Wednesday 11 November 2015

මාරපන මාධ්‍ය හමුවෙන් ආණ්ඩුවේ රෙදි යළි ගලවයි..

කට හින්දා නැහිල්ල

තිලක් මාරපන මහතා කියන්නේ ඉල්ලා අස්වීමට තමා ස්වාධීනව තීරණය කළ බවයි. එහෙත් අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් පිරිසකට පවසාතිබුණේ ගත යුතු හොඳම සහ සෘජුම තීරණය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම බව තමා මාරපනට පෙන්වාදුන් බවයි. ඒ අනුව මාරපන ඇත්තටම අස්වුණේ හදවත කී නිසාද අගමැති කී නිසාද යන්න පැහැදිලි නැත.

ඇත්තටම මාරපන තම ඉල්ලා අස්වීමෙන් හා ඉන්පසුව පැවැත් වූ මාධ්‍ය හමුවෙන් රෙදි ගලවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේය. ඔහු නොකියා කියන්නේ එය වැරැදි වෙලාවක දුන් වැරැදි ඇමැතිකමක් බවය. පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට නීතී උපදෙස් දුන් බව මාරපන කියයි. ඒ ගැන නීතිපතිවරයා පරීක්ෂණ අවසන් කර තීරණයක් දුන්නේ ජුනිවල බවත් තමා ඇමැති පදවියට පත්වුණේ සැප්තැම්බර්වල බවත් ඔහු කියයි. එහෙත් මාරපන අවසන් කළා යැයි කියන පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වූ බව රටම දනී. ආණ්ඩුවේ ප්‍රබල යැයි කියන දේශපාලකයන් විටින් විට කළ උදාරම් කතාවලින් වුවද එය පැහැදිලිය. මාරපනගේ කතාව ඇත්ත නම් අනෙක් සියලු ඇමැතිවරුන් කළ කතා බොරු විය යුතුය. කැබිනට් මාධ්‍ය හමුවලට අර්ථයක් නැති විය යුතුය.

ඉතාම වැදගත් කාරණය වන්නේ ඇවන්ගාඩ් ගැන එවන් පරීක්ෂණ දියත් මොහොතක ඇවන්ගාඩ් හිමිකරුගේ නීති උපදේශක වැඩේ කළ තැනැත්තාටම ඇවන්ගාඩ් පරීක්ෂණවලට අදාළ අමාත්‍යංශය පිරිනැමීමයි. එය කරන්නේ වෙන කවුරුවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය.

ඇමැතිකම දුන්නේ ඇයි?


මාධ්‍ය හමුවේදී ඇමැති මාරපන කළ තවත් බරපතල ප්‍රකාශ දෙකක් වේ. ඒවා නම් මෙසේය.

1)මා ජනාධිපතිතුමාට අද උදේ කිව්වා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා ලෙසත් දැන්වුවා...

2)ප්‍රශ්නය- නමුත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියල තිබුණා ඔබේ මතය රජයේ මතය නෙවෙයි කියලා?
  පිළිතුර- ඒක ඉතින් එතුමාගේ මතය..

පළමු ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු මාධ්‍ය හමුවේදී පැවසුවේ පොලිසිය බාර ඇමැතිකමේ තමා සිටියදී එම විමර්ශන තවදුරටත් කරගෙන යෑමට බාධා වේ යැයි යන සැකය නිසා අස්වීමට තීරණය කළ බවයි. එහෙත් ඒ කටින්ම ඔහු නැවත පවසන්නේ ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කරගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා හැටියට ජනාධිපතිවරයාට දැන් වූ බවයි. ඉතින් මාරපන මේ කරන්නේ කුමක්ද? විමර්ශනවලට බාධා වේ යැයි යන සැකය නිසාම අස්වුණා යැයි කියන මාරපන ඇවන්ගාඩ් ප්‍රශ්නය සමථයකට පත්කරගන්නා හැටියට ජනාධිපතිට නොකියා කියයි. යෝජනා කරයි. මේ ප්‍රකාශයෙන් ඔහු කරන්නේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවක් කිරීම නොවේද?

