Monday, 29 February 2016

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑ එක්නැලිගොඩ....


සත්‍ය කියන්නෙ මොකද්ද කියන දාර්ශනික ප්‍රශ්නෙ එහෙමම තිබියදී සම්මත ජනමාධ්‍යවේදය තුළ මූලික කටයුත්ත වෙන්නේ ජනතාවට තොරතුරු සැපයීම. ඒ සපයන තොරතුරු හැකිතරම් සත්‍ය විය යුතුයි. නැත්නම් සත්‍යට සමීප විය යුතුයි. මේ නිසා තොරතුරු සැපයීමේදී ජනමාධ්‍යවේදීන්ට තිබෙන්නේ විශාල වගකීමක්. එහෙත් ප්‍රවෘත්තියකට හිමි වටිනාකම කුමක්ද යන පැනය අනුව මේ වගකීමත් බල්ලට ගිහින්. මේ වගකීම්විරහිතබවට මූලික හේතුව ජනමාධ්‍යවේදය යැයි කියා දෙයක් ලංකාවේ නොවීම. (ඒක වෙනම කතා කළ යුතු කරුණක්)

පාලක තැනට කන්දෙන්න ඕනෑ..

කොහොම වුණත් මේ නිසාම අද වනවිට මේ නිසාම ප්‍රවෘත්තියක් සම්පාදනය බ්ලොක් ගල් ගහනවා වගේ වැඩක්. අච්චුව හදාගත්තාම අනුපාන ටික දැනගත්තාම ඉල්ලන ප්‍රමාණයට දෙන්නයි තියෙන්නේ. මේ පුවත් බ්ලොක් ගල් ගහන නොයෙක් අච්චු තියෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ එවැනි එක අච්චුවක්.
විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡා කියන්නේ අද වනවිට සතියේ පුවත්වලින් වැඩි බරක් අදින එක අංගයක්. මේ නිසාම මාධ්‍යවේදියාත් බ්ලොක්ගල් සම්පාදන කරුවකු දක්වා ඌනණය වෙලා. ප්‍රෙස් කොන් ( ප්‍රෙස් කොන්ෆරන්ස්) යනවා කියලා තමයි එදිනෙදා භාවිතයෙදි මාධ්‍යකරුවන් මේ ගැන කතාවෙන්නේ. ඇතැමුන්ට මේ ප්‍රෙස් කොන් හරියට පොප් කොන් වගේ. හැබැයි මේ ප්‍රෙස් කෝන් කියන වාච්‍යාර්ථයේ තිබෙන ගාම්භීරත්වයක් මේ පුවත්පත් සාකච්ඡාවල නෑ. අතිශය වගකීම්විරහිත තැනක් හැටියට මේ ප්‍රෙස් කෝන් හඳුන්වන්න පුළුවන්.

ඔයා ඇත්ත කියනවද? බොරු කියනවද? අපිට වැදගත් නෑ අනේ...


මේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට වාඩිවෙන දේශපාලකයන්ටත් කරන්න තියෙන්නේ බොහෝම පුංචි දෙයක්. හැකිතරම් දෙපිට කැපෙන වචන කතා කරමින් විරුද්ධ දේශපාලන පක්ෂය විවේචනය කිරීම තමයි ඒ. අතරින් පතර ප්‍රස්ථා පිරුළක්, ආප්තෝපදේශයක් වගේ එකක් දැම්මා නම් තවත් හොඳයි. එතකොට බොහෝදුරට ඒ පිරුළ ප්‍රවෘත්තියේ සිරස්තලයට යොදාගන්නත් පුළුවන්.

මේ ප්‍රෙස් කොන්ෆරන්ස්වල තියෙන වාසිය තමයි ඇති පදමට බොරු කියන්න පුළුවන් වීම. මොකද මේ කියන්නෙ ඇත්තද නැත්තද කියලා මාධ්‍යකරුවන්ට වැඩකුත් නෑ. ඔවුන්ට මේ ප්‍රවෘත්ති සාකච්ඡා හරියට ඉස්කොලෙ යන කාලේ ලියපු අසා ලිවීම වගේ. හැමෝම බලන්නේ කියන දේවල් අහගෙන ඔහේ ලියාගන්න. ඒවායේ ඇත්ත නැත්ත හොයන්න ඔවුන් උනන්දුත් නෑ. ඒ කතාත් ඒ තරම්ම පැටලිලිසහගතයි. හරියට පඹගාලක් වගේ. ඒ නිසා ඔය කියන කතා අසා සිටින සහ පුවත්පත්වල ප්‍රවෘත්ති සාකච්ඡා කියවන මිනිසුන්ගේත් ඔළුව අවුල් වෙනවා.

පත්තරකාරයොත් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කියපුවා අනෙක් පැත්තට ලියලා ඒකට නම දාගන්නවා. පහුවැනිදා ඒක පත්තරේ විස්තරේට කියවනවා. ඔය විදියට මාස දෙක තුනක් ප්‍රවෘත්තියයි නමයි කියවෙද්දි මෑන්ස් ප්‍රසිද්ධ මාධ්‍යකාරයෙක් වෙනවා. ඇත්තටම බැලුවා නම ගිය අපරාධකරුවක් වෙනවාට වඩා පහසුවෙන් මේ විදියට නම ගිය මාධ්‍යකරුවක් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නම හැදුණු ගමන් තවදුරටත් හැදෑරීම් නෑ.(දැන්නම් ගොඩක් දුරට හැදෑරීම් ඇත්තෙම නෑ) වැදෑරීමම තමයි තියෙන්නේ.

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑමේ පාපයට හසුව ඇති ප්‍රගීත්..


