Wednesday 10 June 2015

මොකද්ද බොල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ?




සුදුසුකම් නැතුව ඉතාම පහසුවෙන්න කරන්න පුළුවන් රස්සා දෙකක් තියෙනවා කියලයි රටේ ප‍්‍රසිද්ධ. එකක් දේශපාලනය. අනෙක ජනමාධ්‍ය. ඒක එහෙමමද කියලා හොයනවට වඩා යම් පමණෙකින් හෝ එය ඇත්ත නම් ඒකට උත්තරයක් හොයන්න අපිට  ඕන වුණා. ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිවෙන්නේ ඒ අනුවයි. ඒ සමග බැඳුණු තවත් හේතු ගණනාවක් තිබුණත් මම කිව්ව කාරණය මූලික හේතුවක් වුණා. ඒකයි ඒ ගැන මෙතැන ලිව්වේ.



ඇත්තටම තමන් වැඩ කරන ක්‍ෂෙත‍්‍රය හැර අනෙක් සියලු ක්‍ෂෙත‍්‍රයන්හි දොස් දකින්න නුගුණ කියන්න දක්ෂයන් බහුතරයක් ඉන්න රටක් මේක. විශේෂයෙන්ම මේ සියලු විපත්ති කරදර වෙන්නෙ තමන් හැර සෙසු සමාජය නිසාය යන ආකල්පය අපේ ඇගපත පුරාම මුල්බැහැගෙන තියෙන්නෙ. හැබැයි හැම දෙනාම අවංකවම හිතලා තම තමන්ගෙ ක්‍ෂෙත‍්‍රවල අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ සඳහා පෙනී ඉන්නවා නම් දේශපාලකයටම සියල්ල පවරන්න  ඕන නෑ.. 

තීරණාත්මක කාලපරිච්ඡෙදවල බිහිවෙලා ඉදිරියට ඇවිත් කිසියම් කාර්යභාරයක් කරපු ජනමාධ්‍ය සංවිධාන කීපයක්ම මේ රටේ තිබෙනවා. ඒත් ඒ බොහෝ සංවිධානවල සැකැස්ම ගත්තොත් ඒවා පරණ වෙලා. ඒ වගේම ඒවායේ නියෝජනයත් පරණ වෙලා. තරුණ පිරිස ඒ වටා රොඳ බැඳගන්නෙ නැති තරම්. සමස්ත සමාජය පුරාවට පැතිරිලා තිබුණු අවිශ්වාසය ජනමාධ්‍ය සංවිධාන කෙරෙහිත් එල්ල වෙලා. ඒ කවර සීමාසහිතකම් තිබුණත් එකී සංවිධානවලිනුත් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට සැළකිය යුතු වටිනාකම් හා ඇගයීම් රාශියක්ම එකතු වුණා. 



දැන් අපි ගැන කතා කරනවා නම් අපේ ඉලක්කය අපේ ක්‍ෂෙත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරගැනීමයි. කෙටියෙන් කිව්වොත් රෙද්දක් ඇදගෙන රස්සාව කරන්න පුළුවන් තත්ත්වයට ඒකට කිසියම් හෝ පරිවර්තනයක් අත්පත් කරගැනීමයි. ඒක මෙහෙම මියනවා වගේ පහසු ක‍්‍රියාවලියක් නෙවෙයි. වැඩසටහන් හතර පහකින් ළගා විය හැකි ඉලක්කයකුත් නෙවෙයි. දුරදර්ශීව හිතලා අවංකව කැප වෙලා කළ යුතු බුද්ධිමය ගනුදෙනුවක ප‍්‍රතිපලයක්. ඇත්තටම පුළුල් හා ගැඹුරු වැඩක්. 

එතැනදි අපිට උදවු  ඕනෑ සමාජ කොටස් රාශියක්ම සිටිනවා. විශේෂයෙන්ම පොදු සමාජය. අපිට හරිම වැදගත්. මොකද පොදු සමාජයේ කොටසක් ලෙස තමයි අපිත් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අවංක විවේචනය වැදගත්. සංවිධානයක් හැටියට ඒ විවේචනයට දොරගුළු අපි විවරකරලයි තිබෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පොදු සමාජ අගතීන්ගෙන් ව්‍යාධීන්ගෙන් රෝග පීඩාදියෙන් පෙලෙන ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට බෙහෙත් කරන්න තමයි මේ උත්සාහය. ඒ වෛද්‍ය භූමිකාවෙ එක කලාපයක් ඔබට බාරයි..

(මේ අපි අන්තිමට කළ වැඬේ)ඔන්න පාර..