රාජිත කැබිනට් ප්‍රකාශක නෙවෙයිද?


දෙවැනි ප්‍රකාශය මඟින් මාරපන කෙලින්ම අභියෝග කරන්නේ ආණ්ඩුවේ මතයටය. මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රජයේ මතය නොවන බව කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. එහෙත් රාජිතගේ ප්‍රකාශය ගැන මාරපන කියන්නේ එය රාජිතගේ මතය බවය. ඒ කියන්නේ ආණ්ඩුවේ මතය නොවන බව නොවේද? මෙමගින් නැවත ආණ්ඩුව ජනතාවට කිවයුත්තේ ඇවන්ගාඩ් ගැන ආණ්ඩුවේ මතය කුමක්ද යන්නයි. තවද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම්දෙන රාජිත සේනාරත්න කරන්නේ තමන්ගේ මතය දැක්වීම යැයි මාරපන කියන්නේ නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවල ඇති අර්ථය කුමක්ද?


දැන හෝ නොදැන මෙම මාධ්‍ය හමුවේදී ද ඇමැතිවරයා කළ පුදුමය දනවන ප්‍රකාශ මඟින් අවසන සිදුකර ඇත්තේ ආණ්ඩුව වට දෙකකින් අමාරුවේ දැමීමය. දැන් මේ ගැන රටට ඇත්ත කිවයුත්තේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.

Friday 6 November 2015

යහපාලනේ මල් පුප්පන මාර පන ලා....

නායකයිනි එන්න..මල් පිපීදැයි බලන්න..


තිලක් මාරපන යන නම ඇසුණු කලම දැන් රටේ ජනතාවට දැනෙන්නේ දළඹුවෙකු ඇඟේ ගෑවුණා වැනි හැඟීමකි. ඊට හේතුව නම් පසුගිය 4 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ නින්දනීය කතාවයි. රටක් කැළඹූ ඇවන්ට්ගාඩ් සිදුවීමේදී ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව කිසිදු හිරිකිතයක් නැතිව රටට කී තිලක් මාරපන යනු කවුද? ඒ මේ රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාය. රටක් කැළඹූ සිදුවීමක සැකකාර පාර්ශ්වය වෙනුවෙන් රටේ කැබිනට් ඇමැතිවරයකු පෙනීසිටිද්දී ඒ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටය.

රාජපක්ෂ පාලන සමයේදී පවා තිලක් මාරපනලා සම්බන්ධයෙන් රටේ පැතිර ගිය  පුවත් වූ කලී යහපත් ඒවා නොවේ. ඔහු ඊට පෙර පැවැති එජාප පාලන සමයන්හි දැරූ ඇමැතිකමුත් නීතිය විෂයෙහි දැරූ තනතුරුත් හැරුණුකොට පැවැති පාලනය පෙරලීමේ දේශපාලන පරිවර්තනයෙහි කිසිදු කර්තෘත්වයකට ගෞරවයක් හිමි විය යුත්තෙක් නොවේ. මෙවර යහපාලන ආණ්ඩුවේ වුවද ඔහුට ඇමැතිධුරයක් හිමිවන්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ලිමේන්තු ගමන නිසා මිස ජනතා ඡන්දයකින් ලැබූ ජයක් නිසා නොවේ. 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් නීතිපතිකමට සමු දී ගෙදර ගිය තිලක් මාරපන පළමු වරට පාර්ලිමේන්තු ආවේ 2001 දීය. ඒය ද ජාතික ලැයිස්තුවෙනි. එහෙත් ආරක්ෂක හා ප්‍රවාහන වැනි බාරදූර ඇමැතිකම් ඔහුට පැවැරිනි. මහින්ද රාජපක්ෂගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින ගාමිණි මාරපන යනු තිලක්ගේ සොයුරාය. තිලක් මාරපනගේ පුත්තු දෙදෙනා ද නීතිඥයෝය.

