Monday, 14 March 2016

පන්හිඳ කගපතක් කරගත් සුනිල හදවත- සුනිල් මාධව ..




ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්‍රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි.

ප්‍රතිවිරෝධතාවල ස්වරූපය සුනිල් අයියා දැනසිටියේ නැත..


වෘත්තින් රැසක් අතර පත්තර රස්සාව පත්‍රකලාවේදය යැයි හැඳින්වෙන්නේ ඒ තුළ වූ විද්‍යාවත් කලාවත් යන ද්විත්ව ගුණාංගය නිසාය. එහෙත් පත්තරකාරයකු වීමට යත්න දරන ඇතැමුන්ගේ අවසන් පරමාර්ථ අතර වන්නේ බලය ගොඩනගාගැනීමය. පත්තර රස්සාව තුළ තමා නියෝජනය කරන අංශය තුළ වූ බල සබඳතා ඊට පිහිටට එයි. මේ නිසාම අන්තිමේදී පත්තරකාරයාට ද නිතැතින්ම දේශපාලනයක් තිබේ. සුනිල් මාධව ප්‍රේමතිලක නම් වූ ඒ සොඳුරු පත්තරකාරයාට ද දේශපාලනයක් තිබුණේය. ඒ හඬක් නැති මිනිසුන්ට හඬක් වීමේ දේශපාලනයයි. අවවරප්‍රසාදිතයන්ට, නිර්ධන නිර්බල පීඩිත ජීවිතවලට හෙටක් හැදීම වෙනුවෙන් වූ දේශපාලනයයි. ජාතියක ජීවනාලිය තරුණ පරපුර යැයි සිතූ දේශපාලනයයි. ඒ දේශපාලනයේදී සුවහසක් වූ සටන්කාමී ගෝලයන්ට යෂ්ටිය දෙන්නට තවත් පරපුරක් හදන්නට ඔහු පැකිලුණේ නැත. ඒ ඔහු තුළ ඇතැම් මාධ්‍ය ඔස්තාද්ලාට මෙන් බලයේ මහන්තත්වයක් නොතිබූ බැවිනි. මේ නිසා සැබැවින්ම ඔහු සිය ගෝල බාලයන් පවා සැළකුවේ සහෝදර සටන් සගයින් මෙනි.

විප්‍රවාසී දිවියක වේදනාව- රෝහිත භාෂණ


පැරැණි වාමාංශික කොටස්වලින් කැඩී වෙන් වී පිහිටු වූ නව දේශපාලන ව්‍යාපාර, විකල්ප පුවත්පත්කලාවට බැඳි පෙමින් අකුරු කළවුන්, ජනතාවාදී කලාවක් ගොඩනැගීමේ සිහිනයක සිටි පිරිස් ඇතුලු ප්‍රගතිශීලී සමාජ කොටස් රැසක් එකවර ඔහුගේ සේවනයත් සෙවණත් ලැබුවේය. සුදර්ශිය, මහජන පුස්තකාලය ආදී තැන් මේ බොහෝ දෙනාගේ කතිකා මණ්ඩප විය. වාද විවාද පුරාවට අලුත් ලේ සමඟ ගනුදෙනු කළ සුනිල් අයියා ඒවා අවසන සාද කතා සඳහා මධුවිතක් පුරන්නට ගියේ ද බොහෝ විට ඒ තරුණ කොටස් සමඟය. ඇත්තටම පත්තර කලාවෙන් ගොඩයනවා නම් සුනිල් අයියාට බොහෝ මං පෙත් විවරව තිබිණි. එහෙත් ඔහු විශ්වාස කළ දේශපාලන ධර්මය විසින් ඒවා අලුයම ලූ කෙලපිඩක් තරම්වත් අගය කරනු ලැබුවේ නැත. එසේ වුවත් සුනිල් අයියා නිසා ගොඩ ගිය අයගේ ගණන බැලුවද සංඛ්‍යාත්මකව සුළුපටු නැත. වහන් රහිත දෙපයින් ඇවිද ගිය, පත්ඉරු මත සිමෙන්ති පොලොවේ රැය පහන් කළ ඒ ඇතැමුන් අංශක එකසිය අසූවකින් දේශපාලන කරණම් ගසා කැබිනට් ඇමැතිවරු දක්වා යද්දී සුනිල් අයියා සමසිතින් ඒ දෙස බලාසිටියේය.

කොළඹ යුගයේ සුප්‍රකටම කවියකු වූ මීමන ප්‍රේමතිලකයන් වනාහි සුනිල් අයියාගේ ආදරණීය තාත්තාය. මීමන ප්‍රේමතිලකයන්ට කවිත්වය රුධිරයට මුසු වූයේ යම් සේද සුනිල් අයියාට ජනතාවාදය නමැති කලාව රුධිරගත වී තිබිණි. පැටි වියේ සිටම මාධ්‍ය ලෝකයට පෙමින් බැඳුණු සුනිල් මාධව ශත දහයේ විශ්ව විද්‍යාලය හෙවත් සිළුමිණ තුළින් මාධ්‍ය ජීවිතය අරඹන්නේ බෙනඩික් දොඩම්පේගම නම් වූ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියා ගුරුතන්හි තබාය. සිළුමිණ, දිනමිණ, සරසවිය හා ජනතා ආදී බේරෙගෙදර පත්තර රැසක ඔහු අකුරු කළේය. එහෙත් ස්වාධීනත්වය දැඩි සේ අගය කළ සුනිල් මාධවගේ මාධ්‍ය ජීවිතයේ ඔහුගේ නිසග ජනතාවාදී කලාව ආරම්භවන්නේ දිවයින පුවත්පතෙනි. තරුණ අසහනයත් අපේක්ෂාභංගත්වයත් රජ කරමින් පැවැති මොහොතක සුනිල් අයියා ආරම්භ කළ 8 වැනි පිටුව අයුක්තියට එරෙහිවූවන්ට පහන් තරුවක් බඳු විය. පැවැති දේශපාලනය ප්‍රශ්න කරමින් ඇරඹුණු තරුණ ප්‍රවාහය සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අකුරු සමඟ ඉදිරියටම ගලා ගියේ පාලක පංතියේ කෝපයට ලක්වෙමිනි. ක්‍රමයට අනුගත වෙන බොහෝ දෙනා අතර සුනිල් අයියා තරුණ පරපුරේ නොමද ගෞරවාදරයට පත්වන්නට එය ප්‍රබල හේතුවක් විය.


