම කතාවකින්ම අවසාන විග‍්‍රහයේදී ඔප්පුවුණේ වෙන මොකක්වත් නෙවෙයි මේ මිනිස්සු ඡුන්දය දීලා තියෙන්නේ හෘද සාක්ෂියට අනුව නෙවෙයි කියන එකයි. ඔන්න ලංකාවේ පාර්ලිමේන්ත මන්ත‍්‍රීවරු ප‍්‍රසිද්ධියේම ඒක පිළිගත්ත හැටි..

Friday, 24 April 2015

රනිල් දුටු ජවිපෙ ...

පක්ෂ දේශපාලනයේදී සෙසු දේශපාලන පක්ෂ උත්කර්ෂයට නැන්වෙන විදියට කතාකරන්න බොහෝ කතිකයන් පෙළඹෙන්නේ නෑ. එහෙම පෙළඹුණත් ඒක සන්ධානගතවීමක තිබෙන උපක්‍රමිකභාවයෙන් එහා යන්නේ නෑ. අනෙක් අතට ලංකාවේ දැන් තිබෙන වාචාල දේශපාලන කතිකයන්ගෙන් නම් කොහොමටවත් සෙසු දේශපාලන පක්ෂයක හොඳක් අහන්න ලැබෙන්නේම නෑ. ලංකාවේ සාමාන්‍ය ජන මනස හදලා තිබෙන්නේත් පුළුවන් තරම් ඇටෑක් කරන එකා හොඳම කතිකයා හැටියට නිසා ඔළුවක් තිබෙන කෙනෙක්වත් ඒකට පෙළඹෙන්නේ නෑ. මේ තත්ත්වය සාමාන්‍ය ජන රැලිවල ඉඳලා රූපවාහිනී දේශපාලන සංවාද දක්වාම අද ව්‍යාප්ත වෙලා. අත් දෙක බැඳගෙන ඊනියා සිනාවකින් සරසාගන්න මුහුණුවලින් පටන්ගන්න සාකච්ඡා මැදදී ගුටි ඇනගෙන අත පය විකන බලු පොර දක්වා වූ වර්ධනය පහුගිය කාලේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඇති පදම් දැක්කා.

ඒත් වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් අතිශය සංයමයෙන් යුතුව දේශපාලන නායකයකු අදහස් දැක් වූ අවස්ථාවක් පහුගියදා දුටුවා. ඒ රනිල් වික්‍රමසිංහ විසින්. උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවන සත්‍යාගාරයේ දී ඔහු දැක් වූ ඒ අදහස වඩාත් සුවිශේෂි. මොකද ඔහු ඒ අදහස දැක්වූයේ රනිල්ගේ යූඑන්පීය කියලා තමන්ගේ පක්ෂය පවා හොඳට පතුරු ගහන ජනතා විමුක්ති පෙරමුණ ගැන නිසයි.

තරුණ කාලේ රනිල් විජේවීරගේ කතා අහන්න ජවිපෙ ජනරැලිවලට ගිහින් තිබෙනවා. ඒ අතීතය අලලා තමයි නිවේදකයා ප්‍රශ්නය අහන්නේ. ඒ මෙන්න මෙහෙම.

උපුල්- 1971 ජනරැලි නැරඹීමට ගිය පිරිස අතර 22 හැවිරිදි තරුණ රනිල් වික්‍රමසිංහ ද විය. ඔහුට හැඟුණේ මෙතෙක් විසඳී නැති ජනතා ප්‍රශ්නවලට ජවිපෙ නායකත්වයක් දී ඇති බවයි. ඒ කියන්නේ ඔබතුමා තරුණ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් බලන්න ගිහින් තිබෙනවා රෝහණ විජේවීරගේ කතා අහන්න. එදා සහ අද ජවිපෙ දේශපාලනය ගැන ඔබේ අදහස මොකද්ද?

මෙන්න රනිල්ගෙ උත්තරේ


රනිල්- එදා රෝහණ විජේවීර එලියට ඇවිල්ලා රැස්වීම් පවත්වද්දී ඒ රැස්වීම්වලට කන් දෙන්න එකකට දෙකකට මමත් ගියා. වැඩිය පැවැත්වුවේ නෑ. මොකද අප්‍රේල් මාසේ කැරැල්ල තිබුණා. එදා සමාජවාදය ඉදිරියට ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ මාක්ස්වාදී සමාජවාදය කියලා පෙන්වන්න බැලුවේ. මම රෝහණ විජේවීර දුන්න ඒ මාර්ගයට එකඟ වුණේ නෑ. ඒක සාර්ථක වෙන්නේ නෑ. අද මට පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ අද තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී... සමාජවාදයත් ඒ දෙක අතර තිබෙන ඒ ප්‍රවාහයට ඇතුල්වෙන්නේ කොහොමද.... වාමාංශික පක්ෂයක් හැටියට කොහොමද වැඩකටයුතු කරන්නේ. එතැන මට පෙනෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙත් විවිධ ප්‍රශ්න. විපර්යාසයක් වෙන අවස්ථාවකදී එහෙම ප්‍රශ්න ඇතිවෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලෙන් පස්සේ මේ තිබෙන ඡන්දවලින්  යූ.එන්.පී විරෝධී ඡන්ද කොටසක් තමන් ලබාගන්නේ කියන ප්‍රයත්නය තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා තිබෙන්නේ. ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා මේගොල්ලෝ ගන්න තීරණ අනුව තමයි කියන්න වෙන්නේ..  

සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම වෙනත් දේශපාලඥයකුගෙන් ඇහුවා නම් කොහොම උත්තරයක් ලැබේවි ද?