Tuesday, 5 January 2016

නවාස් ෂරීෆ් කොළඹ සිට මෝඩිට සහතිකයක් දෙයි..

අනපේක්ෂිත ප්‍රහාරයෙන් හමුදාව අසීරුවට පත්ව

පතන්කෝට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සෙවීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව පාකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් ඉන්දීය අගමැතිවරයාට දුරකතන ඇමතුමක් දෙමින් සහතික වී තිබෙනවා. පාකිස්තානු අගමැතිවරයා මෙම දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ තම ලංකා සංචාරය අතරතුර කොළඹ සිටයි. මිනිත්තු 15 ක් තිස්සේ රාජ්‍ය නායකයන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය සිදු වී ඇත්තේ දෙරටේ ජාතික ආරක්ෂක උපදේශකයන් අතර සිදු වූ සාකච්ඡාවකින් පසුවයි.

මුර සංචාර අඛණ්ඩව..


කතාබහෙන් පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කළා. පතන්කෝට් ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව පාකිස්තාන රජය සෘජු හා කඩිනම් පියවර ගත යුතු බව අගමැති නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරනවා. ප්‍රහාරයට අදාළ තොරතුරු මේ වනවිට ඉන්දීය රජය විසින් පාකිස්තානු රජයට ලබා දෙනු ලැබ තිබෙනවා.. යැයි එම නිවේදනයේ සඳහන් වුණා.

ඉන්දියාව හා පාකිස්තානය අතර සාමය ගොඩනැන්වීමට අවංකවම උත්සාහ කළ සෑම අවස්ථාවකදීම පාහේ එය කඩාකප්පල් කිරීමට ත්‍රස්තයන් උත්සාහ කරන්නේ යැයි පාකිස්තානු අගමැතිවරයා පැවැසූ බව ඉන්දීය අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා එරට මාධ්‍යට පවසා තිබුණා. ත්‍රස්තයන්ගේ දුෂ්ට ක්‍රියාකලාපයට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය වන්නේ දෙරට අතර මිත්‍රශීලී හා සහයෝගී සම්බන්ධයක් ගොඩනැගීම බවට රාජ්‍ය නායකයන් කතිකා කර ගත් බවට ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.



 කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ ඉන්දීය අගමැතිවරයා දෙසැම්බර් 25 වැනිදා කළ හදිසි මෙන්ම විස්මය දනවන පාකිස්තානු සංචාරයෙන් පසුව එල්ල වූ මෙම ප්‍රහාරය ඉන්දු පාකිස්තාන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට එරෙහිව නැගුණු කළු වලාවක් බවයි.

ශ්‍රී ලංකාවේ රඳවා සිටින ඉන්දීය ධීවරයන් තෛපොංගල් ගැන අපේක්ෂාවෙන්..



ධීවර යාත්‍රා තුනකින් අනවසරයෙන් ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්ධීය ධිවරයන් 12දෙනෙක් ඊයේ (4) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
රාමේෂ්වරම් සිට යාත්‍රා දෙකකින් 8 දෙනෙක් ද ජගතාපට්ටිනම්හි සිට සෙසු සිව් දෙනා තවත් යාත්‍රාවකින් ද සිය ගමන ආරම්භ කර ඇත.

වෙරළාරක්ෂක බළකායේ මූලිකත්වයෙන් තලේමන්නාරම හා ඩෙල්ෆ්ට් දූපත් අවට පෙදෙස්හිදී මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇති බව නාවික හමුදා වෙබ් අඩවිය පවසයි.

ධීවරයන් හා යාත්‍රා කන්කසන්තුරේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ජනවාරි 15 ට යෙදෙන තෛපොංගල් දිනයට පෙර ඔවුන් නිදහස් කරන බවට ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් නිසා ඉන්දීය ධීවර ප්‍රජාව තුළ යම් අපේක්ෂාවක් හටගෙන තිබේ.

අනවසර ඇතුල්වීම මත ශ්‍රී ලංකාවේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය මුළු ධීවරයන් සංඛ්‍යාවෙන් 144 කි.

ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවර පිරිස් දෙකක් අතර 4 වැනිදා රාත්‍රියේ මුහුද මැද දී හටගත් වචන හුවමාරුවක් ගැටුමක් දක්වා දුරදිග ගිය අතර එහි ප්‍රතිපලය වී ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව විසින් ශ්‍රී ලාංකික බෝට්ටුව හප්පා මුහුදුබත් කිරීමයි.

පසුව ශ්‍රී ලාංකික ධීවර පිරිස මිතුරු ධීවර පිරිසකගේ ද සහාය ලබාගෙන ඉන්දීය ට්‍රෝලරය මුලතිව් වෙරළට රැගෙන ගොස් ඇත.

මූලාශ්‍රය - ද හින්දු



පාකිස්තාන දේශපාලන අස්ථාවරත්වය නවාස් ෂෙරීෆ් අවසන් කරාවි- ජනපති මෛත්‍රිපාල සිරිසේන



පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් අටකට අස්සන් තැබීම කොළඹ දී අද (5) දී සිදුවිය. වෙළෙඳ, ආරක්ෂක, ත්‍රස්තමර්දන යන ක්ෂෙත්‍ර ඇතුලු තවත් ක්ෂෙත්‍ර ඊට අයත් වේ.  වෙළෙඳ ප්‍රවර්ධන, සංස්කෘතික, සෞඛ්‍ය, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත මර්දනය ඇතුලු විවිධ අංශවල අන්තර්සහාය වර්ධනයට මෙම ගිවිසුම් හේතුවනු ඇති බව පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මහතා පැවැසීය. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාමට විශාල අවස්ථා තිබෙන අතර ගිවිසුම් අනුව සිමෙන්ති හා සීනි කම්හලක් මෙරට පිහිටුවන බව ද හෙතෙම පැවැසීය. වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට  අතිශය අනුග්‍රාහිත ජාතිය බවට පත්වීමට පාකිස්තානය සූදානම් බව ද අගමැතිවරයා කීය. 
මැණික් හා ස්වර්ණාභරණ යන අංශවලට අමතරව අධ්‍යාපන, ආරක්ෂක, විද්‍යා, තාක්ෂණ යන අංශවලදී ද එක්ව කටයුතු කිරීමට රටවල් දෙක එකඟවෙලා තිබෙනවා ..මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා ඉක්මණින්ම පාකිස්තාන සංචාරයක නිරත වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිනවා. ″ නවාස් ෂෙරීෆ් වැඩිදුරටත් කීය.
පාකිස්තානයේ දේශපාලන අස්ථාවරභාවය අගමැති නවාස් යටතේ ඉතා ඉක්මණින්ම පහව යාවි. . ජනාධිපති සිරිසේන ද දේශපාලන අනාවැකියක් ප්‍රකාශ කළේ එසේය.
නියෝජිත මට්ටමේ සාකච්ඡා කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැති අතර පාකිස්තාන වාණිජ ඇමැති කුරාම් ඛාන්, විදෙස් සබඳතා විෂයෙහි අගමැතිවරයාගේ විශේෂ සහකාර තරික් ෆටේමි ද ඊට සහභාගී වූහ.

පාකිස්තාන අගමැතිවරයා හෙට(6) මෙරටින් පිටත්විමට නියමිතය.

Wednesday, 11 November 2015

මාරපන මාධ්‍ය හමුවෙන් ආණ්ඩුවේ රෙදි යළි ගලවයි..

කට හින්දා නැහිල්ල

තිලක් මාරපන මහතා කියන්නේ ඉල්ලා අස්වීමට තමා ස්වාධීනව තීරණය කළ බවයි. එහෙත් අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් පිරිසකට පවසාතිබුණේ ගත යුතු හොඳම සහ සෘජුම තීරණය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම බව තමා මාරපනට පෙන්වාදුන් බවයි. ඒ අනුව මාරපන ඇත්තටම අස්වුණේ හදවත කී නිසාද අගමැති කී නිසාද යන්න පැහැදිලි නැත.