සුනිල් අයියා විභූති මල්ලි ගැන නිහඬ ඇයි?

සමාජයේ ප්‍රභූ තන්ත්‍රයේ ඇසුර මාධ්‍ය වෘත්තියේ ස්වභාවයෙන්ම හිමිවන්නක් වුවද සුනිල් මාධව හිටගත්තේ නිර්ප්‍රභූන් සමඟය. සටන් කළේ නිර්බලයන් වෙනුවෙනි. වෘත්තියෙන් ලැබෙන දේශපාලන බලයෙන් ඉහළ මාලයට පැනගන්නට දත කන පිරිස් අතර ඔහු වාසය කළේ පහළ මාලයට වීය. මේ නිසාවෙන්ම ලද පොදු ජන ඇසුර ඔහුගේ අකුරුවලට ජීවය කැව්වේය. ඒවා ව්‍යාජ කාව්‍යෝක්ති නොවී ඇත්ත ඇතිසැටියෙන්ම දුටු ලිපි විය. සත්‍යවාදියකුගේ දිනපොතක් ලිවීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුවද ඔහු ඒ කාරිය සැහැල්ලුවෙන් කළේ එහෙයිනි. මේ ඇත්ත ලිවිම නිසාම පත්තර ජීවිතයේ හැලහැප්පීම්වලින් ද අඩුවක් නොවූ සුනිල් අයියා කීපවරක්ම පත්තර රස්සාව දමාගසා ගෙදර ගියේය. එහෙත් එයින් ඔහුගේ මතවාදය වියැකී ගියේ නැත. ″ලක්මිණ″ , ″ලක්දිව″ වනාහි ඒ නොමියෙන මතවාදයේ නව ප්‍රකාශනයෝය. විනී හෙට්ටිගොඩ, රෝහිත භාෂණ, විමලසිරි ගම්ලත්, ඩලස් අලහප්පෙරුම, තිඹිරියාගම බණ්ඩාර එවක ඒ සහෝදර කතු මඩුල්ලේ සටන් සගයෝ වූහ. ලාංකික දේශපාලනයේ ඓතිහාසික සරදම් මේ යැයි කියාපාන්නට මෙන් අද ඒ මිතුරන්ගෙන් කෙනෙකු කැබිනට්ටුවට යද්දී තවකෙකුට මව්බිමෙන් ඈත්ව විප්‍රවාසී ජීවිතයක් ගතකරන්නට සිදුව තිබේ. 

සුනිල් අයියා නොදකින විභූතිගේ අවතාරය..


සුනිල් අයියාගේ දිවිසැරියේ පත්තර ලකුණ සනිටුහන් කරන එක් හරස්කඩක් හැටියට මේ මිත්‍ර සමාගමේ කතාව අපට හැඳින්විය හැකිය. සුනිල් අයියාගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂීම කාලයක් හැටියට හැඳින්විය හැක්කේ පොදු ජන ප්‍රාග්ධන සම්පාදනයෙන් ආරම්භ කළ ″හිරු″ පුවත්පතයි. අතිශය දේශපාලනික වැඩපිළිවෙලක් හැටියට දියත් වූ හිරු පුවත්පත විමුක්ති දේශපාලන සටන්බිම සෘජුව අරමුණු කරගනිමින් ආසන්න අතීතයේ තැබූ සළකුණ සුවිශේෂීය. බලය සඳහා බලය පසුපස දිවිම මිනිස් ස්වභාවයේ මූලික ලක්ෂණයක් යැයි කීවේ තෝමස් හොබ්ස්ය. මෙය සාමාන්‍ය මිනිසුන්ට අදාළ වන්නේ යම්සේද ඊට වැඩි බරකින් යුතුව මාධ්‍යවේදීන්ට අදාළවේ. රාජ්‍ය බලය විසින් සියල්ල හසුරුවනු ලබන ලංකාව වැනි රටවලදී ඒ යථාව තවත් දරුණු වේ. එහෙත් පත්තර ලෝකයේදී මේ කතාව උඩියටිකුරු කළ මිනිසෙකි. හේ ආදරණීය සුනිල් අයියාය. ඒ ඔහු මිනිසුන්ට අප්‍රමාණව ආදරය කළ නිසාය.

Tuesday, 8 March 2016

බිග් පැච්


දේශපාලනය සමඟ සම්බන්ධ ඕනෑම දෙයක් ලංකාවේදී ඉතා පහසුවෙන් ප්‍රසිද්ධිය අත්පත් කරගනී. ඕනෑම ක්ෂෙත්‍රයක කුසලතාව නොමැති අයකුට වුවද තල්ලුවක් මුල්ලුවක් වේ නම් දේශපාලන සක්කයක්ව ඉදිරියට යන්නට බාධක නැත. මෙය කලාව ක්‍රීඩාව ආදී සියලු අංශයන්ට පොදු සාධකයකි. මෙරට ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද අපේ ජාතිකානුරාගී ක්‍රීඩාව බවට ක්‍රිකට් පත්වන්නේ ද ඒ අනුවය. දේශපාලනයෙන් ක්‍රිකට්වලට ලැබෙන ගැම්ම රටේ සෙසු ක්‍රීඩාවලට නොලැබෙන බව කවුරුත් දනිති. මේ කතාකරන්නට යන්නේ ක්‍රිකට් දේශපාලනය ගැන නොවේ. මේ දිනවල ඇදහැලෙන පාසල් මහා ක්‍රිකට් තරඟ වැස්සේ හේදෙන යෞවනෝදය ගැනය. බිග් මැච් අවසන් වනවිට වැටෙන් බිග් පැච් ගැනය.

බිග් මැච් කියනවිටම මැච් එක ක්‍රිකට් මිස අනෙකක් නොවේ. අනෙක් අතට බිග් මැච් ගසන්නට නම් ඒ ඉස්කෝල ද ටිකක් බිග් ලෙවල් එකේ ඒවා විය යුතුය. කාට හෝ ඇති අධික උනන්දුව හේතුකොටගෙන පාසල් දෙකක් අතර විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුමක් පවත්වන්නට කටයුතු යෙදුණ ද එය බිග් මැච් එකක් වන්නේ නැත. බිග් මැච් කියනවිටම රටවැසියන්ගේ ඔළුවලට එන්නට තරම් ඒවා ප්‍රකට විය යුතුය. නැත්නම් ඒ තුළ ඇත්තේ හුදු අහිංසක වෑයමක් පමණක් වනු ඇත. ක්‍රිකට්වල අයිතිය ඇත්තේ එංගලන්තයටය. එහෙත් අඛණ්ඩ ලෙස බිග් මැච් ගැසීමේ ඓතිහාසික වාර්තාව ඇත්තේ අපට යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ලංකාවට බිග් මැච් ඒ තරම්ම ජීර්ණය වූ සංස්කෘතික අංගයක් වී තිබේ.