අන්න එහෙම ප්‍රවත්තෘ සාකච්ඡාවලින් නම හදාගත්ත කෙනෙක් තමයි පහුගිය දවසක ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවකදි ඩිලාන් පෙරේරත් එක්ක සෙට් වෙලා ප්‍රගීත් එක්නැලිගොඩ කවුද කියලා ඇහුවේ. මොකද අවුරුදු තිහක් මාධ්‍යකරුවක් විදියට වැඩ කළාට මෑන්ස් හිතන් ඉන්නෙ ජර්නලිස්ම් කියන්නේ අසාලිවීම වගේ වැඩක් කියලා. අනේ එහෙම බැලුවාම ලෝකයේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පවා අපේ රටේ හිටියා නම් අබ සරණයි. මොකද අපේ ඈයොම පහුවැනිදා උන් මාධ්‍යවේදියොද කියලා අහන නිසා. හොඳ වෙලාවට අපේ රටේ එහෙම අය අඩුයි. ( ටික දෙනෙක් ඉන්නවා..හැබැයි ජනප්‍රකට නෑ..) ඒ නිසා ප්‍රෙස් කෝන් ගිහින් පොප් කෝන් කනවා වගේ නිව්ස් එකක් ගහගෙන හවස ගෙදර යන එකයි තියෙන්නේ..


Thursday, 25 February 2016

මවුන්ට් එලිසබෙත් පන්නයේ මරණයක්...



වාමාංශික දේශපාලන පක්ෂවල සංවිධායකයෝ සිය සාමාජිකත්වය පුළුල් කරගැනීම සඳහා කරන බඳවාගැනීම්වලදී පංති පරතරය පෙන්වාදෙන්නට අපූරු උපහැරණයක් භාවිත කරති. ඒ ජීවිතවල වටිනාකම මූල්‍යමය වටිනාකමක් දක්වා ඌනණය කෙරන අවස්ථාවක් වන සෞඛ්‍ය සේවා ප්‍රශ්නයයි. ඒ අනුව ධනපතියා පුංචිම කැසිල්ලකට පවා ලොව හොඳම රෝහල්වල සුවය සොයද්දී පීඩිතයෝ සිය මාරාන්තික රෝග හමුවේ වුවද රජයේ රෝහල්වල පෝලිම් ගැසී බෙහෙත් ටික ගැනීමට බලා සිටිති. එලොව යනවාද මෙලොව ඉන්නවාද යන්න තීරණය කෙරෙන ශල්‍යකර්මවලට වුවද ජීවිත අවදානමත් දරාගෙන පොරොත්තු ලේඛනවලම ලැග සිටිති. ඉතින් මේ ක්‍රමය සාධාරණදැයි අසද්දී මිනිස්සු නිරුත්තර වෙති. එහෙත් එසේ ධර්මය වදාළ වාමාංශික ප්‍රචාරක ලේකම්වරුම පක්ෂය පමණක් නොව පංතියත් මාරුකරගෙන සුළු හිස රුජාවටත් ගුවන්ගතව හොඳම රෝහල්වල සේවය සොයද්දී පීඩිත පංතියම අන්දුන් කුන්දුන්ය. ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව, ධනපති තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. පාරිභෝගිකවාදයේ පතුළටම වැටුණු කලත් උන් වළිකන්නේ ලෙනින්ගේ ඇගේම එල්ලෙන්නටය. එහෙත් එය කෙතරම් විසිළුසහගතදැයි කිවහොත් අන්තිමේදී උන්දෑලාගේ මේ  බිරින්ඳෑලාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී මේ ලෝකයෙත් නැති ලෙඩ හැදී සයනාසනාරූඩවන්නට සොයන්නේත් සුපිරි පහසුකම් සපිරි පෞද්ගලික රෝහල්මය.

මේ රාජකීය සැකසුම ඇතිහැකි ඔබ වෙනුවෙන්මයි..

සෞඛ්‍ය සේවය හා දේශපාලනය ගැන මෙහෙම කියන්න හිතුණේ මවුන්ට් එලිසබෙත් රෝහල නිසාය. හරියටම කිව්වොත් ඊටත් වඩා මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා නිසාය. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුලත් කිරීම දේශපාලන පුවතක් බවට පත්වීම හා ඒ අනුසාරයෙන් ඇති වූ කතා නිසාය.රාජපක්ෂ ආණ්ඩු පෙරලියේ කතෘවරයකු වූ රාජිත මේ ඇතුලත් වී සිටින මවුන්ට් එලිසබෙත් රෝහල යනු සෝභිත හිමියන් ද අවසන් වරට ප්‍රතිකාර ලැබූ තැනය. අනෙක් අතට පසුගිය කාලය පුරා දේව කන්නලව්වලට වැඩි බරක් තැබූ ඒකාබද්ධ විපක්ෂය හාස්කමක් වන තුරු බලා සිටී. මේ සිදුවීම් හා පොල් ගැසීම් අතර තාර්කික ප්‍රතිපල ප්‍රබන්ධයෝ සුළං වේගයෙන් හමා යති. ඒ හමායාමේ කුරිරු ප්‍රීතිය කොතෙක්දැයි කිවහොත් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැඩි සේ ඇලුම් කරන මා හඳුනන ස්ත්‍රියක මේ දිනවල සිටින්නී රාජිත සේනාරත්නගේ දේශපාලන ජීවිතයට සෝභිත හිමි මාදිලියේ අවසානයක් අපේක්ෂා කරන උදෙ‍ේ‍යා්ගයකිනි. අනෙක් අතට ඇය දිගින් දිගටම ප්‍රශ්න කරන්නී සෞඛ්‍ය ඇමැතිට මේ තරම් රට සැප කුමටදැයි කියාය.