පාර්ලිමේන්තුව උසාවියක් කළ මාර පන..

බැලූවිට නම් මාරපන පවුලම නීතියේ සාරයම උකහාගත් පරම්පරාවක් මෙනි. එහෙත් ඒ සාරය යළි ප්‍රතිනිෂ්පාදනය වන්නේ ජාතික දේහයේ සාරය උරාබොන්නට නම් ඒ නීති දැනුමෙන් රටට පලක් නැත. එයින් අත්වන්නේ විනාශයක් පමණි. සැබැවින්ම මාරපන පාර්ලිමේන්තුවේදී කළ කතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුලකුරු දන්නා ඕනෑම අයෙකු සලිත කරන මට්ටමේ එකකි. පොලිසිය බාර මාර පන ඇමැති ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව ලැජ්ජා නැතිව කීමෙන් නොනැවැතී සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කලිසම් ද ගැලෙව්වේය. ඒ ඇවන්ට්ගාඩ් යනු මිලේනියම් සිටි බඳු ආණ්ඩු මාරුවකදී පොලිසිය ලකුණු දා ගන්නට කළ වැඩක් බව කියමිනි. අන්තිමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාට සිදුවුණේ ඔය ඇමැතිකම ළමයෙකුට දෙන්න යැයි කියන්නටය. මන්දයත් ඇමැතිගේ අමුතු කතාව ඒ තරම්ම ආණ්ඩුවක් පවා සසල කරවන වගකීම්විරහිත කතාවක් වීම නිසාය.

ඒ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවත් අතර වෙනස කුමක් ද?


ඇත්තටම වුණේ මේකය. මාරපනලාට පාර්ලිමේන්තුව අදාළ නැත. මාරපනලා කීයක් හරි හොයාගන්නේ නීති දැනුම උකස් කරලාය. මාර පනට පාර්ලිමේන්තුව පෙනුණේ උසාවිය වගේය. කතානායක පෙනුණේ මහේස්ත්‍රාත්වරයා වගේය. ඉතින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ විපක්ෂය නියෝජනය කරන්නේ රටේ ජනතාව බව මාරපනට මතක නැතුව ගියේය. තමා රටේ ජනතාවට වගකියන්නට බැඳී සිටින බව මාරපනට මතක නැතිව ගියේය. ඒ අස්සේ බළලා මල්ලෙන් එලියටත් පැන්නේය. ඇවන්ට්ගාඩ් සිදුවීමේ වගකීම්විරහිත ඇමැති කෙරුවාව දැන් මුළු රටම දැනගෙන හමාරය. ඇත්තවශයෙන්ම මාරපනගේ මේ නිහීන වැඩය ඔහුට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව වුව දෝෂාභියෝගයක් ගෙනඒමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

රටම ගිනිපත්තු කර පැවැති පාලනයට මිනීපෙට්ටියේ අවසන් ඇණ ගසන්නට යහපාලකයන් භාවිත කළ සටන් පාඨ යට ගොසිනි. ඒ වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ භීෂණකාරී පාලන සමයේ ඔළුව දෙපරැන්දෙ ගසාගෙන අපේ මොකෝ අපට මොකෝ තියරියට සිටි අවස්ථාවාදී දේශපාලන රැලක් ව්‍යාපාරිකයන් ලෙසින් කැබිනට් මණ්ඩලයේ ලැග සිටිනා අරුම පුදුම පාලනයකි. මේ ආණ්ඩුවේම ඇමැතිහොරු පෙන්නන සොහොන් ලකුණු අනුව ආණ්ඩුවට වැඩි ආයුෂක් ඇතැයි කෙසේ සිතන්නද?

(සැ-යු-විජයදාස රාජපක්ෂ යනු මාටින් වික්‍රමසිංහගෙන් පසු මෙලක බිහි වූ මහා ප්‍රාඥයා බැවින් ඔහු ගැන වෙනම ලිවිය යුතුය)