තරඟයේ වීරයෝ...


ආරම්භක කාලවලදී සුදු අධිරාජ්‍යවාදයේ උරුමයක් හැටියට ලැබුණ ද පසුකාලීනව සුද්දාටත් වඩා භුක්තියේ අයිතියට සවි වන ආකාරයට බිග් මැච් සංවිධානය කරන්නට තරම් අපේ පාසල් දක්ෂ විය. විසි වැනි සියවසේ අග වනවිට හුදු විනෝදය හා ජවය විදහා දක්වන තැනකට සීමා වී තිබූ විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම් කාලානුරූපීව විශාල පරිවර්තනයකට ලක් වී ඇත. ක්‍රීඩාවට දේශපාලනය කළ විනය තරමටම වාණිජත්වය විසින් ඒ මත ඇතිකරනු ලැබ ඇති අගතීන් වසරක් පාසා වර්ධනය වන හැටි අපට අසන්නට දකින්නට ලැබේ. මහා පාසල් අරා සිටිනා ආදි ශිෂ්‍ය සංගම්වල බල පරාක්‍රමය මේ හා සෘජුවම සම්බන්ධය. මේ බල පරාක්‍රමයට රටේ දේශපාලනයේ මුදුන් අතු සෘජුවම සම්බන්ධය. ඒ නිසා බිග් මැච් සංස්කෘතිය පුරා පැතිර යන අනීතික ධර්මතා ප්‍රවණතා හැටියට මහා පාසල්වල දරුවන්ගේ උරුමයක් කරදෙන්නට තරම් මේ බල සම්බන්ධතා සැහැසි වී තිබේ.

උදාහරණයක් හැටියට පසුගිය වසරේ දකුණේ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවැති මහා ක්‍රිකට් ගැටුම නිමාවූයේ දෙවිදුහල්හි ආදි සිසුවන් ඇති පදමට ගුටි ඇනගැනීමේ සමාප්තියකිනි.  නිරීක්ෂණය අනුව එය අතිශයින්ම දේශපාලන සංවාදයක් බවට පත් වූ තත්ත්වයකට පරිවර්තනය විය. රටේ ජාතික දේශපාලනයේ නියුතුවූවන්ගේ ගුණ නැණ බලය ගැනත් ඉදිරි දේශපාලන සිදුවීම්වලට ක්‍රීඩාව ද බලපාන ආකාරය ගැනත් දෙපිරිස් අතරේම හොඳ සිංහලෙන් අදහස් හුවමාරු විය. අවසානය වනවිට දෙවිදුහල්වල මෑතකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් නව සමාජ මාධ්‍ය මඟින් ණය බේරාගන්නා සංවාද දක්වා ද එය ඇදී ගියේය. අදට ද ඒවායේ අඩුවක් නැත. මේ නම් කවර තත්ත්වයක් ද? ක්‍රීඩාවේ මූලිකම අරමුණු වන සුසංයමය, විනය, සමගිය එක්තැන් කරන්නේ මෙසේද? ඒ එක් උදාහරණයක් පමණි.

අනෙකා කවුද?


පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වලට ලක්ෂ්මිය මිස සරසවිය අවශ්‍ය නැත. සැබැවින්ම අද වනවිට වේගයෙන් පැතිර යන බිග් මැච් වසන්තය සමඟ මතු වී පෙනෙන ඇතැම් ප්‍රවණතා සන් කරන්නේ ද එයයි. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන අපි පාසල් මහා ක්‍රිකට් සැණකෙළියේ අංගයක්ව සංවිධානය කෙරෙන බයිසිකල් පැරඩ් ආදියෙහි සමාජ හිංසන පැතිකඩ ගැන කතා නොකරමු. පසුගිය සතියේ එලෙස බිග් මැච් උන්මාදයෙන් පිස්සු කෙළ තිබූ ඇමැති පුතෙක් සිය සගයන් ද කැටුව කොළඹ බාළිකා පාසලකට පැන තිබුණේ පිස්සුව ඉවසාගෙන ඉන්න බැරි තැනය. සගයන් පොලිස් අත්අඩංගුවට පත්වුණද ඇමැති තාත්තාගේ බලතල නිසා ඔහුට නිදහසේ ආ වැඩේ කරගෙන යන්නටත් ලැබිණි. මේ ආකාරයට අද වනවිට බිග් මැච් සංස්කෘතිය වර්ධනය වෙමින් තිබෙන්නේ සමාජයේ අධිපතිත්වය දරන කොටසකගේ බලයේ මහන්තත්වය විෂද කරන ක්‍රියාවලියක් හැටියටය. නීතියේ සමානාත්මතාවය ගැන කතා කරන බොහෝ දෙනා මේ ගැන මුනිවත රකිති. 





Monday, 29 February 2016

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑ එක්නැලිගොඩ....


සත්‍ය කියන්නෙ මොකද්ද කියන දාර්ශනික ප්‍රශ්නෙ එහෙමම තිබියදී සම්මත ජනමාධ්‍යවේදය තුළ මූලික කටයුත්ත වෙන්නේ ජනතාවට තොරතුරු සැපයීම. ඒ සපයන තොරතුරු හැකිතරම් සත්‍ය විය යුතුයි. නැත්නම් සත්‍යට සමීප විය යුතුයි. මේ නිසා තොරතුරු සැපයීමේදී ජනමාධ්‍යවේදීන්ට තිබෙන්නේ විශාල වගකීමක්. එහෙත් ප්‍රවෘත්තියකට හිමි වටිනාකම කුමක්ද යන පැනය අනුව මේ වගකීමත් බල්ලට ගිහින්. මේ වගකීම්විරහිතබවට මූලික හේතුව ජනමාධ්‍යවේදය යැයි කියා දෙයක් ලංකාවේ නොවීම. (ඒක වෙනම කතා කළ යුතු කරුණක්)

පාලක තැනට කන්දෙන්න ඕනෑ..