 මේ නිසා මේ සෞඛ්‍ය ඇමැතිවරයා ලියුම්කරුට කී දෙයක් සිහියට නැගේ.
ඔයා දන්නවද තාත්තා මට රාජිත කියලා දැම්මේ ඇයි කියලා.. ඇමැතිවරයාගේ පැනයට හිස වැනූවෙන් ඔහු එය පැහැදිලි කළේ මෙසේය. රාජිත කියන්නෙ පරාජය කළ නොහැකි කියන කියන එක.. .. ඒ ඔහු තම බල දේශපාලනයට සංඥා නාමයත් භාවිත කරන හැටිය. 

මේ සැප මවුන්ට් එලිසබෙත්හිම මිස ...


දැන් ඉහත පළමුව කී අතීත වාමාංශික ප්‍රචාරක ලේකම්වරයාත් මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ භෞතික අවසානයක් යදින දේශපාලන යාදිනියත් අතර සම්බන්ධ කර කතාවේ අවසානයට යා හැකිය. දේශපාලනය තුළ රාජිත නොව බණ්ඩාරනායක, රාජපක්ෂ, ජයවර්ධන ආදී සංඥා නාමයන්ට ඊටත් වඩා අළෙවි වටිනාකමක් තිබේ. දේශපාලනය වැඩවසම් වන තරම අනුව එය තවත් තීව්‍ර වෙයි. එහෙත් භෞතික ශරීර රෝගාතුර වූ කළ ඒ බොහෝ දෙනාගේ වටිනාකම තීරණය වන්නේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව මතය. මාරාන්තික අවස්ථාවකදී සංඥා නාම අළෙවිකරන්නන්ගේ පමණක් නොව පොල් ගසන කල්ලිවල ද ගැලවුම්කාර දෙවියා උසස්ම වෛද්‍ය සේවය වන්නේ එහෙයිනි. සැබැවින්ම තීරණාත්මක අවස්ථාවලදී මරණය පරාජය කළහැක්කේ විද්‍යා තාක්ෂණයේ මහිමයෙන් මිස සංඥා නාමවලින් නොවේ. මේ නිසාම දුප්පත්කමේ සාපය නිසා උසස් වෛද්‍ය සැපයුම් නොමැතිකමින් මරණය හමුවේ පරාජය වන රාජිතලා මේ රටේ කොතෙකුත් වෙති. සාප කරන්නන් ද උදම් අනන්නන් ද ආමන්ත්‍රණය නොකරන, කතා නොකරන යථාර්ථය එයයි.


ජීවිතය ඕනෙම ද? 


ඇති හැකි අය මවුන්ට් එලිසබෙත් ගියාට අපේ නම් අහිතක් නැත. එහෙත් රටේ සෞඛ්‍ය ඇමැතිවරයා සුළු යැයි කියන සැත්කමකටත් සිංගප්පූරුවට යන විට එහි නොකියන කතාව වන්නේ මේ රටේ සෞඛ්‍ය සේවයේ තත්ත්වයයි. එනිසා අප වද වෙන්නේ වේදනා නාශක පෙත්තක්වත් වෛද්‍යවරයකුවත් නැතිව පරාජය වන මේ රටේ ජීවිත ගැනය. අනෙක් අතට ජීවිතවල අවසානය යදිමින් දේශපාලන පරිවර්තන සිදුවන තුරු මාන බලන වැඩවසම් යාදිනියන්ට සිහිකළයුත්තක් ද වේ. ඒ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් කළ හැකි මුදල ලක්ෂ තුනහමාර දක්වා වැඩි කරන ලෙස වූ යෝජනා ගෙනආවේ පහුගිය පාලන සමයේදීම වන බවය. අවසන මේ කිසිවෙකුගේ හව්හරණක් නැත්තේ මහජන නියෝජිතයන් උජාරුවන් කියන ජනවරම ප්‍රදානය කරන මහජනයාටය. ඒ අතින් නම් විපක්ෂත් ආණ්ඩුත් මැද්දේ ඔවුන් තාමත් පරාජිතය. 

එවිට අර පැරැණි වාමාංශික ප්‍රචාරක ලේකම්ලා නොකියන කෑල්ල එලියට එයි. ඒ මෙසේය. ‘‘ලෙනින් ධනවාදය ප්‍රතික්ෂේප කළාට ධනපති විද්‍යාව තාක්ෂණය ප්‍රතික්ෂේප කළේ නෑ.. ඒ වගේම මම ධනවාදයවත් ධනපති විද්‍යා තාක්ෂණයවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ...“



Thursday, 18 February 2016

මුසාවාදා වේය රමණී..





මුසාවාදා වේය රමණී
ඇති පදම් මම කියමි
දහම උකසට තබමි
ධම්මාලෝක මම වෙමි..

ඉඳ ඉඳම එක වෙහෙරේ
මාත් සමඟම නුදුරේ
ආපු එකෙකු පෙරහරේ
අලි පැටවකුම තනි කළේ..

ඒත් ඒ බව නොදන්නේ
මගේම දොස් දක්නේ
පර ටොයියනි දැනගන්නේ
ජනපති මා සමඟ ඉන්නේ..

ඒත් දුන්නොත් දානේ
නිසැක යැයි කියනව නිධානේ
ඇහැ පියවෙනා ගානේ
පෙනෙන්නේ ඇයි එකම හීනේ..

රැකියාවිරහිතවුන් VS රැකියාලාභින් ..

රැකියාව අයිතියක් නේද?

රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක්.. නේද? අපි දැන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ආණ්ඩු බොරු පොරොන්දු දීලා අපිව රවට්ටනවා. අපි මේ සටන් කරන්නෙ ඒකට විරුද්ධව.. ඔබට පුළුවන් නම් අපිට ආධාරයක් කරන්න. අපගේ මේ සටන ඔබේ දරුවාත් වෙනුවෙනුයි. රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..?

