Monday, 28 November 2016

කළු සල්ලිකාරයන් දිගටම ක්‍රීඩාව කරගෙන යනවා- කිෂු ගෝමස්


කිෂූ ගෝමස්


බහුජාතික සමාගම් ක්ෂෙත්‍රයෙහි ළාබාලතම කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් කිෂූ ගෝමස් මහතා ක්‍රීඩා, කලා හා සමාජ සත්කාර අංශයන්හි ද සක්‍රීය චරිතයකි. ෂෙව්රොන් ලුබ්රිකන්ට් සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන හෙතෙම රටේ ආර්ථිකය ගැන ඇසූ ප්‍රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේය. 



විදුලි සංදේශන ක්ෂෙත්‍රයට අදාළව පැනැ වූ බදු නිසා අන්තර්ජාල, දුරකථන ඇමතුම් ගාස්තු විශාල ලෙස ඉහළ යනවා. මේ තත්ත්වය පොදුවේ සමාජයට කෙසේ බලපාවිද?

ආණ්ඩුවට ආදායම් සොයාගැනීම පහසු නිසා මේක ලේසි තීරණයක්. ඒත් මෙයින් රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා. විශේෂයෙන්ම මධ්‍යකාලීන හා දිගුකාලීන සංවර්ධනය පැත්තෙන් ගත්තාම මේක අනුවණ ක්‍රියාවක්. අපි හැමදාම කතා කළේ ලෝකයේ සෙසු රටවල් සමඟ තරඟ කිරීමේදී මානව සම්පත ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියලයි. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වූ සාක්ෂරතාවය හා පලදායීතාවය පැත්තෙන් ලෝකය සමඟ සසඳද්දී අපි ඉන්නේ ඉතාම පහළ මට්ටමකයි. ගම නගරයටත් රට දියුණු රටවලටත් සමීප කරන්නට ප්‍රබලම අවියක් වන්නේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයයි. ඒකට ලොකු පහරක් මේ වැදුණේ. ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ. රටේ අනාගතය සම්බන්ධයෙන් ඒක නරක තීරණයක්.

‘‘ගමේ පැල්පතේ සිටින දරුවාටත් මේ පහසුකම දිය යුතු අවස්ථාවක ඒකෙ අනෙක් පැත්තයි කරලා තියෙන්නේ...
සිහිනයක අතරමං කිරීම

මෙරට ආර්ථිකයේ එන්ජිම හැටියට හැඳින්වෙන පෞද්ගලික අංශයට හිතෛශී පියවර මෙවර අයවැයෙන් තබා ඇති බව ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසනවා. එවැනි පියවර තැබීමක් ඔබත් දකිනවාද?

දැනට නම් පේන්න නෑ. එහෙත් පවතින රාජ්‍ය සේවය තවත් පුළුල් නොකර එය කාර්්‍යක්ෂම කරන අතරේ රාජ්‍ය සේවකයන්ගේ බර පැන අවම කර රාජ්‍ය සම්පත් අවභාවිත නොකිරීමට පියවර ගන්නා බවක් පෙනෙනවා. පුද්ගලික අංශයට නැඹුරුවක් ඇති බව කතාවලින් පෙනුණත් තාම දකින්න නෑ. හැබැයි පුද්ගලික අංශය කෙරෙහි රජයට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒක බොහොම පැහැදිලියි. නමුත් පුද්ගලික අංශයේ දියුණුවට ඉවහල් වන ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුයි. එහෙම බැලුවාම මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට කියලා විශේෂයෙන් කරපු දෙයක් නෑ.

බදු ප්‍රතිපත්තියේදී පෞද්ගලික අංශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරාකාර ද?

වැට් වැඩි කිරීම වගේම සමහර අංශවලින් නොයෙක් දේවල් වැඩිකරලා තිබෙනවා. උදාහරණයකට ජාතිය ගොඩනැගීමේ බද්ද මෙතෙක් අදාළ නොවූ කර්මාන්ත කීපයකටම අදාළ කරලා තිබෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට පුද්ගලික අංශයේ පිරිවැය අනිවාර්යෙන්ම වැඩිවෙනවා. ලාභය අඩුවෙනවා. එවිට පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය අපට ප්‍රායෝගිකව දකින්නට බැරිව යනවා. එහෙත් මේ තරම් අපහසු මූල්‍ය තත්ත්වයක ඉඳලාත් ආයතන බද්ද 28%ක මට්ටමක තියාගෙන තිබෙනවා. ඒ වගේම කලින් රජය ඒක 28% සිට 24% දක්වා අඩුකිරීමට කතාබහක සිටියා. නමුත් මේ රජය ඒක ඒ මට්ටමින්ම තියාගෙන යනවා. ඒක ගැන ලොකු පැමිණිල්ලක් කරන එකත් සාධාරණ නෑ. මොකද ගෝලීය ආර්ථික තත්ත්වයත් ඒ තරම්ම හොඳ නෑ. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳද්දී ආයතනික බද්ද 28% කියන්නේ ඒ තරම් නරක මට්ටමක්ම නෙවෙයි. මොකද 40% 45% අය කරන රටවලුත් තිබෙනවා.

බොර තෙල් ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ වෙලා තිබෙනවා. බොර තෙල් මිල අඩුවීම ලංකාවට බලපාන්නේ කොහොමද?

 බොර තෙල් බැරලය ඩොලර් 35- 40 මට්ටමට වැටෙනකොට ලෝක ආර්ථිකය දියුණු වේය කියලා අපට බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඇත්තටම වුණේ ඒකෙ අනෙක් පැත්ත. මෙහි බලපෑම සෘජුවම ලංකාවට එල්ලවෙනවා. මොකද ලාංකික කතුන් විශාල සංඛ්‍යාවක් මැද පෙරදිග සේවය කරනවා. ඒ වගේම ඒ රටවලට තේ, මැණික්, රබර්, කුළු බඩු ආදිය අපනයනය කරනවා. මේවායේ විශාල පසුබෑමක් ඇති වී තිබෙනවා.

මූල්‍ය නගරය හා මහ නගර සැලසුම ගැන ආණ්ඩුව විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අපේක්ෂා ඇත්ත වේවිද?

යම් යම් සළකුණු අපි දකිනවා. ඒත් ඒ සැලසුම් ක්‍රියාත්මක වනතුරු අපට කියන්න බෑ. උදාහරණයක් හැටියට මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. දැන් නුවර අධිවේගී මාර්ගය 2019 වනවිට අවසන් කරන බව මහාමාර්ග ඇමැතිතුමා කියනවා. අපි දැන් ඉන්නේ 2016 කෙලවරේ. මොන ජගතා ආවත් වසර දෙකකින් මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කළ හැකි යැයි හිතන්න අමාරුයි. මේක දකුණු හෝ කටුනායක අධිවේගී මාර්ගය වගේ නෙවෙයි. හරිම සංකීර්ණයි. එනිසා ඇමැතිතුමාට එවැනි දේ කියන්න පුළුවන් වුණාට ඒක පිළිගතහැකි හෝ විශ්වාස කළ හැකි මට්ටමේ එකක් නොවන බව දැනටමත් අපට තේරෙනවා.


‘‘මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරිවල පටන්ගන්න බව කිව්වා. ඊටපස්සේ අප්‍රේල් කිව්වා. ඒත් කෝ? තාම පටන්ගෙන නෑ. 
මෙගා සිටි ගැන මෙගා ප්ලෑන්


ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදෙස් ඇමැතිවරයා ඇතුලු විශාල පිරිසක් විදේශයන්හි නිතර නිතර සංචාරය කරනවා. ආයෝජකයන් සමඟ කතා කරනවා. ඒත් විදෙස් ආයෝජන අපේ රටට නොඑන්නේ ඇයි?