කොහොම වුණත් මේ නිසාම අද වනවිට මේ නිසාම ප්‍රවෘත්තියක් සම්පාදනය බ්ලොක් ගල් ගහනවා වගේ වැඩක්. අච්චුව හදාගත්තාම අනුපාන ටික දැනගත්තාම ඉල්ලන ප්‍රමාණයට දෙන්නයි තියෙන්නේ. මේ පුවත් බ්ලොක් ගල් ගහන නොයෙක් අච්චු තියෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ එවැනි එක අච්චුවක්.
විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ අද වනවිට සතියේ පුවත්වලින් වැඩි බරක් අදින එක අංගයක්. මේ නිසාම මාධ්‍යවේදියාත් බ්ලොක්ගල් සම්පාදන කරුවකු දක්වා ඌනණය වෙලා. ප්‍රෙස් කොන් ( ප්‍රෙස් කොන්ෆරන්ස්) යනවා කියලා තමයි එදිනෙදා භාවිතයෙදි මාධ්‍යකරුවන් මේ ගැන කතාවෙන්නේ. ඇතැමුන්ට මේ ප්‍රෙස් කොන් හරියට පොප් කොන් වගේ. හැබැයි මේ ප්‍රෙස් කෝන් කියන වාච්‍යාර්ථයේ තිබෙන ගාම්භීරත්වයක් මේ පුවත්පත් සාකච්ඡාවල නෑ. අතිශය වගකීම්විරහිත තැනක් හැටියට මේ ප්‍රෙස් කෝන් හඳුන්වන්න පුළුවන්.

ඔයා ඇත්ත කියනවද? බොරු කියනවද? අපිට වැදගත් නෑ අනේ...


මේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට වාඩිවෙන දේශපාලකයන්ටත් කරන්න තියෙන්නේ බොහෝම පුංචි දෙයක්. හැකිතරම් දෙපිට කැපෙන වචන කතා කරමින් විරුද්ධ දේශපාලන පක්ෂය විවේචනය කිරීම තමයි ඒ. අතරින් පතර ප්‍රස්ථා පිරුළක්, ආප්තෝපදේශයක් වගේ එකක් දැම්මා නම් තවත් හොඳයි. එතකොට බොහෝදුරට ඒ පිරුළ ප්‍රවෘත්තියේ සිරස්තලයට යොදාගන්නත් පුළුවන්.

මේ ප්‍රෙස් කොන්ෆරන්ස්වල තියෙන වාසිය තමයි ඇති පදමට බොරු කියන්න පුළුවන් වීම. මොකද මේ කියන්නෙ ඇත්තද නැත්තද කියලා මාධ්‍යකරුවන්ට වැඩකුත් නෑ. ඔවුන්ට මේ ප්‍රවෘත්ති සාකච්ඡා හරියට ඉස්කොලෙ යන කාලේ ලියපු අසා ලිවීම වගේ. හැමෝම බලන්නේ කියන දේවල් අහගෙන ඔහේ ලියාගන්න. ඒවායේ ඇත්ත නැත්ත හොයන්න ඔවුන් උනන්දුත් නෑ. ඒ කතාත් ඒ තරම්ම පැටලිලිසහගතයි. හරියට පඹගාලක් වගේ. ඒ නිසා ඔය කියන කතා අසා සිටින සහ පුවත්පත්වල ප්‍රවෘත්ති සාකච්ඡා කියවන මිනිසුන්ගේත් ඔළුව අවුල් වෙනවා.

පත්තරකාරයොත් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කියපුවා අනෙක් පැත්තට ලියලා ඒකට නම දාගන්නවා. පහුවැනිදා ඒක පත්තරේ විස්තරේට කියවනවා. ඔය විදියට මාස දෙක තුනක් ප්‍රවෘත්තියයි නමයි කියවෙද්දි මෑන්ස් ප්‍රසිද්ධ මාධ්‍යකාරයෙක් වෙනවා. ඇත්තටම බැලුවා නම ගිය අපරාධකරුවක් වෙනවාට වඩා පහසුවෙන් මේ විදියට නම ගිය මාධ්‍යකරුවක් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නම හැදුණු ගමන් තවදුරටත් හැදෑරීම් නෑ.(දැන්නම් ගොඩක් දුරට හැදෑරීම් ඇත්තෙම නෑ) වැදෑරීමම තමයි තියෙන්නේ.

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑමේ පාපයට හසුව ඇති ප්‍රගීත්..


අන්න එහෙම ප්‍රවත්තෘ සාකච්ඡාවලින් නම හදාගත්ත කෙනෙක් තමයි පහුගිය දවසක ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවකදි ඩිලාන් පෙරේරත් එක්ක සෙට් වෙලා ප්‍රගීත් එක්නැලිගොඩ කවුද කියලා ඇහුවේ. මොකද අවුරුදු තිහක් මාධ්‍යකරුවක් විදියට වැඩ කළාට මෑන්ස් හිතන් ඉන්නෙ ජර්නලිස්ම් කියන්නේ අසාලිවීම වගේ වැඩක් කියලා. අනේ එහෙම බැලුවාම ලෝකයේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පවා අපේ රටේ හිටියා නම් අබ සරණයි. මොකද අපේ ඈයොම පහුවැනිදා උන් මාධ්‍යවේදියොද කියලා අහන නිසා. හොඳ වෙලාවට අපේ රටේ එහෙම අය අඩුයි. ( ටික දෙනෙක් ඉන්නවා..හැබැයි ජනප්‍රකට නෑ..) ඒ නිසා ප්‍රෙස් කෝන් ගිහින් පොප් කෝන් කනවා වගේ නිව්ස් එකක් ගහගෙන හවස ගෙදර යන එකයි තියෙන්නේ..


Thursday, 25 February 2016

මවුන්ට් එලිසබෙත් පන්නයේ මරණයක්...