හද බස හොඳින් හඳුනන සහෝදරී කෝච්චි පෙට්ටියේ හුන් වැඩිහිටියන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් වැකි දෙක තුනෙන් තමන්ව ද හඳුන්වා දෙමින් සිය සටනට ආධාර ඉල්ලන්නීය. එහෙත් ගාලු කුමාරියේ හඬ මිස කෝච්චි පෙට්ටියේ මිනිසුන්ගේ හඬ නිහඬය. ඈ අසන පැනයට උත්තරයක් නැතුව මෙන් දෑස් අයා  බලා හිඳියෝ ඇගේ නික්ම යාමෙන් පසු නාට්‍ය කණ්ඩායමක් මෙන් විවිධ ආංගික අභිනයන් පාන්නට වූහ. රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..? යාබද කෝච්චි පෙට්ටියෙන් ද හද බස ඇසෙයි. හදවත පෑරෙයි.

හද බස ඇසෙයි.. හදවත පෑරෙයි..


මේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයයි. සවස කොළඹ කොටුවේ පැවැත්වෙන උද්ඝෝෂණ පෙලපාලියට  අවි මුවහත් කරනුව අගනුවරට ඇදෙන සංක්‍රමණික නුවරුන් දැනුම්වත් කිරීම ඔවුහු හිමිදිරියේම ආරම්භ කර ඇත. එහෙත් සුපුරුදු කරදරකාරී මුහුණත්තහඩුත් ප්‍රශ්නකාරී ඇසුත් මිස සහනශීලී වදනක් ඇසෙන මායිමක නැත.
ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..? තරුණියගේ හඬ නෑසෙන මානයේ මමිතුරා ප්‍රශ්න කරයි. අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ.. එක ප්‍රශ්නය දෙක තුන වෙයි. තරුණියගේ නික්මයාමෙන් ඉක්බිති කෝච්චි පෙට්ටියම විචාරක පෙට්ටියක් වෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයත් ඩෙංගු වගේය. එක් වී සටන් කරයි. උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ගැසුවහොත් පුවතක් වෙයි. උඩ එයි. යට යයි. ආණ්ඩුව ද කරන්නේ කුමක්දැයි හරිහැටි නොකියයි. ඒ සටන් කරන අතරේම ගමේ පළාතේ දේශපාලන නායකයාගෙන් යමක් කරගැනීමට පිරිසක් මාන බලති. උත්සාහය සපල වුවහොත් ඔවුහු ද අප මෙන්ම හිමිදිරියේ බත් තම්බාගෙන කෝච්චි පෙට්ටිවල නැගී දුර ගමන් යති. නැතිනම් කෙටි කාලයක් දුෂ්කරේට ගොස් නැවත ගම් රට එති. එහෙත් ඒ එන අතර මග මෙවැනි සටනක් දුටුවහොත් පරල වෙති. ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..? ඉක්බිති සිය අතීත මතක වස්තුව මරාගෙන පීඩිතයා වෙනුවට විචාරකයෙක් උපදී.  

පීඩිතයා වෙනුවට විචාරකයා උපදී..


ඇත්තටම දැන් කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මෙයයි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ අවුලුත් ආර්ථික අර්බුදයත් සමව කැලැතී ඇඹරෙද්දී සාම්ප්‍රදායික ප්‍රශ්නාවලි මිනිසුන්ගේ ජීවන අන්දර බවට ඌනණය වී තිබේ. කෝච්චි පෙට්ටියට නැගී ටිකට් පත් විකුණූ තරුණියගෙන් ප්‍රශ්න කළ මමිතුරා ද උපාධිධාරියෙකි. එහෙත් ඔහුට රැකියා ප්‍රශ්නයට දරුණුව මුහුණ දීමට අවස්ථාව නොලද්දේ රාජ්‍ය නොවන සංවිධානයක් සාමය ගොඩනැන්වීම පිණිස ඔහුගේ සහායට පැමිණියෙනි. රටේ ප්‍රශ්න මෙන්ම ඔවුන්ගේ රැකියා ද ස්ථිරය. මන්දයත් සාමය හා සංහිඳීයාව ද පෙනෙන මානයක නැති හෙයිනි. එහෙත් එවැනි අවසර නොලබන බොහෝ උපාධිධාරියෝ රාජ්‍ය සේවයට ඇලුම් කරති. ඔවුන්ගෙන් බහුතරය මානව ශාස්ත්‍රපීඨ සිසුහුය. මේ කලක් තිස්සේ පැමිණි සාම්ප්‍රදායික ආකල්ප මාලාවේ දිගුවකි.

රාජ්‍ය සේවයේ නියුතු පුත්‍ර රත්නයකට දෝණියැන්දෑ සරණ පාවා දීම ගෞරවයක් ලෙස සැළකූ සමාජය අදටද වෙනස් වී ඇත්තේ ඉතා සෙමිනි. අනෙක් අතට රාජ්‍ය සේවය වනාහි ආණ්ඩු සේවය හෙවත් පවතින පාලක පංතියට සේවය කිරීමය යනුවෙන් නඩත්තු කළ සම්ප්‍රදාය මුළු රටටම පාරාවළල්ලක් වී තිබේ. එහෙත් ඒ දුර්දාන්ත ක්‍රමයම ඉදරියට දායාද කරනු විනා විකල්ප මගක් ගැන වූ දේශපාලන අධිෂ්ඨානයක් නැති ගානය. අපිට වැඩ කරපු උන්ට රස්සා ටිකක් දෙන්න බැරිනම් මේ ඇමැතිකමෙන් ඇති වැඩේ මොකද්දැයි දේශපාලකයන් ප්‍රසිද්ධියේම කියන්නේ ඒ නිසාය.