  විදෙස් ආයෝජකයන් මෙරටට නොඒමට ඉතිහාසයේ සිට බලපෑ හේතු තිබෙනවා. පළමුවැන්න නමි ප්‍රතිපත්තිවල අසංගතභාවයයි. එනම් ප්‍රතිපත්ති නිතර වෙනස්වන බවයි. විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් රජය වෙනස් වනවිට වෙනස් නොවන ප්‍රතිපත්ති රටකට අවශ්‍යයයි. නමුත් අපේ රටේ අවාසනාවකට එකම රජය තුළ පවා ප්‍රතිපත්ති වෙනස්වුණා. ඒ වගේම අදත් වෙනවා. මේ රජය බලයට පත් වූ ගමන් සුපර් ගේන් ටැක්ස් එකක් කියලා බිලියන දෙකකට වඩා ලාභ ලබපු සමාගම්වලට 25%ක බදු අධිභාරයක් පැනෙව්වා. වැට් තාවකාලිකව නතර කිරීමට උසාවි තීන්දුවක් දෙනවිට නැවතත් මිල ගණන් වෙනස් කිරීමට සමාගම්වලට සිදුවුණා. නමුත් අතීතයට බලපාන අයුරින් බදු වැඩිකිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් එම නීති සම්පාදන කාර්ය හරිගියේ නෑ. රටක ආයෝජනය කිරීම ආරක්ෂිද නැද්ද කියලා ආයෝජකයන් තීරණය කරන්නේ මේවයින් තමයි. එහෙම බැලුවාම අපි හිටපු තැනින් තවත් පහළට බැහැලා.

විදෙස් ආයෝජකයන්ට දේශීය ණය සහන පවා ලබාදීමට මෙවර යෝජනා වුණා. එයින්වත් වෙනසක් නොවේවිද?

ලංකාවෙ තිබෙන්නේ කුඩා වෙළෙඳපොලක්. සාමාන්‍යයෙන් ආයෝජකයෙක් එන්නේ වෙළෙඳපොල ලොකු නම් දේශීය වෙළෙඳපොලට භාණ්ඩ හා සේවා සපයන අතරේම ඒ ප්‍රමාණයෙන්ම ඒ තරඟකාරීත්වය විදේශීය වෙළෙඳපොලෙහි ඇතිකරගැනීමයි. නමුත් ඒ දේ ලංකාව ඇතුලෙ කරන්න බෑ. වියට්නාමය, බංගලිදේශය, මියන්මාරය, චීනය යන රටවල් සමඟ සැසඳූ විට මේ සියල්ල විදෙස් ආයෝජකයන් සියල්ල ඇහැ ගහගෙන ඉන්න රටවල්. මේ රටවල දේශීය වෙළෙඳපොල ඉතා විශාලයි. ඒවායේ අනෙකුත් සාධක නැති වුණත් විදෙස් ආයෝජකයන් ආකර්ශනය වෙනවා. අපි තරඟ කළයුත්තේ මේ තත්ත්වය සමඟයි. නමුත් එම හැකියාව අපට නෑ. එහෙම නම් ඒකට හිලව් වෙන්න වෙන මොනවා හරි දෙන්න ඕනෑ. ඒ වගේම අපේ ප්‍රවාහන වැය, ශ්‍රමයේ මිල වැඩියි. විශේෂයෙන්ම ලංකාවේ තිබෙන තද කම්කරු රෙගුලාසිවලට ආයෝජකයන් කැමැති වෙන්නේ නෑ.

එහෙත් රාජපක්ෂ රජය යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් දැක් වූ උනන්දුව ආයෝජන හිතෛශී වටපිටාවකට හේතු වුණා නේද?

ආයෝජකයන් කියන්නේ මනුෂ්‍යයන්. ඔවුන් තමන්ට ඇති ඉඩ ප්‍රස්ථා ගැන හිතනවා. ඒ පැත්තෙන් බැලුවාම පසුගිය රජය විශාල වැඩකොටසක් කළා. විශේෂයෙන්ම කොළඹ නගරය සංවර්ධනය කළා. අධිවේගී මාර්ග දෙකක් හැදුවා. ගුවන් තොටුපළින් බැස්සාම කොළඹට පැය බාගෙන් දැන් එනවා. හැබැයි අධිවේගෙ නැති කාලේ ලංකාවට ආපු ආයෝජකයෙක් ගුවන් තොටුපළින් බහිද්දීම මේ රටට එන්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි. ඒ වගේම යුද්ධය අවසන් කළ නිසා බෝම්බ නෑ. වෙඩි තියාගැනීම් නෑ. පාරවල්වල බංකර් නෑ. ඒ වගේම මේ ආණ්ඩුව යටතේත් ජාත්‍යන්තරය තුළ අපට රටක් හැටියට විශාල ප්‍රතිරූපයක් ලැබුණා. හැබැයි මේ කියපු සියලු කාරණා අභිබවා පෙර කී නුසුදුසුකම් නැගී සිටිනවා. ප්‍රශ්නය ඒකයි.

80% 20% ලෙස තිබුණු වක්‍ර හා සෘජු බදු අනුපාතය 60% 40% මට්ටමට ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු දුන්නත් දැන් සිදු වී තිබෙන්නේ වක්‍ර බදු 87% ක් පමණ ඉහළ සීමාවකට දැමීමයි. මේ තත්ත්වයෙන් ජනතාවට එල්ල වන පීඩාව දරාගත හැකි වේවිද?

වක්‍ර බදු අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් මුදල් ඇමැතිවරයා කී ආකාරයට මේ රටේ ආදායම් බදු ගෙවන්නේ 9%යි. බදු මගහරින්නන් විශාලයි. රුපියල් මිලියන 100 කට වඩා බදු ගෙවන අය ඉන්නේ එක්කෙනයි. ඒත් මේ රටේ සිටින කෝටිපතියන් ගණන අපට බැලූ බැල්මටම නම්වලින්ම කිවහැකියි. මේක අදහගන්නත් බැරි තත්ත්වයක්. ඇත්තම ප්‍රශ්නය වන්නේ බදු පැහැර හරින්නන් බදු දැලට හසුකරගැනීමට සිස්ටම් එකක් නැතිවීමයි. ඉතින් මෙවැනි තත්ත්වයකදී සෘජු බදු වැඩිකිරීමෙන් වෙන්නේ අර හැමදාම ගෙවන 10% තවත් මිරිකීම විතරයි. එහෙම මිරිකුවත් රටේ බදු ආදායමට ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා මේ පේන්න ඉන්න බදු මගහරින්නන් අල්ලාගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඔවුන් හැංඟිලා නෙවෙයිනෙ ඉන්නේ. ආණ්ඩුවට ඇයි අල්ලාගන්න බැරි.

කළු ආර්ථිකයට එරෙහිව ඉන්දියානු රජය මේ වනවිට විවිධ පියවර ගනිමින් සිටිනවා. ලෝක පරිමාණයෙන් මේ තත්ත්වය මැඩලන්නට සාර්ථක පියවර ගෙන තිබෙනවාද?

අනිවාර්යෙන්ම. එක්සත් ජනපදය, සිංගප්පූරුව වැනි රටවල පවතින නීති පද්ධති සමඟ කිසිවෙකුට බදු නොගෙවා සැඟව ඉන්න බෑ. කාරණය වන්නේ කළු සල්ලි තබාගෙන ඉන්න අය සමාජයේ ප්‍රබල චරිත වීමයි. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් දේශපාලන රැකවරණය මැද ඔවුන් මෙතෙක් කරගෙන ආ ක්‍රීඩාව දිගටම කරගෙන යනවා. අපිට දකින්නට තිබෙන්නේ ඒකයි.

දුම් වැටි හා දුම්කොළ සම්බන්ධයෙන් බදු පැනවීමේදී ආණ්ඩුව බොහෝවිට අනුගමනට කළේ සදාචාරමය හා සෞඛ්‍යමය පදනම්. ආර්ථික විදාඥයන් එය විවේචනය කළා. මේ බදු පැනවීමේ පසුබිමට ඔබ එකඟ ද?