වාමාංශික දේශපාලන පක්ෂවල සංවිධායකයෝ සිය සාමාජිකත්වය පුළුල් කරගැනීම සඳහා කරන බඳවාගැනීම්වලදී පංති පරතරය පෙන්වාදෙන්නට අපූරු උපහැරණයක් භාවිත කරති. ඒ ජීවිතවල වටිනාකම මූල්‍යමය වටිනාකමක් දක්වා ඌනණය කෙරන අවස්ථාවක් වන සෞඛ්‍ය සේවා ප්‍රශ්නයයි. ඒ අනුව ධනපතියා පුංචිම කැසිල්ලකට පවා ලොව හොඳම රෝහල්වල සුවය සොයද්දී පීඩිතයෝ සිය මාරාන්තික රෝග හමුවේ වුවද රජයේ රෝහල්වල පෝලිම් ගැසී බෙහෙත් ටික ගැනීමට බලා සිටිති. එලොව යනවාද මෙලොව ඉන්නවාද යන්න තීරණය කෙරෙන ශල්‍යකර්මවලට වුවද ජීවිත අවදානමත් දරාගෙන පොරොත්තු ලේඛනවලම ලැග සිටිති. ඉතින් මේ ක්‍රමය සාධාරණදැයි අසද්දී මිනිස්සු නිරුත්තර වෙති. එහෙත් එසේ ධර්මය වදාළ වාමාංශික ප්‍රචාරක ලේකම්වරුම පක්ෂය පමණක් නොව පංතියත් මාරුකරගෙන සුළු හිස රුජාවටත් ගුවන්ගතව හොඳම රෝහල්වල සේවය සොයද්දී පීඩිත පංතියම අන්දුන් කුන්දුන්ය. ″ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව, ධනපති තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. ″ පාරිභෝගිකවාදයේ පතුළටම වැටුණු කලත් උන් වළිකන්නේ ලෙනින්ගේ ඇගේම එල්ලෙන්නටය. එහෙත් එය කෙතරම් විසිළුසහගතදැයි කිවහොත් අන්තිමේදී උන්දෑලාගේ මේ  බිරින්ඳෑලාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී මේ ලෝකයෙත් නැති ලෙඩ හැදී සයනාසනාරූඩවන්නට සොයන්නේත් සුපිරි පහසුකම් සපිරි පෞද්ගලික රෝහල්මය.

මේ රාජකීය සැකසුම ඇතිහැකි ඔබ වෙනුවෙන්මයි..

සෞඛ්‍ය සේවය හා දේශපාලනය ගැන මෙහෙම කියන්න හිතුණේ මවුන්ට් එලිසබෙත් රෝහල නිසාය. හරියටම කිව්වොත් ඊටත් වඩා මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා නිසාය. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුලත් කිරීම දේශපාලන පුවතක් බවට පත්වීම හා ඒ අනුසාරයෙන් ඇති වූ කතා නිසාය.රාජපක්ෂ ආණ්ඩු පෙරලියේ කතෘවරයකු වූ රාජිත මේ ඇතුලත් වී සිටින මවුන්ට් එලිසබෙත් රෝහල යනු සෝභිත හිමියන් ද අවසන් වරට ප්‍රතිකාර ලැබූ තැනය. අනෙක් අතට පසුගිය කාලය පුරා දේව කන්නලව්වලට වැඩි බරක් තැබූ ඒකාබද්ධ විපක්ෂය හාස්කමක් වන තුරු බලා සිටී. මේ සිදුවීම් හා පොල් ගැසීම් අතර තාර්කික ප්‍රතිපල ප්‍රබන්ධයෝ සුළං වේගයෙන් හමා යති. ඒ හමායාමේ කුරිරු ප්‍රීතිය කොතෙක්දැයි කිවහොත් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැඩි සේ ඇලුම් කරන මා හඳුනන ස්ත්‍රියක මේ දිනවල සිටින්නී රාජිත සේනාරත්නගේ දේශපාලන ජීවිතයට සෝභිත හිමි මාදිලියේ අවසානයක් අපේක්ෂා කරන උදෙ‍ේ‍යා්ගයකිනි. අනෙක් අතට ඇය දිගින් දිගටම ප්‍රශ්න කරන්නී සෞඛ්‍ය ඇමැතිට මේ තරම් රට සැප කුමටදැයි කියාය.


 මේ නිසා මේ සෞඛ්‍ය ඇමැතිවරයා ලියුම්කරුට කී දෙයක් සිහියට නැගේ.
″ඔයා දන්නවද තාත්තා මට රාජිත කියලා දැම්මේ ඇයි කියලා..″ ඇමැතිවරයාගේ පැනයට හිස වැනූවෙන් ඔහු එය පැහැදිලි කළේ මෙසේය. ″රාජිත කියන්නෙ පරාජය කළ නොහැකි කියන කියන එක..″ .. ඒ ඔහු තම බල දේශපාලනයට සංඥා නාමයත් භාවිත කරන හැටිය. 

මේ සැප මවුන්ට් එලිසබෙත්හිම මිස ...


දැන් ඉහත පළමුව කී අතීත වාමාංශික ප්‍රචාරක ලේකම්වරයාත් මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ භෞතික අවසානයක් යදින දේශපාලන යාදිනියත් අතර සම්බන්ධ කර කතාවේ අවසානයට යා හැකිය. දේශපාලනය තුළ රාජිත නොව බණ්ඩාරනායක, රාජපක්ෂ, ජයවර්ධන ආදී සංඥා නාමයන්ට ඊටත් වඩා අළෙවි වටිනාකමක් තිබේ. දේශපාලනය වැඩවසම් වන තරම අනුව එය තවත් තීව්‍ර වෙයි. එහෙත් භෞතික ශරීර රෝගාතුර වූ කළ ඒ බොහෝ දෙනාගේ වටිනාකම තීරණය වන්නේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව මතය. මාරාන්තික අවස්ථාවකදී සංඥා නාම අළෙවිකරන්නන්ගේ පමණක් නොව පොල් ගසන කල්ලිවල ද ගැලවුම්කාර දෙවියා උසස්ම වෛද්‍ය සේවය වන්නේ එහෙයිනි. සැබැවින්ම තීරණාත්මක අවස්ථාවලදී මරණය පරාජය කළහැක්කේ විද්‍යා තාක්ෂණයේ මහිමයෙන් මිස සංඥා නාමවලින් නොවේ. මේ නිසාම දුප්පත්කමේ සාපය නිසා උසස් වෛද්‍ය සැපයුම් නොමැතිකමින් මරණය හමුවේ පරාජය වන රාජිතලා මේ රටේ කොතෙකුත් වෙති. සාප කරන්නන් ද උදම් අනන්නන් ද ආමන්ත්‍රණය නොකරන, කතා නොකරන යථාර්ථය එයයි.