එක පවුලකට ආණ්ඩුවේ එක රැකියාවක්වත් දුන්නොත් පවුලේ ඡන්ද කීපයක්වත් ඩැහැගත හැකිය. ඉතින් රාජ්‍ය සේවය යනු තාමත් ප්‍රධාන පක්ෂ දෙකට ඡන්ද බැංකුය. අනෙක් අතට නව නිපැයුමක් හෝ නිසි කලමනාකරණයක් නැති රාජ්‍ය සේවය තව තවත් ප්‍රසාරණය කිරීමේ බර පෙරලා පැමිණෙන්නේ ද පොදු ජනතාව මතය. මන්දයත් රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද පතා ඊට ඇතුලුවන සියල්ලන්ගේම වැය බර ගෙවන්නේ මහජන බදු මුදලෙන් වන නිසාය. එහෙත් දේශපාලකයෝ මේ ටික කීමට කැමැති නැත. ගෞරවනීය රාජ්‍ය සේවයට අද බඳවා ගත් යනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කරමින් කට උල් කරගනිමින් මුසා තෙපලන්නේ ඒ දේශපාලන බිජු බඩේ තියාගෙනය. අන්තිමේදී සිදුවන්නේ උපාධිධාරින් හෝද හෝද මඩේ දැමීමකි.

උත්තර නැද්ද?


ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..? අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ.. මේ කතාවල පූර්ණ ඇත්තක් නැතත් ගත යුත්තක් තිබේ. ඒ මෙරට විරැකියා ප්‍රශ්නය පිළිබඳ යථාර්ථයයි. එහෙත් ඊට මුහුණදීමේදී ප්‍රධාන වගකිවයුත්තා වන ආණ්ඩුත් දේශපාලකයෝත් සිටින්නේ කොලේ වහලා ගහන තැනකය. රටේ දියුණුවට ඉවහල් වන පෞද්ගලික අංශය ප්‍රසාරණයටත් නිපැයුම් ආර්ථිකයකටත් අසමත් වූ සියලු පාලකයෝ මීට වගකිවයුත්තෝය. පාඨලි චම්පික ඇමැතිවරයා ආණ්ඩු පෙරළියට පෙර ගණන් හදා කී අන්දමට සැබැවින්ම උගත් රැකියා වියුක්තිය වැඩිවෙමින් තිබේ. එහෙත් අද නිවන් දකින්නට ඉතා සමීපවූවන් මෙන් කතා කරන විපක්ෂය ද සාම්ප්‍රදායික රාජ්‍ය සේවා මිථ්‍යාව නඩත්තු කරමින් සිටී. දෙපක්ෂයේම අරමුණු ඉටු වන ලෙස උදේ කතා කළ රැකියා විරහිත උපාධිධාරීන්ට සවස පොලිසියෙන් කඳුළු ගෑස් ගසා තිබුණේ ආණ්ඩුවටත් උත්තරයක් නැති බව යළි පසක් කරමිනි.

සවස පහයි හතලිහට පමණ ඇත.
අර කාලකන්නි අදත් පාර වහගෙන.. මට එන්න වෙන්නෙ නෑ මචං.. බේස්ලයින් පාරෙත් මාර ට්‍රැෆික්. උඹ පලයන්.. මෙවර ප්‍රශ්න නැත. උපාධිධාරි රැකියාලාභී මිතුරා දුම්රිය මගහැරීම ගැන දෙස් තියයි.  



Wednesday, 10 February 2016

ජාතිය ගොඩනැගීම හා අවජාතක දේශපාලනය..



කාටවත් වැඩක් නැති පොල් ගැහිල්ලක් ගැන මරාගන්නවට වඩා නරකද.. මේ කීර්තිය ගේන කොල්ලො කෙල්ලො ගැන පොඩ්ඩක් කතා කරන එක.. කොමෙන්ට් කරමු.. ෂෙයාර් කරමු.. කියවමු.. ලියමු මෙව්වා ගැන.. මෙන්න ජුලියන් බෝලින්ලා සුසන්තිකාලා ශ්‍රියාණිලා ධම්මිකා මැණිකේලා ආයෙත් බිහිවෙනවා. ගූගල් කරපල්ලා.. ඉමේජස් හොයලා බුකිය පුරවලා සමරපල්ලා..

පසුගිය පෙබරවාරි 6 වැනිදා හැන්දෑකරේ මුහුණු පොතේ කරක් ගැසූ මට මොහොමඩ් ෆර්සාන්ගේ මේ පෝස්ටුව දුටු විට සියුම් සතුටක් ඇතිවිණි. ඒ තමන්ගේ ලේ කුමන පාටදැයි සොයා බලනු රිසිව රටේම නැති මඩ අවලාදයෙන් අපවාදයෙන් ද්වේෂයත් වෛරයත් මුහුණු පොත මත වැපිරෙමින් තිබුණු නිසාය. එහෙත් එවැනි සාපලත් කතා මැද ඉහත අදහස ඉස්මතුවේද යන සංකාව එසැණින් මසිත නැගිණි. සටහන තබන අද වනවිට ඒ සැකය දුරැර සටහන් තැබූ මුසල්මාන සොයුරා ද ගොඩදමන්නට පිරිසක් එකාවන්ව කටයුතු කර තිබේ. ඒ අන් කවුරුන්වත් නොව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකික වීර දූ පුත්තුය. පොල් ගැසීමේ, සාප කිරීමේ පටන් ව්‍යාජ උපවාස දක්වා පැතිර පවත්නා ශ්‍රී ලාංකික දේශපාලනයේ ඊනියා කෙළි කවටකම් මැද දෑස් නිලංකාර කරගත් සමාජයක හදවත පහුරු ගාන්නට මේ කුරුලු රෑන සමත්ව තිබේ. හුස්ම හිර කරන, අනුන්ගේ ලේ ඉල්ලන, වචන හරඹයෙන් දස්කම් පාන ගෝත්‍රික නයුවන් මැද සිය සියල් සිරුරේ උපරිම ජවය මඟින් රනින් රිදියෙන් ලෝකඩින් ලක් මව් සරසන්නට මේ කුරුලු රෑන සමත්ව තිබේ. ඒ ලොව සුවිසල්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වූ අසල්වැසි ඉන්දියාවට පමණක් දෙවැනි වෙමිනි. මේ අභිමානයට ඇති එකම පර්යාය පදය ශ්‍රී ලාංකිකත්වයම මිස අන් කුමක්ද?