මම නම් දකින්නේ ඒක සදාචාරමයභාවයෙන් කළ දෙයක් හැටියට දේශපාලනිකව විකුණලා මුදල් හොයාගන්න ආණ්ඩුව කටයුතු කළ බවයි. මොකද එහෙම නැත්නම් සදාචාරමය පැත්තෙන් දුම්වැටි පාලනයට තවත් ගන්න පියවර තිබෙනවා. අන්තයක් වශයෙන් ගත්තොත් අවශ්‍ය නම් දුම්වැටි තහනම් කරන්නත් රජයකට පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මෙතැන තියෙන්නේ. අද සිගරට්වලින් ලැබෙන ආදායම නැත්නම් මේ රටේ බොහෝ සේවාවලට වෙන්කරන්න මුදල් නෑ. සේවා සැපයීම වෙනුවෙන් දුම්වැටි විකිණීමේ වාතාවරණය හදන්න කියලා නෙවෙයි මම කියන්නේ. අවාසනාවකට දුම්වැටියෙන් ලබන ආදායම අපේ ආර්ථිකයේ ලොකු පංගුවක් වෙලා ඉවරයි. ඒක ඇත්තටම වෙනස් කරන්න දේශපාලකයන් බයයි කියලයි මට හිතෙන්නේ. මෙච්චර විශාල ත්‍රිවිධ හමුදාවක් ඉන්න රටක තාමත් කසිප්පු පෙරන එක, ගංජා වවන එක වළක්වගන්න, මැරකම් ඇතුලු සමාජවිරෝධී වැඩ අඩුකරන්න අපිට හැකිවෙලා තිබෙනවාද? වර්ගකිලෝමීටර හැටපන්දාහ ඇතුලේ මේ දේවල් එළිපිට වෙනවා. කාගෙද වරද..

රියැදුරු ත්‍රස්තවාදය මැඩලීම සඳහා යැයි කියමින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් අතිශය අධික දඩ මුදල් අයකිරීම කෙතරම් තාර්කික ද? ප්‍රායෝගික ද?

මාර්ග අනතුරු නිසා දවසකට ජීවිත හතක් අටක් අහිමි වෙනවා. මාර්ග අනතුරු නිසා රුපියල් බිලියන 130 ක් වටිනා සම්පත් විනාශ වෙනවා. මානව සම්පත පැත්තෙන් ගත්තත් ආර්ථිකය පැත්තෙන් ගත්තත් මේක විශාල විනාශයක්. මේක වෙනස් කළ යුතුයි. එහිදී එක පියවරක් හැටියට දඩ මුදල් වෙනස් කිරීම ගැන ඇත්තටම මගේ විරෝධයක් නෑ. මොකද අධිවේගෙන් ගිහින් රුපියල් 500 ක් දීලා බේරෙන්න පුළුවන් නම් බලපෑමක් නෑනෙ. සමාජ පාලක නීති යාවත්කාලීන විය යුතුයි. උදාහරණයකට ලංකාවේ බස් රථ හා ත්‍රී රෝද රථ වැඩියි. බස් රථ යන්නේ රේස්. ඒත් ගුණාත්මක නෑ. පහසුකම් නෑ. බස් එකට නැග්ගාම තොරොම්බල් වගේ. කණ පැලෙන්න කැසට් දාලා. හෝන් ගහගෙන විකාරෙන් යන්නේ. ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. මේ තත්ත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි.

‘‘ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අවුල්සහගතභාවය නිසා සමස්ත ජනතාවම දැඩි ආතතියකට පත්වෙලා ඉන්නේ. “

සංවාදය- බිඟුන් මේනක ගමගේ


Thursday, 24 November 2016

බත් පතට වැලි දැමීම..




බත් පතට වැලි දැමුව
බත් අතට ඇණ ගැහුව
බත්ම කන මහත්වරුනේ ගරුතර
පත්තරවලට අමතර..

බස්තමක් වුව වනන්නට දුරක් ඇත
මට්ටුවක් වුව කරන්නට කලක් ඇත
මඳහසින් බොටුව වෙත පනින විට
කැඩපතින් බලනු මැන නුඹේ වත..

බහට නිරිඳුන් තෙපළ බලය ගැන සිතුණු සඳ
කෙවිටකින් නොතලාම වුව දණින් වැටුණු සඳ
රජ භොජුන් වළඳමින් ආත්මය වළ දැමුව
අතීතය මරන්නට පහසු නැත

මිහිරි වුව මුසා බස් පවිටුමය
ගලන්නේ සිත්වලින් කහටමය
ඊනියා කිත් යසස් සුමටමය
මේනියාවක් වුණේ පවටමය

ඒ නිසා මැතිඳුණේ බත්ම කන
බත් පතට වැලි දමන විටදි තව
ඉක්මනින් සක්මනට නොයනු මැන
යපස් ගිනි දියෙන්මය උදම් වන
යදම් පුපුරවාලයි උදම් රළ..




Wednesday, 23 November 2016

මිනිස්සු කැළඹුණු දවසට වෙනසක් කරාවි..


චන්ද්‍රා ජයරත්න මහතා 



ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් දූෂණයට එරෙහිව නෛතික තලයේත් මතවාදී තලයේත් සටන් කරන්නෙකි. මෙවර අයවැය හා රටේ අනාගතය ගැන දේශය හා සම්මුඛ වෙමින් ඔහු පළ කළ අදහස්  මෙසේය.


මේ ආණ්ඩුව අයවැය දෙකක් ඉදිරිපත් කළා. ආණ්ඩුවේ මෙතෙක් ගමන්මගින් හෙළි වන ආර්ථික දැක්ම කෙබඳුද?
ජනවාරි 8 වැනිදා පැවැති පාලනය වෙනස් කරලා මේ ආණ්ඩුවට කැමැත්ත පළකිරීමට හේතු වූ මැතිවරණ ප්‍රකාශයක් සහිත දර්ශනයක් නම් මුලදි තිබුණා. සමාජ වෙළෙඳපොලක් ගැන කියමින් හැකියාව ඇති අයට තැන දෙමින් ජාතික සම්පත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන බව කිව්වා. දින සීයේ පාලන කාලයකින් පසුව මහමැතිවරණයේ ප්‍රතිපල අනුව පක්ෂ දෙක එක්වෙලා ජාතික ආණ්ඩුවකුත් හැදුවා. පක්ෂභේද අත්හරින්නේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට බවත් කිව්වා. ඒ අනුව පළමු අයවැයට පෙර මධ්‍යකාලීන ආර්ථික දර්ශනයක් අගමැතිවරයා ඉදිරිපත් කළා. හැබැයි ඒ ප්‍රකාශනයත් අයවැයත් අතර විශාල වෙනස්කම් තිබුණා. අවසානයේදී ඒ අයවැයවත් ක්‍රියාත්මක වුණේ නෑ. ආණ්ඩුවට ආර්ථික දැක්මක් තිබෙනවාද කියන එක තමයි අපිය අහන්න වෙන්නේ.

එවිට බඩු මිල අඩුකිරීම ගැන කියමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිය සුරැකෙන අයවැයක් ඉදිරිපත් කළ බවට මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය වැරදිද?
ලබන අවුරුද්දේ පළාත් සභා ඡන්දයක් එනවා. ආණ්ඩුව අඩු ගානේ ඒක ගැන හිතලාවත් සහනයක් දීල තිබෙනවාද.. මොනවාද අඩු කරලා තිබෙනවා. සියල්ල එකතු කළත් ලාබය රුපියල් 65යි. මේක ආටෝපයක්. උද්ධමනය, පොලී අනුපාත හා විනිමය අනුපාත පාලනය ගැන හිතපු පාටක්වත් නෑ. ප්‍රතිපත්තිය හැටියට පෙනෙන්නේ සිහින ගොඩක් විතරයි. ස්වාධිපත්‍ය තිබෙන්නේ මහජනයාටයි. අයවැයෙන් වෙන්කරන මුදල් අයිතිවන්නේ මහජනයාටයි. ඒ මුදල් වෙන්කිරීමේදී යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුයි. එහෙත් අයවැයෙන් මුදල් වෙන්කිරීමේදී මහජනයාටත් රටටත් දීර්ඝකාලීනව සිදුවන බලපෑම් ගැන සිතා නෑ.

නමුත් අය වැය ගැන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අදහස් පළ කළා. නායකත්වයට දැක්මක් නැද්ද?
ජනාධිපතිවරයා කාරණා දෙකක් කිව්වා. දුප්පත්කම නැති කිරීමේ වසර හැටියට හැඳින්වූවා. ඒ වගේම 2015 අස්සන් කළ පැරිස් පරිසර ප්‍රඥප්තිය අනුව රට සංවර්ධනය කරන බව කිව්වා. ඔහු කියන්නෙත් රට හරි මගකට යනවා කියලයි. අගමැතිවරයාගේ කතාවේ වැඩිමනත් දෙයක් නෑ. ඔහු කියන්නේ මෙගා පොලිස් හා මූල්‍ය නගර ව්‍යාපෘතිය මඟින් රැකියා දස ලක්ෂයක් නිර්මාණය කරමින් සංවර්ධනය ළඟා කරගන්නා බවයි.