ජීවිතය ඕනෙම ද? 


ඇති හැකි අය මවුන්ට් එලිසබෙත් ගියාට අපේ නම් අහිතක් නැත. එහෙත් රටේ සෞඛ්‍ය ඇමැතිවරයා සුළු යැයි කියන සැත්කමකටත් සිංගප්පූරුවට යන විට එහි නොකියන කතාව වන්නේ මේ රටේ සෞඛ්‍ය සේවයේ තත්ත්වයයි. එනිසා අප වද වෙන්නේ වේදනා නාශක පෙත්තක්වත් වෛද්‍යවරයකුවත් නැතිව පරාජය වන මේ රටේ ජීවිත ගැනය. අනෙක් අතට ජීවිතවල අවසානය යදිමින් දේශපාලන පරිවර්තන සිදුවන තුරු මාන බලන වැඩවසම් යාදිනියන්ට සිහිකළයුත්තක් ද වේ. ඒ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් කළ හැකි මුදල ලක්ෂ තුනහමාර දක්වා වැඩි කරන ලෙස වූ යෝජනා ගෙනආවේ පහුගිය පාලන සමයේදීම වන බවය. අවසන මේ කිසිවෙකුගේ හව්හරණක් නැත්තේ මහජන නියෝජිතයන් උජාරුවන් කියන ජනවරම ප්‍රදානය කරන මහජනයාටය. ඒ අතින් නම් විපක්ෂත් ආණ්ඩුත් මැද්දේ ඔවුන් තාමත් පරාජිතය. 

එවිට අර පැරැණි වාමාංශික ප්‍රචාරක ලේකම්ලා නොකියන කෑල්ල එලියට එයි. ඒ මෙසේය. ‘‘ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. ඒ වගේම මම ධනවාදයවත් ධනපති විද්‍යා තාක්ෂණයවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ...“



Thursday, 18 February 2016

මුසාවාදා වේය රමණී..





මුසාවාදා වේය රමණී
ඇති පදම් මම කියමි
දහම උකසට තබමි
ධම්මාලෝක මම වෙමි..

ඉඳ ඉඳම එක වෙහෙරේ
මාත් සමඟම නුදුරේ
ආපු එකෙකු පෙරහරේ
අලි පැටවකුම තනි කළේ..

ඒත් ඒ බව නොදන්නේ
මගේම දොස් දක්නේ
පර ටොයියනි දැනගන්නේ
ජනපති මා සමඟ ඉන්නේ..

ඒත් දුන්නොත් දානේ
නිසැක යැයි කියනව නිධානේ
ඇහැ පියවෙනා ගානේ
පෙනෙන්නේ ඇයි එකම හීනේ..

රැකියාවිරහිතවුන් VS රැකියාලාභින් ..

රැකියාව අයිතියක් නේද?

″රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක්.. නේද? අපි දැන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ආණ්ඩු බොරු පොරොන්දු දීලා අපිව රවට්ටනවා. අපි මේ සටන් කරන්නෙ ඒකට විරුද්ධව.. ඔබට පුළුවන් නම් අපිට ආධාරයක් කරන්න. අපගේ මේ සටන ඔබේ දරුවාත් වෙනුවෙනුයි. රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..? ″

හද බස හොඳින් හඳුනන සහෝදරී කෝච්චි පෙට්ටියේ හුන් වැඩිහිටියන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් වැකි දෙක තුනෙන් තමන්ව ද හඳුන්වා දෙමින් සිය සටනට ආධාර ඉල්ලන්නීය. එහෙත් ගාලු කුමාරියේ හඬ මිස කෝච්චි පෙට්ටියේ මිනිසුන්ගේ හඬ නිහඬය. ඈ අසන පැනයට උත්තරයක් නැතුව මෙන් දෑස් අයා  බලා හිඳියෝ ඇගේ නික්ම යාමෙන් පසු නාට්‍ය කණ්ඩායමක් මෙන් විවිධ ආංගික අභිනයන් පාන්නට වූහ. ″රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..? ″ යාබද කෝච්චි පෙට්ටියෙන් ද හද බස ඇසෙයි. හදවත පෑරෙයි.

හද බස ඇසෙයි.. හදවත පෑරෙයි..


මේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයයි. සවස කොළඹ කොටුවේ පැවැත්වෙන උද්ඝෝෂණ පෙලපාලියට  අවි මුවහත් කරනුව අගනුවරට ඇදෙන සංක්‍රමණික නුවරුන් දැනුම්වත් කිරීම ඔවුහු හිමිදිරියේම ආරම්භ කර ඇත. එහෙත් සුපුරුදු කරදරකාරී මුහුණත්තහඩුත් ප්‍රශ්නකාරී ඇසුත් මිස සහනශීලී වදනක් ඇසෙන මායිමක නැත.
″ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″ තරුණියගේ හඬ නෑසෙන මානයේ මමිතුරා ප්‍රශ්න කරයි. ″අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ..″ එක ප්‍රශ්නය දෙක තුන වෙයි. තරුණියගේ නික්මයාමෙන් ඉක්බිති කෝච්චි පෙට්ටියම විචාරක පෙට්ටියක් වෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයත් ඩෙංගු වගේය. එක් වී සටන් කරයි. උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ගැසුවහොත් පුවතක් වෙයි. උඩ එයි. යට යයි. ආණ්ඩුව ද කරන්නේ කුමක්දැයි හරිහැටි නොකියයි. ඒ සටන් කරන අතරේම ගමේ පළාතේ දේශපාලන නායකයාගෙන් යමක් කරගැනීමට පිරිසක් මාන බලති. උත්සාහය සපල වුවහොත් ඔවුහු ද අප මෙන්ම හිමිදිරියේ බත් තම්බාගෙන කෝච්චි පෙට්ටිවල නැගී දුර ගමන් යති. නැතිනම් කෙටි කාලයක් දුෂ්කරේට ගොස් නැවත ගම් රට එති. එහෙත් ඒ එන අතර මග මෙවැනි සටනක් දුටුවහොත් පරල වෙති. ″ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″ ඉක්බිති සිය අතීත මතක වස්තුව මරාගෙන පීඩිතයා වෙනුවට විචාරකයෙක් උපදී.  

පීඩිතයා වෙනුවට විචාරකයා උපදී..