ඇත්තටම මාරපන තම ඉල්ලා අස්වීමෙන් හා ඉන්පසුව පැවැත් වූ මාධ්‍ය හමුවෙන් රෙදි ගලවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේය. ඔහු නොකියා කියන්නේ එය වැරැදි වෙලාවක දුන් වැරැදි ඇමැතිකමක් බවය. පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට නීතී උපදෙස් දුන් බව මාරපන කියයි. ඒ ගැන නීතිපතිවරයා පරීක්ෂණ අවසන් කර තීරණයක් දුන්නේ ජුනිවල බවත් තමා ඇමැති පදවියට පත්වුණේ සැප්තැම්බර්වල බවත් ඔහු කියයි. එහෙත් මාරපන අවසන් කළා යැයි කියන පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වූ බව රටම දනී. ආණ්ඩුවේ ප්‍රබල යැයි කියන දේශපාලකයන් විටින් විට කළ උදාරම් කතාවලින් වුවද එය පැහැදිලිය. මාරපනගේ කතාව ඇත්ත නම් අනෙක් සියලු ඇමැතිවරුන් කළ කතා බොරු විය යුතුය. කැබිනට් මාධ්‍ය හමුවලට අර්ථයක් නැති විය යුතුය.

ඉතාම වැදගත් කාරණය වන්නේ ඇවන්ගාඩ් ගැන එවන් පරීක්ෂණ දියත් මොහොතක ඇවන්ගාඩ් හිමිකරුගේ නීති උපදේශක වැඩේ කළ තැනැත්තාටම ඇවන්ගාඩ් පරීක්ෂණවලට අදාළ අමාත්‍යංශය පිරිනැමීමයි. එය කරන්නේ වෙන කවුරුවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය.

ඇමැතිකම දුන්නේ ඇයි?


මාධ්‍ය හමුවේදී ඇමැති මාරපන කළ තවත් බරපතල ප්‍රකාශ දෙකක් වේ. ඒවා නම් මෙසේය.

1)මා ජනාධිපතිතුමාට අද උදේ කිව්වා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා ලෙසත් දැන්වුවා...

2)ප්‍රශ්නය- නමුත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියල තිබුණා ඔබේ මතය රජයේ මතය නෙවෙයි කියලා?
  පිළිතුර- ඒක ඉතින් එතුමාගේ මතය..

පළමු ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු මාධ්‍ය හමුවේදී පැවසුවේ පොලිසිය බාර ඇමැතිකමේ තමා සිටියදී එම විමර්ශන තවදුරටත් කරගෙන යෑමට බාධා වේ යැයි යන සැකය නිසා අස්වීමට තීරණය කළ බවයි. එහෙත් ඒ කටින්ම ඔහු නැවත පවසන්නේ ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කරගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා හැටියට ජනාධිපතිවරයාට දැන් වූ බවයි. ඉතින් මාරපන මේ කරන්නේ කුමක්ද? විමර්ශනවලට බාධා වේ යැයි යන සැකය නිසාම අස්වුණා යැයි කියන මාරපන ඇවන්ගාඩ් ප්‍රශ්නය සමථයකට පත්කරගන්නා හැටියට ජනාධිපතිට නොකියා කියයි. යෝජනා කරයි. මේ ප්‍රකාශයෙන් ඔහු කරන්නේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවක් කිරීම නොවේද?

රාජිත කැබිනට් ප්‍රකාශක නෙවෙයිද?


දෙවැනි ප්‍රකාශය මඟින් මාරපන කෙලින්ම අභියෝග කරන්නේ ආණ්ඩුවේ මතයටය. මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රජයේ මතය නොවන බව කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. එහෙත් රාජිතගේ ප්‍රකාශය ගැන මාරපන කියන්නේ එය රාජිතගේ මතය බවය. ඒ කියන්නේ ආණ්ඩුවේ මතය නොවන බව නොවේද? මෙමගින් නැවත ආණ්ඩුව ජනතාවට කිවයුත්තේ ඇවන්ගාඩ් ගැන ආණ්ඩුවේ මතය කුමක්ද යන්නයි. තවද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම්දෙන රාජිත සේනාරත්න කරන්නේ තමන්ගේ මතය දැක්වීම යැයි මාරපන කියන්නේ නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවල ඇති අර්ථය කුමක්ද?