එතකොට මහා නගර හා මූල්‍ය නගර සංකල්පය මතින් ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කිරීම වැරැදිද?
ඒ අපේක්ෂාව සඵල වීමට තරම් වූ පදනමක් මම නම් දකින්නේ නෑ. මෙගාපොලිස් ගැන මුලදි කිව්වේ සියලු සැලසුම් සකස් කරලා මේ අවුරුද්දේ පෙබරවාරි වනවිට ක්‍රියාත්මක වෙනවා කියලයි. දැන් අවුරුද්ද අවසාන වෙන්නත් ඇවිල්ලා. නීතියක් මුකුත් නෑ. ආර්ථික දියුණුවයි මහජනතාවට දුන් පොරොන්දුයි එකවර ඉටුකිරීම සඳහා කියලා සංවර්ධන ඒජන්සියකුත් හැදුවා. හැබැයි ඒකෙන් වූ දෙයකුත් නෑ. දීර්ඝකාලීන ප්‍රගතියක් වෙනුවෙන් වූ හරයාත්මක වෙනස්කම් දකින්න නෑ. පවුල්වාදය බිඳහෙලලා දූෂණය නතර කරන බව කීවත් එවැන්නක් අපි දකින්නේ නෑ. දින සීයේ දුන් පොරොන්දු මාස 22ක් ගතවෙලාත් තාම තිබෙන්නේ පොරොන්දු හැටියටයි. විගණන පනත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය ආදිය තාම නෑ.

මෙගා පොලිස් සම්බන්ධයෙන් මීට පෙරත් ඔබ විවේචනාත්මකව අදහස් පළ කළා. ඔබ කියන්නේ ව්‍යාපෘතියක් හැටියට මෙය සාර්ථක කරගැනීමට බාධා ගැනද?
ඒකෙ පළමු ව්‍යාපෘතිය රේල්(LTR) ව්‍යාපෘතියයි. ඒ සඳහා තවත් වසර පහක් ගතවෙනවා. හැබැයි මේ අතරේ ලංකාවට ත්‍රී රෝද රථ එනවා. ගිය අවුරුද්දට විතරක් ලක්ෂ පහයි. අපේ තරුණයන්ගේ වැඩේ ඔක්කෝම ගිහින් ත්‍රීවීල් එලවනවා. දැන් මේ විදියට තව අවුරුදු පහක්ම ත්‍රීවිල් ආවොත් අපේ පාරවල්වලට පරිසරයට මොකද වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේ දැක දැක වළේ වැටීමක්. මම අහන්නේ ආණ්ඩුව මේ දේවල් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි කියලයි. අරාබි වසන්තයක් ආවේ එක් පැළැන්තියක් අතේ ධනය ඒකරාශි වූ නිසයි. ඒත් ඒ වෙනස ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයම කළ තක්සේරුවක් තිබෙනවා. ඊට අනුව අරාබි වසන්තය ඇවිත් වසර හයක් යද්දී අරාබි රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් හේදිලා ගිහිල්ලා. අපිට මේවා අමතක කරන්න බෑ. මෙගා පොලිස් තිබෙනවා නම් ගම්වල ජීවිතවලත් සංවර්ධනයක් විය යුතුයි.

ජාත්‍යන්තර වශයෙන් යම් විශ්වාසයක් ඇතිකරගැනීමට ආණ්ඩුවට හැකිවුණා. රාජ්‍ය නායකයන්ගේ ප්‍රතිචාරවලින්ම එය පැහැදිලියි. එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලත් විදෙස් ආයෝජන ගලා ඒමක් නොවන්නේ ඇයි?
අප සිටින්නේ රට තුළ ඉතුරුම් 35%ක් පමණ අවශ්‍ය අවස්ථාවකයි. ඒත් තිබෙන්නේ 20% ටත් අඩුවෙනුයි. අලුත් ආයෝජන අවශ්‍යයයි. දැන් යුද්ධෙත් නෑ. යහපාලනයත් තිබෙනවා. හොඳ හිතත් තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර ආයෝජකයන් එන්නේ නෑ. ආණ්ඩුවේ යම් සාර්ථකත්වයක් මෙන්ම ස්ථාවරභාවයක් ඔවුන්ට පෙනිය යුතුයි. ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය මෙන්ම දේශපාලන ස්ථාවරභාවයත් තිබිය යුතුයි. ප්‍රතිපත්ති හා දේශපාලන තීන්දු ගැනීම් එකම ආණ්ඩුවකින් වුණත් ඒවා ක්‍රියාවට නැගීමේදී පැහැදිලි විධායකයක් තිබිය යුතුයි. විධායකයත් මහජනයාත් පෞද්ගලික අංශයත් ආයෝජකයනුත් එකට ඇදගෙන යන නායකත්වයක් අපට දකින්නට නෑ. එක්කෙනෙක් එක කතාවක් කිව්වොත් තව කෙනෙක් කියන්නේ තව කතාවක්. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මතක්වෙන්නේ. අපි හිතුවෙ මේ ප්‍රශ්න ගිය අයවැයෙන් ඉවරයි කියලයි. හැබැයි මේ අයවැයෙනුත් දැනටම යෝජනා දෙකක් වෙනස් කරලා. ඉදිරියට තව කීයක් වෙනස් වේවිද දන්නේ නෑ.

මේ පීඩනයෙන් මිදීමට ආණ්ඩුවට විකල්ප තිබෙනවාද?
අපයන භාණ්ඩ වැඩි කළ යුතුයි. අම්මලා අක්කලා වෙනුවට හැකියාව ඇති  තරුණ පිරිස් විදේශ රැකියා සඳහා යොමුකරන බව මුලදි කිව්වා. යවන්න කට්ටිය මදි වේවි කියලත් කිව්වා. එහෙම තත්ත්වයක් ඇතිවීමට නම් හැකියාව, නිපුණතාව මෙන්ම බුද්ධිය යන අංශවල වර්ධනයක් සිදුවිය යුතුයි. එසේ නම් විශ්ව විද්‍යාල පද්ධතියේ පැහැදිලි වෙනසක් වී තිබිය යුතුයි. හැබැයි සිස්ටම් එකේ එහෙම අපි බලාපොරොත්තු වූ වෙනසක ලකුණක්වත් පේන්න නෑ.

එහෙත් පර්යේෂණ සිදුකිරීම සඳහා මුදල් වෙන්කිරීමක් අයවැයෙන් සිදුවුණා. නව දැනුම වෙනුවෙන් මුදල් වැයකිරීම යහපත් ප්‍රවණතාවක් නොවේද?
මොවුන් ප්‍රතිපත්ති නම් කතා කරනවා. අවුරුදු 13 ක් අධ්‍යාපනය දෙන බව කියනවා. මීට කලින් කිව්වේ රුපියල් 40 000ක වැටුපක් දෙන රස්සා බිහිකිරීමක් ගැනයි. හැබැයි දැන් කිකිලියි බිත්තරෙයි කතාව වගේ. රස්සාත් නෑ. මිනිස්සුත් නෑ. රිසර්ච් රිසර්ච් කියනවා. හැබැයි මම ඇහුවාම විශ්ව විද්‍යාලවලින් කිව්වේ තමන්ට පර්යේෂණ කිරීමට ප්‍රතිපත්තියක් නෑ කියලයි. අරමුණක් ඇතිව වැඩපිළිවෙලක් හදලා අලුත් දේවල් කරන්න ඕනෑ. දෙගොල්ල එකතුවෙලත් නිර්මාණාත්මකව අලුත් දෙයක් කරන්න බැරිවෙලා තිබෙනවා.