වේගවත්ම ලාංකිකයාගේ සිට වේගවත්ම දකුණු ආසියානුවා දක්වා ගිය හිමාෂ ...


ජාතික කොඩිය කෑලි කර දේශයක හද පාරන යුගයක සාග් ක්‍රීඩා උළෙලේ තරඟ වැදුණු අපේ සහෝදර සහෝදරියන්ගේ එකම පැතුම වූයේ සිය ජයග්‍රහණයෙන් ඉක්බිති ඒ ජාතික කොඩියම හිසට සේසත් කරගන්නටය. එකම රටක් තුළ දේශපාලනයත් ක්‍රීඩාවත් වර නැගෙන අපූරුව.. එහෙත් අවාසනාවට කරුණ වන්නේ මේ ඇත්ත යථාර්ථය තේරුම් ගත්තත් ඒ ගැන කතාකරන්නට තරම් නිර්භය මිනිසුන්ගේ අඩුවයි. මුරලිගේ පිට දඟ පන්දුවට ප්‍රතිවාදීන් ඇඹරෙද්දී හුරේ දැමූ සමාජයක්ම තාජුඩීන්ගේ ඝාතනයට වගකිවයුත්තන් ගැන සොයද්දී වෙනස් මුහුණුවරකින් දඟ කැවෙන්නේ ඒ නිසාය. ඒ විකෘති දඟකැවීමේ පාපය වසර තිහක් පුරාවට අත්විඳි ජාතියක් හැටියට දැන් අප කළයුත්තේ ක්‍රීඩාව වැනි ඉසව් අනාගතවාදී දේශපාලන දැක්මකින් භාවිත කිරීමය. හිමාෂ ඒෂාන්.. ඔහොමම දුවගෙන වරෙන් කොළඹට ආදරෙන් උඹව බදාගන්න.. උඹ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා.. යැයි කියමින් මොහොමඩ් ෆර්සාන් මුහුණු පොතේ දමන සටහන මට වඩාත් හෘදයාංගම වන්නේ එහෙයිනි. 

ජාතිය ගොඩනැගුණේ සීතල කාමරවල නොවේ..



ජාතිය ගොඩනැගුණේ වට මේස සාකච්ඡා පිරුණු සීත කාමර තුළ නොව ක්‍රීඩාලෝලීන්ගෙන් පිරුණු කෝපි කඩවල් තුළ දීය යන්න බටහිර ප්‍රකට මතයකි. අපේ රටට අදාළව ගත්තත් එය වඩාත් ප්‍රබල කාව්‍යෝක්තියකි. එහෙත් ඒ ඇත්ත යථාර්ථය පසක් කරන්නට සිරුරේ ජවයෙන් ලක්මව සරසන දූ පුතුන් මෙන්ම ජාති කුල ගොත් පටු සීමා මායිම් ඉක්මවන සිහිබුද්ධියක් ඇති මිනිසුන් ද අවශ්‍ය කර තිබේ. මොහොමඩ් ෆර්සාන්ලාගේ පුංචි ෆේස් බුක් ලිපිය වඩා රැඩිකල් වන්නේ ඒ අවකාශය තුළය. මුරලි කඩුල්ලක් දවා ගනිද්දී අත් පොළසන් දුන් අපට කිමිකෝ රහීම්ස් ජල තලය දෙබෑකරගෙන දකුණු ආසියාවම පරදවද්දී මුනිවත රැකිය හැකිද? ලේ වල ගඳ සුවඳ ඉතිහාසය හා නිරුක්තිය සොයන්නෝ දැන් කුමක් කියන්නෝද? ඔවුන් මේ ජයග්‍රහණයත් ව්‍යවච්ඡේද කරන්නට දැන් සූදානම් ද?












Wednesday, 13 January 2016

ඇල්ජීරියාව හා ලංකාව...



ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නයෙන් ලංකාව පෙලෙද්දී ව්‍යවස්ථානු ඒකාධිපතිත්ව නිසා පීඩා විඳින රටවල් ලෝකයේ තවත් තිබෙනවා. ලංකාවේ 18 වැනි සංශෝධනය වගේ ඒකාධිපති ව්‍යවස්ථාවලින් දිගටම පාලන බලයේ රැඳී ඉන්න ගේම් ගහපු හා තවමත් ගේම් ගහන පාලකයන් තවත් ඉන්නවා. මධ්‍යධරණී මුහුදටත් ලිබියාවටත් ටියුනීසියාවටත් මොරොක්කෝවටත් මායිම් වෙලා තිබෙන  උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවත් මේ වෙනකොට ගිණියම් වෙලා තිබෙන්නෙ එවැනි පාලකයෙක් නිසයි. නොකර බැරි තැන

පොලිස් බලයට යටවන මහජනයා


ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ ෆ්ලැට් කරලා ඡන්ද තියන්න සූරයෙක් වෙච්ච මෙයා මීට කාලෙකට කලින් නම් ඒ රටට වීරයෙක් වුණා. එයාගෙ නම ආබ්දෙලාසිස් බූටෙෆ්ලිකා. අපට ආගන්තුක වුණාට යුරෝපයේ අප්‍රිකාවෙ මෙයා හරි ප්‍රසිද්ධයි. අරාබි වසන්තයේ සුළඟ ඇල්ජීරියාවටත් හමාගෙන ආවෙ නැතුව නෙවෙයි. හැබැයි ගඩාෆිට වඩා හමුදා සහාය ලැබුණු නිසා මෙයා ජාමෙ බේරගත්තා. ඒත් මේ වෙද්දි නැවතත් මහජන උද්ඝෝෂණ දරුණු විදියට මතුවෙමින් තිබෙනවා. ඒ නිසාම ජනාධිපති ධුරයේ රැඳී ඉන්න පුළුවන් වාර දෙකකට පමණයි කියලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න දැන් මෙයා කටයුුතු කරමින් ඉන්නවා කියලයි කියන්නේ.