දැන හෝ නොදැන මෙම මාධ්‍ය හමුවේදී ද ඇමැතිවරයා කළ පුදුමය දනවන ප්‍රකාශ මඟින් අවසන සිදුකර ඇත්තේ ආණ්ඩුව වට දෙකකින් අමාරුවේ දැමීමය. දැන් මේ ගැන රටට ඇත්ත කිවයුත්තේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.

Friday, 6 November 2015

යහපාලනේ මල් පුප්පන මාර පන ලා....

නායකයිනි එන්න..මල් පිපීදැයි බලන්න..


තිලක් මාරපන යන නම ඇසුණු කලම දැන් රටේ ජනතාවට දැනෙන්නේ දළඹුවෙකු ඇඟේ ගෑවුණා වැනි හැඟීමකි. ඊට හේතුව නම් පසුගිය 4 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ නින්දනීය කතාවයි. රටක් කැළඹූ ඇවන්ට්ගාඩ් සිදුවීමේදී ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව කිසිදු හිරිකිතයක් නැතිව රටට කී තිලක් මාරපන යනු කවුද? ඒ මේ රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාය. රටක් කැළඹූ සිදුවීමක සැකකාර පාර්ශ්වය වෙනුවෙන් රටේ කැබිනට් ඇමැතිවරයකු පෙනීසිටිද්දී ඒ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටය.

රාජපක්ෂ පාලන සමයේදී පවා තිලක් මාරපනලා සම්බන්ධයෙන් රටේ පැතිර ගිය  පුවත් වූ කලී යහපත් ඒවා නොවේ. ඔහු ඊට පෙර පැවැති එජාප පාලන සමයන්හි දැරූ ඇමැතිකමුත් නීතිය විෂයෙහි දැරූ තනතුරුත් හැරුණුකොට පැවැති පාලනය පෙරලීමේ දේශපාලන පරිවර්තනයෙහි කිසිදු කර්තෘත්වයකට ගෞරවයක් හිමි විය යුත්තෙක් නොවේ. මෙවර යහපාලන ආණ්ඩුවේ වුවද ඔහුට ඇමැතිධුරයක් හිමිවන්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ලිමේන්තු ගමන නිසා මිස ජනතා ඡන්දයකින් ලැබූ ජයක් නිසා නොවේ. 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් නීතිපතිකමට සමු දී ගෙදර ගිය තිලක් මාරපන පළමු වරට පාර්ලිමේන්තු ආවේ 2001 දීය. ඒය ද ජාතික ලැයිස්තුවෙනි. එහෙත් ආරක්ෂක හා ප්‍රවාහන වැනි බාරදූර ඇමැතිකම් ඔහුට පැවැරිනි. මහින්ද රාජපක්ෂගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින ගාමිණි මාරපන යනු තිලක්ගේ සොයුරාය. තිලක් මාරපනගේ පුත්තු දෙදෙනා ද නීතිඥයෝය.

පාර්ලිමේන්තුව උසාවියක් කළ මාර පන..