නිර්මාණාත්මක අලුත් වෙනස්කම් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
සරල උදාහරණයක් ගමු. සුද්දා කන කැරට්, බීට්, අලවල තනිකර තිබෙන්නේ සීනි. මේ වෙනකොට එංගලන්තයම කියන්නේ මේ යන ආහාර සංස්කෘතිය දිගටම ගියොත් 2020 වනවිට සෞඛ්‍යට වැඩිම මුදල වෙන්කරන්න වේවි කියලයි. මේවා අපිත් මාධ්‍යයෙන් දකින දේවල්. දැන් බලන්න අපේ ආහාර සංස්කෘතිය. අඩු සීනි සහල් වර්ගම අපේ රටේ තිබෙනවා. එළවළුත් එහෙමයි. අපි 2002 සිට කියන්නේ පැරැණි ආයුර්වේද ප්‍රතිකර්ම විධි හා භාවනා ක්‍රම ආදිය වෙළෙඳපොලට ගෙන යා යුතුයි කියලයි. ඒත් අපි වෙනස් වෙන්නේ නෑ. චීන, කොරියන් කඩවලට අමතරව දැන් ජපාන වෙළෙඳසැලුත් ලංකාවේ විවෘත වෙනවා. කළ යුතු වෙනස්කම් ගැන කිසිම කල්පනාවක් නැති බවයි අපට නම් පෙනෙන්නේ. එන අවුරුද්දෙත් බිලියන හතරහමාරක් ණය ගෙවිය යුතුයි. මේක ගෙවන්න එක්කෝ අපේ අම්මලා අක්කලා රට පටවන්න ඕනෙ. නැත්නම් සම්පත් විකුණන්න ඕනේ. රටට බරක් වූ රාජ්‍ය ව්‍යවසායට වුණත් වෙනසක් කළ යුත්තේ දැක්මක් ඇතිවයි. හැබැයි අපි කෑ ගැහුවාට තල්ලු කළාට මේ එන්ජිම දුවන්නේ නෑ.

ඇයි එහෙම වෙන්නේ? හේතුවක් තිබිය යුතුයි නේද?
රාවය පුවත්පතේ සංවත්සරයේදී අනුර දිසානායක මහතා හොඳ කතාවක් කරමින් ඔය කාරණය ගැන කිව්වා. ඒකට උත්තර දුන්නේ ජනාධිපතිතුමයි. පැරැණි ආණ්ඩුවේ සිටි දූෂිත වළල්ලම එයින් ගැලැවී මේ ආණ්ඩුව සමඟ බද්ධ වූ ආකාරය දිසානායක මහතා පැහැදිලි කළා. එතකොට ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? ඔව් කියලා පිළිගත්තා. මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම මේ වළල්ල ගැටගැහිලා යැයි කිව්වා. ඒ කියන්නේම මේ වළල්ල කඩාගෙන යන්න මේ අයට හැකියාවක් නෑ කියලනෙ. කතාව ඇත්ත තමයි. හැබැයි ඇත්ත කියලා අපිට සතුටු වෙන්න බෑනෙ. මේ අවුරුදු පහම යන්නේ එහෙම නම් මේ රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නේ කොහොමද..

සරදියෙල් බජට්ටු මඟින් පොදු ජනයාට සහන සලසන බව කීවත් බදු අයකිරීමේදී ආණ්ඩුව පොරොන්දු ඉටු කර තිබෙනවාද?
සෘජු හා වක්‍ර බදු අතර සම්බන්ධකම ගැන කියමින් අගමැතිවරයා ලොකු විවේචනයක් කළා. ඔහු පැවැසුවේ එතෙක් පැවැති වක්‍ර බද්ද 80% හා සෘජු බදු 20% ක්‍රමය වෙනස් කරන බවයි. ඒ 2020 වනවිට සෘජු බදු 40% දක්වා වැඩි කරලා වක්‍ර බදු 60% දක්වා අඩු කිරීමෙනුයි. ඒත් පසුගිය අයවැයෙන් වුණේ ඒක නෙවෙයි. වක්‍ර බදු 87% දක්වා වැඩි කිරීමයි. දැන් ඒක තවත් වැඩිවෙලා ජනතාව පීඩාවෙන් ඉන්නේ. මේ රට ඇතුලේ සමහර චෙක් ලියනවා. බිලියනයකට වඩා සල්ලි ගන්නවා. ඉතින් බැංකුවකින් බිලියනයකට වඩා සල්ලි ගන්න නම් ලොරි දහයක්වත් අවශ්‍යයයි. බැංකුවක සල්ලිත් නෑ. මහ බැංකුවෙන් ගේන්නත් ඕනෑ. මූල්‍ය ආයතන කඩා වැටුණාම ඒකට මහ බැංකුව වන්දි ගෙවනවා. මහ බැංකුවෙන් ගෙවන්නේ කාගෙ සල්ලිද? සාමාන්‍ය මිනිස්සුන්ගෙ පාන් ගෙඩියට පරිප්පු ටිකට ගහන බද්දේ සල්ලි. එතකොට අර හොරකම් කරපු එකාගෙන් සල්ලි අයකරගන්නෙ නැද්ද?

මුදල් විශුද්ධිකරණ නීතියක් තිබෙනවා. ඔබ කියන්නේ එය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලද?
මුදල් විශුද්ධිකරණ පනතක් තිබෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නෑ. '' මම ටෙලිෆෝන් කරලා බැංකුවේ සල්ලි තියෙනවාද කියලා බලලා චෙක් ලියනවා. සල්ලි දාලා තියෙන්නේ කවුද කියලා මම දන්නේ නෑ. බැංකුවෙ සල්ලි තියෙනවා නම් ඒ ගාණට මම චෙක් ලියනවා..'' යැයි අපට කියන අය ඉන්නවා. මෙහෙම බැංකු ක්‍රමයකනෙ අපි ඉන්නේ.

මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තද නීති ඇති පසුබිමක මෙවැනි දේ සිදුවන්නේ කොහොමද?
ඔයා දන්නවාද? වෙලේ සුදාගේ මුදල් එකතු කළේ බැංකුවෙන්. බැංකුවෙන් උදේට කාර් එක යවනවා. මල්ලට එකතු කරනවා. බැංකු මැනේජර් කීයක් හරි සාක්කුවට දාගන්නවා. වැඩේ වෙනවා. මේ රටේ වෘත්තිකයන් සම්බන්ධයෙන් මට චෝදනා රැසක්ම තිබෙනවා. වෘත්තිකයනුත් අර දූෂිත වළල්ලට එකතුවෙලයි අද ඉන්නේ. මම කියන්නේ අර වළල්ල කඩන්න නම් වෘත්තිකයන්ටත් පහර එල්ල විය යුතු බවයි. 

යහපාලනයට අදාළ බරපතල වෙනස්කම් මෙහෙම මන්දගාමී නම් ජාත්‍යන්තරය තුළ අප ඇතිකරගෙන තිබෙන විශ්වාසය පළුදු වීමට එය බලපාන්නට බැරිද?
අපි ඔවුන්ට බලාපොරොත්තු ගොඩක් දුන්නා. සුළු ජාතින්ගේ ප්‍රශ්න විසඳා යුක්තිය ඉටු කරන බව අපි කිව්වා. ජී.එස්.පී ප්ලස් ගැන මේ අය ලොකුවට කතා කරනවා. හැබැයි දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඊටත් වඩා බරපතල එකක් ගේනවා. මේ ඇස්බැන්ඳුම්වලට ජාත්‍යන්තරය හසු වේවිද? ව්‍යවස්ථා වෙනසක් කරන්න යනවාය කියනවා. හැබැයි ඒකට ජනමත විචාරණයක් තැබිය යුතුයි. ඉතින් මේ රජයට මේ යන තාලෙට ලබන අවුරුද්දෙ ජනමත විචාරණයක් දිනන්න පුළුවන්ද? ජනමත විචාරණයක් තියා පළාත් සභා ඡන්දෙවත් දිනාවිද කියලා සැකයි.