ඇත්තටම දැන් කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මෙයයි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ අවුලුත් ආර්ථික අර්බුදයත් සමව කැලැතී ඇඹරෙද්දී සාම්ප්‍රදායික ප්‍රශ්නාවලි මිනිසුන්ගේ ජීවන අන්දර බවට ඌනණය වී තිබේ. කෝච්චි පෙට්ටියට නැගී ටිකට් පත් විකුණූ තරුණියගෙන් ප්‍රශ්න කළ මමිතුරා ද උපාධිධාරියෙකි. එහෙත් ඔහුට රැකියා ප්‍රශ්නයට දරුණුව මුහුණ දීමට අවස්ථාව නොලද්දේ රාජ්‍ය නොවන සංවිධානයක් සාමය ගොඩනැන්වීම පිණිස ඔහුගේ සහායට පැමිණියෙනි. රටේ ප්‍රශ්න මෙන්ම ඔවුන්ගේ රැකියා ද ස්ථිරය. මන්දයත් සාමය හා සංහිඳීයාව ද පෙනෙන මානයක නැති හෙයිනි. එහෙත් එවැනි අවසර නොලබන බොහෝ උපාධිධාරියෝ රාජ්‍ය සේවයට ඇලුම් කරති. ඔවුන්ගෙන් බහුතරය මානව ශාස්ත්‍රපීඨ සිසුහුය. මේ කලක් තිස්සේ පැමිණි සාම්ප්‍රදායික ආකල්ප මාලාවේ දිගුවකි.

රාජ්‍ය සේවයේ නියුතු පුත්‍ර රත්නයකට දෝණියැන්දෑ සරණ පාවා දීම ගෞරවයක් ලෙස සැළකූ සමාජය අදටද වෙනස් වී ඇත්තේ ඉතා සෙමිනි. අනෙක් අතට රාජ්‍ය සේවය වනාහි ආණ්ඩු සේවය හෙවත් පවතින පාලක පංතියට සේවය කිරීමය යනුවෙන් නඩත්තු කළ සම්ප්‍රදාය මුළු රටටම පාරාවළල්ලක් වී තිබේ. එහෙත් ඒ දුර්දාන්ත ක්‍රමයම ඉදරියට දායාද කරනු විනා විකල්ප මගක් ගැන වූ දේශපාලන අධිෂ්ඨානයක් නැති ගානය. ″අපිට වැඩ කරපු උන්ට රස්සා ටිකක් දෙන්න බැරිනම් මේ ඇමැතිකමෙන් ඇති වැඩේ මොකද්දැ″යි දේශපාලකයන් ප්‍රසිද්ධියේම කියන්නේ ඒ නිසාය.

එක පවුලකට ආණ්ඩුවේ එක රැකියාවක්වත් දුන්නොත් පවුලේ ඡන්ද කීපයක්වත් ඩැහැගත හැකිය. ඉතින් රාජ්‍ය සේවය යනු තාමත් ප්‍රධාන පක්ෂ දෙකට ඡන්ද බැංකුය. අනෙක් අතට නව නිපැයුමක් හෝ නිසි කලමනාකරණයක් නැති රාජ්‍ය සේවය තව තවත් ප්‍රසාරණය කිරීමේ බර පෙරලා පැමිණෙන්නේ ද පොදු ජනතාව මතය. මන්දයත් රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද පතා ඊට ඇතුලුවන සියල්ලන්ගේම වැය බර ගෙවන්නේ මහජන බදු මුදලෙන් වන නිසාය. එහෙත් දේශපාලකයෝ මේ ටික කීමට කැමැති නැත. ගෞරවනීය රාජ්‍ය සේවයට අද බඳවා ගත් යනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කරමින් කට උල් කරගනිමින් මුසා තෙපලන්නේ ඒ දේශපාලන බිජු බඩේ තියාගෙනය. අන්තිමේදී සිදුවන්නේ උපාධිධාරින් හෝද හෝද මඩේ දැමීමකි.

උත්තර නැද්ද?


″ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″ ″අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ..″ මේ කතාවල පූර්ණ ඇත්තක් නැතත් ගත යුත්තක් තිබේ. ඒ මෙරට විරැකියා ප්‍රශ්නය පිළිබඳ යථාර්ථයයි. එහෙත් ඊට මුහුණදීමේදී ප්‍රධාන වගකිවයුත්තා වන ආණ්ඩුත් දේශපාලකයෝත් සිටින්නේ කොලේ වහලා ගහන තැනකය. රටේ දියුණුවට ඉවහල් වන පෞද්ගලික අංශය ප්‍රසාරණයටත් නිපැයුම් ආර්ථිකයකටත් අසමත් වූ සියලු පාලකයෝ මීට වගකිවයුත්තෝය. පාඨලි චම්පික ඇමැතිවරයා ආණ්ඩු පෙරළියට පෙර ගණන් හදා කී අන්දමට සැබැවින්ම උගත් රැකියා වියුක්තිය වැඩිවෙමින් තිබේ. එහෙත් අද නිවන් දකින්නට ඉතා සමීපවූවන් මෙන් කතා කරන විපක්ෂය ද සාම්ප්‍රදායික රාජ්‍ය සේවා මිථ්‍යාව නඩත්තු කරමින් සිටී. දෙපක්ෂයේම අරමුණු ඉටු වන ලෙස උදේ කතා කළ රැකියා විරහිත උපාධිධාරීන්ට සවස පොලිසියෙන් කඳුළු ගෑස් ගසා තිබුණේ ආණ්ඩුවටත් උත්තරයක් නැති බව යළි පසක් කරමිනි.

සවස පහයි හතලිහට පමණ ඇත.
″අර කාලකන්නි අදත් පාර වහගෙන.. මට එන්න වෙන්නෙ නෑ මචං.. බේස්ලයින් පාරෙත් මාර ට්‍රැෆික්. උඹ පලයන්..″ මෙවර ප්‍රශ්න නැත. උපාධිධාරි රැකියාලාභී මිතුරා දුම්රිය මගහැරීම ගැන දෙස් තියයි.  



Wednesday, 10 February 2016

ජාතිය ගොඩනැගීම හා අවජාතක දේශපාලනය..