මේක ගැඹුරු සාකච්චාවක්..දැනට ඒ ආරාධනාව කරන්නම්..අපි කරපු වැඩ හා අපේ දර්ශනය ගැන ඉදිරියේදී කතාකරමු..දැනට මේ සහෝදරත්වයේ ආරාධනාව බාරගන්න..

Monday 8 June 2015

අස්ගිරි මහ නාහිමියන්ට මහින්ද බය වේවි ද?

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ ඇයි කියලා සවිස්තරාත්මකව නිවේදනයකින් කිව්වේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නෙ විශ්වාසභංගය ගේන අයවත් නෙවෙයි. ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර ගියපු හිටපු ජනාධිපති. පොඩ්ඩක් කලබල වුණා වැඩිද මංදා. මහින්ද මහත්තයාගෙ ඉක්මනට බළලා මල්ලෙන් එලියට පැන්නා. එතකොය විශ්වාසභංගෙ කාගෙ වැඩක්ද කියලා වැඩේ දැන් ක්ලියර්නෙ.

විශ්වාසභංගෙ අයිතිකාරයා...

ඒක එහෙමයි කියමුකෝ. මේ අතරේ රටේ මහනාහිමි කෙනෙකුත් තමන්ගේ නිල මතය රටට කියනවා. හැබැයි මහනාහිමියන් කියන්නේ තාම නිල බලේ ඉන්න කෙනෙක් මිස ගෙදර ගිය කෙනෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියෝ...

අත්ථදස්සි නාහිමියන් කියන කතාව

නාහිමියන්ගෙ කතාවට අනුව නම් දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. මෙහෙම වෙලාවක අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම තමන් අනුමත කරන්නේ නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා.

කුකුල් මස් සාදන ආකාරය කියන අතරේ වුණත් අපේ හාමුදුරුවනේ කියලා නිරායාසයෙන් කියවෙන්න තරම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වූ සිත් ඇති අපේ හිටපු ජනාධිපතිට ඔන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ගලගම අත්තදස්සි නාහිමියන්ගේ වදනට කීකරු වේවිද? ඕක තමයි බලන්න ඕනේ..

හැබැයි ඕක බලන්න ඕනේ මේ බෞද්ධ නඩේ පරණ කෙරුම්වලින්ම මිස කියන කතාවලින් නම් නෙවෙයි. සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ දාන්න එපාය කියලා ත්‍රෛනිකායික නාහිමිවරු නිවේදනයකින්ම කියලත් රාජපක්ෂ මහත්තයා වැඩ කරපු හැටි අපට අමතක නෑ..  දළදා මාළිගාව වටේ රේස් පදින්න දෙන්න එපාය කියලා මල්වතු අස්ගිරි නාහිමි දෙපළ කට කැඩෙනකන් කිව්වත් ජය සිරිමා බෝධියේ ඔළුව ගහගෙන පොටෝවලින් පත්තර පුරවපු මේ මහා බෞද්ධයා වැඩ කළ හැටි අපට අමතක නෑ.. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මතයක් දරපු නිසා මිහින්තලේ රාජමහා විහාරයට සළකපු සැලකිල්ල මිහින්තලේ මිනිස්සු දන්නවා. මේ විදියට කියන්න ගියොත් අපේ හාමුදුරුවනේ කිය කියා රඟන මේ නළු දේශපාලන බලවේගය අපේ හාමුදුරුවන්ට ඇට්ටි නෙවෙයි කුරුම්බැට්ටිත් හැලෙන්න සළකපු සැලකිල්ල රටම දන්නවා. 

අනේ ඉතින් දැන් මේ අස්ගිරි මහානාහිමියෝ දෙන පණිවුඩේ ආයෙත් අදාළ වෙන්නේ මේ ඊනියා බෞද්ධ නඩේටම තමයි. මොකද විශ්වාසභංගය ගෙනඑන හේතුව තතු ඇතිව පහදලා දීලා ඒකෙ නිල අයිතිකාරයා තමන් කියලා රාජපක්ෂ මහත්තයා රටටම කියලා තිබෙන නිසා.. ඔළුවක් තියෙනවා නම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නෑ කියලයි මහනාහිමියන් කියන්නේ..දැන් අපිට බලන්න පුළුවන් ඔළු තියෙන අය කවුද කියලා.. ඒ වගේම රාජපක්ෂ කල්ලිය සවන් යොමුකරන්නේ මොන පැත්තටද කියලයි.. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ද ගලගම අත්ථදස්සි නාහිමිට ද?