මේ ආණ්ඩුව ඒ තරම් අසීරු අඩියක ඉන්නවා නම් ජනතාව ඊළඟට තෝරන විකල්පය මොකද්ද?
මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න අමාරුයි. මුළු රටම අතරමං වූ තත්ත්වයකයි සිටින්නේ. ජවිපෙ සන්නද්ධ මාර්ගයෙන් වෙනස්ව දක්ෂ ලෙස ප්‍රශ්න ආමන්ත්‍රණය කළත් ඔවුන්ට බලයක් ලැබිය හැකි තත්ත්වයක් නෑ. ලොකුම අවධානම තිබෙන්නේ මේ රටේ මිනිස්සු කැළඹිච්ච දවසක හමුදාමය බලයක් අරගෙන කවුරු හෝ වෙනසක් කරාවි කියලයි. එහෙම නැත්නම් මිනිස්සු කලහකාරී ලෙස විප්ලවයක් මගින් වෙනසක් කරාවි. හැබැයි ඒක අර අරාබි වසන්තය වගේ වුණොත් කිසිම පලක් නෑ. අපි වෙනසක් ඇති කළේ පැරැන්නන් ගිය මාර්ගය හරි නැති නිසයි. මේ අයගෙ මාර්ගය හරි වුණත් ඒකට රේල්ලුව දාලා තල්ලු කරගන්න බැරි නම් ඒකෙනුත් වැඩක් නෑ. මට දුක මේ රටේ තරුණ ප්‍රජාව ගැනයි. කොහොම වුණත් මේ යන විදියෙන් නම් මේ රටට පෙන්නුම් කරන්නේ සුබ ලකුණු නෙවෙයි.

සංවාදය - බිඟුන් මේනක ගමගේ



උතුරු මුහුදේ අයිතිය කාටද?


ආක්‍රමණිකයන් දවල් කාලයේ ඉව අල්ලන අයුරු

ආක්‍රමණයට ලක් වූ උතුරු මුහුද

උතුරු මුහුදේ සිදුකෙරෙන ඉන්දීය ධීවර ආක්‍රමණය දශක ගණනාවක අතීතයට හිමිකම් කියන්නකි. තිස් වසරක සිවිල් යුද්ධය අස්සේ ජයටම කෙරුණු මේ මාළු හොරකමට මෙරට ධීවරයන්ගේ දැඩි විරෝධය පළවන්නට වූයේ 2009 න් පසුවය. එහෙත් තමිල්නාඩු ආක්‍රමණිකයාගේ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාර එල්ලවන්නට වූයේ මහින්ද අමරවීර ධීවර ඇමැතිවරයාගේ කාලයේදීය. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුලු‍ වී නීති විරෝධී මසුන් ඇල්ලීම සිදුකරන ලද  ඉන්දීය ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න අත් අඩංගුවට ගත්තත් ඒවා සියල්ල ආපසු නිදහස් කිරීමට සිදුවුණු අතීතය තරමක් වෙනස් වූයේ අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රා ඇතුලු‍ ධීවර ආම්පන්න සියල්ල රාජසන්තක කරනු ලැබීමෙනි. මෙයින් තදින්ම කෝපවුණේ තමිල්නාඩු දේශපාලනයයි. ලංකාවේ හයිකාරකමට එරෙහිව ඉන්දීය මධ්‍යම රජයට ගතු කියමින් ලියුම් කරදහි ලිවීම තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා ජයරාම්ට දෛනික ආහාර වේල තරම් සුපුරුදු දෙයක් වූයේ ඉනික්බිතිය. කෙසේ වෙතත් ප්‍රාන්ත දේශපාලනයේත් අසල්වැසියාගේ නෝක්කාඩුවේත් බලපෑම් සමඟ ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉන්දීය මහ ආණ්ඩුවට ද එයින් පිටුබලයක් ලැබිණි.

ඒ අනුව මාස ගණනක් තිස්සේ පැවැති සාකච්ඡාවල තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය 5 වැනිදා ඉන්දියාවේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සිදුවුණේ ද දේශපාලන වශයෙන් වූ පීඩන ආණ්ඩු දෙකටම එල්ලවෙමින් තිබෙද්දීය. ආරම්භයේදීම සාකච්ඡාව සඳහා ද ඉන්දියාවෙන් පැන වූ පූර්ව කොන්දේසි තුනක් තිබුණේය. ඒ ඇමැතිවරුන් අතර සාකච්ඡාවට ප්‍රථම ධීවර නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වීම, අත්අඩංගුවට පත් ධීවරයන්  නිදහස් කිරීම හා අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා නිදහස් කිරීමය. ශ්‍රී ලංකා රජය මෙයින් තුන්වැන්න හැර සෙසු කොන්දේසි දෙකට එකඟ වූ අතර සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාවට එය ප්‍රමාණවත් විය. ඉන්දු ලංකා ධීවර හා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවට දින නියම කෙරුණේ ඒ අනුවය.

ධීවර නියෝජිතයන්ගේ සාකච්ඡාවට උතුරු පළාතේ ධීවර දිස්ත්‍රික්ක හතර නියෝජනය කරමින් නායකයෝ දහ දෙනෙක් සහභාගී වූහ. නොවැම්බර් 2 වැනිදා දිල්ලියේ පැවැති මෙම රැස්වීමේදී මෙරට ධීවරයන් දැඩිව අවධාරණය කළ කරුණ වී තිබුණේ කිසිදු හේතුවක් මත මෙරට මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදීමට තමිල්නාඩු ධීවරයන්ට ඉඩ දිය නොහැකි බවයි. එසේම අත්අඩංගුවට පත් කිසිදු යාත්‍රාවක් නිදහස් කළ නොහැකි බව කී ඔවුන් ඉල්ලාසිටියේ බොටම් ට්‍රෝලිං ක්‍රියාවලිය වහා නතර කරන ලෙසටයි. මෙම තත්ත්වය තුළ දෙපාර්ශ්වයට සාකච්ඡා ප්‍රතිපල ගැන ඒකාබද්ධ නිවේදනයකට යෑමේ හැකියාව අවම වූයෙන් මීට පෙර කළ සාකච්ඡාවලදී මෙන් අමාත්‍යවරුන්ට ස්වාධීන වාර්තා දෙකක් නිකුත් කරන්නට ඉඩ දිය යුතුය යන අදහසට ඔවුහු පැමිණියහ. කෙසේ වෙතත් සාකච්ඡාවල සාර්ථකභාවයක් නොවූව ද නිශේධනාත්මක ලෙස එය විවේචනය කිරීමක් ද ධිවරයන්ගේ දකින්නට නැත. ඔවුන් මෙවැනි මධ්‍යස්ථභාවයකට පැමිණීමට හේතු වී තිබෙන්නේ ලාංකික ධීවරයන්ගේ ස්ථාවරය තමිල්නාඩුවට පමණක් නොව නවදිල්ලි මධ්‍යම රජයට ද පැහැදිලිව කියාපෑමේ අවස්ථාවක් මෙවර උදා වූ බවට වූ විශ්වාසය නිසාය. 

මෙකී සුහදතාව හා විශ්වසනීයභාවය සුරැකිය හැකි නම් ඉදිරි ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ද තමන් සූදානම් බව මෙරට ධීවර නියෝජිතයන්ගේ මතය විය. එහෙත් ඇතැම් දකුණු ඉන්දීය මාධ්‍ය මේ තත්ත්වය වාර්තා කළේ සාකච්ඡා අසාර්ථක හැටියටය. කෙසේ වුවද එම බාධා මධ්‍යයේ වුවද ලංකාවට පැමිණි ධීවර නියෝජිත පිරිස යාපනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සාකච්ඡාවල ප්‍රගතිය සිය සහෝදර ධීවර ජනයාට සැල කර සිටියහ. ඔවුන් එහිදී කියාසිටියේ යහපත් ප්‍රතිපලයක් වෙනුවෙන් වූ පළමු පියවර තැබීමක් මිස අසාර්ථක සාකච්ඡාවක් හැටියට කරන හැඳින්වීම පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් ඉන් පැය හතලිස් අටකට පසුව ඉන්දියාවේදී පැවති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවට ධීවර නියෝජිත රැස්වීමෙන් ලැබී තිබුණේ තල්ලුවකි. ධීවර ඇමැති මහින්ද අමරවීර, විදේශ ඇමැති මංගල සමරවීර හා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ඇතුලු නියෝජිත පිරිසට ධීවර නියෝජිතයන් වෙනුවෙන් එහි උපදේශක වරදාස් ත්‍යාගරාජා මහතා ද ඇතුලත් විය. මෙරට නියෝජනය සමඟ සසඳද්දී ඉන්දීය ධීවර හා කෘෂිකර්ම ඇමැති රාධා මෝහන් හා විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුලු ඉන්දීය නියෝජිත පිරිස සංඛ්‍යාත්මකව විශාල විය. එසේ වුවද සාකච්ඡාව ඉතාම සාමකාමී ස්වරූපයක් ගත් අතර ඒකාබද්ධ නිවේදනයකට යෑම එහි ප්‍රතිපලයයි. ඉන්දු ලංකා ධීවර ගැටලුවට කල්පවත්නා විසඳුමක් වෙනුවෙන් සළකාබැලිය හැකි කාරණා කීපයක් මෙහිදී අවධානයට ලක් කෙරුණි. ඉන් පළමුවැන්න වූයේ දෙරටේ නියෝජිතයන් ඇතුලත් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි. තමිල්නාඩු ධීවර හිමිකාරිත්වය විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් දියත් කරන ට්‍රෝලිං කර්මාන්තය තීරණාත්මක අවසානයකට ගෙනයෑමේ ක්‍රියාවලියට පණදීම එම කමිටුවේ කාර්යභාරයයි. අත්අඩංගුවට පත් ධීවරයන් හා බෝට්ටු ගැන සාකච්ඡා කිරීම ද ඊට පැවැරිණි. කෙසේ වෙතත් මේ කාරණා තුන සම්බන්ධයෙන් වුවද ලංකා රජය සුවිශේෂී එකඟතාවලට අවතීර්ණ වී නැති අතර ඒවා ගැන සාකච්ඡා කළ හැකි බව දන්වා තිබේ.