″කාටවත් වැඩක් නැති පොල් ගැහිල්ලක් ගැන මරාගන්නවට වඩා නරකද.. මේ කීර්තිය ගේන කොල්ලො කෙල්ලො ගැන පොඩ්ඩක් කතා කරන එක.. කොමෙන්ට් කරමු.. ෂෙයාර් කරමු.. කියවමු.. ලියමු මෙව්වා ගැන.. මෙන්න ජුලියන් බෝලින්ලා සුසන්තිකාලා ශ්‍රියාණිලා ධම්මිකා මැණිකේලා ආයෙත් බිහිවෙනවා. ගූගල් කරපල්ලා.. ඉමේජස් හොයලා බුකිය පුරවලා සමරපල්ලා.. ″

පසුගිය පෙබරවාරි 6 වැනිදා හැන්දෑකරේ මුහුණු පොතේ කරක් ගැසූ මට මොහොමඩ් ෆර්සාන්ගේ මේ පෝස්ටුව දුටු විට සියුම් සතුටක් ඇතිවිණි. ඒ තමන්ගේ ලේ කුමන පාටදැයි සොයා බලනු රිසිව රටේම නැති මඩ අවලාදයෙන් අපවාදයෙන් ද්වේෂයත් වෛරයත් මුහුණු පොත මත වැපිරෙමින් තිබුණු නිසාය. එහෙත් එවැනි සාපලත් කතා මැද ඉහත අදහස ඉස්මතුවේද යන සංකාව එසැණින් මසිත නැගිණි. සටහන තබන අද වනවිට ඒ සැකය දුරැර සටහන් තැබූ මුසල්මාන සොයුරා ද ගොඩදමන්නට පිරිසක් එකාවන්ව කටයුතු කර තිබේ. ඒ අන් කවුරුන්වත් නොව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකික වීර දූ පුත්තුය. පොල් ගැසීමේ, සාප කිරීමේ පටන් ව්‍යාජ උපවාස දක්වා පැතිර පවත්නා ශ්‍රී ලාංකික දේශපාලනයේ ඊනියා කෙළි කවටකම් මැද දෑස් නිලංකාර කරගත් සමාජයක හදවත පහුරු ගාන්නට මේ කුරුලු රෑන සමත්ව තිබේ. හුස්ම හිර කරන, අනුන්ගේ ලේ ඉල්ලන, වචන හරඹයෙන් දස්කම් පාන ගෝත්‍රික නයුවන් මැද සිය සියල් සිරුරේ උපරිම ජවය මඟින් රනින් රිදියෙන් ලෝකඩින් ලක් මව් සරසන්නට මේ කුරුලු රෑන සමත්ව තිබේ. ඒ ලොව සුවිසල්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වූ අසල්වැසි ඉන්දියාවට පමණක් දෙවැනි වෙමිනි. මේ අභිමානයට ඇති එකම පර්යාය පදය ශ්‍රී ලාංකිකත්වයම මිස අන් කුමක්ද?

වේගවත්ම ලාංකිකයාගේ සිට වේගවත්ම දකුණු ආසියානුවා දක්වා ගිය හිමාෂ ...


ජාතික කොඩිය කෑලි කර දේශයක හද පාරන යුගයක සාග් ක්‍රීඩා උළෙලේ තරඟ වැදුණු අපේ සහෝදර සහෝදරියන්ගේ එකම පැතුම වූයේ සිය ජයග්‍රහණයෙන් ඉක්බිති ඒ ජාතික කොඩියම හිසට සේසත් කරගන්නටය. එකම රටක් තුළ දේශපාලනයත් ක්‍රීඩාවත් වර නැගෙන අපූරුව.. එහෙත් අවාසනාවට කරුණ වන්නේ මේ ඇත්ත යථාර්ථය තේරුම් ගත්තත් ඒ ගැන කතාකරන්නට තරම් නිර්භය මිනිසුන්ගේ අඩුවයි. මුරලිගේ පිට දඟ පන්දුවට ප්‍රතිවාදීන් ඇඹරෙද්දී හුරේ දැමූ සමාජයක්ම තාජුඩීන්ගේ ඝාතනයට වගකිවයුත්තන් ගැන සොයද්දී වෙනස් මුහුණුවරකින් දඟ කැවෙන්නේ ඒ නිසාය. ඒ විකෘති දඟකැවීමේ පාපය වසර තිහක් පුරාවට අත්විඳි ජාතියක් හැටියට දැන් අප කළයුත්තේ ක්‍රීඩාව වැනි ඉසව් අනාගතවාදී දේශපාලන දැක්මකින් භාවිත කිරීමය. ″ හිමාෂ ඒෂාන්.. ඔහොමම දුවගෙන වරෙන් කොළඹට ආදරෙන් උඹව බදාගන්න.. උඹ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා..″ යැයි කියමින් මොහොමඩ් ෆර්සාන් මුහුණු පොතේ දමන සටහන මට වඩාත් හෘදයාංගම වන්නේ එහෙයිනි. 

ජාතිය ගොඩනැගුණේ සීතල කාමරවල නොවේ..



ජාතිය ගොඩනැගුණේ වට මේස සාකච්ඡා පිරුණු සීත කාමර තුළ නොව ක්‍රීඩාලෝලීන්ගෙන් පිරුණු කෝපි කඩවල් තුළ දීය යන්න බටහිර ප්‍රකට මතයකි. අපේ රටට අදාළව ගත්තත් එය වඩාත් ප්‍රබල කාව්‍යෝක්තියකි. එහෙත් ඒ ඇත්ත යථාර්ථය පසක් කරන්නට සිරුරේ ජවයෙන් ලක්මව සරසන දූ පුතුන් මෙන්ම ජාති කුල ගොත් පටු සීමා මායිම් ඉක්මවන සිහිබුද්ධියක් ඇති මිනිසුන් ද අවශ්‍ය කර තිබේ. මොහොමඩ් ෆර්සාන්ලාගේ පුංචි ෆේස් බුක් ලිපිය වඩා රැඩිකල් වන්නේ ඒ අවකාශය තුළය. මුරලි කඩුල්ලක් දවා ගනිද්දී අත් පොළසන් දුන් අපට කිමිකෝ රහීම්ස් ජල තලය දෙබෑකරගෙන දකුණු ආසියාවම පරදවද්දී මුනිවත රැකිය හැකිද? ලේ වල ගඳ සුවඳ ඉතිහාසය හා නිරුක්තිය සොයන්නෝ දැන් කුමක් කියන්නෝද? ඔවුන් මේ ජයග්‍රහණයත් ව්‍යවච්ඡේද කරන්නට දැන් සූදානම් ද?