එක වල්ලේ පොල්- සදාම් හුසේන්, අල් අසාද් සමඟ

ලෝකෙට පරකාසේ- බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා සමඟ

ඒකාධිපතියන්ට රුසියාව සෙවණක් ද?- පුටින් අමතක නෑ


මෙයාගෙ ඉතිහාසයත් ඒ තරම්ම හොඳ එකක් නෙවෙයි. 1922 දි අහමඩ් බෙන් බෙල්ලාගේ රජයේ තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැතිවරයා හැටියට කැබිනට්ටුවට රිංගපු බූටෙෆ්ලිකාට 1965- 79 කාලයේදී බරපතල මූල්‍ය වංචාවකට චෝදනා එල්ලවුණා. එතකොට ඔහු දැරුවෙ විදේශ ඇමැතිකම. වංචාවේ තරම ඇල්ජීරියානු ඩිනාර් මිලියන 60 ක්. ඒත් වර්තමාන ලංකාවෙ වගේම පසුව පැමිණි පාලකයා ඔහුට සමාව දුන්නා. වර්තමාන ඇල්ජීරියාව මේ තරම් අභාවවාචී ඉරණමකට ගොදුරු වෙන්න තරම් ඒ තීන්දුව බලපාවි කියලා ඇතැම්විට ඒ ජනාධිපති හිතන්නේ නැතුව ඇති.

කොහොම වුණත් හරිහැටි ස්ථාපිත නොවුණු රාජ්‍යය තුළ මෙයාට අහඹු ලෙස නැවත වාසනාව කැරකිලා එනවා. ඒ 1999 දි. හමුදා සහාය කියන ප්‍රබල සාධකය උඩ ජනාධිපතිවරණයෙන් සීයට 74 ක ප්‍රතිශතයක් ඡන්ද අරන් තමයි මෙයා දිනුවෙ. අපේ හිටපු ජනාධිපතිවරයා වගේම බලයට ආවට පස්සේ තෝරාගත් රටවල් සමඟ සබඳතා තර කරගැනීමට බූටෙෆ්ලිකා කටයුතු කළා. එරිත්‍රියාව හා සෝමාලියාව සමඟ සමගි සන්ධානයකට එළඹුණු ඔහු අසල්වැසි ස්පාඤ්ඤයත් එක්කත් මිත්‍ර සන්ධානයකට ආවා. ප්‍රංශ ජනාධිපති ජැක් ශිරාක් පවා 2002 දී ඇල්ජීරියාවේ සංචාරයක නිරත වුණා. ඒත් ඔහු තමන්ගේ ඉලක්කයට රට අභ්‍යන්තරයේ හෙමින් ගමන් කරමින් හිටියේ ඉතාම සූක්ෂමවයි.

ඒකාධිපතියෝ පුංචි වුන් අමතක නොකරති


බූටෙෆ්ලිකාගේ ප්‍රධානම ආයුධය වුණේ ජනමත විචාරණ හා ව්‍යවස්ථා සංශෝධනයි. ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන නූතන ක්‍රමය එයා හොඳින් අභ්‍යාස කළා. මේ නිසාම 2009 හා 2014 අන්තිමේදි පැවැති ජනාධිපතිවරණ වර්ජනය කරන්නට විපක්ෂයේ පක්ෂ කටයුතු කළා. ඇල්ජීරියාවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවිරෝධී බොහෝ ක්‍රියාකාරකම් හා සිදුවීම් බැලුවාම ලංකාවත් ඇල්ජීරියාවත් අතර සාම්‍යක් පෙන්නුම් කරන තැන් තිබෙනවා. ඇතැම් දේ සිදුවීම්.

ඇල්ජීරියාවෙ ව්‍යවස්ථාව හැදුවේ 1976 දි. අපට චුට්ටක් කලින්. ව්‍යවස්ථාවෙ මොනවා තිබුණත් බලය දැරීමට හමුදා සහාය අතිශය වැදගත්. අපේ වගේම රාජ්‍ය නායකයා ජනාධිපති. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති කිව්වට එයා ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් විතරයි. දේශපාලන පක්ෂ 40 කට වඩා තිබුණත් ඒවා තිබෙන්නේ මර්දනය කළ තත්ත්වයක.

මාධ්‍ය මර්දනයත් අනිවාර්ය අංගයක්


ඇල්ජීරියාව කියන්නෙත් අපි වගේම සිවිල් යුද්ධයකින් දැඩි සේ පීඩා විඳි රටක්. වසර දහයක් තිස්සේ පැවැති මේ  යුද්ධයෙන් ජීවිත මිනිස්සු ලක්ෂ එකහමාරක් පමණ ඝාතනය වුණා කියලයි වාර්තා වෙන්නෙ. සිවිල් යුද්ධය..පස්සෙ සංහිඳියා තත්ත්ව තුළ පීඩකයන්ටත් වින්ධිතයන්ටත් පොදු තැනකට එන්න වුණා. කොහොම වුණත් අධික උද්ධමනයත්, අධිකාරිවාදී පාලන රටාවත්, අවම වැටුප්, විරැකියාව, අසාධාරණ බදු අාදියෙන් දැඩි සේ පීඩා විඳින ඇල්ජීරියානුවන්ගේ කෝපය මේ වනවිට තිබෙන්නේ උතුරා යන තත්ත්වයකයි. මේක ඒකාධිපති ජනාධිපතිටත් හොඳටම තේරිලා. ඇල්ජීරියානු මහජන විරෝධතාවන්ට සහාය දක්වන්නේ ලොව පුරා වෙසෙන ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස් පමණක්ම නෙවෙයි. විවිධ අන්තවාදී කල්ලි කණ්ඩායමුත් ඒ අතරේ ඉන්නවා. කොහොම වුණත් මේ ඒකාධිපති පාලකයාට මේ මර්දනකාරී පිළිවෙත වැඩිකල් ගෙනයන්න ලැබේවි කියලා නම් හිතන්න අමාරුයි. (මහජන විරෝධතා.. උත්සන්නයි