මීට අමතරව ධීවර නියෝජිතයන් හා ඇමැතිවරුන් අතර මාස තුනකට වරක් සමාන්තර සාකච්ඡා පැවැත්වීමටත් දෙරට අතර ක්ෂණික  ඇමතුම් සේවාවක් ආරම්භ කිරීමටත් සාකච්ඡා කෙරී තිබේ. ධීවරයන්ට සන්නිවේදන උපකරණ ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් සාගර කලාපයේදී ප්‍රචණ්ඩකාරී තත්ත්ව ඇතිනොවීමට වගබලාගැනීමත් දෙරටේම නියෝජිතයෝ එකඟතාවකට පැමිණියහ. ඒ අනුව පළමු ඒකාබද්ධ රැස්වීම ලබන වසරේ ජනවාරි 2 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

‘‘ධීවර ගැටලුව විසඳීම සඳහා වූ ක්‍රියාවලියට ආරම්භයක් ගැනීම මෙහිදී සිදුවුණා. ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශීයව අනුගමනය කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මේ ආරම්භයෙන් බාධාවක් නැහැ. ඒක ටිකක් පැහැදිලි කරනවා නම් ඉන්දීය ධීවරයන් හා යාත්‍රා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට මේ සාකච්ඡා නිසා බාධාවක් නෑ. ඇමැතිවරයා එම පියවර දිගටම ක්‍රියාත්මක කළ යුතු බව ධීවරයන්ගේත් ඉල්ලීමයි. ඒ වගේම මේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ලංකාව වගේම ඉන්දියාවත් බොටම් ට්‍රෝලිං ක්‍රමය මුළුමනින්ම නතර කළ යුතුය කියන මතයට ඇවිත් තිබෙනවා. මේ සාකච්ඡාවෙන් ලොකු ප්‍රගතියක් අත්පත්කරගත්තා කියලා එක්වරම කියන්න අපහසුයි. එය තීන්දුවෙන්නේ ඒකාබද්ධ කමිටුව ගන්නා තීරණ උඩයි. කමිටුවේ ව්‍යුහය ඊළඟ සාකච්ඡා වටයට කලින් සකසාගන්නවා. ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් ධීවරයන්ට ගැටලුවක් නෑ. ඔවුන් දැඩි ස්ථාවරයක ඉන්නේ අනවසර ධීවර යාත්‍රා කිසිසේත්ම නිදහස් නොකළ යුතුය යන්න සම්බන්ධයෙනුයි. * මෙරට ධීවර නියෝජිතයන්ගේ උපදේශක වශයෙන් සාකච්ඡා දෙකටම සහභාගී වූ ත්‍යාගරාජා වරදාස් මහතා සාකච්ඡාවල ප්‍රගතිය ගැන දැක්වූයේ එවැනි අදහසකි.

1983 සමස්ත ධීවර නිෂ්පාදනයෙන් සීයට 41ක් සපයනු ලැබුවේ උතුරේ ධීවරයන් විසිනි. යාපනේ පමණක් මෙට්‍රික් ටොන් 50 000 කින් ඊට දායක විය. එහෙත් ඒ සරුබිම යුද්ධය නිමාවීත් නැවත ගොඩනැගුණේ නැත. ජාතික මත්ස්‍ය අස්වැන්නෙන් දැන් උතුර සම්පාදනය කරන්නේ සීයට 10 ක් පමණි. ඒ සතියට දින තුනක් පමණක් මුහුදුයාමට උතුරේ ධීවරයන්ට වැටි ඇති සම්බාධක නිසාය. ඒ බාධාව නොතිබුණා නම් අඩුම තරමින් මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයක් කරගන්නට ඔවුනට අවස්ථාව පෑදෙනු ඇත. එසේ බලද්දී ජාතික මත්ස්‍ය නිෂ්පාදනයෙන් සීයට දහයක් ලාංකිකයන්ට අහිමිකරන්නට ඉන්දීය ආක්‍රමණික ධීවරයෝ කටයුතු කරති. වාර්තා වන අන්දමට එක් ඉන්දීය බෝට්ටුවක් නිසා දිනකට මෙරටට අහිමි වන මුදල රුපියල් 30 000 ත් 40 000 ත් අතර වන බව පැවැසේ. එවැනි බෝට්ටු දහස් ගණනක් මෙරට මුහුද ආක්‍රමණය කළ කල්හි එම ජාතික අපරාධය කොතෙක්ද? වසරකට එම පාඩුව රුපියල් බිලියන පහත් දහයත් අතර වන බවට නිල නොවන සංඛ්‍යා ලේඛන පවසයි.


කෙසේ වෙතත් මේ අබග්ගය ගැන සෘජුවම ඉන්දීය බලධාරින් හමුවේ කතාකරන්නට මහින්ද අමරවීර ධීවර ඇමැතිවරයා කටයුතු කර තිබුණේය.
''ඉන්දියානු ධීවරයින් සතියකට දින 03ක් ශ්‍රී ලංකා මුහුදු ජල තීරයේ දී නීති විරෝධී බොටම් ට්‍රෝලිං ක්‍රියාත්මක කරනවා. ඇස්තමේන්තු කර තිබෙන පරිදි එම දින 03 තුළ ඔවුන් ඉස්සෝ, දැල්ලෝ සහ මුහුදු කූඩැල්ලෝ මෙන්ම කකුළුවෝ වැනි ජලජ ජීවීන් ටොන් 600කට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගන්නවා. මේ නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය රු. මිලියන 63,000කට ආසන්නයි. එපමණක් නොව, නාවික හමුදාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට දිනපතා විශාල මුදලක් ශ්‍රී ලංකා මුහුදු තීරය ආරක්ෂා කිරීම සඳහා වැය කිරීමට සිදු වී තිබෙනවා. බොටම් ට්‍රෝලිං ක්‍රමය ක්‍රියාත්මක කරන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකාවේ මුහුදු පතුළ පමණක් නොව එහි ජීවත්වනසියළු ජලජ ජීවීන් අතුගා දැමීමක් සිදු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව අවට මුහුද මළ මුහුදක් බවට පත් වෙමින් තිබෙනවා. මෙවැනි විනාශකාරී ක්‍රම භාවිතය නිසා උතුරු නැගෙනහිර මුහුදු තීරයේ මත්ස්‍ය ගහණය දිනපතා අඩු වෙමින් තිබෙනවා. ඒක ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල මරු පහරක්. මම පෞද්ගලිකවම මෙම කටයුතු සොයා බැලීමක් කළා. ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ ගොඩබිම සිට කි.මී 03ක් දක්වා පැමිණෙන අවස්ථා තිබෙනවා. එපමණක් නොවේ එම පිරිස් ඉතාමත් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙමින් නාවික හමුදා යාත්‍රාවලට පවා හානි සිදු කළ අවස්ථා වාර්තා වෙනවා. එම නිසා අපේ මුහුද සීමාවේ දී අත්අඩංගුවට ගන්නා ඉන්දීය ටෝලර් යාත්‍රාවල සිටින ධිවරයින් මානුෂික හේතූන් මත වහාම නිදහස් කරනවා.නමුත්, අපි ධීවර යාත්‍රා හෝ උපකරණ නීතිය මගින් රාජ සන්තක කරනවා. එසේ කරන්නේ අන් කිසිවක් නිසා නොව, මේ සිදු කරන විනාශය නැවැත්වීම සඳහායි..* මේ ධීවර ඇමැතිවරයා ඉන්දීය බලධාරින්ට කී ඒ කතාවෙන් කොටසකි.