බැලූවිට නම් මාරපන පවුලම නීතියේ සාරයම උකහාගත් පරම්පරාවක් මෙනි. එහෙත් ඒ සාරය යළි ප්‍රතිනිෂ්පාදනය වන්නේ ජාතික දේහයේ සාරය උරාබොන්නට නම් ඒ නීති දැනුමෙන් රටට පලක් නැත. එයින් අත්වන්නේ විනාශයක් පමණි. සැබැවින්ම මාරපන පාර්ලිමේන්තුවේදී කළ කතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුලකුරු දන්නා ඕනෑම අයෙකු සලිත කරන මට්ටමේ එකකි. පොලිසිය බාර මාර පන ඇමැති ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව ලැජ්ජා නැතිව කීමෙන් නොනැවැතී සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කලිසම් ද ගැලෙව්වේය. ඒ ඇවන්ට්ගාඩ් යනු මිලේනියම් සිටි බඳු ආණ්ඩු මාරුවකදී පොලිසිය ලකුණු දා ගන්නට කළ වැඩක් බව කියමිනි. අන්තිමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාට සිදුවුණේ ඔය ඇමැතිකම ළමයෙකුට දෙන්න යැයි කියන්නටය. මන්දයත් ඇමැතිගේ අමුතු කතාව ඒ තරම්ම ආණ්ඩුවක් පවා සසල කරවන වගකීම්විරහිත කතාවක් වීම නිසාය.

ඒ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවත් අතර වෙනස කුමක් ද?


ඇත්තටම වුණේ මේකය. මාරපනලාට පාර්ලිමේන්තුව අදාළ නැත. මාරපනලා කීයක් හරි හොයාගන්නේ නීති දැනුම උකස් කරලාය. මාර පනට පාර්ලිමේන්තුව පෙනුණේ උසාවිය වගේය. කතානායක පෙනුණේ මහේස්ත්‍රාත්වරයා වගේය. ඉතින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ විපක්ෂය නියෝජනය කරන්නේ රටේ ජනතාව බව මාරපනට මතක නැතුව ගියේය. තමා රටේ ජනතාවට වගකියන්නට බැඳී සිටින බව මාරපනට මතක නැතිව ගියේය. ඒ අස්සේ බළලා මල්ලෙන් එලියටත් පැන්නේය. ඇවන්ට්ගාඩ් සිදුවීමේ වගකීම්විරහිත ඇමැති කෙරුවාව දැන් මුළු රටම දැනගෙන හමාරය. ඇත්තවශයෙන්ම මාරපනගේ මේ නිහීන වැඩය ඔහුට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව වුව දෝෂාභියෝගයක් ගෙනඒමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

රටම ගිනිපත්තු කර පැවැති පාලනයට මිනීපෙට්ටියේ අවසන් ඇණ ගසන්නට යහපාලකයන් භාවිත කළ සටන් පාඨ යට ගොසිනි. ඒ වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ භීෂණකාරී පාලන සමයේ ඔළුව දෙපරැන්දෙ ගසාගෙන අපේ මොකෝ අපට මොකෝ තියරියට සිටි අවස්ථාවාදී දේශපාලන රැලක් ව්‍යාපාරිකයන් ලෙසින් කැබිනට් මණ්ඩලයේ ලැග සිටිනා අරුම පුදුම පාලනයකි. මේ ආණ්ඩුවේම ඇමැතිහොරු පෙන්නන සොහොන් ලකුණු අනුව ආණ්ඩුවට වැඩි ආයුෂක් ඇතැයි කෙසේ සිතන්නද?

(සැ-යු-විජයදාස රාජපක්ෂ යනු මාටින් වික්‍රමසිංහගෙන් පසු මෙලක බිහි වූ මහා ප්‍රාඥයා බැවින් ඔහු ගැන වෙනම ලිවිය යුතුය)

Thursday, 8 October 2015

බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...

බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...: ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේ...

ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නිහඬ ඇයි?



ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේශපාලන පලිගැනීම්වලින් තොරව ස්වයං නියාමනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා පත්තර ලෝකය හිතුවා. එහෙම හිතලා පුවත්පත් හිමිකරුවන්, ජනමාධ්‍ය සංවිධාන හා කර්තෘ සංසදය යන පාර්ශ්ව තුන එකතු වෙලා ආයතනයක් පිහිටුවාගත්තා. ඒක තමයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනSri Lanka Press Institute ය. 