දහසක් ප්‍රශ්න මැද වුණත් අප්‍රිකාවෙ සූරයෝ 

Tuesday, 12 January 2016

කොළඹ අැඩිලේඩ් වේවි ද?



ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය පෞද්ගලික මෝටර් රථ වෙනුවට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ඇඩිලේඩ් සරසවිය පවසනවා.

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ ඇඩිලේඩ්හි එක් සතියකදී පමණක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සිය නිදහස් ප්‍රවාහන වරපත පාවිච්චි කරමින් ගමන් බිමන් යෑම සිදුවන බව ඔවුන් සමීක්ෂණයක් මඟින් හෙලිකරගෙන තිබෙනවා.. 

ඇඩිලේඩ් සරසවිය 


 එමඟින් සොයාගත් තොරතුරු පුදුමසහගතයි කියලයි ඕස්ට්‍රේලියානු ජනගහණ හා සංක්‍රමණික පර්යේෂණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය හෙලන් ෆියෙස්ට් මහත්මිය කියන්නේ..

ස්වෙච්ඡා සේවයට, යාළු මිත්‍රයන් බලන්න, මුණුපුරු මිණිපිරියන් සමඟ ඇවිදින්න, කලා සාහිත්‍ය උළෙලවලට සහභාගී වෙන්න ඔවුන් මේ විදියට පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා. මෙමඟීන් සතියකට කාර් 80 000 ක් පමණ මහා මාර්ගවලින් ඉවත්කර තියන්න හැකිවෙනවා. 

ආචාර්ය ෆියෙස්ට් කියන විදියට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයටත් මෙම පොදු ප්‍රවාහනය ඉතාම වැදගත්. මේ නිසා පොදු ප්‍රවාහනය තවත් පුළුල් කිරීමට මේ නව ප්‍රවණතාව අවස්ථාවක් කරගන්න ඕනෑ කියලයි ඇය අවධාරණය කරන්නේ.



ගම්වාසී ජනතාව මේ අතින් ටිකක් අවාසනාවන්තයි. මොකද ඔවුන්ට පොදු ප්‍රවාහන සේවා සැපයීම නගරයට සාපේක්ෂව අඩුයි. නිර්මාණාත්මක ක්‍රමවේද මඟින් අපට ඒකට උත්තර හොයන්න පුළුවන්. උදාහරණෙකට පාසලේ ඉගැන්නුම් ක්‍රියාවලිය සිදුවෙන වෙලාවලදි පාසල් බස් පොදු ප්‍රවාහනයට යොදාගන්න පුළුවන්. 

ඇය වැඩිදුරටත් කියන්නේ ඇඩිලේඩ්හි පාවිච්චි කරන මේ පොදු ප්‍රවාහන ක්‍රමවේදයන් අනෙකුත් නගරවලටත් පාවිච්චි කරන්න පුළුවන් කියලයි.. ඒ විතරද? 

පොදු ප්‍රවාහනය මුළුමනින්ම අවුල් ජාලයක් වෙච්ච ලංකාව වගේ රටවලටත් මේවායින් කොච්චර නම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? හැබැයි ජාතික ප්‍රතිපත්තියක් කිය කියා පුරසාරම් දොඩවන ටොම් පච කියන නිලධාරින් හා දේශපාලකයන්ට නම් ඇඩිලේඩ්වලින් වුණත් පාඩමක් ඉගෙනගත්තට නරක නෑ.. 

ලංකාවෙ නම් කොළඹ තමයි ප්‍රවාහනය හිසරදයක් බවට පත්වෙලා තියෙන තැන. ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමක් තියෙන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහත්තයාගේ කතාවත් මේ ගමන් පොඩ්ඩක් බලමු.... 


බස් සේවයට කෙරෙන ආයෝජනය බස් රථ පර්යන්තයක් දුටු ගමන් පේනවා. අධිවේගී මාර්ග තිබුණාට සමබර ආයෝජනයක් නොවීම හේතුවෙන් තමයි අද වාහන තදබදය ඇතිවෙලා තිබෙන්නේ. ඉතින් අපි දකින්නේ පොදු ප්‍රවාහනය මේ ආකාරයෙන් නවීකරණය වුණේ නැත්නම් ඊළඟ අවුරුදු පහ හය වෙනකොට සමහර විට වාහනවල වේගය පයින් යන වේගයටම එන්න පුළුවන්. වෙනත් රටවල ඒක සිදුවෙනවා අපි දැකලා තිබෙනවා. එවැනි තත්ත්වයක් විසින් විශාල ආර්ථික පසුබෑමක් ඇතිකරන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර වරාය, ජාත්‍යන්තර ගුවන්තොටුපල සියල්ල තිබෙන්නේ බස්නාහිර පළාතෙයි. ඒ නිසා කොළඹ පමණක් නෙවෙයි. රටේ තිබෙන සියලු සේවාවන්වලටත් එය බලපානවා. එනිසා මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතියේදී ප්‍රවාහන අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සැලැසුම්සහගතව කඩිනමින් සිදු විය යුතු යැයි මම විශ්වාස කරනවා“