ලංකාවේ දැනට ක්‍රියාත්මක 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන පනතට අනුව නීතිවිරෝධී ධීවර කර්මාන්තය හා ආක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමේ බලයක් විෂය බාර ඇමැතිවරයාට පැහැදිලිවම තිබේ. මෙතෙක් කල් භාවිත නොවුණේ ඒ බලයයි. උතුරු මුහුද යනු ලංකාවට අතිශයින්ම බලපාන රාජ්‍යතාන්ත්‍රික බන්ධනයේ භූගෝලීය පැතිකඩක් වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් දැන් දෙරටේම රාජ්‍ය තන්ත්‍රයේත් ධීවරයන්ගේත් නවමු බලාපොරොත්තුව වී තිබෙන්නේ ඊළඟ සාම සාකච්ඡා වටයයි. ඊට වේදිකාව තනන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවයි. එය සාර්ථක වේද නොවේදැයි යන්න තීන්දු වීමේදී ඉදිරි මාස දෙක තීරණාත්මක කාලපරිච්ඡේදයක් වනු ඇති බව නම් සැක නැත.

බිඟුන් මේනක ගමගේ






Thursday, 17 March 2016

මන්ත්‍රී වැටුප් වැඩිකිරීම හෙවත් දූෂණය නවතා අල්ලස් දීම..





තිත්ත බෙහෙත් දීලා ආර්ථිකේ ගොඩගන්නවා කියන ආණ්ඩුව තාමත් රාජ්‍යයෙ ණය ප්‍රමාණය දන්නෙ නෑ. රාජපක්ෂ පාලනයේ පව් ගෙවන්න ජනතාවට සිදුවෙලා කියලා කිඹුල් කඳුළු හෙළන පාලක උන්නාන්සෙලා රැඩිකල් වෙනස පටන් අරගෙන බව පේනවා. දැන් ආණ්ඩුව මහින්දව තියන් ඉන්නෙ කෝකටත් තෛලය වගෙයි. ඇති අයගෙන් අරගෙන නැති අයට දෙනවා කිව්ව ආර්ථික ඔස්තාද්ලා යටතේ වක්‍ර බදු වැඩිවෙලා කියලයි ආර්ථික විශේෂඥයන් කියන්නෙ. හැබැයි ඒ ඇත්ත වහන්න රාජපක්ෂ බද්ද කියලා දේශපාලන නාට්‍යක් රඟදක්වමින් යනවා. 



ජනතාවට පටි තදකරගන්න කියලා තමන්ව බලයට පත්කරපු මිනිස්සුන්ව අන්ඳන ආණ්ඩුව නියම වැඩකට අත ගහලා. ඒ තමයි මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද වැඩිකිරීම. ආරංචි හැටියට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදි තමයි මේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද(17) තිබුණු කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යකරුවන් මේ ගැන ඇහුවාම ගයන්තලා සුජීව සේනසිංහලා අජිත් පීලා හැමෝම හිටියේ තිත්ත බෙහෙත් බීපු ගොළුවෝ වගෙයි. විමල් වීරවංශගෙ ලයිට් බිල පෙන්නලා පොළොවෙ පස් කාපු ජනතාමිතුරන්ගේ හෙළුව මෙච්චර ඉක්මනින්ම පේන එකත් හොඳයි කියලයි හිතෙන්නේ. 


එකගෙයි කෑම වඩා රසවත්ය..


ආරංචි හැටියට මෙන්න මේ විදියට තමයි වරප්‍රසාද වැඩිවෙන්නේ.. 

1.දැනට නිල නිවාස නොමැති මන්ත්‍රීවරු සඳහා මසකට රුපියල් 50 000 ක ගෙවල් කුලී දීමනාවක්
2.කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා මසකට රුපියල් 75 000 ක දීමනාවක් ද 
3.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දුරකථන දෙකක් සඳහා දැනට පාර්ලිමේන්තුවෙන් බිල්පත් ගෙවීමේ ක්‍රමය වෙනුවට මසකට රුපියල් 50 000 ක දීමනාවක් 
4.ව්‍යවස්ථාපිත මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වන දිනයකදී එක් මන්ත්‍රීවරයකුට රුපියල් 2500 ක පැමිණීමේ දීමනාවක් 
5.පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී ආංශික කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී එක් සාමාජික මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් 4000 ක දීමනාවක් හා සභාපතිවරයාට රුපියල් 5000 ක දීමනාවක් 


දැනට පවතින ක්‍රමයට අනුව එක් මන්ත්‍රීවරයකුට දුරකථන දෙකක් සඳහා බිල් ගෙවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට මසකට රුපියල් ලක්ෂ 30 ක් 35 ක් අතර මුදලක් වැයවෙනවා. ඒත් අලුත් යෝජනා ක්‍රියාත්මක වුණොත් ඒකට වැයවෙන මුදල රුපියල් 1 12 500000 ක්. කොහොමද ගණන..කියවගන්නත් අමාරුයි.. වෙනස කියන්නෙ මේකට කියලා හිතෙනකොටත් සැපයි අම්මපා..


කන් කෙඳිරිය...
හීන් කෙඳිරිය...


ඒකාබද්ධ විපක්ෂෙ නම් දැන් ඒකෙන්වත් ගොඩයෑමක් තියේද කියලා බලනවා. හැබැයි ඒ විරෝධයක් නොවන හීන් කෙඳිරියක් වගේ එකකින්. ඒකාබද්ධ විපක්ෂෙ වීරයෝ ජවිපෙට වඩා නම් ඒ හීන් කෙඳිරිය හොඳයි කියලා හිතෙන්නේ ජවිපෙන් කන්කෙඳිරියක්වත් නැති නිසයි. මේ යෝජනා ආපු ගෘහකාරක සභාවේ නිහාල් ගලප්පත්ති කියන සහෝදරයාත් හිටියාය කියන්නේ. ඒත් ජවිපෙන් ඒ ගැන තාම නෝ රෙස්පොන්ස්. හැබැයි 
 ජවිපෙ පසුගිය මහමැතිවරණයේදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියාසිටියේ මන්ත්‍රී වරප්‍රසාද අඩු කරනවා කියලයි. ජවිපෙ කී කතා...
ඒ අනුව මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත් අහෝසි කොට ඒ වෙනුවට ඔවුන්ගේ රාජකාරි සඳහා රජයෙන් වාහන ලබාදීම් යෝජනා කළ ජවිපෙ කළ වඩාත්ම පුදුම යෝජනවා වුණේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමයි. හැබැයි ජවිපෙ තාම නෝ රෙස්පොන්ස්. 



මේ ගැන කැබිනට් ප්‍රකාශකවරයා දෙකට දෙවාරෙට දීපු උත්තරවල හැටියට මේ යෝජනාව ක්‍රියාත්මක වෙන පාටකුයි පෙනෙන්නෙ. ඒ මදිවට අජිත් පී පෙරේරා ලැජ්ජා නැතුව ජනතා සම්මුතියක් ඇදලා ගත්තා. එයා කියන්නෙ ජනතාවගෙ සම්මුතියක් අනුව රාජ්‍ය පාලනය වෙනවලු. ජනතාව කැමැති නෑ කියනවා නම් වැටුප් වැඩි කිරීම් නවත්තන්න පුළුවන් වගේ කතාවක් කිව්වෙ. ඒත් මේ වැටුප් වැඩි කරන තරම ප්‍රමාණය බැලුවාම සම්මුතියේ ස්වභාවය අපට පේනවා. ඉක්මනටම වැටුප් වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..