ඒ යටතේ පිහිටුවපු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙන් පත්තර වාර්තා සම්බන්ධ පැමිණිලි බාරගනිමින් සමථ මණ්ඩලයක් විදියට කටයුතු කළා. ඒ යටතේ පිහිටුව
පු අනෙක් ආයතනය වූ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් මේ රටට ජනමාධ්‍ය සිසුන් රැසක්ම දායාද කළා. ඒ කාලේ, ඒ කියන්නේ 2002 යූ.එන්.පී ආණ්ඩුව කාලේ ආණ්ඩුව පවා මේකට දුන්නේ ෆුල් සපෝට් එකක්.

2013 ජුනි 05 වැනිදා එවකට යූ.එන්.පී පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පුවත්පත් මණ්ඩල යෝජනා පනත් විවාදයට සහභාගී වෙමින් ඒ ගැන කිව්වෙ මෙන්න මෙහෙම.

‘‘නිදහස් ස්වාධීන මාධ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් 2002 දී එක්සත් ජාතික පෙරමුණ රජය ක‍්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුයි. එදා මාධ්‍ය ස්වාධීනත්වය, ගෞරවය ලබාදීම වෙනුවෙන් අපි කැප වුණා.  අපි කතෘ සංසඳය සමඟ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ, වෘත්තිය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය සමඟ පුවත්පත් ප‍්‍රකාශකයින්ගේ සංගමය සමඟ හා සිවිල් සමාජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ උපදේශ ලබා ගත්තා. ඒ අනුව පුවත්පත් ආයතනය (press institute) ස්ථාපිත කළා. එමෙන්ම ඒ තුළින් මාධ්‍යවේදීන්ට පුහුණුව ලබාදීම මෙන්ම පාඨකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ අයිතීන් රැකදීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසමත් ගොඩනැඟු‍වා. මේ තුළින් ස්වේච්ඡාවෙන් ස්වයං නියාමනයක් මඟින් ගැටළු විසඳා ගත හැකියි. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ලක්ෂණයි . මෙම දේවල් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම වෙනුවට මේ ආණ්ඩුව කළේ, කරමින් සිටින්නේ කුමක් ද?.

එදා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය අද කතානායක වෙලා. ඒ වගේම  එදා පුවත්පත් මණ්ඩලයට පක්ෂව හඬ නැගූ හා විපක්ෂ මත දැරූ ප්‍රධාන පක්ෂ දෙක එක්ව හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබෙනවා. ඒත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මරාගෙන මැරෙන සටනක් දුන් යූ.එන්.පීය එක අද වැඩි සද්දයක් නැතුව ආණ්ඩුවේ ඇමැතිකම් දරන් ඉන්නවා.

මේ සියල්ල අතරේ ආණ්ඩුවේ උපදේශකයන්ගේ අනුශාසනා මැද පුවත්පත් මණ්ඩලය බලාත්මක කිරීම ගැන සම්මන්ත්‍රණ සංවිධානය වෙමින් තිබෙනවා. එවකට විපක්ෂයේ සිටි එජාපය ඇතුළු සිවිල් සමාජ බලවේග සමඟ සටන් කළ ඇතැම් මාධ්‍යවේදීන් අද ඉන්නේ ආණ්ඩුවේ ලොකු පුටු හොබවමින්. පුවත්පත් මණ්ඩලය එපෝ යැයි කියමින් තොරතුරු දැනගැනීමේ අයිතිය දියාාාව් යැයි රාජපක්ෂ ආණ්ඩුවට බල කළ මේ උදවියගේ සටන්කාමී ප්‍රවේශය අද අපිට දකින්න නෑ. 





මේ ආණ්ඩුවේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි  කිසිදු කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තිය දැනගැනීමට අපහසු වීම. මොකද පක්ෂ දෙකක ප්‍රතිපත්ති(ප්‍රතිපත්ති ද හුදු කතා ද?) මඟින් පුරුද්දනු ලැබෙන බැවින් බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය දෙමුහුන් වී තිබෙන හින්දා. එහෙම බැලුවාම පුවත්පත් මණ්ඩලයට එරෙහි වෙමින් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ අතීත සගයන්ගේ මතයත් හයිබ්‍රිඩ් වෙලාද කියලා ජනමාධ්‍ය සමාජයට සිතීම තාර්කිකයි නේද?